සමනල, බාන සමනල ඇතුළු සමස්ත කඳු වැටිය

 

  • අඹගමුව සෙල්ලිපියේ සඳහන් පැරැණි මාර්ගය දැයි සැකයක්   
  • මිනිස් වාසයෙන් බොහෝ දුර පිහිටි වන මැද තැන්නක වන වැදුණු ගොඩනැගිල්ලක්   
  • අතීතයේ සිරිපා වන්දනාවේ ගිය පැරැණි රජ මාවතක්

 

සමනල කන්ද යනු ලංකාවේ මුල්ම ජනාවාස පිහිටුවීමේ පටන් කතිකාවට නැංවුණු ඉතා සුවිශේෂී කන්දකි. පසෙකින් එය බුදු සිරිපතුල පිහිටවූ බෞද්ධ ජනතාවගේ මෙන්ම අප දේශයේම මුදුන් මල්කඩ වනවා සේම තවත් පසෙකින් ලංකාව නම් වූ කුඩා දූපත ජාත්‍යන්තරයට ගෙනයාමට තුඩුදෙන සාධකය දැයි අපට හැඟේ. එමෙන්ම සමනොල ගිරි වන්දනාව අරබයා රක්ෂිතයේ සිවුදෙසින් මාර්ග පැවැතිය ද අතීතයේ රජවරුන් හෝ රටවැසියන් භාවිත කළේ අද පවතින මාර්ග ද නැතහොත් වෙනත් මාර්ගදැයි ප්‍රශ්නයකි. මන්ද එම ප්‍රශ්නය තීව්‍ර කරන සාධක කිහිපයක් පසුගිය දිනක සමනල වනයේ ඉතාමත් ගැඹුරු අඳුරු වනපෙත තුළින් අපට හමුවීමයි. මේ ලිපි පෙළ දිවෙන්නේ එම නටබුන් සොයා ගිය ගමනේ අප සොයාගත් අතීත කරුණු සමගින් කළ ගවේෂණයකි.   


උඳුවප් පෝය දින සිට වෙසක් පෝය දක්වා සමනල වාරය (Season) පටන්ගන්නා අතර එය දළ වශයෙන් මාස පහක් දක්වා පැවැතේ. ඉන්පසු කාලය හඳුන්වනු ලබන්නේ සමනල අවාරය (Off Season) ලෙසටයි. එය දළ වශයෙන් මාස 7කි. දේශගුණික විපර්යාසයක් හා වනපෙතේ පාරිසරික ස්වභාවය කරනකොටගෙන මෙලෙස කාල යුගලයක් අතීතයේ පටන් නිර්ණය වෙමින් අද දක්වා පවතින්නේ භෞතික වශයෙන් වන්දනාකරුවන්ගේ ආරක්ෂාවත්, වන සතුන්ගේ හා ශාක ප්‍රජාවගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීමට සහ සතර මහා ගංගා මගින් දිවයින සුපෝෂිත කිරීමේ අරමුණින් සේම එහි පවතින අපට බැහැර කළ නොහැකි අධ්‍යාත්මික ගුප්ත බලවේගයන්ගේ සංසිද්ධිය හේතුවෙනි.   
ක්‍රි.පූ. හයවැනි සියවසේදී පමණ විජය රජු තම්මැන්නාවට ගොඩබැසීමටත් පෙර උතුරු ඉන්දීය නාවුකයන් ඉන්දීය සාගරයේ ගොඩබිමක් සොයා යන ගමනේ සමනොලගිර හේතුවෙන් ලංකාද්වීපය ඔවුන්ට මුණගැසී ඇත. ඒ ඓතිහාසික සොයා ගැනීමට අනුව විජය රජු ලංකාව දෙසට යාත්‍රා කළා යැයි සිතිය හැක්කේ මෙම සිරිපා ගිරි ශිඛරය අදටත් ලංකාවට නුදුරු මුහුදු සීමාව තුළ පවා පැහැදිලිව දැකගත හැකිවීමෙනි.   


මහාවංශයේ මුල් පරිච්ඡේද තුළ ‘සුමන කූඨ’ ලෙස සමනල කන්ද හඳුන්වා දී ඇති අතර හින්දුන් එය ‘ස්වර්ගාරෝහනම්’ ලෙස හඳුන්වා ඇත. තව ද හත්වැනි සියවසේ පමණ චීනුන් විසින් මෙය ‘ලංකා කන්ද’ ලෙස ද හඳුන්වා ඇති අතර සමහර පැරැණි සංස්කෘතික කෘතිවල මෙය ‘රෝහණ කන්ද’ ලෙස ද හඳුන්වා ඇත.   
එමෙන්ම නවවන සියවසේදී පමණ සුලෙයිමාන් නමැති ගවේෂකයා සමනල කන්ද ‘අල් රෝහවුන්’ ලෙස හඳුන්වා ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසන ලදී. ඔහු තවදුරටත් පවසන පරිදි අගස්ති ඍෂිවරුන්ගේ වාසස්ථානය ලෙස සමනල කඳුවැටිය තිබී ඇත. එම නිසා හින්දූහු මෙම පෙදෙස ශිව දෙවියන්ට නොව මෙම ඍෂිවරයාට කැපකර ඇත.   


මෙම මතවාදවලට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරන්නේ සර් එමර්සන් ටෙනන්ට් (Sir Emerson Tenentt) වේ. ඔහු පවසන පරිදි මෙය ඉතා අතීතයේ ‘සල්මාල’ ලෙස හඳුන්වා ඇත. එය ‘සාල’ පසුව ‘සිලෝන්’ ලෙස ව්‍යවහාර වන්නට ද ඇත. මහා වංශයේ පළමු පරිච්ඡේදය තුළ ‘සුමන’ කූඨයෙහි තථාගතවහන්සේගෙන් තමන්ට වඳින්නට පුදන්නට යමක් ඉල්ලූ විට සිය වම් සිරිපා ලකුණ නීල මාණික්‍යයක සනිටුහන් කරන ලද බව පැවැසේ. ඔබ අප අද නමදින සිරිපා උඩමළුවේ ඇති විශාල සිරිපතුලට අඩි 28ක් පමණ පහළින් සත්‍ය සිරිපතුල නිල් මාණික්‍යයක් මත ඇති බව කියැවේ. එම ස්ථානයට යා හැක්කේ මහගිරිදඹ අවට ඇති උමගකින් බවත් එය අද වනවිට සඟවා තිබෙන ස්ථානයක් වේ. මන්ද එය ආරක්ෂාව පතා ගල් කුළුවලින් වසා උඩමළුවේ ඉහළ වනතුරු වසන ලදී. මෙය සනාථ කරනුයේ නවසිය තිස් ගණන්වලදී එවකට ශ්‍රීපාදය භාරව සිටි සිඩ්නි එල්ලාවල මහතා වරක් මළුවේ අලුත්වැඩියාවක් සිදුකරද්දී ගල්කුළක සිදුරකින් නිලට දිදුළමින් තිබූ මාණික්‍යය දුටු බව පැවැසීමයි.   


ක්‍රි.පූ. දෙවන සියවසේදී එනම් දුටුගැමුණු රජ සමයේදී සිරිපා ප්‍රදේශය සංඝයා වහන්සේලාගේ වාසස්ථානයක් වූ අතර එය බොහෝවිට පලාබත්ගල ප්‍රදේශය විය හැකිය. එකල මලියදේව මහ රහතන් වහන්සේ පවා වැඩ සිටි බව කියැවේ. දුටුගැමුණු රජ සමයේ සිට පළමුවැනි විජයබාහු රජ සමය දක්වා ශ්‍රීපාදය ගැන කිසිවක් සඳහන්ව නොමැති බව පවසන මහාචාර්ය පරණවිතාන සූරීන් අදහස් දක්වන්නේ එකොළොස් වන සියවසින් එපිට කිසිදු ශිලා ලිපියක් ලංකාව තුළ ශ්‍රීපාදය ගැන සඳහන්ව හමු නොවුණු බවයි.   
නමුත් සිරිපා මළුවට පහළ පිහිටි භගවාලෙන නම් ගල් ගුහාව තුළ බ්‍රාහ්මී අක්ෂරවලින් කොටන ලද වාක්‍ය කිහිපයක් අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමිපාණන්ට හමුවී ඇත. ක්‍රි.ව. 942 දී ඉබන් බටූටා විසින් ලංකාවේ ශ්‍රීපාදය වැඳීමට යන ලෙස දක්වා අැති අතර ක්‍රි.ව. 1284 දී මාකෝපෝලෝ විසින් සිරිපා තරණයට පැමිණි බව කියැවේ. තව ද සින්බෑඩ් පුරාවෘතවල ඔහු මුහුදේ යනවිට ගොඩබිම පිහිටි සුවිශේෂී හැඩයක කන්දක් දැක එය දෙසට යාත්‍රා කළ බවත් එම දේශය මැණික් හා අැත් දළ පිරුණු දේශයක් බවත් කියැවේ.   

 

අවාර උඩමළුවේ සිට අවට පරිසරය

 


එනම් ක්‍රි.ව. 750 දී පමණ ඉස්ලාමයේ අබ්බාසිඩ් කලිනාථ යුගයේ පවා ශ්‍රී ලංකාව සමනල කන්ද හේතුවෙන් දැන හැඳිනගත් බවටත් මැණික් සහ වස්තු රැසක් පිහිටි දිවයිනක් ලෙසටත් අර්ථ දක්වා ඇත. එම හේතුවෙන් ක්‍රි.ව. 1284 දී මාකෝපෝලෝ මෙහි පැමිණියේ එම දේවල් සොරාගෙන යාමට බව කියැවේ.   
අැතැමුන් ඉන්දියාවේ ශාන්ත තෝමස් මුනිඳුන්ගේ පා සලකුණ ලෙස සිරිපාදය හඳුන්වන අතර ආදම්ගේ කන්ද (Adam's Peak) ලෙස කිතුණුවන් මාර්ගයෙන් මෙය දුරාතීතයේ පටන් හැඳින්වීමට පැහැදිලි හේතුවක් තවමත් අනාවරණය වී නොමැත. නමුත් එය බොහෝ විට ශාන්ත තෝමස් මුනිඳුන් හා සබැඳි ජනවහරක් විය හැක. තව ද ජෝන් ස්ටීල් වන ප්‍රවාහය (Jungle Tide) නමැති කෙටි කථාවේ සිංහල පවුලක් මහගිරිදඹ දම්වැල් ඔස්සේ එල්ලෙමින් උඩමළුවට යන විට දරුණු කුණාටුවකට හසුව සියල්ලෝම පහළට වැටී මියගියත් එහි ශක්තිමත් මිනිසා කෙසේ හෝ සිරිපා හිමයට ගියත් ඉන් පසුව අතරුදන් වූ බවත් කියැවේ. තව ද පෘතුගීසි සමයේ විමලධර්මසූරිය රජුගේ බිසව දෝන කතිරිනා සිය සැමියාගේ අභාවයෙන් පසු සිරිපා වනයේ තපස් රැකීමට ගිය බවත් කියැවේ.   


මේ ආදී බොහෝ කරුණු මත සාධක මත සමනල කන්ද ඉතා දුර අතීතයේ සිට දේශ ගවේෂකයින් හරහා සේම රාජ වංශ හරහා ද සුවිශේෂී කන්දක් වී ඇත. මන්ද අදටත් කොළඹ පිහිටි සියලුම උස් ගොඩනැගිලි මුදුන්වලට සමස්ත සමනල කඳු වැටියම හිමිදිරියේ දැකගත හැකි අතර ඊට අමතරව මට්ටක්කුලිය පාලම, තොටළඟ පාලම, නව කැලණි පාලම, දෙමටගොඩ ගුවන් පාලම, ගම්පහ ගුවන් පාලම, කළුතර පාලම, ජාඇළ අධිවේගී පිවිසුම, ගැලනිගම අධිවේගී පිවිසුම සේම දෙහිවල, කොහුවල, තලවතුගොඩ, අතුරුගිරිය ඇතුළු බටහිර මුහුදට ආසන්න ස්ථාන රාශියකදී මාර්ගය මතදීම සමනල කඳුවැටිය දැකගත හැකිය.   


එය බොහෝ විට උදෑසන හිරු උදාවන කාලය තුළදී පමණක් වේ. සිරිපා කන්ද එතරම්ම සුවිශේෂී වුව ද තරණයට පවා අතිශය දුෂ්කර වුව ද ක්‍රි.ව. 1840 දී මේජර් ස්කිනර් සිරිපා කඳු මුදුන මත අලි වසුරු දැක තිබේ. මෙය සුවිශේෂී දෙයක් වන අතර සමහර ගම්වැසියන් සහ පවතින ජනවහර අතර මෙය සමන් දෙවිඳුගේ සුදු ඇතාගේ ලෙස විශ්වාස කෙරේ.   
තව ද මහගිරිදඹේ යකඩ දම්වැල් සවිකිරීම ඇතුළු ප්‍රායෝගික සහ අද්භූත අබිරහස් රාශියක් සමනල කන්ද මත පවතියි.   
සමනල කන්ද හා රක්ෂිතයට දැඩි ලෙස ඇලුම් කරන ක්‍රියාදාම සංචාරකයන් වන අප එහි යටගියාව ගවේෂණය කරන්න දක්වන්නේ දැඩි කැමැත්තකි. එම නිසාම අප වර්තමානයේ සිරිපා වන්දනාව සිදුකරන ප්‍රසිද්ධ මාර්ග තුනටත් අප්‍රසිද්ධ මාර්ග හතර​ටත් එහා පවතින අතිශය පැරැණි මාර්ග ගැන විමසන්නේ බොහෝ කලක සිටය. ඉහත දැක්වූ මාර්ග 7ට අමතරව රක්ෂිතය අවට වෙසෙන ගැමියන් ඔවුනොවුන්ගේ පහසුව තකා තවත් මාර්ග 4ක් පමණ සාදාගෙන තිබේ. ඒවා අතිශය වන වැදුණු අප්‍රසිද්ධ මාර්ග වන අතර වර්තමානයේ වුව ඒවා මගින් ප්‍රධාන මාර්ග දෙකට සේන්දු වී වාරයේ සිරිපා පැමිණෙන්නේ එම ගම් වැසියන්ම පමණකි.   

 

කුණුදිය පර්වතය

විනිවිද පෙනෙන දිය දහරාවක්

යකා ඉන්දූ ගල

 

 


රත්ගඟ ප්‍රදේශයේ පිහිටි දුල්ගල මාර්ග යුගලයන් සිරිපාගම අවට පිහිටි ඇඳිරිකැලේ මාර්ගයන් ෆිෂිං හට් අවට දෝතුරුගල කන්ද පාමුලින් යන මාර්ගයන් වේ. මේසා බලන කල සමස්ත මාර්ග ගණන 11ක් 12ක් පමණ වේ. නමුත් මේවාටත් අමතරව තවත් මාර්ග 2ක් ගැන අපට විස්තර ලැබුණු අතර ඉන් එකක් අප සාර්ථකව නිමකළේ පසුගිය පෙබරවාරියේදීය.   


එය ඉහළ ගලගම වතුයාය සිට මාරතැන්න හරහා මරියකොටේ, මහමුණිකන්ද අතරින් ගවරවිල හරහා පැමිණි දුෂ්කර මාර්ගයයි. අනෙක වූයේ සප්තකන්‍යා කඳු වැටියේ සිට මහ පිදුරුතලාව හරහා උඩමාලිබොඩට පැමිණි පැරැණි මාර්ගයකි. එසේ බලන කල මාර්ග ගණන 14කි. නමුත් මීට මාස කිහිපයකට ප්‍රථම අපට 15 වන මාර්ගය පිළිබඳ යම් හෝඩුවාවක් ලැබුණේ අනපේක්ෂිත ලෙසය. මන්දයත් අප මහ වන මැද පිහිටි කුඩා පතනක් සොයා ගිය ගමනේදී අහඹු ලෙස හමුවූ ගොඩනැගිල්ලක නටඹුන් හේතුවෙන් අප සොයාගත් යටගියාවක කරුණු කාරණා රාශියක් කරළියට පිවිසීමෙනි.   


සමනල වන මැද ඉතා ගැඹුරු නිම්නයක පිහිටි ඉසව්වක ඉතා ක්‍රමානුකූල ලෙස අවාරයේ මහ ගංවතුරින් ආරක්ෂා වන පරිදි මිනිස් ශ්‍රමයෙන් සාදනු ලැබුවා වූත් ස්වභාවික පිහිටීම වාසිදායක ලෙස යොදා ගනිමින් නිමවූ අම්බලමක ගරා වැටුණු නටඹුන් කිහිපයක් අපට හමුවුණි. ඒවා පිහිටියේ සාමාන්‍යයෙන් දිනකින් හෝ දෙදිනකින් ළඟාවිය හැකි තරම් දුරක නොවේ. ගංගා යුගලයක් මුණගැසෙන මංසන්ධියක බොහෝ කඳු මැද බොහෝ දුෂ්කර ගමනකින් පසුව ළඟාවිය යුතු ස්ථානයකය.   
එය සොයා පසුගිය දිනක අප සමනල රක්ෂිතයට ගොඩ වැදුණේ දැරණියගල උඩ මාලිබොඩ ප්‍රදේශයෙනි. නායගඟේ සුන්දරතම දිය ලලනාවියන් සත්දෙනා තරණය කරමින් බඹරගල කන්ද සහ මහ පිදුරුතලාව පිහිටි නිම්නයට ළඟා වූ අප මධ්‍යම කඳුකර අර්ධයට බැසගත්තේ කෑගල්ල දිස්ත්‍රික්කය නිමාකරමිනි. මීටර 1980ක් පමණ උසැති යකාඅැඬූ කන්දත් මීටර් 1920ක් උස බල්ලන්බැඳි පොළ කන්දත් පිහිටි ඉසව්ව හරහාය. අප අනෙක් පසින් දුටුවේ එක පොදියට කඳු වැටි 7ක් දරාගෙන සිටින සප්ත කන්‍යා කඳුවැටියයි. ඊට නුදුරින් කැනියොන් කඳු යුගළයත් තවත් පසෙකින් සමනල විශාලතම සමතලාමය කන්ද වන මහ පිදුරුතලාවත් පිහිටීය.   
මහ පිදුරුතලාව යනු සමනල සිටින අලින්ගේ නිජබිමයි. මන්ද සමනල සිටින සියලුම වන අලි වාරයේ සහ අවාරයේ රැඳෙන්නේ එම ත්‍රිකෝණය මතයි. එනම් සප්තකන්‍යා, බල්ලන්බැඳි පොළ සහ මහ පිදුරුතලාව කඳු යා කරන ත්‍රිකෝණයයි. කුරුවිට එරත්න පාරෙන් වම් පස කැලය එක පිම්මට සප්තකන්‍යා දෙසටත් හැටන් මාර්ගයේ දකුණු පස යකා අැඬු ගලෙන් එපිට දෙසටත් පිහිටි නොඉඳුල් වන පෙත අලි රජදහනයි. නිකමටවත් කිසිවකුත් පය නොතබන එම ඉසව්වව රහස් ගොන්නක් සඟවාගෙන සිටින ඉසව්වකි. අපට හමුවුණු නටඹුන් පිහිටියේ ද එම ඉසව්ව තුළය.   


ඇලි හතෙන් ගමන ඇරැඹූ අප කූඩැල්ලන් රාශියකට ලේ දන්දෙමින් පොද වැස්සේම පළමු රාත්‍රිය පහන් කළේ ඇල්ල අසල ගල්තලාවේ කූඩාරමක් අටවාගෙනය. පසු දින උදෑසනින්ම අප පිටත්වූයේ දෙගංකුඩු පතනටය. අපට එම පතනට යාමට අවශ්‍ය වූයේ ගූගල් චන්ද්‍රිකා සිතියම් තුළ එය කුඩාවට විශේෂත්වයක් මගින් තිබූ හෙයිනි. කෙසේ හෝ ගස්වැල් අතරින් රිංගමින් ද කටු අකුල් මගහරිමින් ද මහ පිදුරුතලාවේ බට පඳුරු යාය පසුකරමින් ද ඉදිරියට ඇදෙන අපි විටින් විට ස්ථාන කිහිපයකම අලි වසුරු දුටුවෙමු.   


පීදීගෙන එන බට යාය යනු අලින්ගේ ප්‍රියතම ආහාරයක් වන බැවින් නිතැතින්ම මෙය අලින්ගේ ඉසව්වක් බව අපට සිතුණි. ගමන අතරමග අවශේෂ නම් නොමැති දියඇලි ගණනාවක් හමුවූ අතර හෝරා කිහිපයකට පසු අප වන ​ෙරාද මැදින් ළඟාවූයේ ගූගල් සිතියමේ ස්ථානගත කරගෙන පැමිණි කුඩා පතනටය. එය අතිශය සුන්දර ඉසව්වක් වූ අතර දෙදිසාවකින් දිය දහරාවන් ගලාගෙන එන්නට විය. ඒවා එක් ස්ථානයකදී එකතු වී කැලණි ගඟ වෙත ගලා යන්නට වුව ද ඊට මඳක් ඔබ්බෙන් ස්වභාවිකව සෑදුණු විශාල පොකුණක් වැනි ස්ථානයක් දක්නට ලැබුණි. ඊට ඉහළින් අප දුටුවේ එක්වරම ගරාවැටුණු ගොඩනැගිල්ලක නටබුන්ය.   


ලබන සතියට අඹගමුව සෙල්ලිපියේ රජ මාවත සොයා සමනල කන්දට   

 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු