තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය බවට සැලකෙන කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශාල ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක් වැටලූ පොලිසිය එම ස්ථානය බාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අප පුවත්පත වාර්තා කළේය. 

මෙම ස්ථානයේ බෝම්බ නිෂ්පාදනය කිරීම, ඒවා අත්හදා බැලීම, ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු රැසක් සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කළ බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. 

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ සිදුකරන වික්‍රමාන්විත මෙහෙයුම් සම්බන්ධයෙන් මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුය. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දෙවැනි, තුන්වැනි සැලසුම් මුළුමනින්ම ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවල එම මෙහෙයුම්වලට හැකි විය. ලැබෙන සෑම තොරතුරක්ම හඹා යමින් මෙම මෙහෙයුම් මෙසේ ක්‍රියාත්මක නොකළේ නම් රටේ අද තත්ත්වය බෙහෙවින්ම භයානක බව සත්‍යයකි. 

අවශ්‍ය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ මෙම දැඩි අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාමය. තත්ත්වය යහපත් අතට පරිවර්තනය වූ පසු ග්‍රහණය ලිහිල් කිරීම යළිත් මෙබඳු ප්‍රහාරවලට පාවාඩ එළීමකි. ඒ බව සනාථ කරන තොරතුරක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් මෙහෙයුම් මූලස්ථානය වැටලූ බවට සඳහන් අප ප්‍රවෘත්තියෙහි තිබේ. 

අප ප්‍රවෘත්තියට අදාළව මෙම මෙහෙයුම් මූලස්ථානයේදී සහරාන්ගේ සහෝදරයකු වන මොහොමඞ් රිල්වාන් නමැත්තා 2018 වසරේදී තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයන් පිරිසකට බෝම්බ සෑදීම පිළිබඳව පුහුණුවක් ලබා දී තිබේ. ඒ අවස්ථාවේදී බෝම්බයක් පුපුරා ගොස් රිල්වාන්ට බරපතළ තුවාල සිදු වී තිබේ. මෙම සිදුවීම එම ස්ථානයේ බාරකරු විසින් සහරාන්ට දැනුම් දුන් පසු ඔහුගේ උපදෙස් මත රිල්වාන් නමැත්තාව කඩිනමින් බස්නාහිර පළාතේ රෝහලකට හොර රහසේ ඇතුළු කර ඇත. 

රිල්වාන් නමැත්තා මාස දෙකක පමණ කාලයක් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති බවත් ඔහුගේ සාත්තුවට ළඟ සිට ඇත්තේ සහරාන්ගේ රියැදුරා බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. මෙම බෝම්බ පිපිරීමෙන් රිල්වාන්ගේ එක් ඇසක් අහිමි වී ඇති අතර ඇඟිලි ද අහිමිව ගොස් තිබේ. 

මෙම සිදුවීම් මාලාවේ බරපතළකම වන්නේ බෝම්බයක් පුපුරා බරපතළ ලෙස තුවාල ලැබූ අයකු රෝහලට ඇතුළත් කළ බව පොලිසියට දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු නොකිරීමය. 

රෝහලක් තුළ එතරම්ම රහසිගත දේ සිදුවිය හැකි ද යන්න ද විමතිය දනවන සුළුය. ඇතැම් විට ලක්ෂ ගණනින් කෝටි ගණනින් මුදල් හුවමාරු වීම නිසා මෙබඳු වසන් කිරීම් සිදු විය හැකි බව අනුමාන කළ හැකිය. 

අදාළ රෝහල් පාලනාධිකාරිය මෙම සිදුවීම ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේ නම් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය ඒකාන්ත වශයෙන්ම වළක්වා ගත හැකිව තිබුණේ යැයි යන්න විශ්වාස කළ යුතුය. එසේ නම් තොරතුරු හඹා යා හැකිව තිබිණි. අන්තවාදීන් ප්‍රහාරයකට සැරසෙන බව අනාවරණය කර ගත හැකිව තිබිණි. අන්තවාදීන් අත්අඩංගුවට ගත හැකිව තිබිණි. එහෙත් ඒ සියල්ලම දේශද්‍රෝහී සුළු කල්ලියක් විසින් පාවා දී තිබේ. 

මේවා සුළු කොට තැකිය යුතු කාරණා නොවේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් සෑම පුරවැසියකුටම තිබේ. රෝහලකට රෝගියකු ඇතුළත් කරන විටදී එම රෝගියා සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් රෝහල ලබා ගනී. තුවාල වීමක් නම් එසේ තුවාල වූයේ කෙසේ දැයි වෙනම පරීක්ෂණයකි. මේ කටයුතුවලට සහාය වීම සඳහා බොහෝ රෝහල්වල පොලිසියක් ද පිහිටුවා තිබේ. බෝම්බ ප්‍රහාරයකින් හෝ පිපිරීමකින් තුවාල ලැබූවකු ඇතුළත් කළ පසු ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරනු ලැබේ. එහෙත් මේ කිසිවක් සිදු වී ඇති බවක් නොපෙනේ. මේ පාපතර ක්‍රියාදාමයට සම්බන්ධ වූ සියල්ලන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය. 

පාස්කු ඉරිදාව අහිමි වූ රටට වෙසක් අසිරිය ද අහිමි වී තිබේ. පාසල් විවෘත වූයේ දෙසතියකින් පසුවය. එය ද හය වසරෙන් ඉහළටය. සරසවි පද්ධතියම වැසී ගොස් තිබේ. රටේ ආර්ථිකය කඩා වැටුණි. සංචාරක ව්‍යාපාරය වළපල්ලට ගියේය. රටකට අත්වීමට මීටත් එහා ගිය විපතක් නැත. මෙම විපත ඉබේ වූවක් නොවේ. ඒ සඳහා නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් දැනුම්වත්ව හෝ එසේ නොමැතිව දායක වී තිබේ. 

පාලක - පාලිත නොසලකා හැරීම් දායක වී තිබේ. එහෙයින් ඒ සියල්ලන්ම නීතිය ඉදිරියට රැගෙන යා යුතුය.