ක්‍රියාදාම චාරිකා

ස්ත්‍රී පුර ගුහාවේ සිට හග්ගල කන්දට

ලංකාවේ අධි රක්ෂිතයක් වන උසම කන්ද   

 

 

රාවණා කතා පුවත යනු මෑත කාලයේ විවිධ ආකාරයට කතිකාවලත් වන ලාංකීය වීර චරිතයකි. පසුගිය කාල පුරාවට රාවණා හා සබැඳි බොහෝ ස්ථාන වල අලංකාර ක්‍රියාදාම චාරිකා සමග ජන වහරේ කථා හා සංසිද්ධීන් බොහොමයක් සංවිස්තරව ගෙන ආවෙමු. රාවණ සබැඳි තවත් කතිකාවක් නුවරඑළියේ අධි රක්ෂිතයක් ලෙස නම් කරන ලද කන්දක් හා බැඳෙයි. දැනට ලංකාවේ අට වැනි උසම කන්ද වන හග්ගල කන්ද යනු එය වේ. ඉතා දුෂ්කර සහ සාර්ථක ගමනික් පසු හග්ගල කන්දේ සැඟවුණු සුන්දරත්වය සහ වපසරිය සොයා යාමට පසුගිය දිනක අපට හැකි වුණි. හග්ගල යනු සොබා දම් මාතාවගේ ඉතාමත් අනර්ඝ නිර්මාණයකි. මීටර් 20000 කට වඩා වැඩි උසකින් යුත් මෙම කන්ද තරණය කිරීම හෝ මෙම රක්ෂිතයට ඇතුළු වීම පවා නීතියෙන් තහනම් වේ. ඒ මන්ද මෙම අධි රක්ෂිතයක් වන හෙයිනි. ලංකාවේ මෙලෙස අධි රක්ෂිතයක් ලෙස නම් කරන ලද ස්ථාන ත්‍රිත්ත්වයක් වේ. එනම් හග්ගල රක්ෂිතය. රිටිගල කන්ද සහ යාල එක් කලාපයකි.   


මෙම ස්ථාන පමණක් ලංකාවෙන්ම අධි රක්ෂිත ලෙස නම් කිරීමට බලපාන විශේෂ කරුණු කිහිපයකි. එනම් රක්ෂිතයේ භූගෝලීය සහ ජෛව විද්‍යාත්මක වැදගත්කම සහ ශාක සහ පැළෑටි වල වැදගත් ස්ථානයක් උසුලයි. රාවණාගේ කථාවේ සඳහන් පරිදි හග්ගල යනු හනුමාන් විසින් හිමාලය කඳුවැටියේ කොටසක් කඩාගෙන ගුවනින් පියාසර කර පැමිණෙන විට ඉන් වැටුණු කොටසකි. එම නිසා හග්ගල ඖෂධ හා දුර්ලභ පැළෑටිවලින් සමන්විත ඉසව්වක් ලෙස පිළිගත හැකි භෞතික සාධක සහිත භූමිකයකි. ආවේණික සහ දුර්ලභ ශාක සහ පැළෑටි මෙහි ඇතිහෙයින් රක්ෂිතයට කිසිසේත්ම ඇතුළු වීමට අවසර නොදෙයි.   


නමුත් අප ගවේෂනාත්මක ක්‍රියාදාම සංචාරකයක් සඳහා අවශ්‍ය මාර්ග වලින් වාචික අවසරයක් ලබා ගත්තෙමු. නුවරඑළියේ සීතා එළිය ප්‍ර​දේශයේ සීතා කෝවිල පාමුල නැගීසිටින යෝධයා හග්ගල කඳු වැටියයි. කඳු මුදුන් තුනකින් සමන්විත සමස්ත කන්ද නුවරඑළිය අවසාන සීමාවේ සිට අඹේවෙල සහ රේන්ද පොළ දක්වා පැතිර පැවතිය රක්ෂිතය වට කොට ප්‍රධාන මාර්ග ත්‍රිත්වයක් ඇති නමුත් රක්ෂිත දෙස කිසිදු ඉදිකිරීමක් දක්නට නොලැබේ.   


කඳුකර කොටියාගේ වාසස්ථානයක් වන හග්ගල කොනිකල් රක්ෂිතයේ අසල් වාසියෙකි හෝර්ටන් තැන්න රක්ෂිතයට වැඩි දුරක් නොවන අතර පසෙකින් ඌව පළාතේ සිට නැගෙනහිර දක්වා ඇති උසැති අවසාන කන්ද ද වේ.   


ලංකාවේ උසම කඳු තිහ තරණය කිරීමේ අදහස සපුරා ගනු වස් පසුගිය වසරේ අපට ඉතිරිව තිබූ හක්ගල යනු සුදුසු අවස්ථාවක් එනතුරු කල් මරමින් සිටි කන්දකි. නිරන්තරයෙන් වර්ෂාවෙන් සහ මීදුමෙන් වෙළී යන හග්ගල රක්ෂිතයට වචනයේ අර්ථයෙන්ම තවත් එක් වලාකුළු වනාන්තරයකි. හග්ගල කන්ද තරණය කිරීමට විවිධ දිසා තිබුණද වඩාත් පහසුම සහ කෙටිම මාර්ගය ආරම්භ වන්නේ අඩවි වන නිලධාරී කාර්යාලය අසලිනි. හග්ගල උද්භිත උද්‍යානයෙන් පවා කන්දට පිවිසිය හැකිමුත් පෙර කී මාර්ගය හා සැසඳීමේදී එම මාර්ගය තරමක් දුෂ්කර වේ. අධි රක්ෂිතයක් වූ බැවින් නිසි අවසරය අවශ්‍ය වන හෙයින් අප ගමන ආරම්භ කළ ස්ථානයේ පිවිසුම හා දළ මාර්ග සටහන සවිස්තරව සටහන් කිරීම යෝග්‍ය නොවන බැවින් මෙතෙක් නිරාවරණය නොවූ නුවරඑළියේ තවත් එක් යෝධ සුන්දරත්වය මෙසේ දිග හරින්නෙමි.   


කොටුවෙන් බදුලු රාත්‍රී තැපැල් දුම්රියේ පිටත් වුණු අප පැය 8කට පමණ සුවදායක නින්දක් සමග ඇහැරුණේ නානුඔය දුම්රිය ස්ථානයේදීය. මෙදවස අපගේ තවත් එක් වෑයමක් වූයේ උඩුපුස්සැල්ලාව මාර්ගය සොයා රාගලට යාම වූ බැවින් එය දහවල් කාලයේ ඇරඹීමට අපි සැලසුම් කෙරුවෙමු. පාන්දර  4ට ළං වූ හෙයින් තවත් හෝරාවක් පමණ අප කල් මැරුවේ දුම්රිය පදික වේදිකාවේ බංකු වලය. පාන්දර පහේ කණිසමෙන් පටන් ගන්නා පළමු ලංගම බසයට ගොඩ වූ අපි තුරඟ පිටියට ටිකට් ගෙන නැවතත් සුළු නින්දකට වැටුණෙමු. හිමිදිරියේම සීත මීදුම කපාගෙන යන රතු කිරිල්ලි තුළ සිටියේ හැල හොල්මනක් නැතිව ඉහෙන් කනෙන් පොරවා ගත් මගීන් පිරිසකි. ජනෙල් කවුළු සියල්ල සහ පසු පස දොර ද වසා තිබුණේ ලංකාවේ හොඳම සීතල ඇති නුවරඑළියේ හිමිදිරියේ ගමන් කිරීම සීත දෙගුණ තෙගුණ කිරීමක් වන හෙයිනි. අඩහෝරාවක් ගත වන තැන බස් රථය තුරඟ පිටිය අසල නැවැත්වූ පසු අපි බැස ගත්තෙමු. අත්දිග කමිස සහ කලිසම් සේම කූඩැලි ආවරණ සහිත සපත්තු පැළඳි අපි බිස්කට් සහ ජලය සමග තුන් රෝද රියක නැගී සීතා එළිය දෙසට ගමන් කෙරුවෙමු.   


ග්‍රෙගරි වැව පසු කරන ඉස්මත්තේ හග්ගල නම් යෝධයා මීදුම් සළු පොරවගෙන තවමත් සුව නින්දේ පසු වන බැව් අපි දිටිමු. එක යායට හරිත පැහැය වෙලා ගත් තුරු වියන මාර්ගයේ සීත මීදුම අතරින් කඳු මුදුන දක්වා තිබුණේ සුවිසල් වන පියසක අපසරිය අපට පෙන්නමිනි. කෙමෙන් කෙමෙන් නිදි ගැට පැරදා නැගිටින ලංකාවේ දැවැන්තයින් වන පිඳුරුතලාගල, සිංගල් ට්‍රී කිකිලිය මාන සහ කොනිකල් කන්ද විටින් විට අපගේ දර්ශන පථයට හසු වූ අතර ළඟ එන උඳුවප් නිවාඩුවට සූදානම් වන සේ ගොඩනැගිලි හා හෝටල් ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක්ම දැනෙන සිදු කෙරෙන අයුරු ගමන පුරාවට අපට දැක ගත හැකි විය.   

 

හග්ගල කඳු මුදුන

පොකුණ සහ හග්ගල දෙවන කඳු මුදුන

 


කෙසේ හෝ සීතා කෝවිල පසු කොට අප බස් රථයෙන් බැස ගත්තේ කෝවිලට ගොඩවනු පිණිසය. පසුව අප ගමන ආරම්භ කිරීමට ජී.පී.එස්. ලකුණු කරන ලද සිතියම ජංගම දුරකථනයෙන් විවෘත කර ගත්තෙමු.   


ගමනේ මධ්‍ය ස්ථානයක් හෙවත් අන්තර් හුවමාරුවක් ලෙස වනය මැද පිහිටි කුඩා පොකුණක් අපි සලකුණු කරගෙන පැමිණියෙමු. එම නිසාම අපගේ ප්‍රථම කාර්යය වූයේ ප්‍රධාන මාර්ගයේ සිට වනයට ඇතුළු වී එම පොකුණ වෙත යාමය. වැසි රහිත කාලයක් වුයෙන් පොළොව තෙත බරිත නොවුණි. වියළි ශාක පත්‍ර පොළොව මත වැටී තිබූ අතර ශාක අතර සැලකිය යුතු දුරක් තිබුණු හෙයින් ගමන් කිරීම ඉතා පහසු විය. කෙමෙන් කෙමෙන් සිතියම පෙන්වන දිශාවට අප ගමන් කළ අතර වන පියස ක්‍රමයෙන් ඝන වන්නට විය. හෙමිහිට මීඳුම් සළු අතහැර සිටි හක්ගල කඳුමුදුන් යුගලයක් තුරු පියසට උසින් විටෙක අප දුටු අතර හෝරාවක පමණ කාලයක් ගත වන විට නිශ්චිත පා ගමනින් පසු අප ළඟා වූයේ අපගේ ගමනේ මංසන්ධියේ බඳු වූ කුඩා පොකුණ වෙතය. 

 
​මෙය තෘණ භූමියක් ලෙස ද සැලකිය හැකි ස්ථානයක් වූ අතර වැසි සමයේ ජලයෙන් පිරී යන පොකුණකි. මෙදින එකදු ජල බිඳුවක් හෝ නොතිබුණු හෙයින් ඉතාමත් සුන්දර තැනිතලා තෘණ භූමියක් අපට දක්නට ලැබුණි. මෙම තණ පිට්ටනිය පර්චස් 20ක් පමණ කුඩා ප්‍රදේශයක් වූ නමුත් සුන්දරත්වයෙන් අනූන විය. හග්ගල ඉදිරිපස කඳු මුදුන් යුගලය පැහැදිලිව දැක ගත් අතර සෙසු වපසරිය තුළ තිබු​ණේ තුරු ලතා පමණි. ස්වභාවය ධර්මයාගේ නිර්මාණයක් වූ මෙම තණ පිට්ටනියට අඟලක් පමණ උසට වැටුණු තණ පමණක් තිබූ අතර එය යම් කිසි කෙනෙකු කපා හොඳින් සකස් කළ බිමක් ලෙස අපට පෙනුණි. අවට පිහිටි ගස් වතුර තෙත් කලාපයේ ලක්ෂණ ඉසිලූ අතර පාසි බැදී තිබූ ගස් අතරින් මීදුම් සලු එහා මෙයා දුවන විට දැක ගත් සුන්දරත්වය නිමක් නැති විය. දිරා ගිය කොටසක් මත හිඳ අප ගෙන ආ බිස්කට් හා ජලය පාවිච්චි කරන්නට වූ අතර මෙතැනට කඳු මුදුන පෙනෙන හෙයින් දළ වශයෙන් අප ඉහළට නැගිය යුතු මාර්ගය අවබෝධ කර ගත්තෙමු. මෙතෙක් පැමිණි මඟට වඩා මෙතැන් සිට ශීඝ්‍ර ලෙස ඉහළට නැගීමට සිදු වන බැවින් හොඳින් ආරක්ෂිතව අපි සූදානම් වුණෙමු.   


මෙවැනි මිනිස් පහස ඉතා අවමයෙන් ලත් අධි රක්ෂිතයක තිබිය හැකි අනතුරු හා අවදානම් වර්ග කිහිපයකි. ප්‍රධාන අවදානම් නම් ඔසු උයනක් බදු වූ මෙහි අප නොදන්නා විෂ වර්ග ගස් තිබිය හැකි වීමයි. ඊට අමතරව සර්ප ගහණය ද නෙත් කලු විය. කූඩැල්ලන්ගේ ප්‍රහාර බුරුල් ගල් කුට්ටි හෝ ලිස්සන සුලු පසද ගත හැක. එම නිසාම පොකුණේ සිට දළ වශයෙන් ලකුණු කර ගත් මාර්ගය ඔස්සේ ඉදිරියට යාමට තීරණය කර ගනිමින් අපගේ විරුද්ධ දෙසින් තිබූ ස්ථානයකින් නැවතතත් වන ළැබට රිංගා ගත්තෙමු. මෙම වන කොටස අධික තෙත් බවකින් යුක්ත විය. පොළොව කෙසේ වෙතත් ශාක පත්‍ර මත අධික ජල වාෂ්ප හා බිංදු රැඳී තිබුණි.   


මෙම කොටස තුළ දිය දහරාවන් කිහිපයක්ම අපට මුණ ගැසුණු අතර විවිධ සුන්දර ශාක සහ පැළෑටි වර්ග කිහිපයක් ද නෙත ගැටුණි. එම නිසාම අප හැකි උපරිම ලෙස පොළොව මත පමණක් අඩි තබා කිසිදු ආකාරයකින් ගස් අතු නොකඩා ඉදිරියට ඇදුණෙමු. සමහර ස්ථාන වල පස සහිත බිමට දෑත තබා අංශක 70 ක පමණ ආනති තරණය කරන්න විය. පොකුණ පිහිටියේ මීටර් 1800 කට වැඩි උසකින් එම නිසාම අඩ හෝරාවක් ගත වූ පසු අප මීටර් 2000 මට්ටමට ළඟා වෙමින් තිබුණි. කඳු මුදුනට යන ස්ථානයට ළංවත්ම වන ළැහැබ ක්‍රමයෙන් පහසු වන්නට විය. නමුත් ගස් අතු කොළ සහ පඳුරු වල තිබූ පින්නට ඇගේ හිසේ සිට දෙපතුල දක්වා තෙමී තිබුණි.   


මීටර් 2000 මියිමට ළඟා වූ පසු අප දුටුවේ කුරු ශාක පිරි ප්‍ර​දේශයකි. මෙතැන් සිට දෙවන කඳු මුදුන දක්වා යා යුත්තේ කුරු ගස් යායක් මැදින් විය. අපි ජී.පී.එස්. සිතියමට අනුව පළමු කන්දට නැග ගිය හෙයින් ආරුක්කුවට වැඩි තිබූ කුරු ගස් අතරින් දෙකට නැවී ගොස් යම් කිසි විවෘත ස්ථානයකට පැමිණියෙමු. එතනට හග්ගල කන්දේ උසම කඳු මුදුන තවත් මීටර 400ක පමණ දුරක් අපට දැක ගත හැකි විය. එය පළමු කඳු වැටි යුගලයෙන් මඳක් ඈත්ව පිහිටා තිබුණු නමුත් එයද කුරු ගස් වනයක් බව අපි දුටුවෙමු.   


කුරු ගස් අපගේ ඉණ ප්‍රමාණයට වූ හෙයින් පහසුවෙන් සිටගෙන අපි කඳු මුදුන කරා පියමැන්නෙමු. දෙවන කඳු මුදුනට ළඟා වූ අප දුටුවේ අංශක 360ක් වසාගෙන සිටි සුදු මීදුම් කඳු පමණි. ඒ අතර මෙම ප්‍රදේශ පුරාවට අලංකාර කුඩා මල් වර්ග රාශියක් පිපී තිබුණි. විවිධ අලංකාර පත්‍ර රටා සහිත පැළෑටි රාශියක් ද තිබූ අතර එක් දිසාවක මහරත්මල් යායක් දක්නට ලැබුණි. ක්‍රමයෙන් මීදුම පහව යන විට අප නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව පිඳුරුතලාගල, කිකිළියමාන, කන්දේ ඇළ කොනිකල් රක්ෂිතය, ග්‍රේට්වෙස්ටර්න් හග්ගල උද්‍යානය අහුමුලු කන්ද සහ බදුලු මාර්ගය දැක ගත හැකි විය. හග්ගල උසම කන්දට ඉහළින් හෝර්ටන් තැන්න දැක ගත නොවූයේ මීදුම තිබූ හෙයිනි.   


එම නිසාම අප තව සුළු වෙලාවක් මෙහි ගත කර නැවත පිටත් වූයේ හග්ගල කඳු වැටියේ උසම කන්ද වන තෙවන කඳු මුදුන සොයා ගෙනය. මාර්ගය අප සිතූ තරම් දුර නොවූයේ ගමන් මගේ තිබූ පහසුව නිසාවෙනි. වලාකුළු වනාන්තරයකට අනුගත වූ තුරු ශාක පිරි මෙම ඉසව්ව නිතරම පාහේ මීදුමෙන් වැසි තිබෙන්නේ එහෙයිනි. අඩ හෝරාවකට පසු අපි හග්ගල කන්දේ උසම ස්ථානය හෙවත් මුහුදු මට්ටමේ සිට මීටර් 2170 ක් පමණ උසක සිටියෙමු.   


වසර ගණනක් සිතමින් සිටියත් හග්ගල තරණය පැය තුනකට ආසන්න කාලයක් තුළ සැබැ වූ අතර හග්ගල යනු සුවිසල් වන පියසක් වග උසම කන්දට හොඳින් පෙනේ.   


රාවණ විසින් සීතා ​දේවියව පැහැරගෙන පැමිණ සීතා කෝවිල පිහිටි ස්ථානයක සිර ගත කොට තැබූ බවත් එහිදී සීතා දේවිය අසනීප වූ හෙයිනි. ඊට අදාළ බෙහෙත් ගල්වා ගැනීමට උමගක් ඔස්සේ හග්ගල කඳු මුදුනට ගෙන ගිය බව පැවසේ. මීට සමාන අනෙක් ජනප්‍රවාදය නම් ස්ත්‍රීපුර උමගේ සිටි අසනීප වූ සීතා දේවියව උමගක් ඔස්සේ හග්ගල කන්දට ගෙන ආ බවයි. තවද ස්ත්‍රීපුර උමඟ හපුතලේ උමඟ හග්ගල කන්දට සම්බන්ධ බවත් කියැවේ. හග්ගල ඔෟෂධ උයනක් බව නොරහසකි. මෙහි ඇති ඇතැම් ඔෟෂධ සහ පැළැටි වර්ග ලංකාවට පමණක් ආවේණික දුර්ලබ එ්වා බව පැවසේ. හග්ගල ඖෂධ උයනක් වීමට බලපෑ අනෙක් කාරණය හනුමාන් විසින් කරමතින් ගෙනා හිමාල කඳු වැටියේ කොටසක් කැඩී වැටුණු කන්ද බවයි. සීතා කෝවිල නුවරඑළියේ හනුමාන් කෝවිල රම්බොඩ සහ තවලන්තැන්න ආසන්නයේ පිහිටා ඇත.   


කඳුකර කොටියා හෝර්ටන් තැන්න සිට හග්ගල හරහා කොනිකල් කන්දටත් පිඳුරුතලාගලටත් මාරු වන අතර හග්ගල කන්ද නුවරඑළියේ බොහෝමයක් ස්ථාන වලට පැහැදිලිව දැක ගත හැකිය. කඳු මුදුන් ත්‍රිත්වයක් එක පොකුරට ඇති හෙයින් මෙය හඳුනා ගැනීමට පහසුය. නමුත් විවිධ දිශා වලට පෙනෙන හග්ගල හැඩය වෙනස් වේ. හෝරා 3 ක් පමණ වැය කර අප ගූගල් සිතියම් උපයෝගී කරගෙන පහසු මාර්ගයකින් පැමිණිය ද එය හුදෙක් පරිසරයේ සුන්දරත්වය දැක ගනු උදෙසා පමණි. මන්ද ලංකාවේ අට වැනි කඳු මුදුනට සොබාසිරි අපි පා තැබූ බවට අත්දැකීමක් අවශ්‍ය වූ හෙයිනි. එම නිසාම මෙම ගමනට සහභාගි වූයේ මා සහ මලිත් සොයුරා පමණි.   


තුරු ශාක ව්‍යාප්තිය සහිත හග්ගල කඳු මුදුන් සියල්ල තුළ යහපත් පාරිසරික පද්ධතියක් පවතියි. හග්ගල දෙවන කන්ද මුදුනට පළමු කන්දේ සිට යන ආකාරයන් දෙවන කන්ද මුදුනේ අප සිටින අයුරු පහළ මාර්ගයටත් සීතා කෝවිල අසල සිටින ජනතාවටත් හොඳින් දැක ගත හැක. ඒ කන්ද මුදුනේ පිහිටි කුරු ගස් හා හිස් අවකාශය නිසාවෙනි. හග්ගල කන්දේ තවත් රහස් වනුයේ මෙම කන්දේ පිහිටීම ඉන්දියාවේ යම් කිසි දේවාලයකට මුහුණලා තිබීමය. තවද හග්ගල කඳු වැටිය සහ රක්ෂිතය තුළ අදටත් නොවිසඳුණු සහ හෙළිදරව් නොවූ සොයා නොගත් රහස් පවතියි. කිසිවෙකුටත් ඇස නොගැටුණු නොවිසඳුණු සහ හෙළි දරව් නොවූ සොයා නොගත් රහස් පවතියි. කිසිවෙකුටත් ඇස නොගැටුණු නොඉඳුල් ඉසව් වල උමං කටක් හෝ ගුහාවක් තිබිය හැක. එය පිදුරු ගොඩේ ඉඳිකටුවක් සොයනා වැන්නකි. මන්ද සුවිසල් ඝන වන පියස හෙයිනි. හග්ගල තරණය සොඳුරු මතකයන් දරාගෙන අප නැවත ගමන අවසන් කළේ දෙහෝරාවක පල්ලම් බසිමිනි. ඒ වන විට අපගේ ඇඳුම් වල මඩ ගෑවී තෙත බරිත වී තිබුණි. සොබා සිරි සමග තවත් ක්‍රියාදාම චාරිකාවකින් ලබන සතියේ හමුවෙමු.   

 

 


සංචාරක සටහන හා ඡායාරූපය   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු