මීළඟ ජානාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස නිල වශයෙන් නම් කිරීමේ දී ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති කම්කටොලු සහ ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳ සති දෙකකට පෙර පළකළ ලිපියෙන් විස්තර කළේය. මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ඉක්මන් තීරණ ගත යුතුව තිබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ විසින් එළඹිය හැකි ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳවත් විස්තර කිරීම එම ලිපියේ මුඛ්‍ය අරමුණ විය. 

රාජපක්ෂ පවුලේ සමීප සම්බන්ධතා ඇති අය අතර මේ සම්බන්ධයෙන් මේ වන විට සෑහීමකට පත්විය හැකි තරමේ උනන්දුවක් ඇති වී තිබෙන බව පෙනී යයි. අවිනිශ්චිතව ගතවූ දීර්ඝ කාලයකින් පසුව හා අදාළ කාරණා සූක්ෂම ලෙස සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමේ තීරණය දේශපාලනයේ නියැලුණු රාජපක්ෂ පවුලේ අයගේ අනුමැතිය ඇතිව හිටපු ජානධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් ගෙන තිබේ. 

මෙම මූලික තීරණය මාර්තු 14 වැනි බ්‍රහස්පතින්දා කොළඹ විජේරාම පාරේ මහින්ද රාජපක්ෂගේ නිවසේ දී ගනු ලැබුවේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලි රාජපක්ෂ පවුලේ හයදෙනෙකුගේ රැස්වීමකින් අනතුරුවය.

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ, හිටපු කතානායක වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, හිටපු කැබිනට් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම හය දෙනා ය. රාත්‍රී භෝජනයත් සමග පැවති එම රැස්වීමේ මූලික අරමුණ වූයේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව තීරණාත්මක විසඳුමක් ලබා ගැනීමයි. මෙම කාරණය සාකච්ඡා කිරීම සඳහා පවුලේ රැස්වීමක් පැවැත්වීමට බලකෙරෙන හේතු උද්ගතවූ බව දැනගන්නට ලැබිණි. ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ විසින් තීරණය කළ යුතු බවට රාජපක්ෂ පවුලේත් ශ්‍රීලං.පො. පක්ෂ කවයේත් පොදු එකඟතාවයක් තිබුණි. මේ සඳහා ගෝඨභාය රාජපක්ෂ තෝරාගත යුතු බවට ද සාමාන්‍ය අවබෝධයක් පැවතුනේය. අපේක්ෂකයා ලෙස ගෝඨාභය තෝරා ගැනීම උදෙසා මහින්ද විසින් අවසන් වශයෙන් කැමැත්ත පළ කිරීමේ අවශ්‍යතාව මීට පෙර ලිපියෙන් අවධාරණය කරන ලදී. ඉක්මනින් අවධාරණයට ගතයුතු කාරණා දෙකක් රැස්වීමේ දී සාකච්ඡා විය. 

පළමු කාරණය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණ ගැනීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවකට නොආ යුතු බවට ශ්‍රී ලංකා පො.පෙ පෙරමුණේ සාමාන්‍ය ජනයා අතර මතවාද රැල්ලක් පැන නැගීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලං.පො. පක්ෂයෙත් පොදු අපේක්ෂකයා ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඕනෑ විය. ඔක්. 26 දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී උපායමාර්ගික හේතු මත මහින්ද මේ සඳහා අනුමැතිය දුන්නේය. මෛත්‍රීපාල මීළඟ අපේක්ෂකයා වෙතැයි බොහෝ අය සිතූහ. කෙසේ වුවද මෛත්‍රීපාල සිරිසේන එජාප සමග රහසේ හවුලක් ගොඩනගා සුපුරුදු යටිකූට්ටු වැඩ පිළිවෙළක් ගෙන යන බවට බොහෝ අය තුළ සැකයක් පවතී. සිරිසේන කෙරේ තවදුරටත් විශ්වාස තැබිය යුතු නැති බවට ශ්‍රීලං.පො.පෙ. නායකයන් තුළත් සාමාජිකයන් තුළත් බිම් මට්ටමේ විරෝධතාවක් පැන නැගී ඇත. ශ්‍රීලනිප සහ ශ්‍රීල.පො.පෙ හවුලේ අයවැයට විරුද්ධව ඡන්දය දීමෙන් හොඳ සන්දර්ශනයක් පෙන්වන්නට තිබූ අවස්ථාව ගිලිහී යාම නිසා මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප සමගත් මෛත්‍රීපාල සමගත් උරණව සිටී.

තීරණාත්මක ක්‍රියාදාමය 

පවුලේ රැස්වීමේ දී අවධාරණයට ගත් වඩාත් වැදගත් දෙවැනි කාරණය වූයේ ගෝඨාභය විසින්ම මේ වන විට ක්‍රියාත්මක කර ඇති තීරණාත්මක ක්‍රියාදාමයයි. ගෝඨාභය කල් තියාම “වියත් මග” සහ “එළිය” වැනි ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් අපේක්ෂකත්වය උදෙසා මහින්දගේ තීරණය බලාපොරොත්තුවෙන් සිටියේය. තීරණය නොදී කල් ඇදෙද්දී ගෝඨා නොඉවසිල්ලෙන් තම කටයුතු වේගවත් කරන්නට පියවර ගත්තේය. මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමා තුළ ඇති කැමැත්ත හෙතෙම ශ්‍රීලංකා පො.පෙ. වෙත විධිමත් ලෙස ඉදිරිපත් කළේය. තමා නිල වශයෙන් අපේක්ෂකයා ලෙස නම් කරන තුරු ශ්‍රීලපො.පෙ. දේශපාලන වේදිකාවට නොනගින බව මේ අතර ඔහු තදින්ම කියා සිටියේය. තවදුරටත් තම අනාගත ජීවිතය වෙනස් කරන තීරණාත්මක පියවරවලට ඔහු එළඹුනේය. තම එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ඔහු පටන් ගත්තේය. තම ද්විත්ව පුරවැසිභාවය නිසා ඔහු ජනාධිපතිවරණයට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සකු වෙන බව හැම දෙනාම දන්නා කාරණයකි. ඔහු ශ්‍රී ලංකාවේ මෙන්ම එක්සත් ජනපදයේ ද පුරවැසි භාවය ලබා තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සුදුස්සකු වන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහු තම ඇමරිකා එක්සත් ජනපද පුරවැසි භාවයෙන් ඉවත් විය යුතුවේ. තමා නිසි වෙලාවට එම පුරවැසි භාවය ඉවත්කර ගන්නා බවත් එය ගැටලුවක් නොවන බවත් ගෝඨා නිරන්තරයෙන්ම කියා සිටියේය. කෙසේ වුවද වැදගත් එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයකු වූ  ඇතුල් කෙෂාප් (්එමක ණැිය්ච) මහින්ද රාජපක්ෂ වෙත පළකළ අදහස් කිහිපයක් මාධ්‍යයන් හි ප්‍රසිද්ධ කරන ලද්දේය. එහිදී ඔහු පවසා තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය ගෝඨාගේ පුරවැසි භාවය පහසුවෙන් ඉවත් නොකරන බවත් ඔහුට ද්විත්ව පුරවැසි භාවය හිතන තරම් ඉක්මනට ඉවත්කර ගත හැකි නොවන බවත්ය.

මෙම සැකය පිළිනොගනිමින් කතා කළ ගෝඨා පිළිගත් නීතිමය හේතු මත ඇතමෙකුගේ පුරවැසි භාවය එක්සත් ජනපදය විසින් ඉවත් කරන ලද අවස්ථා පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් එක්සත් ජනපදය තමාට බාධා නොකරනු ඇතැයි යන මතයේ පිහිටා සිටියේය. මෙම ප්‍රකාශය හැරුණු කොට ඇමරිකානු පුරවැසි බව අතහැරීමට තමා තුළ වූ නැඹුරුවත් ඔහු පෙන්වා නොසිටියේය. බොහෝ අය මෙය අර්ථ දැක්වූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමේ සැකයක් තමා තුළ පවතින බව ගෝඨා විසින් පෙන්වා දීමක් ලෙසයි. පළමුව ඇමරිකානු පුරවැසි බව අත්හළ පසුව ජනාධිපති අපේක්ෂකත්වය නොදීහැරියහොත් ගෝඨා අතරමං වනු ඇත. එමනිසා සහතික වශයෙන් ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කරන තුරු ඇමරිකානු පුරවැසි භාවය අත්නොහරින්නට ගෝඨා පරිස්සම් වනු ඇතැයි ඇතමෙක් සිතූහ. තමා කලින් සිටි ස්ථාවරයෙන් වෙනස්ව යමින් ගෝඨාභය රාජපක්ෂ මාර්තු 6 වැනිදා කොළඹ ඇ.එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගොස් ස්වේච්ඡාවෙන් ඇමරිකානු පුරවැසි භාවයෙන් ඉවත් වීමේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළේය. තමා කැටුව කිසිම නීතිඥවරයකු ඔහු එවෙලේ එක්කරගෙන නොගිය බවත් රථයේ රියදුරා පමණක් ඔහු සමග ගිය බවත් දැනගන්නට ලැබිණි. එක්සත් ජනපදයේ සංක්‍රමණ හා පුරවැසි භාවය පිළිබඳ පනතේ 349 වගන්තියට අනුව මෙම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඇ.ඩොලර් 2350ක ගාස්තුවක් අයකෙරේ ඇමරිකානු රටවැසි භාවය අත්හැරීමේ ක්‍රියාමාර්ගය එකින් එක යන පියවර කිහිපයකින් අවසන වන්නකි. ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ගෝඨාගේ ඉල්ලුම් පත්‍රය වොෂින්ටනය වෙත යොමුකර ඇති බව දැනගන්නට ලැබී තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීන් හට සැලකිය යුතු බලපෑමක් කරමින් ගෝඨාට උදව් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී/ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉදිරිපත් වී ඇති බව තහවුරු නොකළ වාර්තා පවසයි. ඇ.එ. ජනපද පුරවැසි භාවය අත්හැරීමේ මූලික ක්‍රියාමාර්ගවලට ගෝඨා අවතීර්ණ වීම පිළිබඳ තීරණාත්මක ක්‍රියාව මගින් ඔහු නිශ්චිත වශයෙන්ම ජනාධිපති පොරයට ඉදිරිපත් වන්නට අධිෂ්ඨාන කරගෙන ඇති බව කියාපායි. දැන් ගෝඨාට ආපසු හැරීමක් නැත. අදාළ තීරණ ගන්නට කල් මැරීම සඳහා රාජපක්ෂ පවුලට අවකාශයක් ඉතිරිවී නැත. ඔහු ශ්‍රීලපො පෙරමුණේ හෝ ශ්‍රීලපොපෙ නායකත්වය ගන්නා සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුව ඇත. කිසියම් විධියකින් ශ්‍රීලනිප - ශ්‍රීලපොපෙ ඒකාබද්ධ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේනව නම් කරනු ලැබුවහොත් එවිට ගෝඨාභය වෙනම තරග වදිනු ඇත. එවිට මහින්දට පවුල තුළත් පක්ෂය තුළත් කැරැල්ලකට මුහුණ දෙන්නට සිදුවේ. මෛත්‍රීපාල සිරිසේන වෙනම ඉල්ලන අවස්ථාවක එමගින් එජාප විරෝධී ඡන්ද දෙකට කැඩී රාජපක්ෂ කඳවුරේ ජයග්‍රහණය වැලකෙනු ඇතැයි පසුගිය කාලයේ දේශපාලන විචාරකයෝ කීහ. එහෙත් අමතක වූ කාරණය නම් ගෝඨාභය වෙනම තරග වැදීම මගින් ඒ ආකාරයෙන්ම සිදුවී සිරිසේනට සහයෝගය දෙන ශ්‍රීලනිප ශ්‍රීලපොපෙ ඡන්ද වෙන්ව යාමේ අවදානම පැවතීමයි. එසේ කරනු ඇතැයි මම නොසිතමි. එහෙත් අවශ්‍ය අවස්ථාවක විකල්ප ප්‍රයෝග භාවිතා කිරීමට ඔහුට සිදුවනු ඇත. 

රාජපක්ෂ පවුලේ ඉකුත්දා පැවති රැස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අදාළ තීරණය ගත යුතුය යන මතයේ චමල් රාජපක්ෂ දැඩිව පිහිටා සිටියේය. අදාළ කටයුතු කිරීමට පමණට වඩා කල් ගතවී ඇති බැවින් එදින රාත්‍රියේම අවසාන තීරණයට එළඹිය යුතුය යන මතයේ ඔහු සිටි බව වාර්තා වේ. 

ගෝඨාභයට එරෙහි ඍණාත්මක කරුණු 

පවුල් සාමජිකයින් අතරේ බොහෝ ගැටලු සහගත කරුණු විවෘතව සහ සෘජුව සාකච්ඡා වූ බව දැනගන්නට ලැබී තිබේ. මැතිවරණ ප්‍රචාරයේ දී ගෝඨාභයට එරෙහිව පැන නගින තර්ක පුපුරුවා හැරිය යුතු බව එහිදී සාකච්ඡා විය. ගෝඨාභය දේශපාලන අත්දැකීම් අඩුය යන කාරණයත් දූෂණ අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කළ බවට නැගෙන චෝදනාත් සුළු ජාතික ප්‍රජාව තුළ ඔහු පිළිබඳව ගොඩනැගී ඇති අවාසිසහගත මතවාදයත් මානව හිමිකම් ක්‍රියාකාරීන් ගෝඨාට එරෙහිව නගන චෝදනාත් මාධ්‍යවලට පහර දීමේ සිට සුදු වෑන්වලින් අතුරුදන් කරවීම පිළිබඳ චෝදනාත් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම බොදු බල සේනා වැනි සංවිධානවලට ගෝඨාගේ සහයෝගය ලැබීම පිළිබඳව පැතිර ඇති මතයන් ගැනත් හමුදාවේ ඉහළ තනතුරු දරා විශ්‍රාමලත් නිලධාරින් ඔහුට දක්වන සමීපතාවයත් දේශීය හා ගෝලීය බලවේගවලින් එල්ල විය හැකි විරෝධතාත් පිළිබඳව කරුණුත් මෙහිදී සැලකිල්ලට ගැනුනේය.

බොහෝ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ඇතැම් කාරණා සම්බන්ධ තම ස්ථාවරය ගෝඨා පැහැදිලි කළේය. ගෝඨාගේ අපේක්ෂකත්වය තහවුරු කළ යුතු බවට පොදු එකඟතාවයකට පවුලේ අය පැමිණි බව දැනගන්නට ලැබුණ අතර ගෝඨාභය ඉලක්ක කරගෙන එල්ල වන දේශපාලන ප්‍රහාර හා අහිතකර විවේචන රාජපක්ෂ පවුලටම එරෙහිව එල්ල වන ඒවා බව සැලකිය යුතු බව ද අවධාරණයට ගැනුනේය.

කෙසේ වුවද තවත් විශේෂ කරුණු දෙකක් එහිදී අවධාරණයට ගැනුනේය. පළමුවැන්න ගෝඨාගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය කල්දැමීම මගින් ඇමෙරිකාව ඔහුගේ අපේක්ෂකත්වයට බාධා කරයි ද යන්නයි. දෙවැන්න ගෝඨාට එරෙහිව පවරා ඇති විවිධ නඩුය. ඒ සම්බන්ධයෙන් ඔහු නීතිමය සටනකට අවතීර්ණ වී සිටින අතර ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුවට අදාළව වරක් ඔහුගේ විදේශ ගමන් ද තහනමට ලක් වූයේ. ළඟ ළඟ ඇසෙන නඩු වාරත් වරදකරු බවට පත් කිරීම් ආදියත් ගෝඨාගේ දේශපාලන ගමනට හරස් විය හැකිය.

කෙසේ වුවද ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර විසඳෙන බව ගෝඨාගේ විශ්වාසයයි. දේශපාලන විරුද්ධවාදීන් විසින් තමන්ට විරුද්ධව පවරා ඇති නඩුවලින් නිදහස් විය හැකි බවටත් ඔහුට ඒ හා සමාන විශ්වාසයක් ඇත. ගෝඨාභයගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට යම් නීතිමය බාධාවක් අවසන මොහොතේ හෝ පැමිණියහොත් එවිට විකල්ප අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා නම් කිරීමට සිදුවේ. එවැනි වතාවරණයක් එළඹැණුහොත් ඒ සඳහා නම් කිරීමට ඉඩ ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරු චමල් රාජපක්ෂ ය.

ශ්‍රීල.පො.පෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවටත් මේ සඳහා තමාගේ පූර්ණ සහයෝගය ලැබෙන බවටත් මහින්ද අයියා සතුටින් දැනුම් දීමෙන් අනතුරුව පවුලේ හමුව ජයග්‍රාහී ලෙස නිමාවට පත් වූයේය. ඒ සම්බන්ධයෙන් පවුලේ සමාජිකයෝ ගෝඨාට සුභ පැතූහ. 

රාජපක්ෂ පවුලේ සමීපතමයන් විසින් ගන්නා ලද මෙම තීරණය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට පෙර ඒ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් හා නියෝජිතයින් ශ්‍රී ලංකා පෙ. පක්ෂයේ නායකයින්ද දැනුවත් කළ යුතු බවට තීරණය කරන ලදී. ඉන් අනතුරුව පක්ෂ ශාඛාවලටත් සමහර ආගමික නායකයින්ටත් තීරණය දැනුම් දිය යුතු බව සාකච්ඡා විය. ඒ අතරතුරම ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය සහ සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිප අතර ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධතාවක් ඇති කර ගැනීම සඳහා පවත්වන සාකච්ඡා ද ඉදිරියට ගෙන යා යුතුය.

එසේ වුවද සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂකයා නොවිය යුතුය ශ්‍රීලනිප සමග පැවැත්වෙන සාකච්ඡා මගින් හිතවාදී ඡන්ද දිනාගත යුතුය. මෙසේ කිරීම වඩාත් අවශ්‍ය වන්නේ සිරිසේන එජාපය සමග සන්ධානගතවීම හෝ වෙනම තරග කිරීම වැලැක්විය යුතුයි.

විවිධ දිස්ත්‍රික්කවල “එළිය” වැනි රැස්වීම් පවත්වමින් ගෝඨාභය සැලසුම් කළ පරිදි අපේක්ෂකත්වයට පෙරාතුව කරන ප්‍රචාරක වැඩපිළිවෙළ අඛණ්ඩව කරගෙන යා යුතු බවට තීරණය විය. මීට පෙර ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ද එවැනි රැස්වීම් පැවැත්විණි. මේ රැස්වීම් දෙකටම ශ්‍රීල.පො.පෙ පක්ෂයේ සහ එජනිස පළාත් සභිකයෝ ද ප්‍රාදේශීය සභා නියෝජිතයෝ ද සහභාගි වූහ. තුන්වැනි එළිය රැස්වීම බදුල්ලේ පැවැත්වුණු අතර ඊට විශාල සෙනගගක් ඇදී ආහ.

තීරණය වූ තවත් කාරණයක් නම් ගෝඨාභය බිම් මට්ටමේ පොහොට්වුව පක්ෂයේ සාමාජිකයන් සමග ක්‍රියාකාරකම් ඇරඹිය යුතු බවයි. ප්‍රජාවගේ ඡන්ද ඇද ගැනීමේ ව්‍යාපාරයක් ද ඇරඹිය යුතු බවට තීරණය විය. 2015 ජනවාරියේ මහින්ද රාජපක්ෂ වෙත ලැබුණු සුළු ජාතික ප්‍රජාවගේ ඡන්ද රැකගැනීම ද අරමුණු කරගත යුතු අතර දෙමළ හා මුස්ලිම් තරුණ ඡන්දත් නාගරික වෘත්තිකයන් හා ව්‍යාපාරික ප්‍රජාවගේ ඡන්දත් ලබා ගැනීමෙන් ගෝඨා ඉදිරියේ දී තම දේශපාලන ප්‍රතිවාදීන් හා විචාරකයින් බලාපොරොත්තු නොවූ විරූ ලෙස විශ්මයට පත්කරනු ඇතැයි සැලකේ.

මොනයම් අන්දමේ ප්‍රගතියක් අත්කරගෙන සිටිය ද ගෝඨාභය රාජපක්ෂ එතෙර ගමන් යන්නට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සභාවෙන් අවසර ඉල්ලා සිටියේය. සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රඳවා ගනු ලැබුවේය. ගෝඨාභය රාජපක්ෂ හා තවත් හය දෙනෙකුට එරෙහිව මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ස්ථිර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වෙමින් පවතී. මේ වසරේ මාර්තු 26 සිට අප්‍රේල් 12 දක්වා ඔහුට එතෙර යන්නට අවසර ලැබිණි. 

හමුවේදී එළඹුනු තීරණය අනුව ක්‍රියාකරමින් රාජපක්ෂවරු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකර සුපුරුදු පරිදි කටයුතු කරගෙන ගියහ. ජනතාව වික්ෂිප්තභාවයට පත්කරන ඉඟි පල කරමින් උපක්‍රමශීලී ලෙස ඔවුනට පරස්පර තොරතුරු දෙමින් රාජපක්‍ෂ පවුලේ සමහර උදවිය ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර රසවිඳ ගත්හ. ඒ අතර ඇතැම් රාජපක්‍ෂ විරෝධී කණ්ඩායම් ගෝඨාභය රාජපක්‍ෂගේ අපේක්ෂකත්වය අවතක්සේරු කරමින් තම ප්‍රචාරයන් ගෙන ගියහ.

ඉන්දියානු ට්‍රොයිකාවේ තීරණය

විවිධ වෘත්තිකයන් වාණිජ හා කාර්මික ක්‍ෂේත්‍රයේ නියෝජිතයින් සමග ගෝඨාගේ රැස්වීම් මාලාවක් මේ වන විට සූදානම් කොට තිබේ. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පළාත්වල ශ්‍රීලපො පක්‍ෂයේ නිලධාරීන් හා සංවිධායකයින් සමග ද රැස්වීම් පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව අනෙකුත් පළාත්වල ද සංවිධායකයින් සමග රැස්වීම් සූදානම් කොට තිබේ. 

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් (ක්‍උක්‍) ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා ලෙස රැස්වීමක් පවත්වා ගෝඨාභයට සහයෝගය පළකොට තිබේ. එසේම තවත් ද්‍රවිඩ දේශපාලන නායකයකු සමග ද ලබන සතියේ රැස්වීමක් පැවැත්වීමට නියමිතය. මේ යාපන දිස්ත්‍රික්කයේ  ඊ.පී.ඩී.පී. නායක පා.ම. ඩග්ලස් දේවානන්ද සමගය. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පාලනය පිළිබඳ මං සෙවීමේ පදනමක කොළඹ පැවති සමුළුවක දී විශේෂිත ඉන්දියානු නිලධාරියෙකුගේ සහයෝගය ගෝඨාභයගේ අපේක්ෂකත්වය සඳහා පළවුණු බව සැලවේ. හිටපු ඉන්දියානු ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන් එම අන්තර් ජාතික උපදේශ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස නොබෝදා කොළඹට පැමිණි විට මෙය සිදුවූ බව කියැවේ. ශිවශංකර් - යුද්ධය පැවති අවධියේ ශ්‍රී ලංකාව හා සාකච්ඡා පවත්වා ගැනීමට පිහිටවනු ලැබූ ට්‍රොයිකා නම් සාකච්ඡා සභාවේ ඉන්දියානු නියෝජිතයකු විය. 

ඔහු සමග ඉන්දියානු හිටපු ආරක්ෂක ලේකම් විජේසිංග් සහ හිටපු ඉන්දියානු ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් ඉන්දියානු ට්‍රොයිකාවට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ ත්‍රිපුද්ගල කමිටුව (ට්‍රෝයිකාව) සඳහා සහභාගි වූයේ හිටපු කැබිනට් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය.

ට්‍රොයිකා සාකච්ඡාවල දී ගෝඨාභයගේ හැකියාව සහ දක්ෂතා තමා හඳුනාගත් ආකාරය ශිවශංකර් මෙනන් මහතා විස්තර කළේය. මින්පෙර විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග පැවැත්වූ හමුවක දී ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙහෙයවීමට රාජපක්ෂලා යළි බලයට පැමිණීම නොවැලැක්විය හැක්කක් බව ඉන්දියාවේ පොදු මතය වී ඇතැයි මෙනන් මහතා පැවසීය.

නාරාහේන්පිට ශ්‍රී ගෞතම විහාරයේ පැවති රැස්වීමක දී කැබිනට් අමාත්‍ය නවීන් දිසානායක ද ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හඳුන්වා තිබිණි. මීළඟ එජාප ජනාධිපති අපේක්ෂකයා කරු ජයසූරිය විය හැකි යයි එහිදී ගෝඨාභය කියා තිබිණි. කරු ජයසූරිය මහතා නවීන් දිසානායක මහතාගේ මාමණ්ඩියයි. 

ඩී.බී.එස්. ජෙයරාජ් විසිනි 

පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ 
2019 මාර්තු 23 Daily  Mirror පුවත්පතේ පළවූ DBS ජෙයරාජ් විසින් රචිත RAJAPAKSAS CLOSE RANKS Behind Gota as Presidential Candidate  ලිපියේ පරිවර්තනයකි.