ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

23 වැනි කොටස

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජ.වි.පෙ. 2වැනි කැරැලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජ.වි.පෙ. 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත ගෙන එනු ලබයි. මෙවර පළවන්නේ ජ.වි.පෙ. 2වැනි කැරැල්ලට නායකත්වය දුන් දේශපාලන මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර පිළිබඳවය.

කෑගල්ලේදී 1954 සැප්තැම්බර් 03 උපන් උදය ජගත් ශාන්තදේව හෙළකුමාර සෙනෙවිරත්න හෙවත් ශාන්ත බණ්ඩාරගේ පියා වූයේ වගසෙනරත් ලයනල් බර්නාඩ් සෙනෙවිරත්නය. කලක් විදුහල්පතිවරයකු වශයෙන් සේවය කළ ශාන්තගේ පියා නොතාරිස්වරයකු ද විය. මව එස්තර් ගොඩකුඹුරය. ඇය මිශ‍්‍ර පාසලකට පත්වූ ප‍්‍රථම විදුහල්පතිනිය විය (2013 නොවැම්බර් 17 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී ඇය මියගිය අතර ශාන්තගේ පියා 1992 පෙබරවාරි 22 මිය ගියේය).   


එම දෙපලට දරුවන් 5 දෙනකු වූ අතර ඔවුහු පිළි​ෙවළින් ක්‍රිස්ටෝපර්, ශාන්ත, චන්ද්‍රිකා, අනුර සහ ශ්‍රීපාලි වේ. මාපියන් 1988 තෙක් පදිංචිව සිටියේ පිටකෝට්ටේ සීවලී සෙවන 539/2 (විජේසිංහ උද්‍යානය ලෙස 2018 දී හැඳින්වෙන) ස්ථානයේය. ශාන්තගේ සොයුරු සොහොයුරියන් ඕස්ට්‍රේලියාවේ සහ කැනඩාවේ 2018 වනවිට පදිංචිය. කතුවරයා ශාන්ත හඳුනාගත්තේ 1978 දීය.   


ශාන්ත බණ්ඩාර ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කෑගල්ලේ අලපලාවල කනිෂ්ඨ විද්‍යාලයෙනි. පසුව මහනුවර ත්‍රිත්ව පාසලෙන් අධ්‍යාපනය ලබා මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වූයේ 1968 දීය. විද්‍යා විද්‍යාලයේ උසස් පෙළට ඇතුළත් වීම සඳහා ශාන්ත පෙනී සිටි වසරේ සිසුන් 767ක් ඉදිරිපත් වූ අතර තෝරා ගනු ලැබුවේ පන්ති 2ක් සඳහා සිසුන් 70ක් පමණි. එවකට විද්‍යා විද්‍යාලයේ විදුහල්පති විජේවර්ධන විසින් ශාන්තගේ දක්ෂතාවන් අගය කළ අතර ඔහු ආදර්ශයට ගන්න යැයි සෙසු සිසුන්ගෙන් ඉල්ලා සිටි අවස්ථා ද විය.   


ශාන්ත ජ.වි.පෙ.ට එක්වූයේ 1971 අප්‍රේල් කැරැල්ලට මාස කිහිපයකට පෙරය. ඔහුට ජ.වි.පෙ. කොක්ක ගැසුවේ විද්‍යා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසු නාගොල්ලේ තිස්ස මානංගොඩය. මාතලේ මුවගලදී ජ.වි.පෙ. එම පන්ති පැවැත්වූයේ පසුකාලීනව ආයුර්වේද වෛද්‍යවරයකු වූ කපුකොටුවය. අප්‍රේල් කැරැල්ලට ප‍්‍රථම ඔහු ඇතුළු ජ.වි.පෙ.ට බැඳුණු සිසුන් කිහිපදෙනකුට භාරදුන් කාර්යභාරය වූයේ බලකඩුව කන්දේ සෙමින් ගමන් කරන ලොරිවලට පිටුපසින් නැග එහි ඇති කැන්වස් රෙදි පිහියෙන් කපා ගෙනවිත් භාරදීමය. එම කැන්වස් කැරැලිකරුවන් ගේ බෑග් ඇතුළු මෙවලම් ඇසිරීම සඳහා යොදාගැනීම අරමුණ විය.   


විද්‍යා විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් වූ ශාන්ත විද්‍යාවේදී උපාධිය හැදෑරීම සඳහා පේරාදෙණිය සරසවියට 1975 දී ඇතුළත් විය. සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ 1976 නොවැම්බර් මස 12 පේරාදෙණිය සරසවියේ සිදුවූ වීරසූරිය ශිෂ්‍ය ඝාතනයට එරෙහිව රටපුරා ශිෂ්‍ය උද්ඝෝෂණවලට පේරාදෙණියේ සිසු ක්‍රියාකාරීන් සමඟ ශාන්ත නායකත්වය දුන්නේය.   


එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සරත් ලියනගේ උද්ඝෝෂණවලට සහභාගි නොවන ලෙසට රාජ්‍ය මාධ්‍ය මගින් සිසුනට ආයාචනා කළ ද එය ඵලරහිත විය. රෝහණ වීරසූරිය 1976 ඝාතනය ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂයක් වූ අතර එතෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය තිබූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවට එහි බලය ජ.වි.පෙ. විසින් අත්පත් කරගන්නා ලදී.   

 

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි දැමූ නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරි ලලිත් අබේසිංහගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වහාම ඉවත් කරගන්නා ලෙස සහ කථිකාචාර්යවරයකුගේ වැඩ තහනම වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් ද ආණ්ඩුව හාල්පොත් කැපීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ද පේරාදෙණිය සරසවියේ 1978 මාර්තු 02 සිට 09 පැවති පන්ති වර්ජනයේදී එයට නායකත්වය දුන් සිසුන් 8කගේ ශිෂ්‍යභාවය අහෝසි කරන ලදී.   ඉහළ වමේ සිට නසසපයේ ලලිත් අබේසිංහ, ජ.වි.පෙ. කේ.එච්. චන්ද්‍රපාල, ශාන්ත බණ්ඩාර සහ රිචඩ් පෙරේරාද, පහළ වමේ සිට කොමියුනිස්ට් පක්ෂයේ සුනිල් ශාන්ත කෝරලගේ, නිශ්ශංක කුමාරවංශ, ප්‍රියංකර ධීරසිංහ සහ සුනිල් රත්නසභාපති ද වේ. ජ.වි.පෙ. ශිෂ්‍ය ක්‍රියාකාරි දඹුල්ලේ බෝධිදාසගේ ඡායාරූපය මෙහි නැත. ශාන්ත බණ්ඩාර, චන්ද්‍රපාල සහ බෝධිදාස පූර්ණකාලීනව ජ.වි.පෙ. දේශපාලනයට එක්විය.  කොමියුනිස්ට් ශිෂ්‍ය ක්‍රියාකාරීන් 4 දෙනාගෙන් 3ක් එම පක්ෂය මගින් රුසියාවේ සරසවිවලට යවන ලදී. වෛද්‍යසිසු රිචඩ් පෙරේරා පමණක් අභියාචනාවක් ඉදිරිපත්කර කනගාටුව පළකිරීමෙන් පසු තහනම ඉවත්කර ගන්නා ලදී. ලලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකින් පසුව විභාගයට පෙනී සිටීමට අවසර ලැබිණි. රත්නසභාපති එදින සිට මානසික රෝගියෙකු ලෙස ප‍්‍රතිකාර ලැබීය. 

වමේ සිට: ශාන්ත බණ්ඩාර 1987 පෙබරවාරි සිට 1988 මැයි දක්වා නවාතැන් සැපයූ බෙලිඅත්ත නාකුළුගමුවේ ‘ජිනසිරි’ නිවසේ හිමිකරුගේ බෑණා වන ප්‍රේමතිලක කහදාගොඩ, 1988 මැයි 20 පොලිස් අත්අඩංගුවට පත් ශාන්ත නිදහස් කරගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වූ තංගල්ල මානව හිමිකම් සහ නීති ආධාර මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ මහින්ද රාජපක්ෂ, ශාන්ත බණ්ඩාර නිදහස් කර කැරලිකරුවන්ගෙන් තමන්ට එල්ල වූ තර්ජන මඟහැරවා ගත් මහවැලියේ හිටපු සාමාන්‍යාධිකාරි හර්මන් ගුණරත්න සහ මිත‍්‍රයා වූ හර්මන් වෙනුවෙන් ජනාධිපති පියාට කියා ශාන්ත නිදහස් කරගැනීමට ක්‍රියාකළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආරක්ෂක උපදේශකයා වූ පුත‍්‍රයා වන රවි ජයවර්ධන සහ ශාන්ත නිදහස් කරගැනීමට ප‍්‍රථමයෙන් උත්සාහයක් දැරූ තංගල්ලේ බෙනට් සිරිසේන. සිය ඉඩමක් විකුණා රුපියල් 50,000ක් පොලිස් ‘ලොක්කෙකුට’ ලබාදුන්න ද බෙනට්ගේ එම ප‍්‍රයත්නය සාර්ථක නොවීය.

ශාන්ත බණ්ඩාර සැඟවී සිටි ස්ථානය ආරක්ෂක අංශවලට පෙන්වාදුන් රත්නපුර දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ ලේකම්ව සිටි බද්දේගම තෙලිකඩ පල්ලියගුරුගේ සුමිත් හෙවත් වික්ටර් (ඔහුගේ හැඩරුව අනුව සකස් කළ සිතුවමකි.), ශාන්ත අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් මාලාව සියසින් දුටු රත්නපුර දිස්ත්‍රික් ජ.වි.පෙ. සන්නද්ධ ලේකම් වශයෙන් වික්ටර්ට පසුව කටයුතු කළ කොළඹගේ ආරච්චිගේ පර්සි වීරසිංහ හෙවත් ඉලුක්කුඹුර සහ කලවාන නිවිතිගල කලාපයේ සන්නද්ධ නායක ඩී.එම්. ගුණරත්න හෙවත් සුගත් ද  ඝාතනය වීමට පෙර ශාන්තගේ අවසන් පණිවිඩය ආරක්ෂක නිලධාරියෙක් විසින් දැනුම් දුන් එවකට බලංගොඩ බුලත්ගම හමුදා කඳවුරේ රඳවාගෙන සිටි බලංගොඩ කලාපයේ සන්නද්ධ නායක වීරරත්න අළුත්වත්ත හෙවත් සමන් ද ශාන්ත අත්අඩංගුවට ගත් කණ්ඩායමේ නායකයෙකු වන කපිතාන් නිහාල් ශ්‍රීසාන්ත ද මෙහි වමේ සිටය. මෙම ඡායාරූප 2017 දී කතුවරයා සොයාගත් ඡායාරූප වේ.

 

 

 


ශාන්ත බණ්ඩාර පේරාදෙණිය සරසවියේ සිටි මුල් කාලයේදී සමාජ අධ්‍යයන කවයේ සාකච්ඡාවලට ද ක්‍රියාකාරීව සහභාගි විය. සමාජ අධ්‍යයන කවය සමන්විත වී තිබුණේ සාම්ප‍්‍රදායික කොමියුනිස්ට් සහ සමසමාජ දේශපාලනය ප‍්‍රතික්ෂේප කරමින් එහෙත් මාක්ස්වාදී අධ්‍යයනයක යෙදී සිටි සිසුන් පිරිසකගෙනි. එම සාකච්ඡාවලට සහභාගි වූ සිසු නායකයින් අතර පසුකලෙක ප‍්‍රකට චරිත වූ මහාචාර්ය ගාමිණී සමරනායක, වෛද්‍ය රාජා විජේතුංග, ආචාර්ය සුනිල් ජයතිලක හෙවත් කේ.කේ., දෙටු ප‍්‍රවීණ මාධ්‍යවේදී සුගත් වටගෙදර, ආචාර්ය දයාන් ජයතිලක, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය, විශ්වාලිංගම් විශ්වානන්ද, අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අශෝක පීරිස්, ආචාර්ය ජයන්ත සේනාධීර, මහ බැංකුවේ ආචාර්ය ඩබ්ලිව්.එම්. කරුණාරත්න ඇතුළු කිහිපදෙනෙක්ම විය.   


පසුව විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස නිලවරණයෙන් ශාන්ත නිතරගයෙන් පත්විය. ඒ 1977 අප්‍රේල් 06ය. විද්‍යා පීඨ උපලේකම් ලෙස ජයන්ත පතිරණ ද නිතරගයෙන් පත්විය. කලා පීඨයේ නිලවරණයෙන් දෙගුණයටත් වඩා වැඩි ඡන්ද ලබාගනිමින් එහි සභාපති වූයේ විලච්චියේ කේ.එච්. චන්ද්‍රපාලය. සරසවි ශිෂ්‍ය සංගම් ඉතිහාසයේ ජ.වි.පෙ. සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් ප‍්‍රථමවරට පත්වූ නිල නියෝජිතයින් තිදෙනා ඔවුහුය. වසර 1977 මැයි පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ ප‍්‍රධාන ලේකම් වූයේද ශාන්ත බණ්ඩාරය.   
එජාප රජයේ 1978 පෙබරවාරි 04 සම්මත කරගත් නව ව්‍යවස්ථාවට එරෙහිව විරෝධය දැක්වූ නව සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරි ලලිත් අබේසිංහගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීම සහ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ වැඩ තහනම වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින්ද, ජනතාවගේ හාල්පොත් ඇතුළු කැපූ සහනාධාර වහාම ලබාදෙන ලෙස සහ ඒවා කැපීමට එරෙහිවද, උද්ඝෝෂණවලදී තාවකාලික පන්ති තහනමට ලක්වූ සිසුන් 26කගේ තහනම ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් 12 මුල් කරගෙන පේරාදෙණිය සරසවියේ සිසුහු එහි මහා ශිෂ්‍ය සංගමයේ නායකත්වයෙන් 1978 මාර්තු 02 සිට 09 දක්වා අඛණ්ඩ පන්ති වර්ජනයක් පවත්වන ලදී. එමෙන්ම 1978 මාර්තු 09 සවස 2ට මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් බෝගම්බරදී කම්කරු - ශිෂ්‍ය රැලියක්ද පවත්වන ලදී. එම සිසු විරෝධතාවලට නායකත්වය දුන් බව කියමින් සිසුන් 8කගේ ශිෂ්‍යභාවය පේරාදෙණිය උපකුලපති බී.එල්. පණ්ඩිතරත්න විසින් අහෝසි කරන ලදී.   


එසේ ශිෂ්‍යභාවය අහෝසි වූ 8 දෙනා වූයේ ජ.වි.පෙ. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් වූ කේ.එච්. චන්ද්‍රපාල, ශාන්ත බණ්ඩාර, බෝධිදාස සහ රිචඩ් පෙරේරා ද කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ සුනිල් ශාන්ත කෝරලගේ, ප‍්‍රියංක ධීරසිංහ, නිශ්ශංක කුමාරවංශ සහ සුනිල් රාජකුමාර රත්නසභාපති ය. සිද්ධියට කනගාටුව පළකිරීමෙන් පසු වෛද්‍ය සිසු 1950 නොවැම්බර් 04 ගම්පොලදී උපන් කළුවත්ත ආරච්චිගේ රිචඩ් ඔස්ටින් පෙරේරා හෙවත් රිචඩ් පෙරේරාට යළි ශිෂ්‍යභාවය හිමිවිය.   


ජ.වි.පෙ. ශිෂ්‍ය ක්‍රියාකාරීන් වූ චන්ද්‍රපාල, ශාන්ත සහ බෝධිදාස පූර්ණකාලීන දේශපාලනය සඳහා ජ.වි.පෙ.ට එක්විය. ශිෂ්‍යභාවය අහෝසිවීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව්දෙනාගෙන් තිදෙනෙක් එම පක්ෂයේ අනුග‍්‍රහය යටතේ වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ සරසවිවලට ශිෂ්‍යත්ව මගින් යොමු කළහ. සුනිල් රාජකුමාර රත්නසභාපති ශිෂ්‍යභාවය අහෝසිවීමෙන් පසු ඇතිවූ මානසික වියවුල් හේතුකොටගෙන පසුව මානසික රෝගියෙක් වී 2014දී මියයන තෙක්ම ප‍්‍රතිකාරවලට ලක්විය. රත්නසභාපතිගේ පියා වාවකච්චේරියේ උපන් සින්නයියා වූ අතර ඔහු නියෝජ්‍ය මැනුම්පතිවරයෙකි. මව ගාල්ලේ අහංගම උපන්නෙකි. බදුල්ලේ පදිංචි එම දෙපලට දරුවන් 13ක් වූ අතර සුනිල් රත්නසභාපති ඉන් 11වන දරුවාය. ලලිත් අබේසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකින් පසුව විභාගයට පෙනී සිටීමට අවසරය හිමිවී උපාධිය සමත්වූවද 1988 වන තෙක් උපාධි සහතිකය ලබාදීම ප‍්‍රතික්ෂේප විය.   


ජ.වි.පෙ. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයෙක් ලෙස 1980 පත්වූ ශාන්ත බණ්ඩාර සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ප‍්‍රථම මහා සමුළුව 1981 පෙබරවාරි 25 සහ 26 පැවැත්වීමේදී එහි ප‍්‍රධාන ලේකම් විය. එමෙන්ම ජ.වි.පෙ. රතු ගැටව් සංවිධානය 1980 දෙසැම්බර් 31 සහ 1981 ජනවාරි 01 පිහිටුවීමේදී එහි නියෝජ්‍ය ලේකම්වරයා වූයේද ඔහුය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ 1978/79 දක්වා කැඳවුම්කරු ලෙස කටයුතු කළ හෙතෙම කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභාවට ජ.වි.පෙ. වෙනුවෙන් තරග කර 1981 ජූනි 04 මන්ත‍්‍රීවරයෙකු විය. ජ.වි.පෙ. වෙනුවෙන් 1983 සෝමවංශ අමරසිංහ සමඟින් ඉරාකයේ පාලක බාත් පක්ෂය විසින් බැග්ඩෑඩ් නුවර පවත්වන ලද ඇමරිකන් විරෝධී සමුළුවක් සඳහා ශාන්ත බණ්ඩාර ද සහභාගි විය. ශාන්ත බණ්ඩාර හැඳින්වූ වෙනත් නම් වූයේ උපාලි, තිස්ස, ඒකනායක මුදියන්සේලාගේ තිලක් ඒකනායක, මහානාම සහ ලලිත් වැලිකල ය.   


එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත ඉඩමේ එකල හිමිකරු වූයේ ලියනගේ ය. අක්කර 2ක් පමණ එම ඉඩමේ මුරකරු ජයසේන පෙරේරාය. වසර 1979දී එම ඉඩම පර්චස් 10 කැබැලිවලට කඩා බොරැල්ලේ සමාගමක් මගින් වෙන්දේසි කරන ලදී. ජ.වි.පෙ. මූලස්ථානය එහි ඉදිකිරීමට එම පක්ෂය තීරණය කළ අතර ඒ සඳහා එම ඉඩමේ එක ළඟ කොටස් 4ක් වෙන්දේසියේදී ගන්නා ලදී. මින් කොටස් 2ක් ජ.වි.පෙ. වෙනුවෙන් මිලදී ගැනීමට මැදිහත් වූයේ ශාන්තගේ පියා වන සෙනෙවිරත්න ය.   


අනෙක් කොටස් 2ක මිලදී ගත්තේ ජ.වි.පෙ. හිතවතුන් 2කි. සෙසු කොටස් පිටකෝට්ටේ වෙ​ෙළඳ ව්‍යාපාරික රාණි ඇතුළු පිරිසක් විසින් මිලදී ගත්හ. ජ.වි.පෙ. මූලස්ථානය තැනීම සඳහා එම ඉඩමේ කොටස් 4 මිලදී ගැනීම දැනගත් එජාප ආණ්ඩුව සිදුකළේ ඉඩම ගැසට් කර රජයට පවරා ගැනීමය. පසුව ඉඩම් කොටස් මිලදී ගත් අයට 1983 රජයේ තක්සේරු වටිනාකම අනුව වන්දි මුදලක් ලබාදෙන ලදී. අනතුරුව එම මුළු ඉඩමම රජයට පවරාගෙන එජාප මූලස්ථානය වූ සිරිකොත එහි ඉදිකර 1985 මැයි 29 විවෘත කරන ලදී.   
ශාන්තගේ බිරිඳ වූයේ මීරිගම උපන් අමරනායකගේ ඉන්දු කාන්තිරත්න ය. දෙදෙනාගේ අතිනත ගැනීම වෙනුවෙන් 1982 දෙසැම්බර් 03 සිකුරාදා පෙරවරුවේදී කොළඹ බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී මංගල උත්සවයක් ද පැවැත්විණි. ලංකා බැංකුවේ ලිපිකාරිනියක් වූ ඉන්දු මොරටුව, බේරුවල සහ නාරාහේන්පිට ශාඛාවන්හි කළක් සේවය කළාය. දූවරුන් 5 යුත් පවුලක වැඩිමලා ඉන්දු විය. පියා අමරනායකගේ මිගෙල් ය. ශාන්ත සහ ඉන්දු අතර දැන හැඳුනුම්කම ගොඩනැඟු‍ණේ එම පවුල්වල අය 1976 මාර්තු ශ්‍රීපාද වන්දනාවේ ගොස් සිටියදීය. අසූව දශකය මුල් භාගයේදී පිටකෝට්ටේ හන්දියෙන් 173 බස් රථයෙන් නාරාහේන්පිට බලායන ඉන්දුගේ දසුන කතුවරයාගේ මතකයෙන් තවමත් බැහැර ගොස් නැත.   

 

තංගල්ල කුඩාවැල්ලේදී 1988 මැයි 20 පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ශාන්ත බණ්ඩාර නිදහස් කිරීම සඳහා රෝහණ විජේවීරගේ ඉල්ලීමක් අනුව මැදිහත් වූ එක් අයකු වූයේ තංගල්ලේ බෙනට් සිරිසේනය. ජවිපෙ තහනමින් පසුව ද විජේවීර අතහැර නොගොස් විශ්වාසවන්තව කටයුතු කළ බෙනට් සිරිසේන 1982 මැයි 20 තම නිවසට පැමිණි රෝහණ විජේවීරට ජවිපෙ ජනාධිපති මැතිවරණ අරමුදල සඳහා රුපියල් 1000ක් සිය පුත‍්‍රයා වූ අනුරාධ මගින් ලබාදුන් අවස්ථාවයි මේ.

 

 

ජ.වි.පෙ. මධ්‍යම කාරක සභාවට 1982දී ද පක්ෂ තහනමින් පසු 1984 අග භාගයේදී දේශපාලන මණ්ඩලයට ද පත්වූ ශාන්ත 2වැනි කැරැල්ලේදී බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක ඇතුළත් ඌව නැගෙනහිර කලාපයේ නායකයාය. පසුව තරුණ අංශයේ සහ ප‍්‍රචාරක අංශයේ ද නායකයා විය. ජ.වි.පෙ. 2වැනි කැරැල්ලේදී එනම් 1986 සිට 1990 දක්වා ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව දෙවරක් ජීවිතය බේරාගත් ජ.වි.පෙ. එකම ඉහළම නායකයාය. ඒ 1987 සැප්තැම්බර් අඟු‍රුවාතොට දී සහ 1988 මැයි 20 තංගල්ලේ දීය.   
අඟු‍රුවාතොටදී අත්අඩංගුවට ගත් ශාන්ත හඳුනාගැනීම සඳහා ටොරින්ටන්හි ජාතික බුද්ධි කාර්යාංශයට ගෙන ආ අතර එහිදී ඔහු හඳුනාගැනීමට පොලිස් අධිකාරි ලකී ජයවර්ධන සමත් විය. පොලිසියේ රඳවා සිටියදී තමාගේ දෑතේ තිබුණු මාංචුව අතින් ගලවා ගනිමින් පොලිසියට ආ අමුත්තෙකු විලසින් පිටව යෑමට ඔහු සමත් විය. ශාන්තගේ දෑත මැණික් කටුවෙන් පහළට සිහින් බැවින් මාංචුව ගලවාගැනීමට පහසු විය.   


එයට පෙර අධ්‍යාපන ධවල පත්‍රිකා සමයේදී මාතරදී සහ ජ.වි.පෙ. වැඩ කටයුතුවල නිරතව සිටියදී වැල්ලවායේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත ද කෙටි කලකින් නිදහස් විය. වම් නිකටේ උපන් ලපයක් ඇති ශාන්ත බණ්ඩාරගේ උස අඩි 5 අඟල් 2කි. මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරියෙකු ලෙස හැඳුනුම්පතකින් පෙනී සිටි ශාන්ත කලක් පරිහරණය කළේ 16ශ්‍රී5255 දරන සුදු පැහැති නිසාන් මෝටර් රථයක් සහ දුඹුරු පැහැති 12ශ්‍රී7400 ඩැට්සන් සනී මෝටර් රථයන්ය.   


ශාන්ත බණ්ඩාර 1987 පෙබරවාරි සිට 1988 මැයි දක්වා දකුණු පළාතේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා නැවතී සිටියේ බෙලිඅත්ත ආසනයේ නාකුළුගම ‘ජිනසිරි’ නිවසේ පදිංචිකරුවකු ලෙසය. ජිනසිරි නිවසේ ගෘහ මූලිකයා සිව්දරු පියෙකු වූ පැටිසිංඤා වූ අතර ඔහුගේ දෙවන දරුවා වූ ලංකා විවාහ වී සිටියේ ප්‍රේමතිලක කහදාගොඩ සමඟය. ශාන්ත ඔහුගේ සමීපතම මිත‍්‍රයෙකි. තංගල්ලට යෑම සඳහා 1988 ජූලි 20 පෙරවරු 11.20ට පමණ ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු වූ බෙලිඅත්තේ ගුරුවරයෙකු වූ සරම්බු හේවාගේ රුවන් හෙවත් රූපරත්න සමඟ පාපැදියකින් කුඩාවැල්ල හන්දියේ බස් නැවතුම්පොළට ගොස් බසයක් එනතුරු කථාකරමින් සිටියදී රුවන් සමඟින් ශාන්තව තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ජ.වි.පෙ. අරමුදල් තරකිරීම සඳහා වැටුප් මංකොල්ලයකට සැකපිට රුවන් තංගල්ල පොලිසියෙන් සොයමින් සිටි අයෙකු බැවිනි. 

 
රුවන්ව හඳුනාගත් තංගල්ල පොලිසියේ සැරයන් රාජා විසින් පොලිස් වාහනය නවතා රුවන් සහ ශාන්ත තංගල්ල පොලිසියට ගෙන එන ලදී. ජාතික ඔත්තු සේවයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පසුව ශාන්තව හඳුනාගනු ලැබීය. තංගල්ල පොලිසියෙන් ඔවුන් පසුව මොරයාය විශේෂ කාර්ය බළකා කඳවුරට වැඩිදුර විමර්ශන සඳහා භාරදෙන ලදී. ශාන්ත පසුව වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා තබාගන්නා ලදී. වැලිසර කඳවුරේ අඳුරු කුටි 21ක ජ.වි.පෙ. කැරලිකරුවන් සියයකට ආසන්න පිරිසක් රඳවාගෙන සිටි අතර ශාන්ත ඔවුන්ගෙන් වෙන්කර වෙනම කුටියක තබන ලදී.   


රුවන් හෙවත් රූපරත්න ද වැලිසර කඳවුරට ගෙනවිත් පසුව කළුතර පැලවත්ත රැඳවුම් කඳවුරට යොමුකළ අතර එහිදී 1988 ඔක්තෝබර් 29 කඳවුරින් පලාගිය ජ.වි.පෙ. කැරලිකරුවන් 110 දෙනා අතර ඔහු ද විය. පසු කලෙක රුවන් මාමඩල විදුහලේ විදුහල්පතිවරයෙකු විය. ශාන්තට නවාතැන් ලබාදුන් තිදරු පියෙකු වූ ප්‍රේමතිලක කහදාගොඩ ද ආරක්ෂක අංශ මගින් 1989 නොවැම්බර් 20 නාකුළුගමුවේදී අත්අඩංගුවට ගත් අතර නිදහස් කරන ලද්දේ 1990 ඔක්තෝබර් 07ය.   


අත්අඩංගුවට ගත් ශාන්ත නිදහස් කරගැනීම සඳහා ජ.වි.පෙ., ආණ්ඩුවේ සබඳතා උපයෝගී කරගනිමින් ක්ෂණික මෙහෙයුමක් දියත් කළේය. රෝහණ විජේවීරගේ ඉල්ලීමක් මත ශාන්ත නිදහස් කරගැනීම සඳහා තංගල්ලේ බෙනට් සිරිසේනට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කෙරිණි. තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එහි රඳවා සිටි ශාන්ත බණ්ඩාරව නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන ලෙසට රෝහණ විජේවීරගේ පණිවිඩයක් රැගෙන ආනන්ද විජේවීර තංගල්ලේ බෙනට් සිරිසේන හමුවිය. ඒ අනුව පොලිසියේ ඉහළ නිලධාරියෙකු මගින් ශාන්ත නිදහස් කිරීමට උත්සාහ ගත් අතර ඒ සඳහා ඔහු රුපියල් 50,000ක මුදලක් ඉල්ලා සිටි බව කියති.   


බෙනට් සිරිසේනට අයත් පර්චස් 20 ඉඩම් කැබලි තුනක් තංගල්ල ටවුම සහ කඳුරුපොකුණ අතර ලැබීම ප‍්‍රදේශයේ තිබුණු අතර එම කොටස් තුන රුපියල් 90,000කට ව්‍යාපාරිකයෙකුට දෙදිනක් ඇතුළත විකුණන ලදී. එම මුදලින් රුපියල් 50,000ක් ‘අදාළ ලොක්කාට’ ලබාදුණි. ‘ලොක්කා’ විසින් සැලසුම සකස්කර තිබුණේ ශාන්ත බණ්ඩාර අත්අඩංගුවෙන් මිදී හොර රහසේ පලායෑමක් ලෙසට හැඟවෙන පරිදිය. එහෙත් පසුදින අලුයම අනපේක්ෂිත ලෙස කොළඹින් පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් ශාන්තව මොරයාය එස්.ටී.එෆ්. කඳවුරට ගෙන යන ලදී. එම සැලැස්ම අසාර්ථක වූ අතර මුදල් ද ආපසු නොලැබිණි. එවකට තංගල්ල පොලිස් අධිකාරිව සිටියේ කරවිටගේ ධර්මදාසය.   
තංගරාජා සමඟින් පැමිණි ගමනායක කතුවරයාට කියා සිටියේ ශාන්ත නිදහස් කරගැනීම සඳහා සම්බන්ධීකරණයක් ගොඩනඟා මැදිහත් වන ලෙසටය. කතුවරයා මෙම ඉල්ලීම එවක නීතිඥ මහින්ද රාජපක්ෂ වෙත යොමු කළේය. ඔහු මගින් ප‍්‍රකට වැවිලි ව්‍යාපාරිකයෙකු වූ මාලිංග හර්මන් ගුණරත්න හමුවීමට ද අවස්ථාව උදාවිය. ඒ සඳහා තීරණාත්මක සාකච්ඡාවක් පැවතියේ බොරැල්ලේ ගොල්ෆ් ක්‍රීඩා සමාජයේදීය.   


එම අවස්ථාවට කොළඹ සරසවි වෛද්‍යසිසු අරුණ මුණසිංහ ද එක්විය. ජ.වි.පෙ. තර්ජන හේතුවෙන් තමාගේ ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයිද ජීවිතයට තර්ජන එල්ල වී ඇතැයිද ගුණරත්න කියා සිටියේය. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකවරයා සහ ඔහුගේ පුත‍්‍රයාවන රවී ඔහුගේ සමීපතම හිතවතෙකු විය. තමාගේ ප‍්‍රශ්නවලට විසඳුමක් ලබා දුනහොත් ශාන්ත බණ්ඩාර නිදහස් කරගැනීමට මැදිහත්වීමට හැකි බව ගුණරත්න කියා සිටියේය.   


ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂවරයා වූ නියෝජ්‍ය පොලිස්පති ශර්නි විජේසූරියගේ මැදිහත්වීමෙන් ශාන්ත බණ්ඩාර සහ ජේ.ආර්. ගේ පුත‍්‍ර රවි ජයවර්ධන අතර සාකච්ඡා වට 4ක් ඇතිවිය. එම සාකච්ඡා පැවතියේ කැලණියේ එස්.ටී.එෆ්. කඳවුරේදී සහ කොළඹ රාමාද‌ා හෝටලයේදී ආරක්ෂාවක් සහිතවය.   


සාකච්ඡා සාර්ථක විය. ජනාධිපති ජයවර්ධන සමඟ පුත‍්‍රයා ඇතිකරගත් එකඟතාවයක් මත 1988 සැප්තැම්බර් 07 ශාන්ත වෝඩ් පෙදෙසේ ජනාධිපති ජයවර්ධනගේ නිවසට රැගෙනවිත් තිබිණි. ජ.වි.පෙ.ට සාමකාමීව විසඳුමකට එන ලෙස ජනාධිපතිවරයා ශාන්තගෙන් ඉල්ලා සිටියේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඡන්දයක් පවත්වන ලෙසට ශාන්ත බණ්ඩාර සිනාමුසුව එයට ප‍්‍රතිචාර දැක්විය. පසුව නිදහස් කරන ලද ශාන්ත බණ්ඩාර කෝට්ටේ නිවසට පැමිණි ආරක්ෂක අංශ විසින් පවුලේ අයට භාරදෙන ලදී.   

 

ජනාධිපති ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධන ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි 1988 ජූලි 19 වෛද්‍ය අතුල සුමතිපාල මහමගදී අත්අඩංගුවට ගෙන ගම්පහ වධකාගාරයක රඳවනු ලැබීය. අත්අඩංගුවේ පසුවූ සුමතිපාල උසාවියට රැගෙන එන බවට තිබූ ආරංචිය අනුව ඔහුගේ බිරිඳ, මව, පියා සහ සොයුරු සොහොයුරියන් 1989 පෙබරවාරි 26 උසාවිය අසල රැස්වී සිටියේ මෙසේය.

 

 


මේ අතර රවි ජයවර්ධන 1988 ජනවාරි 01 සිට 1988 ජූලි 12 දක්වා අතර කාලයේ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කරන ලදැයි සැකපිට ඉංජිනේරුවරයෙකු වන වීරසේකර මුදියන්සේලාගේ ජයන්ත වීරසේකර, වෛද්‍යවරයෙකු වන අතුල සුමතිපාල සහ ඕලුපාතගේ චම්ලින් ද සිල්වා යන අයට එරෙහිව රජය මගින් මහාධිකරණය හමුවේ නඩුවක්ද පවරා තිබිණි. පොලිසිය ප‍්‍රකාශ කළේ කොටුව පැගෝඩා හෝටලයට සතියකට තෙවරක් පමණ පැමිණෙන රවි ජයවර්ධන ඝාතනය කිරීමට කැරලිකරුවන් සැලැස්මක් සකස් කර තිබූ බවය. එස්.ටී.එෆ්. හෙවත් විශේෂ පොලිස් කාර්ය බළකායේ මෙන්ම වර්තමානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වෙන එකල ග‍්‍රාමාරක්ෂක බළකායේ ආරම්භකයා ද රවී ජයවර්ධනය. මායිම් ගම්මානවල තෝරාගත් සිවිල් ජනයා ග‍්‍රාමාරක්ෂකයන් ලෙස සංවිධානය කළේ කොටි ත‍්‍රස්තවාදයට එරෙහිවය. විශේෂිත ප‍්‍රභූ පුද්ගලයින් සඳහා ආරක්ෂාවට වෙනම අංශයක් ඇතිකිරීමට මුල් වූයේ ද ඔහුය.   


විජේවීර ඝාතනයෙන් පසු පොලිස් මූලස්ථානය 1989 නොවැම්බර් 28 නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි, ගාමිණී ගුණසේකර, උපාලි ජයවීර, සෝමවංශ අමරසිංහ යන ජ.වි.පෙ. 5 දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යම පුද්ගලයින් බැවින් ඔවුන් පිළිබඳව තොරතුරු සපයන්නන්ට තෑගි පිරිනමන බවය. 

 
ජ.වි.පෙ. යළි ගොඩනැඟීම සඳහා ශාන්ත බණ්ඩාර කැපවීමෙන් කටයුතු කළේය. නායකත්වය සඳහා දේශපාලන මණ්ඩලය තුළ ජ්‍යෙෂ්ඨයා තමා වුවද සමන් පියසිරිගේ නායකත්වය පිළිගනිමින් අනුමැතිය පළ කළේය. රත්නපුර හිදැල්ලනදී 1989 නොවැම්බර් 28 පැවති ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගිවීමට ශාන්තට නොහැකි වුවද 1989 දෙසැම්බර් 07 එම ස්ථානයේදීම පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට ඔහු සහභාගි විය. නව නායක සමන් පියසිරි 1989 දෙසැම්බර් 27 අත්අඩංගුවට ගැනීමෙන් පසු ජ.වි.පෙ. ඊළඟ නායකයා ලෙස ලලිත් විජේරත්න නම් කිරීමට තීරණය කළේ 1989 දෙසැම්බර් 29 නුවරඑළියේ නානුඔයදී පැවති රැස්වීමේදීය. එයට ද ශාන්ත බණ්ඩාර සහභාගි විය.   


මත්තේගොඩ කඳවුරේ රඳවාගෙන සිටි බද්දේගම තෙලිකඩ උපන් පල්ලියගුරුගේ සුමිත් හෙවත් වික්ටර් රත්නපුරේ දිස්ත්‍රික් සන්නද්ධ නායකයෙකු ලෙස නියමාකාරයෙන් හඳුනාගැනීමට ක්ෂණික විහිදුම් බළකාය 1990 ජනවාරි 01 දහවල් සමත් විය. එයට දිනකට පෙර රත්නපුරේදී අත්අඩංගුවට ගත් ලලිත් විජේරත්නද මත්තේගොඩට ගෙනවිත් තිබිණි. ශාන්ත බණ්ඩාර සිටින රත්නපුර ස්ථාන නිශ්චිතව දන්නා පුද්ගලයා වික්ටර් බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබිණි. දිවා ආහාරයෙන් පසු වික්ටර් සහ රත්නපුරේ තවත් කැරලිකරුවන් දෙදෙනකු සමඟ රත්නපුරයට යෑමට කටයුතු කරන ලෙස අණදෙන නිලධාරි කර්නල් ජානක පෙරේරා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.   


ඒ අනුව 1990 ජනවාරි 01 පස්වරු 3ට කපිතාන් නිහාල් සිරිශාන්තගේ නායකත්වයෙන් හමුදා භට කණ්ඩායමක් වාහන 2කින් මත්තේගොඩ සිට රත්නපුරය බලා පිටත් විය. එක් රථයක් වූයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසු අත්පත් කරගත් චිත‍්‍රාංගනී විජේවීරගේ ව්‍යාජ නමවූ පි‍්‍රයන්ති සමරකෝන් නමට ලියාපදිංචි කරන ලද 15ශ‍්‍රී7920 මිට්සුබිෂි ලාන්සර් මෝටර් රථය වේ. එහි පිටුපස අසුනේ මැද දෑතට මාංචු දැමූ රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ ලේකම්වරයකු වශයෙන් සිටි පල්ලියගුරුගේ සුමිත් හෙවත් වික්ටර් වාඩිවී සිටි අතර දෙපස හමුදා භටයින්ය.   

 

 


මතු සම්බන්ධයි