ජීවිතය යහමඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි

 

අම්බලන්තොට හේමාල් ගමගේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
බෝ ගස කැපූ නදෝරිස් හෙණ වැදී මරු දකි  
නදෝරිස් මීට බොහෝ කලකට පෙර ගමේ ජීවත් වූ අයෙකි. ඔහු මියපරලොව ගොස් බොහෝ කලක් ගත වුවද ජීවත්ව සිටියදී කළ කී දෑ ගමේ පරණ මිනිස්සුන්ට තවමත් මතක තිබේ. මේ එබඳු කතාවකි.   


නදෝරිස් උස මහත කාල වර්ණ දේහධාරියෙකි. නිසි අධ්‍යාපනයක්, යහපත් මිතුරු ඇසුරක් නොලද හෙතම හැම විටම කළේ ගම්මුන්ගේ සිත් රිදවන කටයුතුයි. ඒ නිසා ඔහු සමග ගම්මුන් වැඩි ඇයි හොඳයියක් පවත්වා නොගත්තේය.   


ඔහුගේ ප්‍රධාන ජීවන මාර්ගය ගස් කපා හෙළීමයි. එය දිනපතා කළ හැකි රැකියාවක් නොවේ. මන්ද දිනපතා ගස් කපා හෙළීමට තරම් අවශ්‍යතාවක් මිනිසුන් තුළ නොවීමයි. ඒ නිසා අතුරු රැකියාවක් ලෙස ගඩොල් කපා පුළුස්සා අලෙවි කරයි. ඉඳ හිට කුලී වැඩකට ගිය ද නදෝරිස් කරනුයේ අලාභයක්මය. ගොයම් පෑගීමට ගියත් බැත සමග පිඳුරු ඉවත දමයි. වෙනත් වැඩක් වුවද හරි හැටි නොකරයි. ඒ නිසා ඔහුට කුලී වැඩක් වුවද හරි හැටි නොලැබේ.   


මේ අතර දුර පළාතක අක්කර දෙකක පමණ ඉඩමක් කැබලි කර වෙන්දේසියෙන් විකුණන ලදී. එක් කැබැල්ලක් හැර අනෙක් ඉඩම් කැබලි අලෙවි විය. ඉතුරු ඉඩම් කැබැල්ල අලෙවි නොවීමට හේතුව ඊට යාබදව විසල් බෝරුකක් පැවතීමය.   


බෝරුක සඳහා පර්චස් 05 ඉඩම් කැබැල්ලක් වෙන් කර තිබුණ ද යාබද ඉඩම් කැබැල්ලට ඉල්ලුමක් නොවීය. මෙසේ මාස ගණනාවක් ඉල්ලුමක් නොපැවති ඉඩම් කැබැල්ල එක් තැනැත්තෙක් මිලට ගත්තේය. ඔහුගේ යටි අරමුණු වුයේ කවද‌ා හෝ බෝ ගස කපා දමා එම පර්චස් 5 ද තම ඉඩමට යා කර ගැනීමටය.   


මිලට ගත් ඉඩමේ නිවසක් ඉදි කර පදිංචි වූහ. බෝ ගසේ කරදරය එවිට වඩා වඩාත් දැනෙන්නට විය. එහි අතු ඉඩම් ආක්‍රමණය කරමින් සිටී. නිතරම අන්ධකාර බවක් අවට පැතිරේ. මිදුල අතු ගා නිමක් නැත. මේ නිසා බෝ ගස ඉවත් කිරීමේ අවශ්‍යතාව දැඩි විය. ගමේ සිටින ගස් කපන කීප දෙනෙකුට කීවද ඔවුන් ඊට කැමති නොවීය. ඒ ඉඳ හිට ගම්මුන් බෝ ගස අභියස පහන් දල්වන නිසාය. ඇතැම් දිනවල රාත්‍රියේ කිසියම් ආලෝකයක් බෝ ගසට පහත් වන අයුරු ගම්මුන් දැක ඇති බව දන්නා නිසාත් ගම්හු බෝ ගස කැපීමට කැමති නොවූහ.   


ඉඩම් හිමියා උත්සාහය අත් නොහැරියේය. අහම්බෙන් නදෝරිස් ගැන අසන්නට ලැබුණි. ඔහු සොයා ගියේය. දිනය හා ගණන් හිලව් තීරණය කෙරිණි. නියමිත දින උදේ පටන් ගත් කාර්ය හිරු බැස යාමට ආසන්න වෙත්ම නිමා විණි. නදෝරිස් මුදල් අත මිට මොළවා ගෙන ගියේ පසුද‌ා පැමිණ දඬු කෑලි ඉවත් කරදෙන බව පවසමිනි. පසුද‌ා කරත්තදයක් ද රැගෙන පැමිණි නිදෝරිස් එම දඬු ගෙන ගොස් ගඩොල් පෝරනුවට දර වෙනුවට යොද‌ා ගත්තේය.   


කාලයක් ගත විය. බෝ ගස කැපූ සාපය නදෝරිස්ටවත් බෝ ගස කැප්ප වූ සාපය ඉඩම් හිමියාටත් නොලැබුණි. ඒ පිළිබඳ මතකය ද ඔවුන් තුළින් ගිලිහෙමින් තිබුණි. දිනක් හවස් වරුවේ නදෝරිස් ගමනක් යාමට පිටත් විය. වැස්සක පෙර ලකුණු දැඩිව නොපැවතුණි. මඟට පිවිස ටික දුරක් යන විට හීං පොද වැස්සක් පතිත විය. එය ගණන් ගත යුතු තරමේ වැස්සක් නොවූයෙන් ඔහු ඉදිරියට ගියේය. ගෙවල් දොරවල් නැති පාළු පෙදෙසකට අවතීර්ණ වෙමින් සිටියේය. දැඩි සුළඟක් සමග මහ වැස්සක් ඇඳ හැළෙන්නට විය. යා යුතු තැනක් නැත. මඟ අසල වූ විසල් මාර ගසක් යට රැඳී සිටියේය. මුළුමනින්ම නැතත් මඳක් හෝ වැස්සෙන් වැළකීමට එම සෙවණ ප්‍රමාණවත් විය. සුළඟ හා වැස්ස එන්න එන්නම දැඩි විය. වැඩි වේලාවක් ගත නොවිණි. මුළු පළාතම දෙදරවමින් මුළු පළාතම ආලෝකමත් කරමින් පුපුරා ගිය අකුණු සමග නදෝරිස් බිම පතිත විය.   


වැස්ස නතර වී පැය ගණනක් ඉක්ම ගියද නිවසට නොපැමිණි නදෝරිස් සොයා ඔහු ගිය අත ගිය පිරිසකට ටෝච් එළියට හසු වූයේ බිම වැටී සිටින නදෝරිස්ය. එවිට සිරුර සීතල වී තිබුණි. නදෝරිස්ට ඒ විදිහට කළ පව්කම් මොලොවදීම ඵල දුන්නේය.   

 


මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
වඳුරාට එල්ල කළ ගිනි බටය පුපුරා මස් වැද්දා මරුට  
දැනට දශක තුන හතරකට පමණ පෙර ගම් දනව්වල තිබුණේ සාන්ත සුන්දර දැකුම්කළු පරිසරයකි. ඇළ දොළ සතා සීපාවා ගහ කොළ කුරුලු කොබෙයියන්ගෙන් ගහන වූ ගමේ සිරියාව තව තවත් ඔප් නැංවූ බව නොරහසකි. රන්වන් කරලින් බර වූ වෙල්යා​ෙයන් හමා එන මද නළ ගැමි ජනතාවගේ විඩාව සංසිඳවීමට සමත් විය. මිල මුදල්වල අවශ්‍යතාවක් ගැමි ජනතාවට ඇති නොවුණේ කොයි කවුරුත් තුළ වුවද බෙද‌ා හද‌ා ගෙන කෑමේ පුරුද්දක් තිබණ බැවිනි. ගමේ කුඹුරු ගොවිතැන් යල, මහ දෙකන්නය ගෙරිකටු ගොම පොහොර හා කොළ පොහොර යොද‌ා වගා කර සරු අස්වැන්නක් ලබා ගත් ගැමියන්ට එළවළු පලතුරු අල බතල පළා වර්ග කොස් දෙල් පොල් කිතුල් ආදී හැම දෙයක්ම අඩු පාඩුවක් නොතිබුණේ කෑමට බීමට අවැසි සියල්ලක්ම ගමේ කොතනත් පාහේ වවා කියා ගෙන ඇති නිසාය.   


ගමේ කඩෙන් ලබා ගත යුතු වූයේ දිය ලුණු භූමි තෙල් හා ගිනි පෙට්ටි පමණකි. ගැමි ගෙවල් ගවයින් එළුවන් හා කුකුළන් ඇති කිරීම ද සාමාන්‍ය දෙයක් විය. ගොනුන් කරත්තයේ බැඳීමට හා කුඹුරු වැඩටත් යොද‌ා දෙනුන්ගෙන් කිරි ලබා ගත් අතර ළමුන් නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව වැඩීම සඳහා එළු කිරි හා බිත්තර මහත් ඵලද‌ායි විය. මේ හැමටම වැඩියෙන් ඵල ලැබුණේ ගොම පොහොර එළු පොහොර සහ ගෙරි කටු ආදිය වී ගොවිතැනට පමණක් නොව එළවළු පලතුරු හා පළා වර්ගවලට යොද‌ා ගැනීමේ හේතුවෙන් නිරෝගිමත් ජනතාවක් ගම්බදව බිහි වී සිටීම පුදුමයට කරුණක් නොවීය.   


ගම කෙළවරේ වන රොද අසල පැල්පතක තම දරු පවුල සමග ගොවිතැන් බත් කරමින් ජීවිතය ගෙන ගිය සේතන් දක්ෂ දඩයම්කරුවෙකි. සතියකට වරක්වත් තම බෙහෙත් කොටන තුවක්කු බටය ද රැගෙන කැලෑ වදින මේ මස් වැද්ද‌ා වල් ඌරා තලගොයා, හාවා මුගටියා උෟරුමීයා ඉත්තෑව කබල්ලෑවා, මී මින්නා හෝ උගුඩුවෙක්වත් හමු නොවූ දිනක වඳුරෙක් හෝ රිළවෙක් වත් මරාගෙන ඒම පුරුද්දක් කොට ගෙන තිබුණි. එදින හවස් යාමේ පැය ගණනක් පුරා කරක් ගැසූ සේතාන්ට වනය පුරා සෙව්වත් කිසිද‌ා ගොදුරක් හමු වුණේ නැත. ඔහු හිස් අතින්ම ආපසු තම ගෙදර බලා එන විට කොස් ගසක වරකා කමින් කෑ කෝ ගසන වඳුරු රංචුවක් දක්නට ලැබුණි.   


දඩමසක් නොලැබ වෙහෙසට පත්ව සිටි සේතන් වඳුරෙක් වත් බිම හෙළා ගැනීමට දෙවරක් සිතා බැලුවේ නැත. වඳුරාට එලල් කර කොකා ගැස්සූ තුවක්කු බටය පුපුරා ගොස් ඔහුගේ ඔළු කට්ට කුඩු පට්ටන් වී මස් වැද්ද‌ා මෙලොවින් තුරන් වී යාමට ගත වූයේ සුළු මොහොතකි.   


ඔහු කරන ලද පාප කර්ම ඵල දුන්නේ එසේය.   


උහුමීය ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය.   
රාජකාරියට පෙර පය ඉස්සර කළ ග්‍රාම සේවකගේ ඉරණම  
මේ තියන කාලවකවානුව ලංකාවේ ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට ග්‍රාම සේවක නිල තානාන්තරය ඇති වී එමගින් ගමේ පරිපාලනය ක්‍රියාත්මක වූ අවදියයි.   
එකල මෙකල මෙන් නොව ග්‍රාම සේවක කොට්ඨාසයකට ගම් හත අටක් අයිති විය. එහෙයින් වසම භාර ග්‍රාම සේවක උන්නැහේට ලොකු වගකීමක් පැටවී තිබිණි. පොලිස් ස්ථාන ද වූයේ ඡන්ද කොට්ඨාසයකට එකක් තරමේ අඩුවෙනි.   


දඹදෙණි හත්පත්තු උඩුකහ උතුරු කෝරළේ හිටියේ ද හොර හරක් අං පිටින් ගිලින අයියලාය. වාරිය​පොළ පොලිසිය තිබුණේත් ඊට සැතපුම අටක් දහයක් එපිටින් වූ බැවින් ග්‍රාම සේවකවරයාට තම තානාන්තරයේ නම්බුව රැකගන්නට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය.   


නායකරත්න ග්‍රාම සේවක රාළහාමිටත් පොදුවේ හොර කසිප්පු ජාවාරමට හා හොර හරක් ජාවාරමට එරෙහිව ලොකු අවධානයක් යොමු කරන්නට සිදු වී තිබිණි. නායකරත්න වනාහි ඒ තනතුරටම ගැළපෙන ආරෝහපරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වූවෙකු බැවින් වැඩි කලක් නොගොසින්ම ඔහුගේ තනතුර කීර්ති නාමය යහපත් එකක් විය. කසිප්පු ජාවාරම්කාරයින් අඩු විය. හරක් හොරුන් අඩු විය. එහෙත් ගුණද‌ාස හෙවත් මෘදඩියා වැනි නාහෙට නාහන කසිප්පු වෙළෙන්දන් ද ඒ අතර නොසිටියා නොවේ.   


මේ ගැන වාරියපොළ පොලිසියේ ජා පොලිස් පරික්ෂකවරයාට ද පෙත්සම් ඔප්පු වී තිබිණි. නායකරත්න රාළහාමිට මෙය හිතේ අමාරු ගෙන දෙන පළුද්දක් විය. කොල්ලෝ හොඳ එකා වාගේ ඔය කැත රස්සාව නවත්ත ද‌ාපන්. මගේ මුලාදෑනිකොමේ නම්බුවටත් හොඳ නෑ. උඹට බඩ රස්සාවක් නැත්නම් මං උඹ අධිකාරි උන්නැහේට කියලා වාරිය​පොළ ෆාම් එකට වත් ද‌ාලා දෙන්න බලන්නම්. ඔහු ගුණද‌ාසට පළමු අවවාදය දුන්නේය. ඒත් ගුණද‌ාස නාම්බාගේ ඇම්බැරැස්වකම අඩුවක් නොවූ සේ කසිප්පු පෙරිල්ලෙන් හොඳ ශුද්ද ලාබයක් ලබා ගත හැකි වූ බැවිනි. රාළහාමි දෙවන වතාවටත් ඔහුට අවවාද කළේය. ළමයෝ මං මේ උඹට හොඳින් කියන්නෙ, ඔය කසිප්පු පෙරිල්ල නවත්තා ද‌ාපන්. හැබැයි පස්​සේ මං නරක මිනිහයි කියන්න එපා. නායකරත්ත උන්නැහේලාගේ පරම්පාරාව ගැන උඹ අහල ඇති නෙව.   


ඒ අනතුරු ඇඟවීමත් ගඟට ඉණි කැපීමක් වූයෙන් මුලාදෑනියාගේ ඉවසීම රතු ඉර පැන්නේය.   


වැඩි දොහක් නොඉක්මවා ගොදුර ඔහුගේ අතටම අසු වූයේ රංවල ගෙදර වෑකණ්ඩිය මතදීය. කොටි හපුවාට මී හරක් පැටියෙක් කොටු වුණාම ආයේ කුමන කතාද? කොල්ලාට යන එන මං නැතිවිය. කට උත්තර නැති විය. හොඳට අඩු පුඩි ගහන්න මෙන්ම පොල් අඩිවලින් වැඩ දමන්නටත් දක්ෂ නායකරත්න රාළහාමිගේ පාපන්දු ප්‍රහාර දෙක තුනකින්ම කොල්ලාගේ එක පයක් දෙකට කැඩිණි. වෑකන්ඩියෙන් පහළට පෙරළුණු වේගයට උකුල් ඇටයක් විසන්ධි විණි.   


X-රේ කිරණ පොටෝ ගෙන කරන බටහිර ගස් වෙදකම් පතල නොවූ එකල සුමානෙන් සුමානෙට එක එක ගස් වෙද කම් ගන්නට ගිය කොල්ලා කකුල කුණු කරගෙන සද‌ාකාලයටම අබ්බාගතයෙක් වූයේය.   


දුප්පත් කොලනි වැසියාට තමාතින් සිදු වූ බරපතළ වැරැද්ද ගැන පසුතැවිල්ලෙන් යුතු වූ නායකරත්න රාළහාමි දිනක් රංවල ගෙදර ඒ වෑ බැම්ම මතදීම පා පැදියක් සමග පහළට කරනම් ගසා බරපතළ තුවාල ලද්දේය. ටික දවසක් සොට්ටි පැන පැන සිටි මුලාදෑනියාගේ කකුල ද ගුණද‌ාස කොල්ලාගේ වගේම විසබීජ පැතිරි ගොස් කණ්ඩාරාම ඔඩු දුවා බරවා කකුලක් මෙන් ඉදිමී ආයේය.   


එකල කුරුණෑගල මහ රෝහලේ නං දරා සිටි යෝගේස්සරන් කැපුන් දොස්තර උන්නැහේටවත් ඒ ඉදුම බස්සන්නට බැරි විය. නායකරත්ත හේරත් රාළහාමිටත් එයින්ම අවසන් ගමන් යන්නට සිදු වූයේ රාජකාරිය සඳහා වුවත් තවකෙකුගේ අතක් පයක් කඩා දමා අබ්බාගාතයකු කළ පාප කර්මයට මෙලොවදීම පළ විපාක ලබදෙන බව කොයි කාටත් එළිපිට සත්ත පෙන්වමිනි.   


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.