සංස්කෘත භාෂාවෙන් එන ‘බහු’ යන වචනයෙහි අරුත ‘බොහෝ’ යන්නය. බොහෝ වෙනවා යනු වැඩිවීමය. එය ‘බෝවෙනවා’ බවට පත්වුණේ ‘හ’ ව්‍යංජනය ගිලිහීයාමෙනි. ලෙඩේ බෝවෙනවා යනු ලෙඩේ වැඩිවීමයි.  


වසඟයට පත්වීම යනු වසංගතයයි. කොරෝනා වසංගතය දැන් රට පුරා ලොව පුරා බෝවෙමින් පවතී.  රටම ලෝකයම වසඟයට පත්කරගෙන සිටියි.  


ඉහත දැක්වූ නිරුක්තිය නිවැරදිවුවත් යම් රෝගයක් කෙනෙකුට වැලඳී ඔහුගෙන් තවත් අයට වැලඳෙමින් කලක් මුළුල්ලේ පැතිරයාමට බෝවෙන රෝග යැයි කියනු ලැබේ.  


වසූරිය, පැ​පොල, සරම්ප, කම්මුල්ගාය, ඇස්රුදාව, ආදී රෝගද, පරංගි, ලාදුරු, රෝගයද ස්පර්ශයෙන් බෝවේ. එබැවින් එකී රෝගීන් ආශ්‍රය නොකිරීමෙන් බෝවීම වැළකී සිටිය හැක. තවත් සමහර රෝග මැස්සන්, මදුරුවන්ගෙන්ද බල්ලන් බළලුන්ගෙන්ද මීයන්ගෙන්ද බෝවීම සිදුකෙරේ.  


ආහාරපාන මගින්, විෂබීජ ශරීරගතවීමෙන් අතීසාරය, කොලරාව, පාචනය, උණ සන්නිපාතය, ආදී රෝග පැතිර යති. ඒ රෝග බෝකරන විෂබීජ වතුරෙහි ඉතා ඉක්මනට වැඩෙයි. ඒ නිසා එකී විෂබීජ වලින් බේරී සිටීමට නම් ආහාරපාන වලින් පරෙස්සම් වියයුතුය. උණ සන්නිපාත රෝගයට ඉස්සර දුන්නේ වෙනිවැල්ගැට තම්බලා වුවත් දැන් බෙහෙත් විද්දවා ගැනීම සිදුකෙරේ.  


කොලරාව  


පළමුවැනි ලෝක වසංගතය කොලරාවයි. කොලරාව රටකින් රටකට වෙන්විය. විබ්රියෝ කොලරෙ (Vibrio Cholerae) නමින් හැඳින්වුණ බැක්ටීරියා විශේෂයක් නිසා මේ නම යෙදුණි. කොලරා රෝගය සොයාගත්තේ ක්‍රි.ව. 1883 දී ජර්මානු බැක්ටීරියා වේදියෙකු වූ රොබර්ට් කොක් (Robert Koch) ය.  


ක්‍රි.පූ. 5 වැනි ශතවර්ෂයේ ග්‍රීසියේ ඇතන්ස් නුවර කොළරාවට සමාන රෝගයක් පැතිරුන බව වාර්තාවේ. ක්‍රි.ව. 7 වැනි ශතවර්ෂයේ මෙවැනි රෝග ඉන්දියාවේ පැවතුණ බව ප්‍රකට වෛද්‍යවරයකු වූ සුශ්‍රැතාචාර්ය වරයා වාර්තා කොට ඇත. කොලරා රෝගයේ පළමු ව්‍යාප්ති වසංගතය (PANDEMIC) ආරම්භ වූයේ ක්‍රි.ව. 1817 ඉන්දියාවෙනි. ගොඩමාර්ග ඔස්සේ එය 1818 දී චීනයටත් 1819 ලංකාවටත් පැතුරුණි. 1820 දී මේ වසංගතය මුහුදු මාර්ග ඔස්සේ මුරුසියටත්, නැගෙනහිර අප්‍රිකාවටත් ව්‍යාප්ත විය. 1822 දී එය ජපානයට හා පිලිපීනයට පැතුරුණි. පර්සියාව හා අරාබිය ඔස්සේ ගොස් 1823 දී කොලරා වසංගතය රුසියාවට ප්‍රවිෂ්ට විය.  
ක්‍රි.ව. 1826 දී ඉන්දියාවේ ආරම්භවූ නව කොලරා වසංගතය බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය. 1830 දී මේ වසංගතය මොස්කව් නගරයටද එතැනින් ජර්මනියටද උතුරු මුහුදු හරහා ගොස් බ්‍රිතාන්‍යයටද පැතුරුණි. යුරෝපයෙන් උතුරු ඇමෙරිකාවට පැතිරගොස් 1832 දී කැනඩාවේ කොලරා වසංගතය පැතුරුණි. කැනඩාවේ දකුණු දෙසට පැතිරීමෙන් චිකාගෝ නගරයේ හා මිසිසිපි නිම්නයෙහිද පැතිර ගියේය. 1836 දී එක්සත් ජනපදයේ දකුණටත් පැතිරගිය කොලරාව 1838 තෙක් එහි පැවැත්තේය. ඉන්දියාවේ කොලරා වසංගතය වරින්වර හටගත්තේය.  


මේ වසංගතය නිසා අවුරුදු පතා දෙලක්ෂයක් පමණ මරණ සිදුවිය. බුරුමය, චීනය, වියට්නාමය, කාම්බෝජය, මැන්චූරියාව ආදී පෙරදිග රටවල කොලරා වසංගත වරින්වර ඇතිවිය.  


පාචනය, වමනය, මුත්‍රා වැරීම, අම්ලිකතාව, අධික විජලනය කොලරා රෝගියාගේ ප්‍රධාන ලක්ෂණ විය. ජලයෙහි හෝ ආහාරවල තිබෙන බැක්ටීරියා ශරීරයට ඇතුළුවෙන්නේ මුඛයෙනි. දින හතරකින් හෝ පහකින් ඇතැම් අය මියගියහ. මේ රෝගය නිසා වකුගඩුවලට බරපතළ හානි සිදුවිය.  


කොලරාව ලංකාවට ආවේ දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙනි. ඔවුන් වයඹ වෙරළේ මන්නාරම හරහා පැමිණ තේ වතුවලට රැකියාවලට ගියෝය. 1867 දී කොලරා කොමිසමේ වාර්තාවලින් මේ බව හෙළිවේ. 1866-67 කාලයේ කොලරාව සෑදී දසදහසකට වඩා මියගියෝය. රුවල් නැව් වලින් මගී ගමනාගමනය සිදුවූ මේ කාලයේ වැඩිපුරම වසංගතය පැතිර ගියේ වෙළෙඳුන්ගෙනි.  


මදුරු කෝඳුරු වසංගත  


ඩෙංගු මදුරුවා උපදින්නට පෙර සිටි මදුරුවාගෙන් බෝවුණේ මැලේරියාවයි. පැරැන්නෝ කීවේ මැලේරියාව හැදෙන්නේ ඇනෝප්ලිස් මදුරුවාගෙන් කියාය. ක්වුලැස් මදුරුවාගෙන් කහඋණත්, කොඳුරුවන්ගෙන් සෑන්ඩ්ප්ලයි නම් උණ රෝගයත් එදා පැතුරුණි. තිස් හතළිස් ගණන්වල සුද්දන්ගේ කාලයේ වැඩිපුරම බෝවුණේ මැලේරියාවයි. ඉස්පිරිතාලයට ගියවිට දුන්නේ කුයිනීන් නමැති කුඩා පෙත්තකි. ඒ සමගම පිටිසර ගම්වල කොකුපණු රෝගය බහුලව පැතිර ගියේය. පණුබේත් දීමට සෑම පාසලකටම කොකුපණු දොස්තර ආවේය. පණුබේත් දුන්න ගමන්ම පාසල ඇරියේ ළමයින්ට වැසිකිළි කැසිකිළි යාමට සිදුවෙන නිසාය.  
මැලේරියාවට  


ක්විනින් (QUININE) 

 
සින්කෝනා ගසේ පොත්තෙන් ලබාගන්නා මෙය මැලේරියා වසංගතය සුවකිරීමට භාවිතා කළ කුඩු වර්ගයකි. ක්විනින්වල ඇති විෂ නිසා රෝග සාදන පරපෝෂිතයාගේ ජීවන චක්‍රය සම්පූර්ණවීම වළකී. පසුව මැලේරියාව සඳහා ඇටබ්‍රින් සහ ප්‍රයිමාක්වින් වැනි ඖෂධ භාවිතයට ගත්හ.  


ක්විනින් බෝවන රෝග මර්දනයට ප්‍රතිකාරයක් ලෙසට සොයාගනු ලැබුවේ ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් දෙදෙනෙකු වූ රොබට් බාන්ස් වුඩ්වට් හා විලියම්ෆොන් එගාර්ස් ඩෝරිං විසිනි. ඒ 1945 වර්ෂයේදීය.  
ක්වීනින් වැඩි මාත්‍රා ගානක් ගැනීමෙන් හිසරදය, කරකැවිල්ල, කනේ හෝ ශබ්දය ඇතිවේ. නිතර නිතර ක්විනින් ගැනීම නිසා කන් නොඇසීයාම, ඇස් පෙනීමේ දුර්වලකම, හමේ රෝග ඇතිවෙන බව සඳහන්ය.  


මහාමාරිය  


මැක්කන්ගෙන් හා මීයන්ගෙන් බෝවෙන මහමාරිය නම් රෝගයක් ගැනද සඳහන් වෙයි. මහාමාරිය රෝගය බෝකිරීමට අදාළවන මීයෝ දෙකොටසක් වූහ. කළු - රතු වර්ණ වලින් මොවුන් හැඳින්විය හැකිය. මෙයින් කළු මීයෝ වැඩියෙන් ගස් නැගීමෙහි හා එවැනි ගමන් යාමේ දක්ෂයෝය. රතු මීයෝ උමං කැණීමෙහි දක්ෂයෝය. මොව්හු රාත්‍රී කාලයේ හා අන්ධකාර අවස්ථාවලදී සුපුරුදු හපන්කම් වල නිරතවෙති. ඒ කාලය වෙන විට ඌරු මීයෝ ඉපදී සිටියේ නැත. සුදු රතු මීයන්ට හික්මීයෝ යන නමද භාවිත කළේ ඔවුන් හිග් ගාන ශබ්දයෙන් දුවන පනින නිසා විය හැක. මීයන්ගේ සතුරෝ බල්ලෝ, බළල්ලුන් කපුටෝ වුවත් හික් මීයන් ඇල්ලීමට බළල්ලුන් යන්නේ නැත.  


මහාමාරිය බෝකිරීමට දායකවෙන අනෙක් සතා මැක්කාය. මොව්හු ප්‍රභේද කීපයකින් යුක්ත වූහ. විශාල නොවූද හරහට පැතළිවූද පිහාටු නැති මැක්කෝ විෂ සහිතය. ඉන්සෙක්ටා නමැති වර්ගයට අයත් මේ මැක්කෝ කෘමි විශේෂයක් ලෙසට හැඳින්වෙයි. මැක්කාගේ මුඛය සකස්වී ඇත්තේ සම විද ගැනීමට හැකිවෙන අයුරින්ය. මැක්කන් වැඩිපුර වාසය කරන්නේ මීයන්, බළලුන්, බල්ලන්, හාවුන් හා වවුලන් ආශ්‍රිතවය. ඔවුන්ගේ සිරුරුවලය. ලංකාවෙත්, ඉන්දියාවෙත්, පෙරදිග රටවල්වලත් මහාමාරිය බෝකිරීමට හේතුව වන්නේ මේ මැක්කන් විසිනි.  


ලාදුරු රෝගය මෙන් මහාමාරියද උෂ්ණ කලාපීය රටවල සෑදෙන රෝගයකි. මේ වසංගත රෝගය පළමුවෙන්ම චීනයේ නිරිත දිගින් ඇරඹුණ බව සඳහන්වේ. ඉන්පසු 1896 දී හොංකොං ප්‍රදේශයෙන් බොම්බායට පැමිණ එහිදී විශාල ලෙස පැතිරී කල්කටාවේ හා බොම්බායේ පැතුරිණි. 1913 දී මදුරාසියට නුදුරුව පිහිටි නාගපට්ටනම් මේ වසංගතය සීඝ්‍රයෙන් බෝවුණ බැව් පැවැසේ. ලංකාවට මේ වසංගතය බෝවුණේ නාගපට්ටනමෙන්ය. ක්‍රි.ව. 1914 කොළඹ නගරය පුරාම මහාමාරිය පැතිර ඇත. කොළඹින් පිට තැනින් තැනටද බෝවන්නට විය.  


මේ රෝගය ඉන්දියාවේ ඇතිවීමෙන් පසු මුරුසිය, අප්‍රිකාවේ මුහුකර ප්‍රදේශ හා ඊට නුදුරුව පිහිටි මැඩගස්කර් දූපතටද මිසරයේ ඇලෙක් සැන්බ්රියා නගරයටද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ බ්‍රිස්බේන් නගරවලටද පැතුරුණි. මේ වසංගතය පැතිර ගියේ වෙළෙඳුන්ගෙන් හා ගනුදෙනු කරුවන්ගේ මාර්ගයෙනි. එකල වෙළෙහෙළඳාම් සිදුවූයේ රුවල් නැව් වලින්ය.  

 


ක්‍රි.ව. 1894 දී යේසින් නමැති වෛද්‍යවරයකු විසින් මහාමාරිය හා මැක්කාගේ සම්බන්ධය පෙන්වන ලදී. ඒ අනුව මැක්කන් තුන්වර්ගයක් නම්කර තිබේ. බැසිලස් පෙස්ටීස් නමැති කීටානුවා මහාමාරිය මැක්කාට බෝකරන බවත්, මැක්කාගේ සිරුරේ වෛරසය ඇතිවූ පසු මීයාට රෝගය බෝවෙන බවත් මීයාගෙන් මිනිසාට බෝවෙන බවත් මෙම වෛද්‍යවරයා පෙන්වා දෙයි. බ්‍යුබොනික් ප්ලේග් වෛරසයෙන් ඉකිලිය, කිහිල්ල, හක්ක ඉදිමී මහාමාරිය බෝවී දවස් 3 - 5 අතර මියයනු ඇත.  


සෙප්ටි සිමිග් ප්ලේග් වෛරසයෙන් දින 1 - 3 අතර මියයයි. නියුමෝනික් ප්ලේක් නමැති මහාමාරිය වෛරසයෙන් කැස්ස හටගෙන පෙණහලුවලින් ලේ පිටවී හදිසියේ මියයයි.  


කොකු පණු රෝගය  


හරියාකාර වැසිකිළි නොමැතිකම නිසා බිම මළපහ කිරීමෙන් කොකුපණු රෝගය පැතිර යයි. කොකුපණුවන් ලේ උරාබීම නිසා සුදුමැලි වී ලෙඩවී මියයනු ඇත. මේ රෝගයට පාණ්ඩුව කියාද කියති. මෙයද වසංගතයක් මෙන් කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීමට ඇති ඉඩකඩ බොහෝය.  


රදාහොරි  


ඈත අතීතයේ හේනමාමලාගේ ගෙදරින් කුෂ්ඨ හොරි වර්ගයක් බෝවුණේය. මෙය හැඳින්වූයේ කරප්පන් හෙවත් රදාහොරි වශයෙනි. එකල හේනමාමලා සියලුදෙනාගේම රෙදි එකට දමා සේදීම සිදුකෙරුවෝ නොදියුණු ඒ යුගයේ භාවිතා කළේ වෙල්ලෑ හැළියයි. වෙල්ලෑ හැළියෙන් රෙදි ටික හරියට තැම්බුණොත් මේ ප්‍රශ්නය මතුවෙන්නේ නැත. ගඟෙන්, ඔයෙන්, හෝ ඇළෙන් සෝදන රෙදි වලින් මේ විෂබීජ හරණය නොවීම නිසා දරුණු කුෂ්ට ඇතිවීමට ඉඩ තිබුණි.  


හිස උකුණන්ගෙන්ද ඇඳ පුටු කොට්ට, මෙට්ටවල මකුණන්ගෙන්ද පුරාණ කාලයේ රෝග ඇතිවිය. අපිරිසිදුකම නිසා ශරීරයේ කෝපයිසන් නම් බෝවන කුඩා සතුන් විශේෂයක් හටගනී. හිසේ උඳුගොව්වා කෑම නමින් තවත් රෝගයක් පෙර තිබුණි. එය හිස දෙබැම හා සිරුර පුරාම පැතිර ගිය එකකි.  


කැරපොත්තන්ගෙන්ද, දැළියන්ගෙන්ද යම් යම් රෝග සෑදේ. කැරපොත්තා ඉතා විෂ සහිත සතෙකි.  
ක්ෂය රෝගය හෙවත් ටී.බී.  


ඉතා පුරාණ කාලයේ පටන් ක්ෂය රෝගය පැවතුන අතර එය යක්ෂමාව සුදු මහාමාරිය ආදී නම් වලින් හැඳින්විණි. වාර්තාගත ඉතිහාසයේ ආරම්භයටත් පෙර ක්ෂය රෝගය තිබූ බවට මහා බ්‍රිතාන්‍යයේ ළය සහ හෘද සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එච්. හාලි විලියම්ස් ප්‍රකාශ කර ඇත.  


ක්ෂය රෝගයට හේතුව සොයාගත්තේ ජර්මන් ජාතික රොබට් කොක්ය (1843 - 1910). මෙම අතිශය වැදගත් සොයාගැනීම වෛද්‍ය ලෝකය හමුවේ තබන ලද්දේ ක්‍රි.ව. 1882 මාර්තු 24 දාය. ඔහු ජර්මනියේ වෛද්‍යවරයෙකු විය. ටියුබකල් නමැති වෛරසය සොයාගැනීම නිසා වර්ෂ 1905 දී වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කොක්ට හිමිවිය. ඔහු මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍ය සඳහා කළ සේවයට කොලරාව, මහාමාරිය, උණ සන්නිපාතය සහ නිද්‍රාමනය පිළිබඳ කරන ලද විශිෂ්ට පර්​ෙ‌ය්ෂණ ආදියද මෙම සම්මානයෙන් ඇගයුමට ලක්විය. ක්ෂය රෝගයට හේතුව ටියුබකල් වෛරසය බවත් ශරීරයේ කොතනක හෝ ටියුබකල් ඇතහොත් ඉන් අදහස් කරනුයේ ක්ෂය රෝගය බවත් 1882 න් පසු ලෝකයම පිළිගත්තේය. කණ්ඩමාලය යනු සැබවින්ම වසාග්‍රන්ථිවල ක්ෂය රෝගය බවත් රිනී තියොෆීල්ලෙනෙක් (1781 - 1886) පෙන්වා දී තිබුණි. රිනී තියොපීල්ලෙනෙක් යනු වෙද නළාව සොයාගත් පුරෝගාමියාය. ලෙනෙක් ඔහුගේ මෙම නිපදවීමට ළය පරීක්ෂකය යන තේරුම ඇතිව ස්ටෙතස් කෝප් (චක්ෂයික්ෂය) යන නම තැබුවේය. 1826 දී ලෙනෙක් මිය ගියේද ක්ෂය රෝගය නිසාය.  


ටියුබකල් වෛරසය  


පෙණහලුවල ක්ෂය රෝගයෙන් පෙළෙන්නන්ගේ කැසි සෙම්වල ටියුබකල් වෛරස ලක්ෂ ගණනාවක් තිබේ. එය ක්ෂුද්‍ර, දණ්ඩාකාර වෛරසයක් වෙන අතර එය දැකගැනීමට අධිබල අන්වීක්ෂයක් අවශ්‍ය වේ. මෙය කෙතරම් කුඩාද යත් ඉන් දසදහසක් දිග් අතට පේළියට තැබූ විට මේ වෛරසය මුළු දිගවෙන්නේ අඟලක් පමණකි. බැසිල (BACILLI) දණ්ඩාකාර බැක්ටීරියා වලට මේ නම යෙදේ. ක්ෂය රෝගය, කොලරාව, උණ සන්නිපාතය ඇතිවන්නේ මෙමගිනි.  


කැස්ස හා කිවිසුම  


ක්ෂය රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ පෙණහලුවල ටියුබකල් වෛරස ලක්ෂ ගණනාවක් තිබේ. එවැනි පුද්ගලයෙකු තමාගේ මුඛය සහ නාසය ආවරණය නොකොට කහින විට හෝ කිවිසින විට නොපෙනෙන තරම් කුඩා වූ ආසාදිත ටියුබිකල් නමැති වෛරස වාතයේ පැතිර යයි. නොදැනුවත්ම ඔහු තමා අවට සිටින්නන්ට තර්ජනයක් වෙයි. එහෙත් ලංකාවේ ඇති තද අව්රශ්මිය නිසා මේ වෛරසය පැතිර යාම බොහෝවිට වැළකී ඇත. ටියුබිකල් වෛරසයට තද අව් රශ්මියේ පැවැත්මක් නැත. එහි ස්වභාවික ප්‍රබල සතුරා වෙන්නේ හිරු එළියයි.  


හිරුඑළිය මෙන්ම නැවුම් වාතයද ටීබී වෛරසයේ ජීවිතයට හානිකරය. අඳුර, තෙත්බව, කැළිකසළ, මද උණුසුම, වෛරසයේ වර්ධනයට ආධාරවේ.  


ගලපටල රෝගය  
DIPHTHERIA  


මෙයද ක්ෂය රෝගය මෙන් බෝවන අසාධ්‍ය වසංගත රෝගයකි. රෝගියාට හුදකලාව ඉන්නට සලස්වා සැලකිල්ලෙන් සාත්තු කළ යුතුය. කොරිනෙ බැක්ටීරියුම් (CORYNE) නමැති වෛරසයෙන් විශේෂයෙන්ම ශ්වසන පද්ධතියේ උඩු කොටසෙහි ඇතිවෙන දරුණු ආසාධන රෝගයකි. ගලපටලය වැළඳෙන්නේ වයස මාස කීපයේ සිට අවුරුදු දහය දක්වා වූ කුඩා ළමයින්ටය. රුධිර කැටිගැසීම හා සම්බන්ධවෙන මෙම රෝගය උත්සන්න වීමත් සමඟ ලේ ගමනාගමනයේ බාධා ඇතිවේ.  


ගලමූල ග්‍රන්ථිවලින් පටන්ගෙන නාසය හා උගුර හරහා පැතිර යාමෙන් මේ කොටස සම්පූර්ණයෙන්ම වැසී යයි. ශ්වසන නාළ ඉදිමීමෙන් වාත මාර්ග අවහිර වේ. හුස්ම හිරවීමෙන් රෝගියා මරණයට පත්විය හැකිය.  
රෝගියකු නිතර ඇසුරු කිරීමෙන් ඔහු කහිනවිට සෙම්, සොටු ස්‍රාව ආදිය ස්පර්ශ කිරීමෙන් මෙය වසංගතයක් මෙන් පැතිර යාහැකිය.  


පරංගි  
YAWS   


පරංගි නමින් රෝගයක් නම්කර ඇති බව අසන්නට ලැබුණේ 1656 පෘතුගීසී බලය බිඳවැටී ලන්දේසීන් බලවත්වෙමින් ආ කාලයේදීය.  


පෘතුගීසීන් කොටුවූ කොළඹ බළකොටුව තුළ වසූරිය, අතීසාරය, කුෂ්ඨ රෝග ආදිය බහුලව පැවතුණි. කොටුව තුළ සාගින්න හා මිනීමස් කෑම වැඩිවෙමින් පැවතුණි. කොටුව තුළ පටු මාර්ගවල මළමිනී පිරී තිබුණ අතර ඒවා කුණුවී දුඟද හමන්නට විය. පරංගි රෝගය ඇතිවූයේ මේ කාලයේදීය. ශරීරයේ අධික උෂ්ණාධික බව නිසා හටගන්නා මෙම චර්ම රෝගය ස්පර්ශයෙන් බෝවෙන එකකි. පෘතුගීසීන් කොළඹ හා වෙනත් බළකොටුවල හිරවී ජලය ආහාර පාන වාතාශ්‍රය නොමැතිව එකගොඩේ ගුළිවී සිටියදී පරංගි රෝගය ඇතිවූ බව සඳහන්වේ. පෘතුගීසීන්ගෙන් මෙම රෝගය බෝවූ නිසා ලාංකිකයෝ එම ජාතියම හැඳින්වුණේ පරංගි යන නාමයෙනි.  
ඉහත සඳහන් බෝවන රෝගය පරංගි නමින් හැඳින්වුවද කුෂ්ඨ යනු සමෙහි මතුවෙන රෝග සමූහයකි. බාහිර කුෂ්ඨ සමෙහි යමක් ආලේප වීමෙන් හට ගන්නා අතර අභ්‍යන්තර කුෂ්ඨ ඇතිවෙන්නේ යම් ද්‍රව්‍යයක් ශරීර ගතව රුධිරය මගින් සංසරණය වීමෙනි. මෙය ලේ නරක්වීමක් ලෙසටද හඳුන්වති. 

 
ගිරිමානන්ද සූත්‍රය  


ගිරිමානන්ද සූත්‍රයේ ඉහත කී සියලුම රෝග ගැන විස්තර තිබේ. ඇස් රෝග, කන් රෝග, කායික රෝග, මුඛ රෝග, දත් රෝග, කාසය, කාශය, පීනස, දැවිල්ල, උණ, කුසේරෝග, ක්ලාන්තය, අතීසාරය, ඉදිමීම, විසුචිකාව, කුෂ්ටය, ගඩුය, කිලාසය, සෝසය, අපස්මාරය, දදය, කණ්ඩුතිය, කච්ඡුය, නියවන රෝගය, චිතජ්ජිකා කුෂ්ඨය, රත්පිත් ගාය, මධුමේහය, අංශභාගය, පිළිකාව, බගන්දලා, පිත්රෝග, සෙම්රෝග, වාත රෝග, වාපිත් සෙම් වලින් ඇතිවන සන්නිපාත රෝග, තුන්දොසින් ඇතිවන රෝග, කාලගුණ වෙනස් වීම් වලින් ඇතිවන රෝග, විෂම ආහාරපාන විහරණයන්ගෙන් ඇතිවන රෝග, උපක්‍රමවලින් ඇතිවන රෝග, කර්ම විපාකයෙන් ඇතිවන රෝග, ශීත රෝග, උෂ්ණ රෝග, ආදිය වේ.   


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටිනවිට ආනන්ද හිමියෝ පැමිණ ගිරිමානන්ද හිමියන් දැඩි සේ ගිලන්ව සිටින බව දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන්ට දැනුම්දුන්නේ ගිරිමානන්ද හිමියන් වෙතට ගොස් දස සඤ්ඤාවන් කියන ලෙසටය. ඒ අනුව ආනන්ද හිමියෝ අනිච්ච, අනන්ත, අසුභ, ආදීනව, පහාන, විරාග, නිරෝධ, සබ්බලෝක අනභිරත, සබ්බ සංඛාරා අනිච්ච, ආනාපානසතිය ආදී දස සඤ්ඤාවන් කීය.  


මෙම දස සඤ්ඤා අතුරෙන් ආදීනව සඤ්ඤාවේ ඉහත සඳහන්වූ ලෙඩ රෝග වේ. 

 

 

පී.ඇම්. සේනාරත්න