ගමට නම හැදුණු හැටි

 

වර්තමාන කෑගලු දිස්ත්‍රික්කයට, පැරණි උඩරට රාජධානියේ බෙදීම් ලෙස පැවැති ප්‍රධාන මහ දිසාවක්වූ සිව්කෝරලයද සුළු දිසාවක්වූ තුන්කෝරලයද අයත් වේ. කෙහෙල්පන්නල ග්‍රාමය අයත්වන්නේ සිව් කෝරළයට අයත් එක් කෝරළයක්වූ පරණකුරු කෝරළයටය.  


තවදුරටත් පැහැදිලි කරතොත් පරණකුරු කෝරළයේ එක් කොටසක් වන තුන්පලාත පත්තුවටය. වර්තමානයේ ඉතා දර්ශනීය ලෙස ඉදිකර ඇති හෙම්මාතගම - ගම්පල ප්‍රධාන මාර්ගයේ හෙම්මාතගම සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි බලත්ගමුව නම් ගමේ සිට සුළු දුරක් ගමන්කිරීමෙන් කෙහෙල්පන්නල ග්‍රාමයට ළඟාවිය හැක.  
ශතවර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවෙන් පැමිණි දිවාකර නම් බ්‍රාහ්මණයෙක් සිය සගයින් දෙදෙනෙකු සමග මෙම ගම් ප්‍රදේශයේ පදිංචි වී ඇත. ඔවුන්ගේ වාසය සඳහා ඉදිකරන ලද පැල් සඳහා කෙසෙල් කොළ භාවිතා කළ හෙයින් කෙහෙල්පන්නල යන නාමයෙන් ගම හැඳින්වීම ආරම්භ විය.  
අම්බුළුවාව සහ දොළොස්බාගේ කඳු පන්තීන් පාමුල ගම පිහිටීම නිසා, නිතර ලැබෙන ජලධාරාවන්ගෙන් පෝෂණයවීමත් සනීපදායක දේශගුණයක් පැවැතීමත් නිසා සශ්‍රික වූ රමණීය ග්‍රාමයක් ලෙස කෙහෙල්පන්නල ප්‍රසිද්ධියක් උසුලයි.  


සරුසාර ගමක් ලෙස කෙහෙල්පන්නල කොතරම් ප්‍රසිද්ධියක් ඉසිලුවාද යන්න මැනවින් හෙලිදරව් වන රසවත් ජනප්‍රවාදයක් ප්‍රදේශයේ ජනයා තුඩග පවතී. ජනප්‍රවාදයේ එන මෙම සිදුවීම මහනුවර රාජධානි සමයේ හෝ බොහෝවිට ගම්පල රාජධානි සමයේ සිදුවූවක් විය හැක.  
ජනප්‍රවාදයෙන් හෙළිවන්නේ කෙහෙල්පන්නල ප්‍රදේශවාසීන්ගේ ඥානාන්විත උත්සාහයක් නිසා කෙහෙල්පන්නල රාජකීය ගමක් හෝ නැතහොත් ගබඩාගමක් වීම වළක්වා ගැනීමට හැකිවූ බවය. රාජධානීය ගමක් හෝ ගබඩාගමක් ලෙසට පත්වූයේ නම් අවුරුදු පතා ගැමියන්ගේ කුඹුරු වතුපිටි ආදියෙන් ලැබෙන අස්වැන්නෙන් විශාල කොටසක් රජුගේ මහගබඩාවට හෝ බිසෝවරුන්ට අයත් පල්ලේවාහල ගබඩාවට ලබාදීමට සිදුවනු ඇත.  


අම්බුළුවාව කඳු මුදුනට පිවිසි කල පහල බැලූ විට කඳු පාමුල සිට විහිදී යන කෙහෙල්පන්නල ගමේ සරුසාර කුඹුරුයාය, අනෙකුත් ගම් ප්‍රදේශයන්ට වඩා හොඳින් කැපී පෙනෙන දසුනක් විය. රාජසභාවේ සිටි ප්‍රධාන නිලමේවරුන් කිහිපදෙනෙකුට අවශ්‍ය වූයේ රජතුමාට අම්බුළුවාව කඳු මුදුනේ සිට කෙහෙල්පන්නල ප්‍රදේශයේ කැපීපෙනෙන සරුසාර බව පෙන්වා එය රාජකීය ගබඩා ගමක් බවට පත්කිරීමට රජුගේ කැමැත්ත ලබාගැනීමය.  
කෙහෙල්පන්නල ගමේ වැසියෙකු වූ ධනසේකර මුදියන්සේ රාජකීය දෛවඥයකු ලෙස සේවය කරන අතර ඔහු රාජ සභාවේ සිදුවන කථාබහ, ගන්නා තීරණ ආදිය පිළිබඳ විමසිල්ලෙන් සිටි අයෙකු විය. නිලමේවරුන් කිහිපදෙනෙකුගේ රහස් අරමුණ පරිදි පසුදින අම්බුළුවාව කඳු මුදුනට රජතුමා කැටුව ගොස් කෙහෙල්පන්නල ප්‍රදේශය පෙන්වීමට සැලසුම් කර ඇති බව ඔහුට දැනගන්නට ලැබුණි.  
ධනසේකර මුදියන්සේ වහාම තම ගම් ප්‍රදේශයට, රජුගේ අම්බුළුවාවට පැමිණීමේ තොරතුරත් එහි අරමුණත් දන්වා හැරියේය. ආරංචිය ලද කෙහෙල්පන්නල වැසියෝ අවට ගම් ප්‍රදේශයන්හි ජනතාවගේත් සහාය ලබාගෙන දිවා රෑ නොතකා ගමේ කුඹුරුයායන් මැද්දේ තැනින් තැන ගස් සිටුවා ලියදි මධ්‍යයේ පැල් තනා එහි බාහිර ස්වරූපය වෙනස්කර විශාලත්වයෙන් පෙනෙන කුඹුරුයායේ සුන්දර දසුන වෙනස් කිරීමට ක්‍රියා කළහ.  
රජතුමා කන්ද නගිමින් සිටියදී නිලමේවරුන් පැවැසූයේ පරණකූරුවේ ගම්මානයන්ගෙන් ඉතාම සරුසාර ගම කෙහෙල්පන්නල බවත් විශාල ලියදි නිසාත් ඒවායේ රමණීයත්වය නිසාත් රජුට කඳු මුදුනේදී පෙන්වීමකින් තොරව එක්වරම හඳුනාගත හැකි බවත් අගනුවරට බෙහෙවින් සමීපව පිහිටි නිසා කෙහෙල්පන්නල වැනි සරුසාර ගමක් රාජකීය ගබඩාගමක් බවට නොවලහා පත්කළ යුතු බවත්ය.  
කඳු මුදුනට රජු ළඟාවූ විට අවට පෙනෙන සොබාදහමේ දර්ශනීයත්වයෙන් රජු සතුටට පත්විය. නමුත් නිලමේවරුන් විසින් මහත් සේ වර්ණනා කරන ලද සරුසාර ප්‍රදේශයක් රජුට හඳුනාගැනීමට අපහසු විය.  


නිලමේවරුන් කෙහෙල්පන්නල ග්‍රාමය සහිත ප්‍රදේශය පෙන්වා සිටියත් එහි කුඹුරු සහිත ප්‍රදේශය කන්ද පාමුල අනෙකුත් ගම් ප්‍රදේශයන්හි කුඹුරු හා එතරම් වෙනසක් දැකීමට නොහැකි බව රජුට පෙනී ගියේය.  
කෙහෙල්පන්නල ප්‍රදේශයේ සරුසාර කුඹුරුයාය ගස් සිටුවීමත් ලියදි මැද්දේ පැල් ඉදිකිරීම නිසාත් ගමේ දර්ශනීයත්වය සහ සාරවත් බව වසන්වී තිබීම නිසා මෙම තත්ත්වය ඇතිවිය. ඒනිසා කෙහෙල්පන්නල ගබඩාගමක් කිරීමේ නිලමේවරුන්ගේ උත්සාහය අසාර්ථක විය.  
ටික කාලයකට පසු නැවත වරක් නිලමේවරුන් කිහිපදෙනෙක් කෙහෙල්පන්නල ගබඩාගමක් කිරීමට තවත් උපායක් ක්‍රියාත්මක කළේය. මෙවර ඔවුන් කෙහෙල්පන්නල ගමේ ප්‍රධානියෙකුගේ වත්තක හටගත් විශාල කෙසෙල්කැනක්, මිනිසුන් හත්දෙනෙකු යොදවා රජමාලිගයට ගෙනයනු පිණිස යෙදවීය. එයින් ඔවුන් බලාපොරොත්තු වූයේ කෙසෙල් කැනේ විශාලත්වය අතිශයෝක්තියෙන් පෙන්නුම් කර ප්‍රදේශයේ සරුභාවය රජුට ඒත්තුගන්වා ගබඩාගමක් කිරීමටය.  
මෙම තොරතුරු දැනගත් කෙහෙල්පන්නල ප්‍රදේශයේ මැදිවියේ නිර්භීත ගැමියෙක් රජමාළිගයට හති දමමින් දුවගොස්, රජු ඉදිරියේ වැඳවැටී, අනිසි ලෙස රජු බැහැදැකීමට පැමිණීම සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙස පවසා තමා මෙවැනි ක්‍රියාවක් සිදුකළේ මහරජතුමා මහත් අවමානයකින් බේරාගැනීමට බවත් එයට සම්බන්ධ තම ගම්වැසියන් රාජද්‍රෝහී උදහසින් ගලවා ගැනීමට බවත් කියා සිටියේය.  


රජ මාලිගයට තමන්ගේ ගම් ප්‍රදේශයෙන් රැගෙන ආ කෙසෙල් කැන ගමේ කොල්ලන් කිහිපදෙනෙකු විසින් පැරණි වැසිකිළිවලක් අසල සිටවූ කෙසෙල් පැළයකින් හටගත් කැනක් බවත්, මෙය නොදන්වා සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් බවත් රජුට සැලකර සිටියේය.  
රජු කෙසෙල් කැන තමා ඉදිරියට ගෙනෙන ලෙස පැවැසූ අතර එවිට මිනිසුන් තුන්හතරදෙනෙකු විසින් කෙසෙල්කැන ඔසවාගෙන පැමිණ රජු ඉදිරියේ තැබීය. මාලිගාවට කෙහෙල්පන්නලින් කැන රැගෙන ආ පිරිස එම අවස්ථාවේදී රජමාළිගයේ නොසිටි අතර රජුට කෙසෙල්කැන ඉදිරිපත් කරේ වෙනත් මිනිසුන් තුන්හතරදෙනෙකි. ගම්වැසියා නැවතත් රජුට බැගෑපත්ව මෙසේ කියා සිටියේය.  
“දේවයන් වහන්ස මිනිසුන් සත්දෙනෙකු යොදවා කෙහෙල්පන්නලින් මෙම කැන ඔසවාගෙන පැමිණියේ තැනේ මහත ඉස්මතු කර පෙන්වා ගමේ සරුසාර බව වැඩිකොට කියා පෑමටයි. එහෙත් දැන් ඔබ වහන්සේ ඉදිරියට මේ කැන රැගෙන ආවේ මිනිසුන් තුන්හතරදෙනෙක්. ඔබ වහන්සේව අප්‍රසාදයට පත්කරන්න කිහිපදෙනෙක් කුමන්ත්‍රණකාරී ලෙස අපේ ගම රාජකීය ගබඩා ගමක් කිරීමට සැරසෙනවා. එහෙම කළොත් ගමේ වසන ප්‍රධානීන්ට ගම අතහැර යනවා මිස වෙන කල හැකි යමක් නැතිවෙනවා” යයි පැවැසීය.  
රජු ගැමියා පැවැසූ කාරණය අසා කෙසෙල්කැන පරික්ෂා කර එය තිබූ තැනින් තබන ලෙස පවසා, ‘ඉර හඳ පවතින තාක්කල් කෙහෙල්පන්නල ගම ගබඩාගමක් ලෙසට නොගන්නා බවට’ රාජ ආඥාවක් පැනවූයේය.  


ගම්වැසියන් සිදුකරන ලද ප්‍රයෝගයන් බොහෝ කාලයක් ගතවන තෙක් රජුට දැනගන්නට නොලැබුණි. පසු කාලයක කෙහෙල්පන්නල ගමේ ප්‍රධානියෙකු රාජසභාවේ උසස් තනතුරකට පත්ව සිටියදී ගැමියන්ගේ අනුදැනුම ඇතිව රජුට එම තොරතුරු සැලකරන ලද බව පැවසේ.  


වෛද්‍ය අතුල අදිකාරි  
ටිවර්ටන්,  පේරාදෙණිය.