සමනළ වන මැද සැඟවුණු නටබුන් සොයා

පැදුරුතලාගලට පෙනෙන සමනල කන්ද

 

 

  • * ගස් වැල් දිගේ බඩගාගෙන කඳු මුදුනට ගියත් එහි අලි වසුරු එමටයි
  • * කුඩා ගල් ගුහාවක වසර 8 ක් පමණ පැරණි අපද්‍රව්‍ය තිබුණේ නිධන් හොරුන්ගේ ද?
  • * වර්ණගල අම්බලමට ඉහළ කඳු ගැටය මෙයයි

 

සමනළ වන මැද නටබුන් සොයා ගිය අපි මීළඟට ගියේ තවත් අපූරු ස්ථානයකට. ඒක කන්දක්. මහ කළු ගල් පර්වතයකින් හෙබි විශාල කන්දක් වන එය සමනළ කන්දට පෙනෙන්නේ තවත් කන්දක් සමගින් හාවී කඳු වැටියක් ලෙසයි. සමනළ කන්ද යනු ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය සලකුණයි. මන්ද අතීතයේ අරාබි මුහුද හා ඉන්දියන් සාගරයේ යාත්‍රිකයන් මෙම අරුම පුදුම කන්ද දැක අප සශ්‍රීක ගොඩබිමට ගොඩවැදුණු බව නොරහසකි. අද අප සමනළ අඩවියේ හුදෙකලා වූ කන්දක් සොයා ගෙන ගියේ අතීතාවර්ජනයක්ද සමගිනි.

වර්ෂ 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමනළ අඩවියට එවකට හෙක්ටයාර 22379 ක් අයත්ව තිබුණි. පසුව ඉන් තෝරාගත් හෙක්ටයාර 12979 ක් සංරක්‍ෂිත අවශ්‍යතාව මත ස්වභාවික රක්‍ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කළ අතර තවත් හෙක්ටයාර 9400ක් අභය භූමිය ලෙස නම් කර ලදී. සිරිපා මළුවට හා ඊට යාබද ප්‍රදේශ අයත්වනුයේ සමනළ අඩවිය අභය භූමියටයි.


සමනළ අඩවිය යනු දිවයිනේ අට දිශාවටම ගලන සුපින්වත් දියවරේ තිඹිරි ගෙයයි. බුදුන් වහන්සේ තෙවරක් ලංකාද්වීපයට වැඩි විට ගතකළ සොළොස්මස්ථානයන්ගෙන් දෙකක් මෙහි ඇති බව පැවසේ. ඒ ශ්‍රී පාද පද්මය සහ තවමත් විවාදයට තුඩුදෙන දිවා ගුහාවයි. මධ්‍යම කඳුකරයේ සබරගමු කඳු පන්තියේ පිහිටි මෙම රක්ෂිතය පළාත් දෙකේ මායිම වේ.
ඉන් සබරමු පළාතේ උසම කන්ද වන යකා ඇඩු කන්ද (මීටර 1950) සමනළ කන්දට යාබදව පිහිටා ඇති අතර දිවයිනේ පස්වැනියට උසම කන්ද වන සමනළ කන්ද (මීටර 2243) ද පිහිටා ඇත මීට අමතරව අවශේෂ කඳු 25 කට ආසන්න ප්‍රමාණයක් පවතින රක්‍ෂිතයේ ශාක හා ජෛව විවිධත්වය ඉතා ඉහළ අගයක් ගනු ලබයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙක්ටයාර 4897 ක් හා රත්නපුර දිස්ත්‍රික්කයට හෙක්ටයාර 17483 ක් අයත් මෙම රක්ෂිතය රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට මායිම් දරනු ලබයි.
අතීතයේ සමනළ වන්දනාවට පැවතියේ මාර්ග ත්‍රිත්වයකි. ඉන් එකක් රජ මාවත ලෙස හඳුන්වනු ලැබූ අතර අනෙක රජරට මාර්ගය ලෙසත්, අනෙක ඌව මාර්ගය ලෙසත් හඳුන්වනු ලැබීය. රජ මාවත යනු වර්තමානයේ අප ශ්‍රී පලාබද්දල පවනැල්ලෙන් ආරම්භ කරන මාර්ය නොවන අතර පැරණි රජ මාර්ගය වූයේ ගිලීමලේ, තුංතොට, උඩුපොලන, සමන්වත්ත බටේපොළ, ඇඳිරියන්වල, දියබෙත්ම, ධර්මරාජ ගල ඔස්සේ පැවති මාර්ගයයි. වර්තමාන රජ මාවත ඊට සමහර තැන්වල දී යාවී පවතින අතර ඇඳිරි කැලේ හරහා යන අඩි මාර්ගය අදටත් අවට ගැමියෝ භාවිත කරනු ලබති.


සම්මත මාර්ග තුන හා සම්මත නොවන මාර්ග 4 හැරුණු විට තවත් මාර්ග 6 ක් පමණ සමනළ වන්දනාවට පැවතෙන නමුත් ඉන් 4 ක්ම කෙටි මං වේ. නමුත් ඉන් ඉතිරි දෙක වනුයේ ඉහළ ගලගම, මාරතැන්න හරහා පැමිණි මාර්ගය හා පසුගිය සතියේ අප කතිකා කළ රජරට මාර්ගයයි. සමනළ අඩවිය වක්‍රාකාර පටියක් ලෙසට බටහිර - නැගෙනහිර දිශානුගතව විහිදී යන අතර දිගින් කිලෝමීටර 45 ක් පමණ වේ. එහි බිම් තීරුවේ සාමාන්‍ය පළල කි.මී. 18 ක් පමණ වන අතර පළල අඩුම ස්ථානය වනුයේ කි.මී. 10 ක් පමණ වූ මාරතැන්න ආශ්‍රිත බිම්කඩයි. මුහුදු මට්ටමේ සිට මීටර 460 සිට මීටර 2243 දක්වා උස පරාසයක විහිදෙන සමනළ කන්ද විටෙක බැලුවහොත් ලංකාවේ ගොඩ බිම් මට්ටමේ උසම කන්ද ලෙස හැඳින්විය හැකිය.


මෙම අඩවිය කඳුකර තෙක් හා උප කඳුකර වන ලක්‍ෂණ වලින් සමන්විත වන අතර ඉහළ කඳු මුදුන්වල දැඩි සුළං ප්‍රවාහයක් දක්නට ලැබේ. බොහෝ විට ඉහළට යනවිට කුරු ශාක ව්‍යාප්තියක් පවතින නමුත් මෙහි වාසය කරන අලි කුරු අලි නොව සාමාන්‍ය ලංකා අලි බව විශේෂයෙන්ම කිව යුතුය. ඒ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් අපි පසුගිය මසක පළ කෙරුවෙමු.

 

පැදුරුතලාගල

 


ජලාශ්‍රිත පරිසර පද්ධති, තැනි, හෙල්, ප්‍රපාතාකාර බෑවුම්, ද්‍රෝණි හා පතන් ආදිය පිරුණු අඩවියෙන් වෑස්සෙන දිය දහරාවල් ගණන දෙතුන් සියයක් පමණ වේ. මේ සියල්ල කැලණි, කළු, වලවේ ගංගාවලට ගලාගෙන යන අතර මහවැලියට කිසිදු දියවරක් සමනළ අඩවියෙන් ලැබෙන්නේ නැත.


මෙවන් ප්‍රෞඩ වටිනාකමක් පවතින සමනළ කන්දේ අදටත් හුදෙකලා වූ කන්දක් තරණය කිරීමට අප පසුගියදා පිටත්ව ගියේ යම් ගවේෂණාත්මක මූලාශ්‍ර කිසිවක් හෝ ලැබෙතැයි සිතමිනි. මීටර් 1465ක් පමණ වන පැදුරුතලාගල කන්ද පිහිටියේ මීටර 1500ක් පමණ උසැති හීන් පිදුරුතලාව කන්දට අසල්වැසි වෙමිනි. පැදුරුතලාගල කන්ද සිරිපා යන බැතිමතුන් නිරායාසයෙන්ම දකින්නේ කුරුවිට එරත්න මාර්ගයෙන් යන විටදීය. මන්ද වර්ණගල අම්බලම පිටුපස ඇති මෙම කන්ද ඇතැම් අය වරණගල කන්ද ලෙස ද හඳුන්වනු ලබයි.
කෙසේ හෝ මෙම අපූරු කන්ද මුල්වරට අප දුටුවේ මීට සිව් වසරකට පෙර අප කුණුදිය පර්වතය මුදුනට නගින විටදීය. වර්ණගල අම්බලම පිටුපස ඇති මෙම කන්ද බැලූ බැල්මට දැවැන්ත ගල් පර්වතයකි. මෙය ඉතා දිගු ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතින අතර කන්ද තරණය කිරීමට අපගේ සහයට සිටියේ ගූගල් සිතියම පමණි.


එම නිසාම අපි නිසි ලෙස සැලසුම් කරමින් එක් දිනකදී මෙය තරණය කරනු වස් සැලසුම් හැදුවෙමු. එහිදී අප දුටුවේ අඩවිකන්දේ සිට වර්ණගල කුඩා විදුලි බලාගාරයට ගමන් කළ හැකි අතුරු මාර්ගයේ ගොස් සිතියමේ පෙන්වන විශාල පතන වැනි ප්‍රදේශයෙන් වනයට අවතීර්ණ වී කඳු ගැට්ට දිගේ නගිමින් කන්ද මුදුනට ළඟා වීමටයි.
“සුමන සමන් දෙවි වැඳ බැස එම විට - මුනිඳුට ආරාධනා කර නම කොට


ඔබගේ පතුල මට නිතර වඳිනට - තබවනු මාගේ විමන එගිරි පිට”


අතීතයේ සමනළ අඩවිය තම වාස භූමිය කරගත් සුමන නම් දෙවි බුදුරජාණන්ට තම අඩවියට ආරාධනා කර පසුව උන්වහන්සේ සිහිවනු පිණිස යමක් ඉල්ලූ විට සමනල ගිර මත පදලසනා තබා ඇත. විවිධ බාධාවීම් වලින් පසුව ශ්‍රී පාද පද්මය තිබීමට හැකි වූයේ සමනළ ගිර මත වන අතර නමුත් අද අප දකින්නේ ඒ සැබෑ පද්මය නොවෙයි. සැබෑ ශ්‍රීපාද පද්මය අයිනේ වර්තමාන තැනට අඩි 28 ක් පමණ යටින් නිල් මාණික්‍යයක් මතය. එය අද වනවිට මෙලෙස වසා දමා ඇති අතර ඊට ළඟාවිය හැකි උමං මග ද වසා දමා තිබේ. කෙසේ හෝ සමනළ කන්ද හා ඒ අවට අදටත් විසඳා ගත නොහැකි වූ අබිරහස් ගොන්නක් පවතියි.


ගමන ආරම්භ කළ අපි පයින්ම වර්ණගලට යන ජීප් රථ මාර්ගයේ ඉදිරියට ඇදී සිතියමට අනුව පෙන්වූ ස්ථානයෙන් පතන යැයි සඳහන් කර ගෙන පැමිණි ඉසව්වට ගොඩවැදුණෙමු. එය පතනක් නොව විශාල පඳුරු වර්ගයක් පිහිටි ඉසව්වක් බව අපට වැටහුණේ එහි පැමිණි විටදීය. එම පඳුරු පිහිටි ආකාරයෙන් අපට එහි ගමන් කිරීම අතිශය දුෂ්කර වුවද අපි කෙසේ හෝ වැටෙමින් ද එහි ගමන් කර වන පියසට රිංගා ගත්තෙමු.

 

 


එම පඳුරුවල තිබූ කහ පාට සිහින් කූඩු අප සියල්ලන්ගේම නාස් පුඩු තුළට රිංගා කිවිසුම් යාමට වූ අතර වන පියසට පැමිණි අපි සිතියමේ පරිදි කඳු ගැට්ට දිගේ ඉදිරියට ගමන් කළෙමු.


වන පියස අප සිතූ තරම් අපහසු නොවීය. මන්ද එහි යටි රෝපණ ශාඛ නොමැති වීමයි. උස් තුරු ලතා රාශියකින් වටවුණු එම පරිසරය යම් ගුප්ත බවක් ඉසිලීය, ක්‍රම ක්‍රමයෙන් දළ ආනතියකින් අප ඉහළට ඇදෙන විට මාර්ගය විශාල ගල් කුට්ටි හා පර්වත වලින් ග්‍රහණව තිබුණි. නමුත් අපි සිතියම අනුසාරයෙන් ඉදිරියට ඇදුනෙමු.


උඩවැඩියා විශේෂ සියයකට අධික ප්‍රමාණයක් පවතින සමනළ රක්ෂිතයේ අලියා, කොටියා, වලහා, ගෝනා, මීමින්නා, මුවා, හාවා වැනි සතුන් වාසය කරයි. ඊට අමතරව සමනලුන්, පක්ෂීන්, කෘමීන් ආදී සර්පයන් විශේෂ ආදී විශාල ජෛව විවිධත්වයක් පවතියි. අපි ක්‍රමයෙන් ඉහළට යනවිට එක්තර කුඩා තැනිතලා ප්‍රදේශයක අලි වසුරු බොහොමයක් දුටුවෙමු. එය පසුකර නැවතත් ඉහළට ඇදෙන විට අහම්බෙන් අප නෙත ගැටුණේ අප ගමන් කළ මාර්ගයට මදක් නුදුරෙන් පිහිටි කුඩා ගල් ගුහාවක් වැනි ඉසව්වකි. එහි කළු පාට පොලිතින් කැබැල්ලක් තිබෙනු අප දුටු බැවින් එම ස්ථානයට ගොස් අපි විපරම් කළෙමු.


එහි යම් පිරිසක් නැවතී සිටි බව නිසැකය. මන්ද කුඩා පොලිතීන් කැබැල්ල අසල ලීපටි යුගලයක් සවිකර අට්ටාලයක් මෙන් තිබූ අතර ඒ අවට පොළොව එහා මෙහා කර විපරම් කරන විට කුඩා මැටි පහන් දෙකක් ද අපට හමුවුණි. එහි තවදුරටත් විපරම් කළ අපට කුඩා ගුහාව ඇතුළේ පොළවට පස් වෙමින් තිබූ තවත් පොලිතීන් කැබැල්ලක් විය. එය කෙටි ආහාරයක කවරයකි. එහි 2012 වර්ෂයේ නිෂ්පාදන කළ බව සඳහන් වූ අතර එසේනම් මීට වසර 9කට පමණ පෙර කිසියම් පිරිසක් මෙහි රැඳී සිටි බව නිසැකය. මොවුන් මෙසේ සිටියේ කිමද යන්න අපට ගැටලු සහගත විය.


කුඩා මැටි පහන් ඒ සැකය තවත් වැඩි කළේ යම් නිධානයක් ගැනීමට පැමිණි පිරිසක්දෝ යැයි හඟවමිනි. මන්ද මේ අවට තිබුණේ දැවැන්ත ගල් පර්වත හා ගල් කුට්ටි පමණක් වන නිසාවෙනි. ඒ අවට තවදුරටත් විපරම් කරන විට කිසිවක් හමු නොවුව ද අපි මේ දේවල් එම ස්ථානයේම තබා නැවත ගමන යාම පටන් ගත්තෙමු.


ගමන අවසානයට ආසන්න බව වැටහෙන විට වනයට පහළින් කුඩා දිය පහරක ශබ්දය අපට ඇසුණි. වහා එහි ගිය අප දුටුවේ තරමක් සිඳී ගිය ජල ප්‍රවාහයකි. විශාල ගල් තලාවක් මතින් ගලා යන එහි ජලය අපි බෝතල්වලට පුරවාගෙන පානය කළෙමු. එහි මඳක් විවේක ගත් අප දුටුවේ පසෙකින් ඇත්තේ හීන් පිදුරුතලාව කන්දේ පිටුපස සහ අනෙක් පසින් ඇත්තේ අප තරණය කිරීමට යන පැදුරුතලාගල කන්දේ මුදුන බවයි. ඒ කඳු දෙක අතර පැහැදිලි නිම්නයක් වූ අතර මෙම දියවර ගලාගෙන එන්නේ ඒ අතරින් බව අපි පසක් කර ගත්තෙමු. පසුව අප නැවතත් පෙර මාර්ගයට පැමිණ කන්ද මුදුනට යාමට පටන් ගත්තද ගල් බිත්තිය පහළ සිටි පොළොං තෙලිස්සෙකු අප දුටුවේ අහම්බෙනි.


කෙසේ හෝ එම ස්ථානයෙන් ප්‍රවේසම්ව ඉවත් වූ අපි කන්දේ මුදුනට නැගීමට ඇති ක්‍රමය ගස් වැල් දිගේ එල්ලී බව දුටුවෙමු. අඩි 5ක් පමණ උසට අප පඳුරු සහ ගස් වැල් ආධාරයෙන් අමාරුවෙන් කන් ද මුදුනට නැග ගත්ත ද සැබෑ කඳු මුදුන තවත් එහා බව අපි දුටුවෙමු. නමුත් දැන් අප සිටින්නේ ගල උඩ තැනිතලාවේ වූ බැවින් ගමන අපහසු නොවීය. ක්‍රමයෙන් අපි මාන පඳුරු අතරින් ඉදිරියට යන විට දුටු දෙයින් විස්මයට පත්වුණෙමු.

 

දශකයකට පෙර ධර්මරාජගල අවට සිටින අලි

 


එනම් කන්ද මුදුනේ අලි වසුරු තිබීමයි. අපද ඉතා දුෂ්කරව කන්ද මුදුනට නැග්ග ද වන අලි පවා මෙම කන්ද මුදුනට පැමිණි වග අපි දුටුවෙමු. තවත් දුරට යන විට නැවතත් අලි වසුරු බොහෝමයක් අප දුටු අතර ස්ථාන කිහිපයක ඒවා දක්නට ලැබුණි. කෙසේ හෝ අප වර්ණගල අම්බලම තියන ස්ථානයට ආ අතර එය කන්දේ මුදුන විය. එය ඉතා විශාල තනි පැතලි ගල් තලාවකි. අංශක 270 ක පමණ සමතල වපසරියක් එහි දක්නට තිබූ අතර සමනය හා බෑන සමනළ සේම කුණුදිය පව්වත් ඉතා අපූරුවට අපට දක්නට ලැබුණි.
හොඳ විවේකයක් ගත් අපි අව් රශ්මිය නොතකාම ගල උඩ වැතිරුණෙමු. පහළින් ඩයිමන්ඩ් ගල, වර්ණ ගල, අම්බලම, මාදගින්න හා ගෙත්තම් පාණත්, හැරමිටි පාණ අම්බලමත් අපට දක්නට ලැබුණි. රජ මාවත මහගිරි දඹ දිගේ යන මාර්ගයත් ඉතා හොඳින් අපට දක්නට ලැබුණි. කෙසේ හෝ ගිමන් හැරි අපි ගල අවට හා යාබද වන ළැහැබ මඳක් විපරම් කළෙමු. එහිදී අපි දුටුවේ මින් පෙර නුදුටු දෙයකි. එනම් මෙම කන්ද මුදුනේ මිනින්දෝරු සලකුණ (කුකුල් පාද) දෙකක් ස්ථාන දෙකක පිහිටා තිබීමයි. ඉන් එකක් ගල මතුපිටින් ඉහළට එසවෙන ලෙසත් අනෙක ගල හාරා තිබෙනු ලෙසත් තිබීමයි.


කෙසේ හෝ අප හෝරාවක් දෙකක් පැදුරුතලාගල කන්ද මුදුනේ ගත කළේ අවට සිරි නරඹමිනි. වසර හතක් පමණ පරණ ගල් ගුහාවක් අසල තිබූ ද්‍රව්‍ය සේම මිනින්දෝරු ලකුණු දෙකත් අපට කුතුහලය ගෙනදුණි. එනමුත් අප නැවතත් පැමිණි මාර්ගයෙන්ම නැවතත් බසින්න වූයේ සවස් යාමට පෙර ගමන නිම කිරීමටයි. එම නිසාම අප වර්ණගල මාර්ගයට පැමිණෙන විට වේලාව සවස 6 ට ළංව තිබුණි.


ලබන සතියේ - බෑන සමනළ ගලේ යකඩ කණු හා ගලේ කෙටුම් සොයා


සැළකිය යුතුයි - වනජීවී සංරක්ෂක ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව සමනළ ස්වභාව රක්ෂිතයට ඇතුල්වීම නීතියෙන් තහනම් බව හොදින් මතක තබාගන්න. 


විශේෂ ස්තුතිය - වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ප්‍රදේශයේ අඩවි වන නිලධාරී මහත්වරුන්ට
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු