හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක දී මත් පැන් පානය කළ බව කියන සිසුන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී​ෙම් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. හැටන් ප්‍රදේශයේ ප්‍රධාන සිංහල පාසලක ඉගෙන ගන්නා මෙම ශිෂ්‍යයන් තිදෙනා මේ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මාකඳුරේ මධුෂ්ලා ගැන සමාජයේ විශාල සංවාදයකි. ඔහුගේ ​ගෝල බාලයන් බුරුතු පිටින් අත්අඩංගුවට පත්වීමේ පුවත් එකක් පසු පස එකක් වශයෙනි. මෙයට පෙර සොත්ති උපාලි, උස්ලියනගේ රුවන් ධම්මික අමරතුංග, චින්තක අමරතුංග, කළු තුෂාර, ඇට ඉන්දික තොප්පි චමින්ද, කරාටේ ධම්මික, ආමි රොෂාන් ආදී නම ගිය පාතාලයන් සම්බන්ධයෙන් ද නොනිමි සංවාදයක් මෙරට විය.

පාතාලය සම්බන්ධ මෙරට සංවාද රාත්‍රී භෝජන සංග්‍රහයක කට ගැස්මකින් වෙනස් නොවූවකි. නළල රැළි ගන්වා විමතියෙන් අසා සිටින ත්‍රාසජනක කතා පිටපතකින් වෙනස් නොවූවකි.

පාතාලයේ පිට පොත්ත අත ගා කළ සංවාදවලින් පාතාලයේ අැත්ත ඇතුළාන්තය එළියට විවර නොවීය. පාතාලය අහම්බයක් නොවේ. එය වූ කලී සමාජ ආර්ථික දේශපාලනික හේතු සමුදායක ප්‍රතිඵලයකි. එහෙත් හේතුව සම්බන්ධයෙන් විවරණයක නොයෙදී ඵලය අත පත ගාමින් කළ සංවාද නිසා පාතාල​ෙය් දොරටු නොවැසුණි. මාකඳුරේ මධුෂ්ලා ගැන කතා කිරීමට අද සිදුව තිබෙන්නේ එහෙයිනි.

හැටන් විහාරස්ථානයක බාහිර උපකාර පන්තියක දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත එතරම්ම ළමා වියක පසුවන සිසුන් තිදෙනකු මත් පැන් පානය කර හසුවීම සිද්ධියකට වඩා එහා ගිය මහා සමාජ ව්‍යසනයක් ලෙස හඳුනා ගත යුතු වන්නේ එහෙයිනි.
ලොව හොඳම දේ දරුවන්ට යැයි කීවද අප සමාජයේ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසුම ගොදුරු බවට පත්ව සිටිති. විවිධ අතවරවලට ලක්ව මරා දැමීමේ ඉරණම දරුවන්ගේ හිසට ඉහළින් ලෙළදෙමින් තිබේ. ජංගම දුරකථනයෙන් අසැබි දර්ශන බැලීමත් ඒවා අනුකරණය කිරීමට අතේ ඇති මුදලට සේවා සපයන ස්ථාන බිහි වීමත් දරුවන්ගේ ඉරණම තීරණය කරමින් තිබේ. වයස අවුරුදු 21 ට අඩු දරුවන්ට දුම් වැටි විකිණීම තහනම් බවට නීති රටේ පණවා තිබුණද ඒවා නොතකන රුපියල් ශතවලින් දෑස් නිලංකාර කර ගත් බඩජාරි මුදලාලිලාගෙන් දුම් වැටි ද මත් පැන් බෝතල් ද මිලදී ගැනී​ෙම් පහසුව දරුවන්ට හිමිවී තිබේ.

දරුවා බිලි ගන්නා මාර සේනා සිය දත් විළිස්සාගෙන සිටින මොහොතක දරුවන් රැක ගැනීමේ පරම වගකීමක් වැඩිහිටියාට පැවරේ. මෙම වැඩිහිටියා තුළ මවුපියෝ පාසලේ ගුරුවරු බාහිර උපකාරක පන්ති මෙහෙයවන ගුරුවරු සිටිති. ප්‍රශ්නය වන්නේ ඔවුන් තම යුතුකම් නිසි රිසි ලෙස ඉටු කරන්නේ ද යන්නය. එසේ ඉටු කරන්නේ නම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත ළාබාල දරුවන් අතට මත් පැන් බෝතල් ලැබුණේ කෙසේද? උපකාරක පන්තිය ආරම්භ වීමට පෙර එම දරුවන් තිදෙනාම මත් පැන් පානය කිරීමට ශක්තිය ලැබුණේ කෙසේද? ඒ තරමටම ලජ්ජා භය පිරිහුණු මනසක් ඔවුන්ට හිමි වූයේ කෙසේද?

‘‘පුත්ථා වත්ථු මනුස්සානං’’ යැයි බුදු දහමේ සඳහන්ය. එයින් කියැවෙන්නේ මිනිසා සතු වටිනාම වස්තුව දරුවන් බවය. එහෙත් එතරම් බරින් හා ගැඹුරින් දරුවා වැළඳ ගැනීමට මෙම සමාජය සමත් වීද? එසේ සමත්වී නම් හැටන් සිද්ධිය වැනි සිදුවීම් වාර්තා විය හැකිද?
දරුවාට අධ්‍යාපනය ලබාදීම තුළින් පමණක් සිය යුතුකම හා වගකීම ඉටු කළේ යැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් එය බරපතළ අත්වැරැද්දකි සිඟාලෝවාද සූත්‍රයේදී මවුපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් දක්වද්දි බුදුරාජාණන් වහන්සේ අංක එකට දැක් වූයේ දරුවා පාපයෙන් මුදවා ගත යුතු බවය. දෙවැනුව දරුවා යහපතෙහි යෙදවිය යුතු බවය. අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඉන් පසුව බව එහි දැක්වේ. ‘‘ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’’ යනුවෙන් සුභාෂිතයෙහි දැක්වෙන්නේ ද එයමය. එහිදී පෙරට ගෙන තිබනේනේ ගුණය වේ. නැණ හෙවත් දැනුම දෙවැනුව වේ.

ගුණයෙන් තොර නැණවත් බව ප්‍රතිඵල රහිතය. එහෙයින් මවුපියන් ගුරුවරුන් මෙන්ම අනෙකුත් සෑම වැඩිහිටියකුම මෙම කාරණා මැනවින් තේරුම්ගෙන දරුවා හැදිය යුතුය. දරුවා මාරයන්ගෙන් බේරා ගැනීම වෙනුවට දරුවා මාරයකු වීම වළක්වා ගත හැකි වන්නේ එමගිනි.