මළ ගිය ඇත්තන් ජීවත් වන්නන්ට පාඩම් උගන්වන්නා මෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය ද අද වන විට අපට බොහෝ පාඩම් කියා දී ඇත.   


ජාති, ආගම්, දුප්පත්, පොහොසත්, වයස් භේදයකින් තොරව පැතිර යන කොරෝනාව නගර ගම් බිම් මට්ටමෙන් පමණක් නොව ලෝකයේම බලවත් රාජ්‍යයන් පවා දුබල කිරීමට තරම් ප්‍රබල වී ඇත. කොරෝනා රෝග බිය නිසා අද වන විට අප රටේ ද බොහෝ පිරිසක් මානසිකව පීඩා විඳිති. කායිකව රෝගී වන අවස්ථාවේ දී රෝගියෙකුට ලැබෙන දයාව, කරුණාව, අවධානය මෙන්ම රැකවරණය මානසිකව රෝගී වූ අවස්ථාවේ දී අපට නොලැබී යන්නේ සමාජය තුළ මානසික රෝගී තත්ත්වය පිළිබඳ ඇති අනවබෝධය නිසාය. එම නිසාම අපි කොරෝනා වසංගතයත් සමග ඇති වූ මනෝ සමාජීය බලපෑම පිළිබඳ තොරතුරු සොයා ගියෙමු.   


දැනටමත් මනෝ සමාජීය බලපෑම ජන ජීවිතයට කරුණු ගණනාවක් ඔස්සේ බලපෑම් කිරීමට පටන්ගෙන ඇත. ඉන් ප්‍රධානම කරුණ වන්නේ මෙතෙක් කලක් අප විඳිමින් ගෙවූ ජීවිතයට තිත තබා කොරෝනා වෛරස් රෝගයට ගොදුරු නොවී සිටීමේ මූලික අභිප්‍රාය සහ මූලික අවශ්‍යතා කිහිපයකට පමණක් අවදානය යොමුව ඇත. කොටින්ම සඳහන් කළහොත් වෛරස් ව්‍යාප්තියත් සමග පුද්ගල ජීවන දැක්ම මුළුමනින්ම වෙනස් වී ඇත.   


ඦපුද්ගලයා මුහුණ දී ඇති අනෙක් ප්‍රධානම ගැටලුව වන්නේ වර්තමාන තත්ත්වය හමුවේ අනාගතය පිළිබඳ බියක් අවිනිශ්චිත භාවයක් දැනීමට පටන් ගැනීමයි.   


පොදුවේ අප රටේ බහුතර පිරිසක් මුහුණ දුන් තවත් ගැටලුවක් වී ඇත්තේ කලකිරීම, එපා වීමේ ස්වභාවයට පත් වීම, නිසි ප්‍රතිකාරයක් නොමැති මෙම වෛරස් ආසාදනය කොයි මොහොතේ දී තමාට වැළඳේ ද යන්න අවිනිශ්චිත බියයි. මෙම භයානක වෛරසය තමට මෙන්ම තමාගෙන් තම දරුවන්ට වැඩිහිටියන්ට වැලඳේ ද යන්න බියෙන් පසුවෙති.   


සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක සමාජ දුරස්ථභාවය හේතුවෙන් එකිනෙකා හමුවීම, සාද පැවැත්වීම මෙන්ම තමාගේ කැමැත්ත පරිදි පන්සලකට, පල්ලියකට යෑම පවා සීමා වීමේ වටපිටාවක දී පුද්ගලයා තව තවත් හුදෙකලා වීමෙන් මානසික ආතති තත්ත්වයකට පත්ව ඇත. අනෙක් අතට ක්‍රියාශීලීව සමාජශීලීව සිටි අයට ද තම ක්‍රියාකාරී ජීවන රටාවට තිත තබා අලස ජීවන රටාවකට හුරු වෙමින් සිටිති.  


මනෝ සමාජීය බලපෑමට ලක්වන්නන්ට ඇති වන වෙනස්කම්.


ජිවිතය ගැන, රෝගය ගැන, ආර්ථිකය ගැන පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන් කාංසාමය තත්ත්වයකට ගොදුරු වීම,  


නුරුස්සන ස්වභාවය, අනවශ්‍ය රෝ බියකින් පසුවීම නිසා අනවශ්‍ය ලෙස වැඩපොළවල නිරත වීම.  


 හුස්ම ගැනීමේ අපහසුතාව
 දහඩිය දැමීම
 කෑම අරුචිය,  


‘‘මට මැරෙන්න හිතෙනවා’’ කියන සිතුවිල්ල වරින් වර ඇති වීම,   


විශාදය තත්ත්වයට පත් වීමෙන් නින්ද නොයෑම, කෑම ගැනීමේ ප්‍රමාණය අඩු වීමෙන් කෙට්ටු වීම, නින්දෙන් බිය වී අවදි වීම වැනි තත්ත්වයන්ට පත්විය හැක. මෙවැනි තත්ත්වයන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා ඕනෑකමින් කළ යුතුය.   


වළක්වා ගැනීමේ පියවර.   


සෑම විටම රෝගය පිළිබඳ නිවැරදිව තොරතුරු දැන ගැනීමට උත්සහ දැරිය යුතුය. 

 
තම හැකියාව පරිදි පෝෂ්‍යදායී ආහාරයක් ගැනීමට උත්සාහ දරන්න. එසේ නොවීමෙන් ඔබ ප්‍රතිශක්ති ඌණතාවයන්ට පත්විය හැක. ජීවිතයේ කඩා වැටීම් මෙන්ම ජයග්‍රහණ ද ඇති බව සිතා එළැඹි ඇති අවස්ථාවට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දෙන්න. 

 
ආර්ථික අතින් ඔබට යම් ප්‍රශ්නයක් ඇති නම් සහන සලසන ආයතන, ස්ථාන පුද්ගලයන් වෙත යොමු වීමට උත්සහ කරන්න. කිසිවිටෙකත් එවැනි දෙයකට ලැජ්ජාවක් ඇති නොකර ගන්න.

   
සෞඛ්‍ය අංශයන්ගෙන් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපදිමින් තමන්​ගේ ආරක්ෂාව මෙන්ම අන් අයගේ ආරක්ෂාව කෙරෙහි ද නිරතුරුව සිතා බලා කටයුතු කරන්න. (දෑත් සේදීම, මුඛ ආවරණ පැලඳීම සමාජ දුරස්ථභාවය වැනි)  


 ඔබට යම් මානසික ප්‍රශ්නයක් ඇති නම් එය අන් අය දැන ගන්නවාට අකමැති නම්, ඔබ රෝග පාලනය වෙනුවෙන් මේ වෙනකම් ප්‍රතිකාරයක් කර නොගෙන පීඩා විඳිනවා විය හැක.   


එවැනි අවස්ථාවක ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1926 ක්ෂණික ඇමතුම් සේවාවෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට උත්සාහ කරන්න.   


ඔබට ඇති මානසික ගැටලුවලට උපදෙස් 1926 කෙටි පණිවිඩ සේවාවෙන් ද ලබා ගත හැක. (උදෑසන 8 සිට සවස 4 දක්වා ක්‍රියාත්මකය.)   


ආරම්භයේ සිට මේ දක්වා මෙම ප්‍රතිකාර සේවාවට ඇමතුම් 40,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉකුත් කොරෝනා සමයේ දී පමණක් මානසික සහනයක් අවැසිව ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 12,000-14,000 ත් අතර අගයක් ගෙන ඇත. සියදිවි හානිකර ගැනීමට ගිය ජීවිත 220 ක ප්‍රමාණයක් වළක්වා ගැනීමට ද මෙම සේවාව මගින් හැකිව තිබේ.   


අප රටේ මානිසක රෝග වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ මානසිකව රෝගී වූ කල ප්‍රතිකර සොයා යාම ප්‍රතික්ෂේප කිරීම සහ අනවශ්‍ය බියකින් පසුවීමයි. කායිකව රෝගී වූ කල අත්බෙහෙතේ සිට විශේෂඥ වෛද්‍යවරයා දක්වා සොයාගොස් ප්‍රතිකාර ගත්ත ද මානසිකව රෝගී වන අපට ඒ ගැන සැබෑවටම අවබෝධයක් නැත. එහෙයින් එදිනෙදා ජීවිතයේ ඇති වන සරල මානසික​ රෝගී තත්ත්වයේ සිට ජීවිත හානි කිරීම් සියදිවි නසා ගැනීම් දක්වා පැතිරෙන උග්‍ර මානසික රෝගී තත්ත්වයන් හඳුනාගෙන, හැකි ඉක්මනින් නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම කළ යුතුය.

 

 

සටහන 
අසුන්තා එදිරිසූරිය