අභියෝග ජයගත් මිනිස්සු

ලංකාවේ අංක එකේ ව්‍යවසායකයෙකු වන 
ධම්මික පෙරේරා ඉරිදා ලංකාදීපය සමග කළ පිළිසඳර

 

 

ලාංකීය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ අංක එකේ චරිතයක් ලෙස ඔහු හඳුනා ගත හැකිය. ව්‍යාපාර ජාලයක් හිමි මහ පුරුකක් වන ඔහු ධම්මික පෙරේරා යැයි ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. ප්‍රකෝටිපති ව්‍යවසායකයකු ලෙස ඔබ ඔහු හඳුනාගෙන සිටින බව සැබෑවකි. එහෙත් ධම්මික පෙරේරා යනු ඒ ප්‍ර​කෝටිපති ව්‍යවසායකත්වයට එහා ගිය දැනුමින් පොහොසත් වූ චරිතයකි. ආර්ථිකයෙන් සන්නද්ධ වීමට වඩා දැනුමින් පොහොසත් වීමේ පිපාසයෙන් කටයුතු කරන ඒ මහා ව්‍යවසායකයා ධම්මික පෙරේරා, ඉරිදා ලංකාදීපයට විශේෂිතව ලබාදුන් පිළිසඳරකි මේ. ඔහුගේ මෙම අදහස් කාලිනව සමාජයට වඩාත් ගැළපෙන්නේ යැයි අපි විශ්වාස කරමු.


ජිවිතය දැනෙන්න පටන් ගත්තෙ මොන වයසේදීද?


වයස අවුරුදු 11 සිට කිව්වොත් නිවැරැදියි.


එදා කොහොමද ජීවිතය දැනුණෙ?


සමහරක් දෙනාට බොහෝ දේ කරන්න පුළුවනි. ඒත් එයාලා නොකර ඉන්නවා. මට එය වැටහුණේ පොඩි කාලයේදීමයි. මහන්සි වෙලා වැඩ කළොත් උඩට එන්න පුළුවනි. ඉගෙනීම එහි එක කොටසක් කියලා විශ්වාස කළා.


හොඳින් ඉගෙනීමේ අරමුණුද එදා ඔබට තිබුණෙ?


ඉගෙනීමම තමයි.


ඉගෙන ගෙන කවුරු වෙන්න ඕනෑ කියලද හිතුවෙ?


ඉංජිනේරුවෙක් වෙන්න.


ඒකට විශේෂ හේතුවක් තිබුණද?


අපේ පවුලේ ඔක්කොටම වගේ ගණන් තමයි වැඩිපුර පුළුවන්.


ඒ පවුලේ ගණන් වලට දක්ෂතා පෙන්වූ ඔක්කෝම කී දෙනෙක්ද?


මල්ලිලා දෙන්නයි, නංගියි, මමයි. අපි හතර දෙනාටම ගණන් පුළුවනි. එය අම්මා තාත්තා දෙදෙනාගේ සංකලනයෙන් ආ දෙයක් වෙන්න ඇති.


වෙලාවෙ, ඉරණමේ මොනවද ලියැවිලා තිබුණෙ?


ඒ ගැන දන්නේ නැහැ. එකම අභිප්‍රාය වුණේ මහන්සි වෙලා වැඩ කිරීමයි.


පාසල් ගමන කොහොමද?


මුලින්ම පාසල් ගමන පටන් ගත්තේ අනුරාධපුර කෑඳෑරත්මලේ පාසලෙන්. ඉන් පසුව අලුත්ගම විද්‍යාලයටත්, හොරණ තක්ෂිලාවටත් ගියා. එතැනින් මොරටු සරසවියට ප්‍රවේශය ලබා ගත්තා.


සරසවි ජීවිතය ගැන සිහිපත් කළොත් ?


මම සරසවි ජීවිතය පටන් ගත්තේ 87 - 89 කාලයේදීයි. ඒ කාලයේ දී රටේ කලබල පැවැති නිසා වැඩි හරියක්ම වගේ සරසවි වහලා තිබුණෙ. ඒ නිසා සම්පූර්ණව පාඨමාලාව නිමා කරන්න ලැබුණේ නැහැ. සරසවියෙන් එළියට එන්න සිද්ධ වුණා.


එළියට බැහැලා ?


කටුබැද්ද කැම්පස් එකට හැරෙන තැන තිබුණ විශාඛා හෝටලය ඔබට මතක ඇති. එහි හිමිකරු වුණේ මම. උසස් පෙළ කරන සිසුවෙක්ව සිටි අවධියේදීම තමයි මම ඒ ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වෙලා හිටියෙ.


එතරම්ම තරුණ වයසේදී (19 දී) හෝටලයක් කළමනාකරණය කළේ කොහොමද?


ඒක ඉතින් පරම්පරාවෙන්ම ආ දෙයක්. එදා එහි සේවකයින් 40ක් විතර සේවය කළා. ඔවුන් එක්ක කටයුතු කළේ ගෙදරින් ආ කළමනාකරණ පුරුද්ද නිසයි. ආර්ථික කළමනාකරණය අපට ගෙදරින් ලැබුණු දෙයක්. මම කිව්වනෙ මගේ ජීවිතය හැරවුණේ අවුරුදු 11 දී කියලා. එදා අවුරුදු 11 දි අම්මා මට එය පුරුදු කරලා තිබුණෙ. එතකොට මම හිටියෙ හයේ පංතියෙ. අම්මා මට රුපියල් 300 ක් දුන්නේ. මාසයම කළමනාකරණය කර ගන්න කියලයි. වැඩිපුර වියදම් කරගන්න බැහැ. එහෙම කළොත් වැඩිදුර සතයක් වත් දෙන්නෙ නැහැ. ඒ නිසා කළමනාකරණය කියන දේ එදා සිට පුරුදුවුණා.


එ් තරුණ්‍යයේ දී එදා රටේ තිබු කලබල හමුවේ ඔබට තිබු මානසිකත්වය මොන වගේද?


රටේ කලබල එක්ක, මම කලබල වෙන්න ගියේ නැහැ. එදා ඒ විදියෙ අරගලයක් ඇති වුණේ ඇයි කියලා හිතුවා. සමාජයේ එහෙම දෙයක් එදා ඇති වුණේ දුප්පත්කම නිසයි. සරසවි යන ළමුන් බහුතරයක් විප්ලව කරන්න පටන් ගන්නවා. එයින් ඉගෙන ගෙන එළියට ආපු අය ඔක්කෝමලා වගේ ධනවාදය කරනවා. ඒ පරතරය මම දැක්කා. සමාජවාදී සහ ධනවාදී කඳවුරේ වෙනස මට තේරුණේ එදා. ඉගෙන ගත්තාම මිනිස්සුන්ගේ අතට සල්ලි එනවා. සල්ලි අතට ආවාම සමාජවාදය ගැන හිතන්න යන්නෙ නැහැ.


ධනවාදයේ අන්තිම විග්‍රහයත් එහෙම වෙන්න පුළුවනි. අද මට සිද්ධ වෙලා තියෙන්නේ යම්තාක් විදියකට සමාජවාදය ගැන හිතලා සමාජයට යමක් කරන්න.


ඒකට හේතුව?


ලංකාවේ 19 ත් 23 ත් අතර ළමුන්ගෙන් සියයට 8 ක් විතරයි සරසවි යන්නේ. අනෙක් සියයට 92 කේන්ද්‍ර ගත වෙන්න කම්කරු සහ ගොවි කටයුතු ආශ්‍රිතවයි. මගේ පුද්ගලිකත්වයට වඩා අපේ රටේ යැපීම සඳහා මෙයින් කොටසක් භාවිතා කරන්න වෙනවා. දියුණුව කියන්නෙ ධනවාදය. දුප්පත්කම කියන්න සමාජ වාදය. ඒ නිසා තව සියයට 50 ක් වත් සරසවි යවන්නේ නැත්නම්, අනෙක් සියයට 40 වෘත්තීය පාඨමාලා සඳහා යොමු කරවන්නේ නැත්නම්, අපට ඉදිරියට යන්න බැහැ. ඉගෙන ගත්තේ නැත්තම් දිගටම සමාජවාදයට තමයි.
අපේ රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 යි. පොහොසත් කියලා කියන්නේ එ්ක පුද්ගල ආදායම 12,000 ක් වූ පසුවයි. දැන් එහෙම නම් අපි බලන්න ඕනෑ කොහොමද 4000 තුන් ගුණයකින් වැඩිකර ගන්නේ කියලයි.


එ්ක කරන්න නම්?


ඔක්කෝමලා උගත්තු කළ යුතුයි. ඒ කියන්නේ අර මා කිව්ව විදියට සරසවි වලට සහ වෘත්තිය පාඨමාලා සඳහා යොමු කළ යුතුයි. එදා වගේ නෙවෙයි. අද තියෙන සමාජ තත්ත්වය අනුව අනිවාර්යයෙන්ම සරසවි යන්න ඕනෑ. සරසවි නොගිය උගත්තු ඉන්නවා.


ඒත් සහතිකය නැතුව අද පිළිගැනීමක් නැහැ.


සරසවි ගිහින් වසර 4 ක් ඉගෙන ගත්ත අයට වඩා සමාජයෙන්ම ඉගෙන ගත්ත බුද්ධිමත් අයත් ඉන්නවා. දැන් ලංකාවේ තියෙන සරසවි සඳහා ඇතුළත් කර ගන්නේ 30,000 ක් විතරයි. ඒත් මම කියන්නේ එය 1,80,000 දක්වා වැඩි කරන්න ඕනෑ. රට දියුණු කරන්න තියෙන ප්‍රධානම දේ රටේ මේ තියෙන ප්‍රමාණයට වඩා තවත් සරසවි නිර්මාණ කිරීමයි. දැන් තිබෙන සරසවි ප්‍රමාණය මදි. එක පාරට 1,80,000 ක් ශිෂ්‍යයින් යවන්න බැරි නම් 60,000 දක්වා හෝ වැඩි කර ගන්න ඕනෑ. ඉතිරි 1,20,000 දෙනා පුද්ගලික සරසවි වලට යවන්න රජය ණය මුදලක් ලබා දිය යුතුයි. දියුණු වෙමින් පවතින සහ දියුණු රට වල ශිෂ්‍ය ණය කියලා ක්‍රමයක් තිබෙනවා. මේ ක්‍රමය හරි සරලයි. එය ක්‍රියාත්මක කිරීමට දැන් කාලය එළැඹිලා.


නමුත් උපාධි ගත්ත බොහෝ දෙනා ප්‍රායෝගික නොවනවා කියලා මතකයකුත් සමාජයේ තියෙනවා?


එහෙම වෙලා තියෙන්නේ අපේ රටේ උගන්වන විදිය නිසානෙ. වෙනත් රටවල උපාධි පාඨමාලා සඳහා ළමුන් යොමු කර වන්නෙ පර්‌යේෂණ කරලයි. අඩු පඩි ලබන රැකියා වෙනුවට වැඩි පඩි ලැබෙන සහ ලෝකයේ මෙන්ම සමාජයේ ඉල්ලුම වැඩි අංශ වෙනුවෙන් යොමු කළ යුතුයි. එ් විදියට තමයි ඩොලර් 4000 ඒක පුද්ගල ආදායම 12,000 දක්වා වර්ධනය කරගෙන තිබෙන්නෙ.


මේ විදියට අදහස් දක්වන ඔබට එදා ජීවිතය දැනෙන්නෙ පටන් ගත්තේ වයස 11 දී කියලා කිව්වා. ජීවිතය හැරවුණේ කොතැනින් ද කියලා ඇහුවොත්?


වයස 11 දීම තමයි. පවුල් පසුබිම ඊට හේතුවුණා. එදා මගේ සීයා තමයි පයාගල පැත්තෙ ලොකු පොහොසතා. අපේ අම්මගෙ මල්ලිටත් කොළඹ ව්‍යාපාර තිබුණා. ඒ පරිසරය මම දකිමින් හිටියේ. ඒ නිසා පොඩි කාලයේ ඉඳලම ව්‍යාපාර මට අමුතු දෙයක් වුණේ නැහැ.


ඒ විදියට හැරවුණු ජීවිතය සමාජගත වී සමාජයේ චරිතයක් වෙන්න පටන් ගත්තේ කොතැනින්ද?


මම එක දෙයක් කියන්නම්. මේ සෑම දෙයක්ම වුණේ මගේ ඉගෙනීමත් එක්කයි. අදට වුණත් මගේ ප්‍රියතම විනෝදාංශය වෙන්නෙ, ලෝකයේ එක් එක් සරසවි වලට ගිහින් එහි සිටින හොඳම ආචාර්යවරු මහාචාර්යවරු හමු වී කතා බහ කර දැනුම ලබාගැනීමයි. පැය හතරක් පහක් මම ඒ විදියට විද්වතුන් එක්ක පිළිසඳරේ යෙදෙනවා. එයින් මා දැනුම්වත් වෙනවා.


බොහෝ දෙනා විනෝදාංශයට කරන්නෙ සංගීතය චිත්‍රපට ක්‍රීඩා නැරඹීම වැනි දේ? ඒත් ඔබ ඊට වඩා හරි වෙනස්?


විශ්වාස කරන්න. එක දිගට චිත්‍රපටයක් නරඹා ඇත්නම් ඒ අවස්ථා දෙකකදී විතරයි. සංගිතය අහලා නැහැ. ඒත් ඇහිලා තියෙනවා. හැබැයි මම වේදිකා නාට්‍ය නරඹන්න යනවා. ඒ වගේම ප්‍රාසාංගික වේදිකාවේ සජීව සංගීත වැඩසටහන් නරඹන්නත් යනවා. මට ඒවා වඩාත් දැ​නෙන්නේ සජීවීව නැරඹුවාමයි.


දවස පටන් ගන්නා විදියක් කියමු?


උදේ 6 ට විතර අවදි වනවා. විනාඩි 15 ක විතර ශාරීරික ව්‍යායාම් කරනවා. 6.30 ට උදෑසන ආහාරය අරගෙන කාර්යාලයට යනවා. සවස 5 දක්වා ඒ විදියට කටයුතු කරන අතරේ එයිනුත් පැය දෙකක් විතර ඉගෙනීමට යොමු කරනවා. දවස පටන් අරගෙන නින්දට පෙර ජීවිතයට අලුත් දෙයක් ලැබී නැත්නම් එදාට සුපුරුදු නින්ද මට එන්නෙ නැහැ. එතකොට ඒක හරි හිස් දවසක්. ඒ නිසා අඩුම තරමින් පැය දෙකක් වත් අලුත් දේ දැන ගැනීම වෙනුවෙන් කාලය වෙන්කරනවා.


සමාගම් ජාලයක ප්‍රධානියා ලෙස සාකච්ඡා වලට ලැහැස්ති වෙන්නෙ කොහොමද? ඒවා ඔක්කෝටම සහභාගී වන්න වෙලාව තියෙනවද?


ඒ එකක් වත් කළමනාකරණය කරන්න මම යන්නේ නැහැ. මෙතැන මගේ මේ කාර්යාලය දෙස බලන්න. මෙතැන කිසිම ව්‍යාපාරයක් නැහැ.මම බලන්නේ මොන වගේ අලුත් දේ අපේ සමාගමට ගෙනෙන්න පුළුවන් ද කියලයි. ඒ වෙනුවෙන් සෙවීම් බැලීම් සහ පර්​ෙය්ෂණ කිරීම් මිසක දිනපතා ව්‍යාපාර වල නියැළීමේ ක්‍රමයක් මට නැහැ. ඒ නිසා කාලය මට ප්‍රශ්නයක් නොවෙයි.


වැඩක් කරන්න මට ඕනෑ තරම් වෙලාව තියෙනවා. ඒ කාලයෙන් ප්‍රයෝජන අරගෙන ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිකිරීමේ ක්‍රමයට විසඳුම් සෙව්වා. එහෙම හිතලා ඒ පණිවුඩය සමාජයට දුන්නා.


ඒ ගැන කෙටි විග්‍රහයක් කළොත්?


අපි කෘෂි කර්මාන්තය ගනිමු. ගොවිතැන් කරන අයගෙ ළමුන් ගොවිතැනටම යොමු කළ යුතු නැහැ. එයාලට හොඳට උගන්වලා වෙනත් අංශයකට යොමු කරවීම වැදගත්. එතකොට තමුන්ගේ ගොවිතැන් කරන ඉඩම් ඕනෑ නම් අඳේට දෙන්න පුළුවනි. ඉඩම් ප්‍රමාණය සහ ආදායමත් ඒ නිසා වැඩි කර ගන්න පුළුවනි. අද මිලියන 8 ක් වැඩ කරන ජනතාව අතරින් මිලියන දෙකක් විතර නියැළී සිටින්නේ ගොවිතැන හා ධීවර කර්මාන්තය ආශ්‍රිතවයි. දියුණු රටවල මේ තත්ත්වය වෙනස්. ධීවර හා ගොවිතැන් වල යෙදෙන්නෙ 6 % ක් විතර ප්‍රමාණයක් විතරයි. දියුණු රටක මේ ගොවි පවුල් වල ළමුන් හතර දෙනෙක් සිටිනවා යැයි අනුමාන කරමු. එයින් තුන් දෙනෙක්ම හොඳට ඉගෙන ගන්නවා. ඉන් පසු ඔවුන් කරන්නේ වෙනත් රස්සා.


ඊළඟට අපේ ධීවර කර්මාන්තය දෙස බලමු. ලංකාවේ බහු දින ධීවර යාත්‍රා 5000 ක් තිබෙනවා. යාන්ත්‍රික (මෝටර්) බෝට්ටු 21,000 ක් සහ මෝටර් රහිත බෝට්ටු 23,000 ක් මෙන්ම වැව් ආශ්‍රිතව ඔරු 6000 ක් විතර තිබෙනවා. මේ විදියට නියැළී සිටින ධීවරයාගේ ආදායම තුන් ගුණයකින් වැඩිකර ගන්න නම්, රජය ඔවුනට සැහැල්ලු ණයක් ලබා දිය යුතුයි. බහු දින යාත්‍රාවක් සතු ධීවරයාට එවිට තවත් යාත්‍රාවක් මිලදී ගත හැකියි. එවිට යාත්‍රා සංඛ්‍යාව දෙකක් කර ගන්න පුළුවනි. මේ නිසා සම්පත් කළමනාකරණය කිරීම දෙගුණ තෙගුණ කර ගත හැකියි. පුද්ගලයාගේ සංවර්ධනය වගේම රටට ලැබෙන ආදායම පෙරට වඩා ගුණ කරගත හැකිවන්නේ එවිටයි. ඒ වගේම දිනපතා ඔරු යොදාගෙන කර්මාන්තයේ යෙදෙන අයට බහු දින යාත්‍රා ගැනීමට උදව් දිය හැකියි. ඉන් පසුව අලුත් ධිවර වරායන් වෙත ඔවුන් යොමු කරවන්න පුළුවනි.මේ ක්‍රමයට සමගාමීව අලුතින් ධීවර වරාය තැනීමෙන් වඩා ඵළ නෙළා ගන්න පුළුවනි.


ඔබ කියන්නේ ධීවර හා කෘෂි කර්මාන්තය වෙතින් ලංකාවට ප්‍රමාණවත් අස්වැන්න නෙළා ගන්න පුළුවන් කියලද?


කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය අනිවාර්යයෙන්ම අපි තබා ගත යුත්තේ අපේ ප්‍රධාන ආහාර රටාව වෙනුවෙන්, හැබැයි එහි නියැළී සිටින මිලියන දෙකක පිරිසගේ දරුවන්ගෙන් 60 % ක් හෝ 70 % කට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මෙන්ම ඉතිරි පිරිසට හොඳ වෘත්තිය පුහුණුවක් ලබාදීම කළ යුතුයි. එවිට එයාලා උගෙන ගත් තාක්ෂණය එක්ක ඔවුන්​ගේ මව්පියන් නියැළී සිටි කර්මාන්ත ඔවුනට පෙරටත් වඩා දියුණු තාක්ෂණයක් එක්ක නගාසිටුවන්නත් හැකි වෙනවා. ඇමෙරිකාව වගේ රටක් උදාහරණයට ගෙන බලමු. ජනගහනයෙන් 79 % ක් සේවා කටයුතු සඳහා යොමු කර ඇති අතර, 20 % ක් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ 1 % ක් වැනි ප්‍රමාණයක් ගොවි කටයුතුවල නිරතයි. මොකද කෘෂි කර්මාන්තය බේරා ගන්න නම් ධනවාදී වෙලාම බැහැ. අර මා කී විදියට සමාජවාදයේ කොටසක් සිටින්න ඕනෑ. ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යොදවනවා. මේ සෑම රටක්ම ආර්ථික වර්ධනය කියලා බලන්නේ අලුතින් රැකියා නිර්මාණය කිරීමයි. එසේ නොමැතිව විශ්‍රාම ගිය පසු ඒ තැනට තව කෙනෙක් අනුයුක්ත කිරීම නොවෙයි. ලංකාවේ ජනගහනය 2,20,000 කින් වැඩිවෙනවා. ඒ ප්‍රමාණයට අලුත් රස්සා 88,000 ක ප්‍රමාණයක් අලුතින් ​නොලැබුණොත්, එසේත් නැත්නම් අලුත් රස්සා නිර්මාණය කර නොතිබීම නිසා රට ආපස්සට යනවා. රට ආපස්සට යනවා වගේ කියලා අපට නිතරම වැටහෙන්නෙ ඒ නිසයි. දැන් රටේ සිද්ධ වෙන්නේ ඒ ස්වභාවයයි. ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩනොකරන තාක් අපට සිද්ධ වෙන්නේ මේ සිටින තැනම කේන්ද්‍රගත වෙන්නයි. මා නිතරම පවසන්නේ ඒක පුද්ගල ආදායම වැඩිකර ගන්න විදිය ගැනයි. කර්මාන්ත ගැන කතාකිරීමේදී 2018 දී ඇමෙරිකාව රට ඇතුළේ කර්මාන්ත ශෘලා නගා සිටුවී​මේ අරමුණ ඇතිව ආනයනික භාණ්ඩ සඳහා 25 % ක වැඩිපුර බද්දක් පවා ඇති කළා.


කොහොම වුණත් අපේ රටේ ආණ්ඩුවට ජනතාවට ණය දෙන්න බැහැ. මොකද ආණ්ඩුව ලෝකෙටම ණයයි?


අපි විතරක් නොවෙයි, ලෝකයේ සෑම රටක්ම ණයයි. ණය කියන්නේ ප්‍රශ්නයක් නොවෙයි. ප්‍රශ්නය වෙන්නෙ ණය අරගෙන සංවර්ධනය සඳහා ඒ ණය හරියට යොදවලා තියෙනවද කියන එකයි.

 

 

ඒ කියන්නේ අපේ රටට ණය ප්‍රශ්නයක් වුණේ එය නිවැරැදිව භාවිත නොකළ නිසා කියල ද ඔබ හිතන්නේ.


ණය ආධාර ගත්තාම රටක් කළ යුතු ප්‍රධාන දෙයක් තිබෙනවා. එනම් ප්‍රධානවම රටේ ගුවන් තොටුපොළ දියුණු කිරීමයි. ඒක හරියට අපි ගෙදරට ඇතුළු වන විට තියෙන ප්‍රධාන දොරටුව වගෙයි. එනම් රටේ ප්‍රධාන ගුවන් තොටුපොළ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නම් ඒ රට අකර්මණ්‍ය වෙනවා. මේ නිසා ගුවන් තොටුපොළ දියුණු කිරීම වගේම එහි කටයුතු කාර්යක්ෂම කළ යුතු වෙනවා. රටේ පලාලි, මඩකළපුව, නුවර, හම්බන්තොට, කොග්ගල, වැනි ප්‍රදේශ වලට ගුවන් තොටුපොළ කටයුතු රට ඇතුළේ නිතරම ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර බජට් ගුවන් යානා සේවාව ක්‍රියාත්මක කරවන ප්‍රධාන තැන (හබ්) ඉවට පත් කර ගන්න පුළුවනි.


ශ්‍රී ලංකාව වගේ පුංචි රටකට රට ඇතු​ළෙ ගුවන් ගමන් වැඩි කිරීමෙන් ඵලදායි වේවි කියලා හිතනවද?


ඊට හොඳම උදාහරණය අසල් වැසි මාලදිවයිනයි. එය කඩා දූපත් කීපයකින් සමන්විත රටක්.


ඒ දූපත් අතරේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 4 ක් විතර ස්ථාපිතයි. දිනකට ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක් එහි සිට ක්‍රියාත්මක වෙනවා. එහෙම නම් අැයි අපට බැරි අඩු තරමින් මගින් 50 බැගින් යන බජට් ගුවන් සේවය රට ඇතුළේ අරඹන්න. ඒ නිසා රට ඇතුළේ සහනදායි මිලකට ගුවන් සේවාවක් තිබිය යුතුමයි.


එවිට ව්‍යාපාරික ක්​ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර වල සිටින අයට වගේම සංචාරක ක්ෂේත්‍රයටත් ඒ ක්‍රමය ඉතා පලදායි වෙනවා. උදාහරනයට අපි රථයකින් යාපනයට යන්නේ කියලා හිතමු. ගමනට පැය 8 ක් වැය වෙනවා. නවතින්න තැනක් ඕනෑ. රියදුරුට ගෙවන්න වෙනවා. ඉන්ධන වලට තව මුදලක් වැය වෙනවා. ඒ සියලු දේ එක්ක වාහන ට්‍රැෆික් එකටත් මුහුණ දෙන්න වෙනවා. ඒ සියලු දේ සැසඳීමේදී යාපනයට යාමට රුපියල් 40,000 ක් පමණ වැය වේ නම් බලන්න බජට් ගුවන් සේවයකින් සහනදායී මිලකට යාපනයට යාමට වැය වන්නේ රුපියල් 12,000 ක් කියලා. එවිට සෑම අංශ්‍යකින්ම ඵලදායි බවක් තමයි ලැබෙන්නේ. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන් පැය 3 කට වඩා මහා මාර්ගයේ ගමන් ගන්න කැමති නැහැ. පැය අටක් වැය වෙන ගමන එක් පැයකින්ම කරන්න පුළුවනි. එය ඉතා වාසි දායක දෙයක්. මේ නිසා ඒ ඒ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරක කර්මාන්​තයේ ඉහළ දියුණුවක් ඇති වෙනවා. ටැක්සි සේවා සහ තවත් සේවා ඇති වී ඒ පළාත් වටා තවත් බොහෝ දෙනාට රැකියා අවස්ථා පවා කරගෙන යා හැකියි. ඒ වගේම පරිපාලනමය කටයුතු මීට වඩා ක්‍රමවත් විදියට කළ හැකියි.


ඒ ගැන පැහැදිලි කළොත් ?


රියැදුරු බලපත්‍රය ගන්න, හැඳුනුම්පත ගන්න, මේ වගේ සියලු දේ වෙනුවෙන් ඇයි අපි කොළඹ එන්නේ. ප්‍රධාන අවහ්‍යතා ඇති පරිපාලනමය කටයුතු කාර්යක්ෂමව කර දීමට දිස්ත්‍රික්කයට එක බැගින් ප්‍රධාන පරිපාලනමය කටයුතු ස්ථාපිත කළොත් ඒ ප්‍රශ්නය විසඳෙනවා. ප්‍රධාන රෝහල් සෑම දිස්ත්‍රික්කයකම සියලු පහසුකම් සහිතව ස්ථාපිත කළොත්? ඒ ප්‍රශ්නෙටත් විසඳුම් එනවා. ඊළඟට පාසල් ගනිමු. උදේට නගරයේ ඇයි මෙච්චර ට්‍රැෆික් තියෙන්නේ. රථ වාහන වැඩි නිසයි. එහෙම නම් කොළඹට ප්‍රවිශ්ඨ වෙන ප්‍රධෘන මාර්ග දිගට ජනප්‍රිය පාසලක ශාඛා පිහිටුවහොත් එය වඩා පහසුවක් වෙනවා. එවිට ඈත දුර පළාතක සිට ළමුන්ට කොළඹ එන්නම ඕනෑ නැහැ.


ඇයි අපේ රටේ මේ විදියට සැලසුම් ක්‍රියාත්මක නොවන්නේ?


බලධාරීන් ඒ ගැන අවධානය යොමු කර නැති නිසයි. දුප්පත්කම නැති කරන්න නම් අපට මේ වගේ සැලසුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි. මම මේ විදියට අදහස් ප්‍රකාශ කරන්නේ රටවල් 71 ක විතර ක්‍රියාත්මක වෙන විදිය ගැන හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. නිදසුනකට මලයාසියාව ගත්​​තොත් 50 % ක් සරසවි අධ්‍යාපනයට යොමු කර තිබෙන අතර 40 % ක් වෘත්තිය පාඨමාලා සඳහා යොමු කර තිබෛනවා. ඕස්​ට්‍රේලියාව පවා ඒ විදියයි. මිනිසකු හට ජීවත්වීම සඳහා රස්සාවක් ගැන කියා දිය යුතුයි. එහෙම නොදුන් නොත් ඔහු කොහොමද හොඳ වැටුපක් ලබන්නේ? වසර පහකට වගේ කාලයක් සඳහා කවුරු හරි ඇවිත් මේ විදියට ප්‍රායෝගික වෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. ඇත්තම කිව්වොත් අපට තිබෙන්නේ තීන්දු 10,000 ක් ගැනීම විතරයි.


ඔබ අද මේ විදියට කතා කරන්නේ ලබා තිබෙන දැනුම සහ ශක්තිමත් ආර්ථික ස්ථාවරය නිසයි. මේ ගමන එද්දි එදා ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?


විශ්වාස කරන්න, මට අභියෝග නැහැ. ඒකට හේතුව මම යම් දෙයකට අවතීර්ණ වීමට පෙර තියෙන අභියෝග මොනවද හඳුනාගෙන එන්නේ. ඒ නිසා මම අවතිර්ණ වෙන්නේ විසඳුමත් එක්කයි. මම මේ වෙලාවේ අපේ රට ගැන කතා කරන්න පෙර රටවල් හැත්තෑ ගණනක් ගැන දැන ගෙන සොයා බලා තමයි අදහස් දැක් වුයේ. මම නිතරම බැලුවේ තියෙන ව්‍යාපාර ගැන නොවෙයි.


කොහොම වුණත් මේ විදියට ව්‍යාපාර කරගෙන යාමේදී දේශපාලන හයිය තිබෙන්න ඕනෑය කියා සමහරු විශ්වාස කරනවා. දේශපාලන හයිය ඕනෑ නේද?


මට දේශපාලනික වශයෙන් පක්ෂයක් නැහැ. තියෙන ආණ්ඩුවට උදව් කරගෙන මගේ දැනුම ලබා දීම නිරන්තරයෙන් සිදු වෙනවා. මම දන්නා දේ කොයි ආණ්ඩුවටත් කියා දීම මගේ යුතුකමක්.


රටේ ජනතාව නැවතත් භීතියට පත් වෙලා. මේ තත්ත්වය ඔබට දැනෙන්නේ කොහොමද?


මේක ඇත්තටම ආරක්ෂක ප්‍රශ්නයක්. ඒක පිරිසිදු කළොත් නව ගමනක් යන්න පුළුවන් වේවි. ඒ ගමන යන්න හරි තැනකට එන්න ඕනෑ. මෙන්න මෙතැන තමයි අපේ රටේ හැරවුම් ලක්ෂය නැතිනම් ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ආර්ථිකය දියුණුවට ගෙනියන්න.


​මෙය ලොකු අවස්ථාවක් කර ගන්න පුළුවනි.


ඔබ දකින විදියට මේ මොකක්ද වුණේ ?


ආගම් කීපයක් තියෙන රටවල් කොහොමද ජීවත් විය යුත්තේ කියා අපට සසඳන්න වෙනවා. කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල් ගනිමු. ආගම් බො​ෙහා්මයි. ඒත් අනෙක් අයගේ ආගම් ගැන කතා කරන්න බැහැ. ආගම් ගැන කතා කිරීම තහනම්. එහෙම කළොත් වසර 2 ත් 6 ත් අතර හිරේ යන්න වෙනවා. ඒ කාලයේදී ඒ මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරනවා. ඕනෑම රටක සියයට 0.1 % ක් මේ විදියට හැසිරෙනවා. අපේ රටේ ජනගහනයට සාපේක්ෂව 2100 පමණ දෙනා මේ විදියටආගම් අන්තවාදීව හැසිරෙනවා. එවිට නීතියක් ගෙනැල්ලා දඬුවම් නොකළොත් මේ වගේ ප්‍රශ්න ඇති වීම වළක්වා ගන්න බැරි වේවි.


දේශපාලනයට එන්න කියා ඔබට බොහෝ ඉල්ලීම් තිබෙනවා නේද?


මම විශ්වාස කරන විදියට රටක යාන්ත්‍රණය ගෙනි යන්නේ ඒ රටේ ජනපතිවත්, අගමැතිවත් නොවෙයි. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වුණාට එක්සත් ජනපදයේ භාණ්ඩාගාරයේ ලේකම් වෙන්නේ ස්ටීවන් ටර්නර් මනීචන්. ඔහු කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහු තමයි යාන්ත්‍රණය වෙන්නේ. මම දේශපාලනයට ආවොත් අර මා කියු වැඩ 10,000 (දස දහස) කරන්න බැරිව යාවි. ප්‍රතිපත්ති සම්පාදනය කරන කෙනා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්ට තමයි අපේ රටේත් යාන්ත්‍රණය ගෙන යන්න පුළුළුන් වෙන්නේ. මම හිතන්නේ ඒ විදියටයි. දේශපාලනය නම් මට ගැළපෙන්නේ නැහැ.


බොහෝ දෙනා උත්සාහ ගන්නේ ඔබ වගේ පොහොසතකු වීමටයි. එහෙම වෙන්න නම් ඔක්කෝටම කලින් හොඳට ඉගෙනීම් කළ යුතුයි. ඉගෙනීම ධනය කියලා පොඩි කාලයේදීම අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපේ කාලයේ දී දැනුම ගන්න අද වගේ අවස්ථා තිබුණෙ නැහැ. දැනුම සොයා යන කෙනාට අන්තර්ජාලය හොඳටෝම ප්‍රමාණවත්. ඉන්ර්නෙට් කියන කොටම අම්මලා බය වෙනවා. දරුවන්ට ඉන්ටර්නෙට් යන්න දෙන්නේ නැහැ. හැබැයි මම නම් මගේ දරුවන්ට ඒ තහංචිය දැම්මෙ නැහැ. අවුරුදු 3 ඉඳලාම එයාලා ඉන්ටර්නෙට් භාවිත කරනවා. සෑම අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වෙතින් ළඹයින්ට ගැළපෙන පැකේජයක් ගැනීම නිසා එය ළමයින්ට වගේම මව්පියන්ටත් භාවිත කරන්න පුළුවනි. මම කළේ එයයි.


ළමුන් ගැන කතා කරද්දී අපි කැමැතියි දැන ගන්න. ඔබට ඔබගේ දරුවන් එක්ක ගත කරන්න කාලයක් තියෙනවද කියලා?


 මම මුලින්ම කිව්වේ මට වෙලාව දා ගන්න පුළුවන් කියලා. හැමදාම සවස 6 න් පසුව මම දරුවන් එක්ක ගෙදර සිටින්නෙ. සෙනසුරාදා ඉරිදාත් ඒ විදියයි. එවිට එයාලට තාත්තා දැනෙනවා. තාත්තා එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ මගින් එයාලාට ලොකු විශ්වාසනීයත්වයක් ගොඩනැගෙනවා. ඇත්තටම මිනිහකුට වැඩ කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා. ඉරිදා සෙනසුරාදාත් මම වැඩ කරන්න ගියොත් මගෙන් මේ ධාරිතාව එන එකක් නැහැ. කෙහොමටත් හරියට වැඩක කරන කෙනෙකුට සති අන්තයේ විවේකය තමන්ගේ ශරීරය විසින්ම ඉල්ලන දෙයක්.


විවේකයට ඇත්තටම ඔබ ​මොනවද කරන්නේ?


දැනුම සොයා යාමට මම හරි කෑදරයි. මට නිතරම තියෙන්නේ දැනුමේ පිපාසය. අලුත් දේ ඉගෙනීමට පුදුමාකාර ආසාවක් මට තියෙන්නේ.


ලංකාවේ ලොකුම පොහොසතකු ලෙස නින්දට යද්දී දැනෙන හැඟීම මොන වගේද? 


මම නිතරම හිනා වෙලා ඉන්නේ ඇයි දන්නවද? මේ කිසි දෙයක් බදාගෙන ජීවත් නොවන කෙනෙක් නිසයි. මේ කිසිවක් බදාගෙන නැති නිසා බැඳිම් නැහැ. මේවා ඔක්කොම බදා ගත්තොත් බැඳීම් වැඩියි. දුක එන්නේ එවිටයි. මට වේදනාව එන්නේ අඩුවෙන්. මොකද බැඳීම් අඩු නිසා. අත්හැරීම මගේ විදියයි. මම වගේ කෙනෙකුට වේදනාව ගෙන දෙන ප්‍රශ්න බොහෝමයි. ඒත් මම ඒවා බදාගන්නේ නැහැ. එහෙම වුණොත් දුකකින්ම තමයි ජීවත්වෙන්ව වෙන්න.


අඩු පාඩු ඔබ වෙතින් වෙන්නෙම නැද්ද?


අඩු පාඩු වෙනවා නම්, ඊළඟ විනාඩියේදීම මම ඒ අඩුපාඩුව හදා ගන්නවා. මනුෂ්‍යයින් වෙතින් නිරන්තරයෙන් අඩුපාඩු වෙනවා.


එ්ත් ඒවා හදානොගන්න එක තමයි තියෙන ලොකුම අඩුපාඩුව.


ජීවිතය කියලා කියන්නේ මොකක්ද? ඒ ගැන ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?


සැම අාගමකම දිව්‍ය ලෝකය සහ අපාය ගැන කියා දෙනවා. කෙනෙකු දුප්පත්ද? පොහොසත්ද? කියන එක ප්‍රශ්නය නොවෙයි. දිව්‍ය ලෝකයත් අපායත් හදා ගන්න පුළුවන්. තමුන්ටමයි එතැනදී ආර්ථිකය බලපාන්නේ නැහැ. අඳින ඇඳුම් කෑම ටික බෙහෙත් ටික ගන්න රෝහල තිබේ නම් මම හිතන්නේ ඕනෑම කෙනෙකුට දිව්‍ය ලෝකය හදාගෙන ජිවත් වෙන්න පුළුවනි. මනුෂ්‍ය ආත්මය බැඳීම් එක්ක එන දෙයක්. ඒ බැඳීම් අඩුකර ගන්න තරමට ජීවිතය හරිම සැහැල්ලුයි.


මේ ආ ගමන දෙස ආපසු හැරී බලද්දී ඔබට ඔබ ගැන හිතෙන්නේ කොහොමද?


ලෝකයේම තියෙන දේ අධ්‍යයනය කළත්, මා සතු ඒ දැනුමෙන් ප්‍රයෝජන නොගන්නා සමාජයක ජීවත් වෙන තවත් මනුෂ්‍යයෙක්. මට මේ රටේ බොහෝ දේ හදන්න පුළුවනි. ඊට දායකත්වය දෙන්න පුළුවනි. ඒත් සමාජය මම දන්නා දේ වෙතින් ප්‍රයෝජනයක් නොගන්න බව තමයි මට පෙනෙන්නේ.


මේ මොහොතේ රටට ඔබ දෙන පණිවුඩය?


අපේ රටේ සල්ලි තියෙන පවුල්


වල උදවිය වෙත විශේෂ පණිවඩුයක් දෙන්න මම කැමැතියි. ඔබගේ දියණියට ඔබ ලබා දෙන ලොකුම දෑවැද්ද වන්නේ මිල මුදල් නොවෙයි. දෑවැද්ද ලෙස ඔබ ඔබගේ දියණියට ලබා දිය යුත්තේ සරසවි අධ්‍යාපනයයි. එයින් බලාපොරොත්තු වන්නේ ඇය රැකියාවක් කළ යුතුය කියලාම නොවෙයි. ඇය සරසවි අධ්‍යාපනයෙන් ලබාගත් ඒ දැනුම ඇයගේ දරුවන් හරියට හදා ගන්න භාවිත කරන්න පුළුවනි. දුප්පත් පවුල්වල මව්පියන්ට මා ලබාදෙන උපදේශනයත් එයයි. තමාගේ දියණිය, පුතු සරසවි යවනවාමයි කියන අදහස ඇතිව ක්‍රියාත්මක වෙනවා නම් එය ඉතා හොඳයි. විශේෂයෙන් සල්ලි තියෙන පවුල් වල අය තම දියණියට සරසවි අධ්‍යාපනය ලබා දිය යුතුමය කියා මා යෝජනා කරනවා. ඇයට ලබා දෙන ඉහළම දෑවැද්ද එයයි. ඒ වගේම අපේ රටේ ජනතාවට තියෙන්නේ දේශපාලනය ගැන කතා බහ කිරීම හෝ ඒ පිටුපස දිවීම නොවෙයි. ඒවා කරන අය කරාවි. කරුණාකරලා තමන්ගේ දරුවන් සරසවියට යැවීම වෙනුවෙන් කැප වෙන්න. ඒක තමයි රටේ ජයග්‍රහණය වෙන්නේ.

 

 

 

පිළිසඳර : සඳුන් ගමගේ
ඡෘයාරූප : චානුක කුලසේකර