IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


අයුක්තිය යුක්තිය බිලිගැනීම

Hope never dies යනු ඇමරිකානු ලේඛකයකු වූ ඇන්ඩෘ ෂෙෆර් මහතා ලියූ රහස් පරීක්ෂක නව කතාවකි. මෙම නව කතාවේ ප්‍රධාන චරිත දෙක වනුයේ ඇමෙරිකාවේ හිටපු ජනපති ඔබාමා මහතා උප ජනපති ජෝ බයිඩන් මහතාය. බයිඩන් මහතා එරට ඇම්ට්‍රැක් දුම්රියේ ගමන් කරද්දී දැන හඳුනන මිතුරකු බවට පත්වූ ෆින් ඩොනලි නම් වූ දුම්රිය සහායකයාගේ අබිරහස් මරණයත් ඔබාමා බයිඩන් දෙපොළ එම මරණය ගවේෂණය කිරීමත් වටා කතාව ගෙතී තිබේ.

ෆින් ඩොනලි යනු මනංකල්පිත චරිතයකි. ඔබාමා බයිඩන් දෙපොල කිසි දිනක මිනීමැරුමක් ගවේෂණය කර නොමැත. එහෙත් බයිඩන් මහතා සෙනෙට් සභිකයකු ලෙස සේවය කළ දසක කිහිපයක කාලය පුරාම ඔහු තම නිවස පිහිටි විල්මින්ටන් නගරයේ සිට වොෂින්ටන් අගනුවර බලා නිතිපතා ගමන් කළේ දුම්රියෙනි. ඔහුට Amtrack  Joe යනුවෙන් තම පටබැඳුණේ ද මෙම දුම්රිය ගමන් පුරුද්ද හේතුවෙනි.

ඇමරිකාවේ පමණක් නොව ලොව බොහෝ දියුණු රටවල දේශපාලනඥයන් දුම්රියෙන් බස්රියෙන් ගමන් කිරීම සුලබය. ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් පවා අන්තේවාසිකයන් සමග වාහනවලින් මාර්ග නීති උල්ලංඝනය කරමින් අනෙකුත් මගීන්ගේ ජීවිත අවදානමට ලක්කරමින් ගමන් කිරීම වැඩිපුරම සිදුවන්නේ ලංකාව වැනි තෙවන ලෝක රටවලය.

දේශපාලන ඥාති මිත්‍රාදීන්ගේ රශ්මියෙන් රත්වී මග මරුවන් ලෙස රිය පදවන තරුණ පිරිස් අපේ වැනි රටවල දක්නට ඇති තවත් සදාචාර විරෝධී ප්‍රපංචයකි. බොරැල්ල රථවාහන පොලිසියේ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාට මරු කැඳවූයේ මෙවැනි දේශපාලන උණෙන් පෙළුනු තරුණ පිරිසක් විසිනි. මෙම මග මරුවන් රංචුවේ සුවිශේෂත්වය නම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වූ එජාපය ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ පක්ෂය යන තුනටම ඉහළ මට්ටමින් සබඳතා ඇති තරුණයන් ඊට ඇතුළත් වීමයි.

මේ සිදුවීම පිළිබඳව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලැබේ ද? යන්න බරපතළ ප්‍රශ්නයකි. මෙම සිදුවීමට අදාළ මූලික විභාගය පැවැත්වූ අවස්ථාවේ එය වාර්තා කිරීම සඳහා ඇතුළට යාමට ජනමාධ්‍යවේදීන්ට ඉඩ අහිමිවීමෙන් පෙනී යන්නේ යම් දේශපාලන හස්තයක හෝ හස්තයන්ගේ බලපෑම නොවේද?

අනතුරින් දින ගණනාවකට පසු මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට දේශපාලනඥයෝ බුරුතු පිටින් එකතු නොවූහ. ඔහු ජීවිතයක් මරණයත් අතර සටන් කරද්දී ඔහුට බෝධි පූජා සෙත් ශාන්ති කිරීමට දේශප්‍රේමීත්වය ගැන බණ කියන භික්ෂූන් ඉදිරිපත් වුූ බවක් වාර්තා නොවීය. ජනපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා (මහින්ද රාජපක්ෂ මහතා) මෙම සිද්ධිය හෙළා දැක්කේ හෝ ඉන් හෙළිවන සමාජයීය පුරුදු විග්‍රහ කළේ නැත. විනය ගැන නිතර නිතර කතා කරන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාවත් මේ විනය විරෝධී ක්‍රියාව ගැන කතා කළ බවක් වාර්තාවී නොමැත. රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවි දෙන්නට සූදානම් පිරිස් ද මේ ඛේදවාචකය මේ අපරාධය පිළිබඳව නිහඬය.

පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාට මරු කැඳවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේද ? ඔහුගේ පවුලට යුක්තියක් සාධාරණත්වයක් ඉටුවේද? නැතහොත් යුක්තිය පසිඳ නොවුණු සිදුවීම් දහස් ගණනක් අතරට මෙම සිද්ධියත් එක්වේවිද?

මෙරට දේශපාලනඥයන් යුක්තිය නීතිය ගැන කතා කරනුයේ ඉන් තමන්ට අහිතකර බලපෑමක් නොවන තාක් පමණි. මෙරට දේශපාලනඥයන් රණවිරුවන් වෙනුවෙන් ශෝකවනුයේ කෝප වනුයේ ඉන් තමන්ට වාසියක් වන තෙක් පමණි.

2012 වසරේදී ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාත් ඔහුගේ මිතුරකු වූ රෙහාන් විජේරත්න කොළඹ හෝටලයක දී හමුදා නිලධාරියකුට පහර දීමේ සිදුවීමක් වාර්තා විය. ඔවුන්ගේ පහර කෑමට ලක්වූයේ චන්දන ප්‍රදීප් නම් වූ හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකි. ලංකාවේ ජනප්‍රිය භාෂාවෙන් කියනවා නම් රණ විරුවෙකි.

සිද්ධිය අවසන් වූයේ කෙසේද? ඇමැති පුතුන් ඔහුගේ මිතුරන් නිවැරැදි වීමෙනි. බුද්ධි අංශ මේජර්වරයා වරද පිළිගෙන තමන් පවරා තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමෙනි. මාලක සිල්වාගේ පියා වූ මර්වින් සිල්වා ඇමැතිවරයා පාලක රාජපක්ෂ පවුලේ මුල් පෙළේ අන්තේවාසිකයකු විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ලියවුණුṬGota's warēනම් පොත පළකිරීමට මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ රෙහාන් විජේරත්නගේ මව සභාපතිත්වය දරන රංජන් විජේරත්න පදනමිනි. දේශපාලන සබඳතාවලට රණවිරුකම් යටවිය. දේශපාලකයන්ගේ වුවමනාව නිසා රණවිරුවා ද අවනීතියට ගොදුරු විය.

බොරැල්ලේ මාරක රිය අනතුරු පිළිබඳ කථාව ද මෙලෙසම අවනීතික නිමාවකට පත්වේ ද යන්න සැකකටයුතුය.

අවනීතිය නම් වූ පිළිකාව:

සිරිසේන - වික්‍රමසිංහ පාලනය 2015 දී බලයට පත්වූයේ රාජපක්ෂවරුන් ඉටු නොකළ යුක්තිය සාධාරණත්වය ඉටු කරන බවට පොරොන්දු වෙමිනි. එහෙත් මෙම පොරොන්දුව ඉටුවූ වාර ගණනකට වඩා ඉටු නොවු වාර ගණන බෙහෙවින් වැඩිය.

වත්මන් ආණ්ඩුව අධිකරණ ස්වාධීනත්වය යම් දුරකට ස්ථාපිත කළ බව සැබෑය. එහෙත් රාජපක්ෂ පාලනය තුළ අවනීතියට ගොදුරු වූවන්ට යුක්තිය ඉටුකිරීමට නම් වත්මන් ආණ්ඩුව අසමත්ව ඇත.

Trinco 5 යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙනුයේ 2006 ජනවාරි 2 දා රාත්‍රී 7.30 ට 8 ත් අතර ත්‍රිකුණාමල නගරයේ දී දෙමළ තරුණයන් 5 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙම තරුණයෝ 5 දෙනාම උසස් අධ්‍යාපනයක් ලබමින් හෝ සරසවියකට ඇතුළුවීමට නියමිතව සිටියවුන් වූහ. ඔවුන් එදා රාත්‍රී මුණගැසුණේ නව අවුරුදු සැමරීමටය. මොවුන් කිසිවෙකුටත් එල්.ටී.ටී.ඊ. සබඳකමක් තබා කවරාකාර හෝ දේශපාලන පටලැවීමක්වත් තිබුණේ නැත.

සිද්ධිය පිළිබඳ මූලික නඩු විභාගයේදී වාර්තා වූ පරිදි රාත්‍රී 7.35 ට පමණ ත්‍රිරෝද රථයකින් මෙම තරුණයන්ට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර ඉන් තුවාල ලද තරුණයන් වෙඩි තබා ඝාතනය කර ඇත.

බලධාරීන් මුලින්ම කීවේ මෙම තරුණයන් කොටි සාමාජිකයන් බවත් ඔවුන් ගෙනා බෝම්බයක් පිපිරී ඔවුන් මිය ගිය බවත්ය. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ සිංහල වෛද්‍යවරයා පැහැදිලිවම නිගමනය කළේ මෙම තරුණයන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

මෙම මරණවලට එවකට තෙමසක් වයසැති රාජපක්ෂ පාලනයේ සබඳතාවයක් නොතිබුණි. එබැවින් පොලිසියටත් උසාවියටත් නියාමාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ තැබීමේ හැකියාව ආණ්ඩුවට තිබුණි. එපමණක් නොවේ. මෙම තරුණයන් කොටි සාමාජිකයන් නොවූ බව ආණ්ඩු ප්‍රධානීහු දැන සිටියෝය. බැසිල් රාජපක්ෂ මහතා එවකට ඇමරිකානු තානාපතිවරයාට කළ ප්‍රකාශය විකීලික්ස් හෙළිදරව්වක් තුළ වූ කේබල් පණිවුඩයක සඳහන් වුණේ මෙලෙසය. ‘‘අපි දන්නවා එය කළේ එස්.ටී.එෆ් (විශේෂ කාර්ය සාධක බළකාය) බව. ඒ වුණාට ඒබවක් උණ්ඩ හා තුවක්කු සාක්ෂි වලින් පෙනෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ට කාවහරි මරන්න ඕනෑ වුණාම වෙනම තුවක්කු ඇති.’’

ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කිරීමේ සිද්ධියට මැදිහත්වීමට රාජපක්ෂ පාලනය තීන්දු කළේ මේ මරා දැමු​ෙව් අහිංසකයන් පිරිසක් බව දැන දැනමය. මෙම මැදිහත්වීමේ ප්‍රතිඵලය වූයේ සැකකරුවන් නිදැල්ලේ යාමත් මියගිය සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් තර්ජනයට අඩන්තේට්ටම් වලට ලක්වීමත්ය. රාජ්‍ය අනුග්‍රහය යටතේ යුක්තිය යටපත්වී අවනීතිය ඉස්මතු වූයේ එලෙසය.

සිරිසේන - වික්‍රමසිංහ පාලනය දුන් එක් ප්‍රධානතම පොරොන්දුවක් වූයේ අවනීතියෙන් පීඩා විඳි ලාංකිකයන්ට යුක්තිය ඉටු කිරීමය. එහෙත් මෙම පොරොන්දුව ඉටුවූයේ නැත. ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනා ඝාතනය කිරීමේ නඩුව වසර 13 කින් පසුවත් නිමා වී නොමැත.

අවනීතිය යනු උතුරට නැගෙනහිරට සීමා කළ හැක්කක් නොවේ. එය පිළිකාවක් මෙන් මුළු සමාජ දේහය පුරාම උඩුදුවයි. 2006 ජනවාරි 2දා ත්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනෙකු ඝාතනය වීමත් මෙම වසරේදී රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීමත් අතරැති සබඳතාව මෙම අවනීතිය නම් වූ පිළිකාවයි. තමන් නීතියට ඉහළින් සිටින බවත් තමන්ට ඕනෑම අපරාධයක් කොට ඉන් ගැලවිය හැකි බවටත් සමාජයේ ඇතැම් කොටස් තුළ ඇති විශ්වාසය මෙම ඝාතනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය.

තමන්ට මිනී මරා ගැලවිය හැකි යැයි සැකකාර පොලිස් නිලධාරීන් තුළ තිබූ විශ්වාසය නොවන්නට රත්ගම ද්විත්ව ඝාතනය සිදු නොවීමට ඉඩ තිබිණි. ඒ විශ්වාසය ගොඩ නැගුණේ රාජපක්ෂවරුන් විසින් අවනීතියට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමත් අවනීතිය යටපත් කොට යුක්තිය ඉටු කිරීමට සිරිසේන - වික්‍රමසිංහ පාලනය අසමත් වීමත් හේතුවෙනි.

රත්ගමදී ඝාතනය වූ පුද්ගලයන් දෙමළ වූවා නම් ඝාතකයන් ඔවුන්ට කොටි හංවඩු ගසා සිද්ධිය යටපත් කරනවා නිසැකය.

ඔවුන් ඉස්ලාම් භක්තිකයන් වූවා නම් ඔවුන්ට අයිඑස් හංවඩුව ගසා ඝාතනය යටපත් කරනවා නිසැකය. ඔවුන් සිංහල වූ බැවින් ඔවුන්ට පාතාල සබඳකම් ඇතැයි මතයක් පැතිරවීමට ඇතමුන් උත්සහ කළ හැටි පසුගිය දිනවල මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබුණි.
පාතාල මර්දනය යනු දකුණේ මිනිස් ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා රාජපක්ෂ පාලන සමයේ නිරන්තරව භාවිතා වූ උපක්‍රමයකි. මාලක සිල්වා හා රෙහාන් විජේරත්න හමුදා නිලධාරියකුට පහර දුන් සිද්ධියේදී ද එම හමුදා නිලධාරියාට පාතාල සබඳකම් ඇතැයි ආරංචි පතුරුවමින් ඔහු අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක් සිදු කෙරිණී.

පොලිසිය, උසාවිය, නීතිය ඇත්තේ යම් ක්‍රියා පටිපාටියක් මත පදනම්ව යමකු වැරැදි කරුවකුද? නිවැරැදි කරුවකුද? යන්න තීරණය කිරීමටයි. මෙම ක්‍රියාදාමය මුළුමනින්ම නිවැරැදි හෝ සර්ව සාධාරණ නොමැත. එහෙත් රටක පාලකයන් හෝ හමුදාව හෝ පොලිසිය නීතිය සියතට ගෙන යමකු හිතුමතයට වරදකරු කොට ඔහුව/ඇයව මරා දමන ක්‍රමයකට වඩා නීතියේ පාලනය අනන්ත වාරයක් සාධාරණය. ආරක්ෂා සහිතය.

ජාති ආගම් බේද ඉක්මවන අවනීතියේ තර්ජනය

පාලකයන් නීතිය අතට ගැනීමේ තත්ත්වයක් තුළ අවනීතිය රජයන තත්ත්වයක් තුළ ආරක්ෂාවට පත්වනුයේ සුළු ජාතිකයන්, ආගම්වාදීන් පමණක් නොවේ. සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. බලැත්තන්ට පවා බලය අහිමි වූ විට අවනීතික සමාජයක් තුළ ආරක්ෂාවක් නොමැත.

සිව්වන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරීමට ඉමහත් මෙහෙයක් කළ ජෙනරාල්වරුන් දෙදෙනකුට අත් වූ බෙහෙවින් සමාන ඉරණමෙන් මේ බව මැනවින් පැහැදිලි වේ.ජනරාල් පරාක්‍රම පන්නිපිටිය යනු නැගෙනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදාගැනීමට නායකත්වය දුන් නිලධාරියෙකි. ඔහුත් එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකා මහතාත් අතර මතබේදයක් වූ බව ප්‍රසිද්ධ රහසකි. සරත් ෆොන්සේකා මහතා යනු එවකට ලංකාවේ සිටි බලගතුම පුද්ගලයන් තිදෙනාගෙන් තෙවෙනියාය කීම අතිශයෝක්තියක් නොවේ. මෙම බල ත්‍රිත්වයේ අනෙක් දෙදෙනා වූයේ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත්ය.

2008 දී ජනරාල් පන්නිපිටිය මහතාගේ ආරක්ෂාව හදිසියෙන්ම ඉවත් කෙරිණී. කොටි සංවිධානයේ ඝාතන තර්ජනවලට මුහුණ දී සිටි ඔහුට රටේ පාලකයන්ගෙන් උදව්වක් නොවිය. ඔහුට තිබූ එකම හව් හරණය වූයේ අධිකරණයයි. 2008 පෙබරවාරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ජනරාල් පන්නිපිටිය මහතාගේ අහිමිකළ ආරක්ෂාව මෙන්ම ඔහුට කොළඹින් නිල නිවාසයක් ද ලබා දෙන්නැයි නියෝග කළේය. නියෝගය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා මෙලෙස කියා සිටියේය. ‘අපි වෙනුවෙන් අපි’ කියලා මාධ්‍යවලින් පැය භාගෙන් භාගෙට කියවනවා. නමුත් පෙත්සම්කරු වැනි පුද්ගලයන්ට තමන්වත් නැහැ. (ඩේලි මිරර් 1.3.2008)

කතාව එතැනින් නිමා වූයේ නැත. 2008 මුල් භාගයේදී ජනරාල් පන්නිපිටිය මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිනි. ඒ නිදන් හෑරීමේ චෝදනාව මතය. අවනීතියට ත්‍රිකුණාමලයේ දෙමළ සිසුන් 5 දෙනකු පමණක් නොව ලංකා හමුදාවේ ජනරාල්වරයෙකුත් බිලිගත හැකි බව මින් පැහැදිලි විය.

2009 මැද භාගයේදී පොලිසිය පන්නිපිටිය මහතාට එරෙහි චෝදනා ඉවත් කරගත් අතර ඔහු නිදහස් කෙරිණි. මෙම හදිසි වෙනස්වීමට හේතුව කුමක්දැයි පොලිසිය ප්‍රකාශ නොකළ ද එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය වූයේ නැත. 2009 මැද භාගය වන විට යුද්ධය නිමාවී රාජපක්ෂ-ෆොන්සේකා බල ත්‍රිත්වයේ ඉරිතැලීම් හටගෙන තිබුණි. යුද්ධයේ ජයග්‍රහණයේ කීර්තියෙන් කොටසක් ජනරාල් ෆොන්සේකා මහතාට අවශ්‍ය වුවද ඒ කීර්තිය ඔහු හා බෙදා ගැනීමට රාජපක්ෂ සොහොයුරෝ කැමැති නොවූහ. රාජපක්ෂ සොහොයුරන්ගේ සහාය අහිමිවීමත් සමඟ ෆොන්සේකා මහතාටද තමන් මෙතෙක් භුක්ති විඳි අසීමිත බලය ද අහිමි විය. ජනරාල් පන්නිපිටිය මහතා නිදහස ලැබූවේ මේ තත්ත්වය තුළය.

2010 පෙබරවාරි වන විට ෆොන්සේකා මහතා බොරු චෝදනා මත අත්අඩංගුවට පත්ව තිබිණී. නිමල් ගාමිණී අමරතුංග විනිසුරුවරයා කීවාක්මෙන් ඒ වන විට ඔහු පත්ව තිබුණේ තමන්ට තමන්වත් නැති තරම් අසරණ අඩියකටය.

2010 පෙබරවාරි 13 දා රජයට අයත් ඬේලි නිව්ස් පුවත්පත සමඟ කළ සාකච්ඡාවක දී ෆොන්සේකා මහතාට අත් වූයේ තම සැමියාට කළ දේට කර්ම විපාකයක් බව ජනරාල් පන්නිපිටිය මහතාගේ බිරිඳ කියා සිටියාය. ජනරාල් පන්නිපිටිය මහතාටත් ජනරාල් ෆොන්සේකා මහතාටත් අත්වූ ඉරණමට වගකිව යුත්තේ කර්මය නොව අවනීතියයි. නීතියේ පාලනය නොමැති රටක කිසිම පුද්ගලයකු ආරක්ෂිත නොවන බව ඔවුන්ගේ ඉරණමෙන් පැහැදිලි වේ.

සිරිසේන-වික්‍රමසිංහ පාලනය තුළ අවනීතිය ක්‍රියාත්මක වීම අවම වුවද අතීතයේ වු අවනීතියික සිදුවීම්වලට යුක්තිය ඉටුකිරිමක් වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ තමන් නීතියට ඉහළ යැයි සිතා කටයුතු කළවුන් තවමත් නීතියේ රැහැනින් ගැලවී සිටීමයි. මැතිවරණ හරහා හෝ ඉන් පරිබාහිරව සිදුවන බල වෙනස්කම් තුළින් යළිත් වතාවක් අවනීතිය රජකරවීමට මෙවැනි පුද්ගලයන්ට ඉඩ ලැබිය හැකි වනු ඇත.

අවනීතිය පිළිබඳව කතා කිරීමේ දී වැදගත්ම කාරණය නම් එහි ගොදුර වන්නේ දෙමළ, මුස්ලිම් ලාංකිකයන් පමණක් නොවන බවත් සිංහලයන්ට ද එම ඉරණමට අත්විය හැකි බවත්ය. රත්ගම මිනීමරුම් වලින් පැහැදිලි වනුයේ එම යථාර්ථයයි. රණවිරුවන් ලෙස පුද ලබන්නවුන් පවා අවනීතියේ ගොදුරු බවට පත්විය හැකිය. ජනරාල් පන්නිපිටිය, ජනරාල් ෆොන්සේකා හා මේජර් චන්දන ප්‍රදීප් යන මහත්වරුන්ගේ කතාවලින් ඔප්පු වනුයේ මෙම සත්‍යයයි. අවනීතිය දෙමළ සිසුවකුව මෙන්ම රථවාහන පොලිස් පරික්ෂකවරයකුව ද එකලෙස බිලිගත හැක. ලංකාව තුළ අවනීතිය පවතින තාක් කිසිදු ලාංකිකයකු ආරක්ෂා නොවේ.

වතුර ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක යෙදුණු සිංහල ජනතාවට ත්‍රස්තවාදීන් ගනයට සලකා වෙඩි තැබීමට, පන්න පන්නා පහරදීමට රණවිරුවන් මැලි නොවන බව රතුපස්වල සිද්ධියෙන් අනාවරණය විය. ඒ වෙඩි තැබීම පිළිබඳව ද යුක්තිය ඉටුවීමක් තවම සිදුව නැත. මේ පිළිබඳව නඩු විභාගය නිසියාකාරව පැවැත්වූවා නම් මෙවැනි ක්‍රියාවකට අණ ලැබුණේ කෙ​ෙලස ද? කාගෙන්ද? යයි රටට හෙළිදරව් කිරීමේ අවස්ථාව තිබුණි. සත්‍යය මුළුමනින්ම හෙළිදරව් නොවූ විට යුක්තිය වල් වැදුණු විට අනාගතයේදීද මෙවැනිම දෑ සිදුවීම වළකාලන්නේ කෙසේද?

ඊළඟ ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස කිහිපයක කාලයක් පමණි. වැරදුණු තැන් හදාගන්නට ආණ්ඩුවට ඉඩක් නැති තරම්ය. එහෙත් බොරැල්ල රථවාහන පොලිස් පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන්වත් දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකර නීතිය ක්‍රියාත්මක වීමට ආණ්ඩුව ඉඩ හැරියහොත් රාජ්‍ය අනුග්‍රහය සහිත අවනීතිය යළිත් ප්‍රතිනිර්මාණය වීම වළකා ලීමේ වැදගත්කම ඉන් පිළිබිඹු වනු ඇත.

දේශපාලනයේදී පල දෙන්නේ කළකම් පමණක් නොවේ. දේශපාලනය තුළ කළ යුතු දේ නොකිරීමද බරපතළ වරදකි. රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වූ අවනීතියට ගොදුරු වූවන්ට යුක්තිය ඉටුකිරීමටත් ඒ හරහා එවැනි අවනීතික තත්ත්වයක ඇති භයානකකම රටට හෙළිදරව් කිරීමටත් වත්මන් පාලනය අසමත්ව ඇත. ඒ නොකළ කම්වලට පලදීම වැඩි ඈතක නොවේ.

තිසරණී ගුණසේකර



අදහස් (8)

අයුක්තිය යුක්තිය බිලිගැනීම

ජයරත්න Thursday, 21 March 2019 07:55 AM

ඉතාම හරවත් සමබර විග්‍රහයක්.

:       0       40

ආරියපාල Thursday, 21 March 2019 11:40 AM

රටේ නීතිය වල් වැදී ඇති අන්දම ගැන අපූරු විග්‍රහයක්. ඒත් මේවා පාලයින්ගේ ඇස නොගැටෙනවා නොව ඔවුන් ඒවා තඹ සතයකටවත් ගනන් නොගන්නා බවයි දැනෙන්නේ.

:       0       62

sam Thursday, 21 March 2019 02:37 PM

කොන්ද කෙලින් තියන් මේ වගේ ලිපි පලකරන නිසා අපි තවමත් ලංකාදීප කියවනවා

:       0       63

pradeep Thursday, 21 March 2019 06:53 PM

මේක ඉතාම හොඳ ලිපියක්. කලාතුරකින් තමා මේවගේ එකක් කියවන්න ලැබෙන්නේ. නමුත් ගැටලුව තමා, මේවා කියවලා ඉගෙනගන්න තරම් හැකියාව සහ මානසික නිදහස තියෙන කීයක් ඉන්නවද කියලා.

:       0       201

ධනුෂ්ක Friday, 22 March 2019 02:05 AM

අැත්තටම මට පුදුමයි සහ සතුටුයි මෙහෙම ලියන මිනිස්සු ලංකාවේ ඉන්න එක ගැන. මුදලට තනතුරුට බලයට යට නොවැනි ඔබ වැනි මිනිසුක් 100ක් හිටියොත් අැති මේ ලංකාව හදන්න. රටේ බුද්ධිමත් ජනතාවගේ උත්තමාචාරය ඔබට හිමි විය යුතුයි. අපි ලංකාදීපය කියවන්නේ රටේ වෙන අැත්ත දේ දැනගන්න. ලංකාදීපය කිවනකොට අපට මේ පත්තරේ පැත්තකට බර බවක් දැනෙන්නෑ. හැබැයි සමහර පුවත්පත්නම් එක එක පක්ෂ වලින් පල කරන පක්ෂයේ නිල පුවත්පත වගේ. අනික හැමදාම කාටහරි බොරු අපහාසයක් කරලා පහුවෙනිදට සමාව ඉල්ලලා නිවරදි කිරීමක් පල කරනවා. සන්නිවේදනය පිළිබඳ කිසිම වගකීමක් සදාචාරයක් නෑ.

:       0       67

damayanthi peiris Friday, 22 March 2019 08:45 PM

ගැඹුරින් සිතා බැලුවොත් කර්මයම තමයි සියල්ලටම මුල.

:       3       0

sandy123 Saturday, 23 March 2019 08:25 AM

ඉතාමත් කාලෝචිත ලිපියක්. තිසරණී ගුණසේකරට මගේ ප්‍රණාමය.

:       0       56

W. A. Gamini Fernando Monday, 25 March 2019 06:36 AM

ලාංකික සමාජයට අනවශ්‍ය ලෙස දේසපාලන අතපෙවිම නිසා වන විනාසය යම්තාක් දුරට විග්‍රාහ කරනු ලබයි.

:       0       22

ඔබේ අදහස් එවන්න

කොලම

ඖෂධ ප්‍රමිති පරීක්ෂණ අත්හැරියේ කාගේ වුවමනාවටද?
2024 ජුනි මස 15 122 0

මේ රටේ ජනයා කොයි කලෙක කළ පාප කර්මයක් ගෙවා දමමින් සිටින්නේද යන ප්‍රශ්නය යළි යළිත් මතු කිරීමට සිදුවී තිබේ. සාමාන්‍යයෙන් රටක ජනතාවක් මුහුණ දිය යුතු නැති ද


රටට ඔබින ආර්ථික දැක්මක්
2024 ජුනි මස 14 141 0

ජනාධිපතිවරණය කැඳවීම සඳහා ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන බලයට අනුව ලබන මාසයේ (ජූලි) 17 වැනිදායින් පසුව රටේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා ගොන


අයවැයෙන් වූ දේ දැනගැනීම ජනතාවගේ අයිතියක්
2024 ජුනි මස 14 68 0

අපේ රටේ ආර්ථිකයේ හැසිරීම් රටාව තේරුම් ගැනීම පවා ඇතැම් විට අපහසුය. ආර්ථිකය බරපතළ ගැටලු රැසකින් පීඩා විඳිමින් සිටින බවත් ඒ ඇතැම් අසීරුතා මගහරවා ගැනීමට


රටට හානිකරවන නිලධාරි කඹ ඇදිලි
2024 ජුනි මස 13 78 0

මහජනයාගේ මුදල් අවභාවිත කිරීම, සොරකම් කිරීම, නාස්ති කිරීම තරම් බරපතළ සාපරාධයක් තවත් නොමැත. එහෙත් අනාදිමත් කාලයක සිට මේ රට තුළ ඒ සියල්ල බරපතළ ලෙස සිදුවෙම


මාධ්‍ය නිදහස වෙනුවෙන් දුන් ඓතිහාසික නඩු තීන්දුවක්
2024 ජුනි මස 12 791 1

තොප්පියක් පැළද රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළු වුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝ


ළමා නිවාස දැරියන් විකුණද්දී බලධාරීහු අහකබලා සිටියෝද?
2024 ජුනි මස 11 836 1

සමාජ සාරධර්ම බරපතළ ලෙස නාය යමින් තිබෙන ශාපලත් යුගයක් වෙත අපි පැමිණ සිටින්නෙමු. නැතහොත් එම යුගය උදාවීම වේගවත් වී තිබෙන්නකි. එකක් පසුපස එකක් වශයෙන් වාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3021 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site