කාලාන්තරයක් පුරා සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න රාශියකින් පීඩා විඳින සමාජයක් බවට ලාංකීය සමාජය පත්ව ඇත. ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුම්වත්කමක් නොමැතිවීම, මානසික අසහනයන් ඇතුළු මනෝ විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක කරුණු ගණනාවක් මෙම පීඩාවට හේතු වී ඇත. එහෙත් මෙම ප්‍රශ්න ගැටලු‍ හමුවේ ඒ සියල්ල දරාගනිමින්, ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන පිරිසක් මෙන්ම එයට ඔරොත්තු නොදෙන තවත් විශාල පිරිසක් ජිවිතය, ජීවත් කිරීම වෙනුවට ජිවිතයෙන් පලායාම තෝරා ගෙන සිටිති.   


1995-96 කාලයේ සිය දිවි නසා ගැනීම් සම්බන්ධව ලෝකයේම පළමුවෙනි හා දෙවැනි ස්ථානවල සිටි ශ්‍රී ලාංකීය සමාජය, අද වන විට රට තුළ සිය දිවි නසා ගැනීම් වර්ධනය අඩුවුව ද, ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී. ලාංකීය සමාජය තුළ වර්ෂයකට අවම වශයෙන් සිය දිවි නසා ගැනීම් තුන් දහසක් පමණ නිල වශයෙන් වාර්තාවෙයි.   


මෙම කරුණු පවසන්නේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය රාගම ශික්ෂණ රෝහල, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා ය.   
මිනිසුන් ජිවිතයෙන් පලා යන්නේ ඇයි? සියදිවි නසා ගැනීම්වලට හේතු සාධක වර්ග 2 ක් තිබේ. එනම් මනෝ විද්‍යාත්මක කරුණු සහ සමාජ විද්‍යාත්මක කරුණු ය.   
විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික අසහනය. මානසික රෝග ගත්විට විශාදය, පෞරුෂත්ව ඌණතා රෝග, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, භින්නෝන්මාදය, ද්විද්‍රව උන්මාදය නැතහොත් බයිපොල රෝගය වැනි ප්‍රබල මානසික රෝග වැනි මනෝ විද්‍යාත්මක කරුණු සහ මානසික අසහනය, ප්‍රේම සම්බන්ධතාවන් බිඳ වැටීම, රැකියාව අහිමි වීම, තම දරුවකුගේ ලෙඩ රෝග නිසා තාවකාලිකව මතුවෙන මානසික අසහනය කෙනෙකුට ජීවිතය එපා කරවන පීඩාවන් අතර වෙයි.   


එසේම ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, වෛද්‍ය උපදෙස් ගැනීම පිළිබඳව අනවබෝධය මෙන්ම විශේෂ අවස්ථාවන් වන එක් රටක සිට වෙනත් රටකට ගොස් රැකියාවක් කිරීම වැනි සමාජ විද්‍යාත්මක කරුණු ද ජීවිතය ප්‍රබල ලෙස කලකිරවන දේ බවට ඇතැම් සිත් තුළ පවතී. කෙසේ වුවද මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු දෙකම එකට එක්වීමෙන් සියදිවි නසා ගැනීම් ඇතිවෙන බව විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පෙන්වා දෙයි.   


මවක් සිය පණ මෙන් සුරකින තම දරුවාට වස පොවා සිය දිවි නසා ගැනීමේ පුවත්, දහසක් ප්‍රාර්ථනා මැද සිතට තුරුලු කරගත් ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා අහිමි වීම නිසා දරාගත නොහැකිව සිය දිවි නසා ගත් පුවත්, පාසලේදී ගුරුවරුන්ගේ අවවාදයකට, සම වයසේ වුන්ගේ කෙළි කවට බසක් දරාගත නොහැකිව සියදිවි නසා ගත් දරු දැරියන් ගැන පුවත්, ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව ජීවිතය නසා ගත් පුවත් මේ ආදී සිත මහත් සේ පීඩාවට පත්කරන පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු.   


සංඛ්‍යාත්මකව ගත්විට ලංකාවේ වසරකට කොපමණ සියදිවි නසාගැනීම් වෙනවද?   


විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගෙන් අපි විමසුවෙමු.   


“ලංකාවේ සංඛ්‍යා ලේඛනවලයි ගැටලු‍ව තියෙන්නේ, අපි ගොඩක් වෙලාවට පොලිසියට වාර්තා වෙන මරණවලින් තමයි සියදිවි නසාගැනීම් අපි ගණනය කරන්නේ. එතකොට වෙන රටවල වගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේදයකින්, සිස්ටම් එකකින් මේ තරම් සංඛ්‍යාවක් සියදිවි නසාගන්න උත්සහ කළා, මේ තරම් සංඛ්‍යාවක් සියදිවි නසාගෙන ජීවිතය නැති කරගත්තා කියලා අපිට වාර්තා නැහැ. එතකොට පොලීසියෙන් අන්තිමට මෝචරියේදී මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරියා මරණයට හේතුව දෙන එක සියදිවි නසා ගැනීමක් හැටියට තීරණය කරපු ඒවා තමයි පොලිසියෙන් සියදිවි නසා ගැනීම් ලෙස සලකන්නේ. එතකොට අපිට මරණයට හේතුව සැක සහිත අවස්ථා, අපි දන්නේ නැති අවස්ථා, නඩු අහනකම් ඒ හේතුව නිගමනය නොකරන අවස්ථාවල ඒ ටික අරගොඩට එකතු වෙන්නේ නැහැ.   


නමුත් දැනට පොලිසියට ලැබෙන මරණ වාර්තා අනුව අපි ලෝකයේ සියදිවි නසා ගැනීම් පිළිබඳ ඉහළම ප්‍රතිශතයක් තියෙන රටක්. ඒකේ පළවෙනි කාරණය තමයි 1995 - 1996 වෙනකොට ලේකයෙම පළවෙනි සහ දෙවැනි ස්ථානවල තමයි අපි හිටියේ. ඊට පස්සේ මේ සිය දිවි නසා ගැනීම් පිළිබදව ලෝකයේ ඉහළම අගයක් අපි ගන්න හේතුව හින්දා, ඒ පිළිබදව හැදූ ජනාධිපති කාර්යසාධක බළකාය මගින් කරන ලද වැදගත්ම දෙයක් තමයි අර කෘෂි රසායනික ද්‍රව්‍යවල තියෙන, මරණීය සාන්ද්‍රණය අඩු කිරීම.   
වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පෙන්වා දෙන අන්දමට මේ වන විට ගොවින්ගේ සිය දිවි නසා ගැනීම් 95-96 වර්ෂවලට සාපේක්ෂව අඩු ය.   


“ඉස්සර කාලේ මැහි තෙල් එකක් බීපු ගමන් මැරුණා. දැන් එහෙම බිව්ව ගමන් මැරුණේ නැහැ. දැන් රෝහලට ගෙනිහින් දැඩි සත්කාර ඒකකයට දාලා බේරගන්න පුළුවන්. ඒකේ සාන්ද්‍රණය අඩු කළේ මේ සියදිවි නසා ගැනීම් අඩුකර ගන්න ඕනැ නිසයි.   


ඊට අමතරව එකක් තමයි සාන්ද්‍රණය අඩු කිරීම අනික් එක තමයි ත්‍රීවිලර් සහ මාර්ග පහසුකම්වල දියුණුව. කවුරු හෝ ගොවි මහතෙක් ණය වෙලා මීට අවුරුදු 30 කට කලින් මැහිතෙල් බෝතලයක් බිව්වොත්, ත්‍රිවිල් එකක් තිබුණේ නැහැනේ. එතකොට විනාඩි කිහිපයකින් ස්වසනය නැති වුණාම එයා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් දැන් එයාව ත්‍රීවිල් එකකින් ඉක්මනට රෝහලකට අරන් ආවම එයා කඩිනමින් ස්වසනය සපයලා අවශ්‍ය ප්‍රතිකාර දී ඔහු සුවපත් කරගන්න හැකියාව තිබෙනවා.   


කෙනෙකු වස බී, තවත් අයෙකුට ද වස පොවා දිවි නසා ගන්නේ කෙසේ ද. සැබැවින්ම එය සිතා ගන්නට පවා නොහැකි සිතුවිල්ලකි.   


ඔය ගැටලු‍ව එන්නේ මෙන්න මේ හේතුව නිසයි. සියදිවි නසාගැනීම පිළිබදව අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් දේවල් ඇතුළත් කළාට අපි මනෝ වෛද්‍ය විද්‍යාවේ දී ඒක කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි සම්පූර්ණ කරන ලද සියදිවි නසා ගැනීම. ඒ කියන්නේ මරණයකින් කෙළවර වන සියදිවි නසා ගැනීම. දෙවැන්න. සියදිවි නසාගැනීමට උත්සාහ කළා, හැබැයි මැරුණේ නැහැ. තුන්වැන්න, තමාම තමාට හානි කරගැනීම, පළිගන්න, අවධානය දිනා ගන්න, ඒක ගොඩක් වෙලාවට මෙහිදී කරන්නේ. අත කපා ගන්නවා, වේදනා නාශක පෙති ගණනාවක් එකවර බොනවා. සියදිවි නසා ගන්නවා කියලා කියන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරලා, බෙල්ලේ වැල දා ගන්නවා හෝ අතිවිශාල කෘෂි රසායනිකයක් පානය කරනවා වගේ ලොකු එකක්නේ. මේ තුනට බලපාන සාධක එකිනෙකට ටිකක් වෙනස්.   


සිය දිවි නසා ගැනීමට සිතුවිල්ලක් ඇතිවීමට වයස් භේදයක් නැත. ඒ ඒ පුද්ගලයා විසින් තමන් මුහුණ දෙන ප්‍රශ්නය, ගැටලු‍ව අනුව එම සිතුවිල්ල ඇතිවීමට හැක. මෙහිදී ඇතැම් අවස්ථාවල කුඩා දරුවන් පවා සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ අයුරු පමණක් නොව, අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි කරගත් පුවත් ද අපි අසා ඇත්තෙමු. 

 
“සාමාන්‍යයෙන් සියදිවි නසාගැනීමට ඕනෑම වයසක සිටින අයෙකුට සිතුවිල්ලක් එන්න පුළුවන්. කුඩා දරුවෙකුගේ සිට වයෝවෘද්ධ කෙනෙකු දක්වා ඇති වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ කරන ලද සියදිවි නසා ගැනීම් ළමයින්ගේ බොහොම අඩුයි. වයස අවුරුදු 11 ට අඩුවෙන් සම්පූර්ණ කරන ලද සියදිවි නසාගැනීම් ළමයින්ගේ අඩුයි. නව යොවුන් වියේ, අවුරුදු 11 න් පස්සේ, සියදිවි නසා ගැනීමේ සිතුවිලි එන්නේ. නමුත් ඕනෑම වෙලාවක නව යොවුන් වියේ කෙනෙකුට, වැඩිහිටි අයෙකුට, සිය දිවි නසාගැනීම ගැන සිතුවිල්ලක් ඇතිවීම අසාමාන්‍ය දෙයක් හෝ මානසික රෝගයක ලක්ෂණයක් නෙමෙයි. ඒවගේ කලාතුරකින්, කෙටිකාලීනව ඇතිවෙන්න පුළුවන්. එක්කෝ එයාම ඒක ඔරොත්තු දීලා ඒක මැඩ පවත්වා ගන්නවා. නැත්නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් අරගෙන මැඩ පවත්වා ගන්නවා. සිය දිවි නසා ගැනීම සඳහා විවිධ මනෝමය තත්ත්වයන් ද බලපානු ලබයි. මානසික ආතතිය, මානසික ආබාධ, අසමතුලිත භාවයන් මේවා අතර ප්‍රධාන වෙයි. මෙහිදී කෙනෙකුගේ ප්‍රශ්නයකදී ගැටලු‍වකදී සවන් දීම ද ජිවිතයක්, ජීවත් කරවීම සඳහා කෙරෙන විශාලම කැපකිරීමකි.  
“මට ජිවිතේ දැන් නම් හොදටම එපා වෙලා ඉන්නේ. ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ, වෙලාවකට මට මැරෙන්න හිතෙනවා. ඇයි එයා මට එහෙම කළේ... මෙවැනි ප්‍රකාශ අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහිදී මහ බරසාර ලෙස අවවාද අනුශාසනා දෙන්නට ඔබත් උත්සාහ කළ අවස්ථා කොතෙකුත් තිබෙන්නට ද ඇත. සැබැවින්ම අවශ්‍ය වන්නේ එවැනි අවවාද අනුශාසනා ද... පුද්ගලයෙක් ලෙස අපට එකම එක සිය දිවි නසා ගැනීමක් හෝ වැළක්වීමට හැකියාවක් ඇත්නම්... 

 
මේ ගැනද අප වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගෙන් විමසුවෙමු.   


“ඔව්... සියදිවි නසා ගැනීම් අඩුකර ගැනීම සඳහා අපිට කළ හැකි දේවල් පුද්ගලයෙක් හැටියට සහ රටක් හැටියට තිබෙනවා. පුද්ගලයෙක් විදියට කළ හැකි දේ තමයි සියදිවි නසාගැනීම් ගැන කතා කිරීමට අපේ තියෙන ඍණාත්මක ආකල්පය දුරු කරලා, අපේ යාළුවෙකුගේ හැසිරීමේ, සංකල්පවල වෙනසක් ඇති වුනොත් එයාට හොඳින් ඇහුම්කන් දෙන එක. එයා කිව්වොත් එහෙම මට ජීවිතේ එපා වෙලා, මට මැරෙන්න හිතෙනවා කියලා කිව්වොත්, එයාට උපදෙස් දෙන්නේ නැතුව එයාගේ අසහනය අඩුවෙනකම් එයාට ඇහුම්කන් දීම. ඒ කියන්නේ එයාගේ හැඟීම් ප්‍රකාශනයට අවස්ථාවක් දීලා, ඒ ආවේගශීලී අදහස අඩුකර ගන්න එයාට උදව් කරන එක.   


ඒ වෙලාවේ එයාට කරන්න පුළුවන් දේ තමයි එයාගේ ළඟින් වාඩිවෙලා එයාට හොඳින් ඇහුම්කන් දෙන එක. ඊට පස්සේ එයාගේ ප්‍රශ්නයට ප්‍රායෝගිකව උත්තරයක් දෙන්න පුළුවන්නම් අපි එය කළ යුතුයි. උදාහරණයක් කිව්වොත් එයා සහ එයාගේ ආයතනයේ ප්‍රධානියා අතර ප්‍රශ්නයක් තියෙනවා නම්, අපිට ඒකට මැදිහත් වෙන්න පුළුවන්නම් ප්‍රායෝගිකව අපිට මැදිහත් වෙන්න පුළුවන් නමුත් අපි මෙහෙම කරන්නේ කියලා උපදෙස් මාලාවක් දෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එසේම අපි අනික් අයගේ ජීවිත අපි හොඳට දන්නවා කියලා නිගමනවලට එන්න හොඳ නැහැ. අපි මෙහෙම කළා ඔයත් මෙහෙම කළොත් හරියනවා කියලා කියන්න හොඳ නැහැ.   


අපි අනිත් අයගේ ජීවිතය හොදටම දන්නවා කියලා නිගමනවලට එළඹෙන්න හොද නැහැ. අපිත් මෙහෙම කළා. ඔයත් මෙහෙම කරන්න හරියනවා කියලා නිගමනවලට එළඹෙන්න හොඳ නැහැ. ළඟදී ඉඳලා කතාබහ කරන්නේ නැහැ හිනාවෙන්නේ නැහැ. පැත්තක් බලාගෙන ඉන්නවා කියන යාළුවෙක්ව ඉක්මනට මනෝ වෛද්‍යවරයෙක් ළඟට හෝ පවුලේ වෛද්‍යවරයා ළඟට රැගෙන ගොස් අවශ්‍ය උපදෙසක් ලබා ගැනීමට කටයුතු කිරීම.   


සියදිවි නසා ගැනීම් පිළිබඳ තොරතුරු බෙදාහැරීමට එනම් ෂෙයාර් කිරීමට කටයුතු නොකිරීම. පසුගිය දිනවල හින්දි නළුවෙක් සියදිවි නසා ගත්තනේ. ඒක ෂෙයාර් කරපු එකෙන් වෙන්නේ ජීවිතයේ ප්‍රශ්නවලට සියදිවි නසාගැනීම සැබෑ විසඳුමක් කියන එක යොවුන් අය අතර මතයක් ලෙස පැතිර යාමයි. එය ෂෙයාර් කරපු හැම කෙනෙක්ම ලංකාවේ සියදිවි නසා ගැනීමකට වග කියන්න ඕනෑ.   


ඒ වගේම ලංකාවේ කවුරු හෝ විස්තර ඇතුව ප්‍රවෘත්තිය එෆ්බී එකේ පළකරලා තියෙනවා නම්, වහාම එය රිපෝර්ට් කරන එකයි කළ යුත්තේ. විශේෂයෙන්ම පුද්ගලයෙක් විදියට, ජනමාධ්‍යවේදියෙකු විදියට අපි සියදිවි නසාගැනීම් ගැන කතා කරද්දි, කවදාවත්ම සියදිවි නසාගන්නා ක්‍රම ගැන කතා කරන්න හොඳ නැහැ. මොකද පරිණත අයෙකුට එය ප්‍රශ්නයක් නොවුනත් යොවුන් වියේ සිටින අයෙකුට සියදිවි නසා ගැනීම් ගැන මෙන්න මේ ආකාරයට තමයි සියදිවි නසාගන්නේ කියන සිරස්තලයක් තිබුණොත් උද්දීපනයකට පත් වෙන්න පුළුවන් ඒක තමයි විය යුත්තේ කියලා.   


එසේම අපි ඒක ශෙයාර් කරනවා නම් ඒ පිටුපස තියෙන සාමාජයීය හා මනෝ විද්‍යාත්මක ගැටලු‍ත් එක්ක ඒක ෂෙයාර් කරනවා නම් ඉන් යහපත් ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. ඒ පෝස්ට් එකත් එක්ක ඩිස්ප්‍රෙෂන් කියන රෝගය බොහෝ දෙනා හොයන්න පෙළඹුණා. එම රෝගය තිබෙන සමහරුන් බෙහෙත් ගන්න පටන් ගත්තා. හොඳ වුණා. නමුත් අපි හිතන්න ඕනෑ අපි වගේ වාඩිවෙලා නිවීසැනසිල්ලේ මේ තරුණ පිරිස් යමක් කියවන්නේ නැහැ කියලා.   


මේ අවුරුදු 15-20 ළමයින් ස්මාර්ට් ෆෝන් එකට ටැබ් එකට හුරුවුණු කට්ටිය. අපි එෆ්බී එකේ පෝස්ට් 10 ක් කියවන විට ඒ අය පෝස්ට් 200 ක් විතර කියවනවා. ඔවුන්ගේ අවධානය පවත්වා ගෙන යාමේ අඩුකමක් තියෙනවා. බෙහෙවින් කලබලකාරියි. ජීවිතේ අත්දැකීම් තියෙන අය මේක කතාබහ කරලා කියවගන්න පුළුවන් වුණත් ඒ ළමයින්ට එහෙම බැහැ. ඔවුන් හිතන්නේ ෂා... මෙච්චර කඩවසම් නළුවෙක්, මේ තරම් දක්ෂ කෙනෙක් මේවගේ දෙයක් කරගත්තා නම් ඒ කියන්නේ මෙවැනි සියදිවි නසාගැනීමක් ඉතාම හොඳ විදියක් කියලා.’’   


වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පෙන්වා දෙන්නේ සිය දිවි නසාගැනීමක් වළක්වා ගැනීමට පුද්ගලයින් ලෙස අප කළ යුතු දේ ය. එසේම රටක් ලෙස, රජයක් ලෙස මෙ​හෙදී මේ සම්බන්ධයෙන් කළ යුතු කාරණා ද වෙයි.   


රටක් වශයෙන් මෙය සලකා බැලු‍වොත් රජයක් ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ මනෝ වෛද්‍ය සේවාව පුළුල් කිරීම ඉතා වැදගත් කාරණයකි. සෑම දිස්ත්‍රික්කයකම මිනිස්සුන්ට රෝහලක බාහිර රෝගී අංශයෙන් උණට බෙහෙත් ගැනීමට පැමිණෙන ලෙසට හිතේ කරදරයක් ඇති වූ විට ඇවිල්ලා කතාකරලා, සහනයක් ගන්න පහසුකමක් සලසන්න මෙම අංශ වෙතින් කටයුතු කළ යුතුව ඇත.   


ඒ වගේම මත්පැන් පානය කරන ගම්වල සියදිවි නසාගැනීම් වැඩියි. හේතුව තමයි මත්පැන් පාවිච්චි කරන කෙනා හරිම ආවේගශීලීයි. හිතන්නෙ බලන්නේ නැහැ. එයාගේ ප්‍රචණ්ඩත්වය නිසා පවුලේ අනික් අයටත් වෙන පීඩනය විශාලයි. සමහර විට ඒ අය සියදිවි නසාගන්නා තත්ත්වයට පත් වෙන්න පුළුවන්.   


මේ මත්පැන්වල මිල පාලනය කිරීම, ඒවා ලබා ගැනීමේ හැකියාව වයස් සීමාව හරියටම නිර්ණය කිරීම කළ යුතුයි. එසේම මත්පැන් පාවිච්චි කරන අය රෝහලකට ඇවිල්ලා ඒ අයට උදව්වක් ගන්න පුළුවන් තත්ත්වයට පත් කිරීම ලොකු දෙයක්. ගොඩක් අය අරක්කු නිතරම බොනවා. වෙලේ වැඩ කරලා, ඇඟ රිදෙනවා කියනවා. හවසට බාගයක් ගහනවා. දැන් අස්වනු පාළු වුණාම, සල්ලි නැතිවුණාම ඇඟ වෙවුලනවා අත රිදෙනවා කියනවා. එහෙම කියලා කසිප්පු බොනවා. ඒ අය දන්නේ නැහැ ඉස්පිරිතාලයට ගිහින් දවස් හතරක් පෙත්තක් බිව්වහම ඔය අමාරුව අඩුවෙනවා. මත්පැන් බොන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ අය බොන්න පටන් ගන්නේ අරක්කු. බොන්න තියෙන ආසාව හින්දා. හැබැයි අවුරුදු 10 ක් විතර ගියාට පස්සේ අරක්කු බොන්නේ ආසාව නිසා නෙමෙයි. අර බීම නැවත්තුහම ඇඟට අමාරුයි නිසා කියලා. මේකට උපදෙස් හා ප්‍රතිකාර තියෙනවා කියලා දැනුම්වත් කළාට පස්සේ ඒකත් හදා ගන්න පුළුවන්.   


ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත.  

 

 

සටහන - පද්මිණි මාතරගේ