දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහා සෑය තෙවනවර කොත් පැළඳවීම පසුගියදා සිදුකැරිණි. රුවන්වැලි චෛත්‍යය මහා ස්තූපය ලෙසද එකල හැඳින්වූ බැව් මහා වංශයේ සඳහන් වේ.   


මෙම මහා සෑයේ ඉදිකිරීම් කටයුතු නිමවීමට පෙර දුටුගැමුණු රජතුමා රෝගී බවට පත්වීම නිසා එහි කටයුතු නිම කිරීමට මලණු තිස්ස කුමරුන්ට පැවරූ බැව්ද මහාවංශයේ සඳහන් වී තිබේ.   


‘‘රුවන්වැලි සෑයේ ජාත කර්මය හා සුනු පිරියම් නොනිමි කල්හි රජතෙමේ මාරාන්තික රෝගයෙන් ගිලන් වූයේය. ඒ තෙමේ මෙසේ වූ කල දිගා බැවින් මල්කුමාරයන් කැඳවා චෛත්‍යයෙහි නිමා නොවූ කර්මාන්ත සමාප්ත කරව’’ යි කීයේය. 

 
ඒ අනුව චෛත්‍යයේ වැඩ නිම කිරීම සිදුවිය. අනතුරුව බොදු ජනතාවගේ ඉමහත් ගෞරවය ලබමින් පුද සත්කාර ලබන්නට විය. එහෙත් විදේශ ආක්‍රමණයන්ගෙන් පසුව වල්බිහිවන්නට විය. පසු කලෙක එනම් මීට වසර අසූවකට පමණ පෙර එය ප්‍රතිසංස්කරණය කැරිණි. එය සිදුවූයේ දෙවන කොත් පැළඳවීම ලෙසිනි.   
1939 නොවැම්බර් 23 වනදා එහි කොත් පැළඳවීම සිදු විය. එම කොත් පැළඳවීම එදා සිදුකළ ආකාරය 1939 නොවැම්බර් 24 වැනිදා දිනමිණ පුවත්පත වාර්තාකර තිබුණේ මෙසේය.   
හතළිස් දහසකගේ සාදුනාද මධ්‍යයේ පටන්ගත් උත්සවය.   


රුවන්වැලි චෛත්‍යරාජයාගේ කොත් පැළඳවීම පුරාණ ලංකාවේ චාරිත්‍ර ධර්මයන්ගේ හා ශ්‍රී විභූතියේ පුනරුත්ථාපනය ජය ශ්‍රී මහා බෝධි විහාරයෙන් පැමිණි මහ පෙරහර   
මල්වත්තේ හා අස්ගිරියේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝයා වහන්සේ මංගල සූත්‍රය සජ්ජායනා කරද්දී ඊයේ අපරභාග 1.10ට යෙදුන සුවන මුහුර්තියෙන් ස්වදේශ කටයුතු භාර අමාත්‍ය තැන්පත් සර් බාරොන් ජයතිලක මහතා සහ දියවඩන නිලමේ තැන්පත් වී.බී. රත්වත්තේ මහතාද සෑ මලුවේදී විදුලි ඇණයක් තද කිරීමෙන් ස්වර්ණමාලි චෛත්‍යරාජයාගේ කොත් කැරැල්ලේ මුල් කොටස තැන්පත් කළහ.   
‘‘මේ රුවන්වැලි චෛත්‍යරාජයා කර වූ දුටුගැමුණු මහරජතුමා ඇතිවන අවස්ථාවේ ලක්දිව බුද්ධ ශාසනය හා සිංහල ජාතියත් තිබුණ පහත් තත්ත්වයත් වඩා පහත් වූ තත්ත්වයක, දැන් බුද්ධාගමත් රටත් තිබෙන නිසා දුටුගැමුණු මහ රජුගේ වීර වික්‍රම ක්‍රියා කලාපය ආදර්ශයට ගෙන යළිත් සම්බුද්ධ ශාසනයේ හා මේ රටේ ශ්‍රී සමෘද්ධිය ඇති කිරීමට තම තමන්ට හැකි පමණින් ක්‍රියා කිරීමට මේ කාලයයි’’ යනුවෙන් ඊයේ රුවන්මැලි චෛත්‍යයේ කොත පැළඳවීම ආරම්භ කිරීමෙන් පසු කතා කළ සර්. ඩී.බී. ජයතිලක මහතා තම කතාව අවසන් කළ ප්‍රකාශයයි.   

 

 

 


වෙඩිමුර පනහක් පැවැත්වීම   


මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සර් බාරොන් ජයතිලක දියවඩන නිලමේ ඇතුළු අනෙක් ඇමැතිවරුද සහිතව පුරාණ සිරිත් අනුව ජයශ්‍රී මහා බෝධි විහාරයෙන් පිටත්වූ මහා පෙරහර සවස 1ට ස්වර්ණමාලි මහා චෛත්‍යය කරා පැමුණුණහ. ඒ සමග රැස්ව සිටි මහ ජනයාගෙන් නිකුත් වූ සාදු නාදය කන් බිහිරි වන තරම්ය.   
ඉක්බිති මහා සෑය අවට සිටි සංඝයා වහන්සේ විසින් දේවතාරාධනාව කර තුනුරුවන් වැඳීමෙන් පසු ජයමංගල ගාථා සජ්ජායනා කරන ලදී. ඒ අතරම ගෞරවාචාර වෙඩි මුර 50ක් පැවැත්වීමෙන් පසු නියම ශුභ මොහොතින් සර් බාරොන් ජයතිලක මහතා හා වී.බී. රත්වත්තේ දියවඩන නිලමේ මහතාත් මළුවේ සවිකර තිබුණ විදුලි බොත්තමක් තද කිරීමෙන් හරියටම උදේ 6.10ට යෙදුන සුභ මොහොතින් පුරාණ සිරිත් අනුව උඩට ගෙන ගොස් තිබුණ කොත් කැරැල්ලේ මුල්කොටස සවිකරන ලදී. ඒ සමගම සතර දිග්භාගයේ සාධු නාදය විහිදී ගියේය.   


චෛත්‍යයේ දොරටුව ළඟදී අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ රුවන්වැලි සෑය විහාරාධිපති ස්වාමීන් වහන්සේ හා පී.බී. බුලන්කුලමේ දිසාව, ඩී.එස්.ඒ.ආර්. වීරසේකර මුදලි, තැන්පත් ඒ.ජේ. වික්‍රමසිංහ, බී.ඇල්.සී. ජිනදාස යන මහතුන් විසින් පෙරහර පිළිගන්නා ලදී.   
ඉක්බිති රුවන්වැලි විහාරාධිපති එච්. ශ්‍රී රේවත ස්ථවීරයන් වහන්සේ කතා කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණ දේවානම්පියතිස්ස මහරජතුමාට අටමස්ථානය පෙන්වීමේ පටන් දුටුගැමුණු මහ රජාණන් විසින් ​චෛත්‍යය තැනීම එතුමාගේ සහෝදරයා විසින් චෛත්‍යයේ කටයුතු අවසාන කිරීමත් ගැන සඳහන් කර පසුව ඇති වූ ප්‍රතිසංස්කරණය ගැනත් විස්තරයක් කළහ.   
නාරන්විට සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ඒ කර්මාන්තය ක්‍රමයෙන් මේ අවස්ථාව වන තුරු කරගෙන යන ලද පිළිවෙළත් සඳහන් කර මේ පුණ්‍යකර්මයට සහභාගි වූ සියලු දෙනාටත් පුන්‍යානුමෝදනා කරවූහ.   


සර් බාරොන් ජයතිලක මහතා ඉක්බිතිව කතාකරමින් මෙසේ කීය.   


ගරු කටයුතු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ සංඝ සභාවෙන් අවසරයි. මේ ස්වර්ණමාලි චෛත්‍යරාජයා ප්‍රතිසංස්කරණය කිරීමේ අවසාන ක්‍රියාව වූ කොත පැළැඳවීමේ ආරම්භ ක්‍රියා අද පුරාණ චාරිත්‍ර යුතුව සිදු කරන ලදී.   
මේ වනාහි ලංකා ඉතිහාසයේ උසස් ලෙස සඳහන් විය යුතු අති ශ්‍රේෂ්ඨ කටයුත්තකි. දහස් සංඛ්‍යාත පිරිසක් මේ රැස්ව සිටින්නේ මේ උත්කෘෂ්ඨ උත්සවයට සහභාගිවීම සඳහාය. පෙර අප ජාතියේ උපන් අපේ ජාතිය ලෝකයේ වීර ජාතියකට පැමිණීමට උපකාර වූ වීරයන් විසින් කරන ලද මේ චෛත්‍ය නටබුන්ව තිබී මෙසේ නැවතත් ශ්‍රී විභූතියෙන් බබලන්නට වීම විශේෂයෙන් බෞද්ධයන්ගේ සාමාන්‍යයෙන් සියලු දෙනාගේද සිත් සතුටුවීමට කරුණකි.   
අද මෙසේ මෙම කොතේ මුල් කොටස පිහිටුවීමට මා මිත්‍ර රත්වත්තේ මහතාට හා මටත් ඉඩ ලැබීම අප විසින් යම් කිසි පෙර ජාතියේ කරන ලද කුසලකර්මයක පලදීමක් ලෙස කල්පනා කරමි. අපේ ජීවිතවල ඉතාමත්ම උසස් අවස්ථාව මෙය යයි සලකමු.  
මට කලින් කතාකළ ශ්‍රී රේවත ස්වාමිපාදයන් වහන්සේ විසින් චෛත්‍යයේ ඉතිහාසය සඳහන් කළාය. බුද්ධාගම පහත් තත්ත්වයකට පත්ව තිබුණු කාලයේදී උත්සාහයෙන් ක්‍රියා කළ දුටුගැමුණු මහ රජුගේ ජීවිතයෙන් අප විසින් කරුණු රාශියක් උගත යුතුය.  
අප විසින් අපේ දරුවන්ට ළමයින්ට ත්‍රිවිධ රත්නයට ගරු බුහුමන් කරන්නට උගන්වන්නේද එමෙන්ම අප විසින් ඒ වීරයාට ගරු බුහුමන් කිරීමට උගන්විය යුතුය. යනුවෙන් ප්‍රකාශ කළේය

.  
ශුද්ධ නගරය ශ්‍රී විභූතියෙන් ඇළලීයාම ස්වර්ණ යුගයෙහි අනුරාධපුරය සිහිපත් කර වූ දර්ශනය යනුවෙන්ද තවත් පුවතක් පළ කරනු ලැබුවේ කොතේ පූර්ණ ඡායාරූපයක්ද ඒ සමග පලකර තිබිණි.  

 


තිස්ස ජයවර්ධන