(එස්. ඩී. කොඩිකාර)
 
දෙනියාය නගරයේ  ඖෂධ වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයකු අද (16) රුපියල්  ලක්ෂ දෙකකට අධික කිරිපිටි සහ මාරු කාසි  සොරා ගෙන ගොස් ඇතැයි දෙනියාය  පොලීසිය කියයි. 
 
වෙළඳසැලේ ඉදිරි දොරෙහි ඉබි යතුරු කඩා එම පුද්ගලයා ඇතුළුවී සොරකම් කරන ආකාරය එහි සවිකර තිබූ සී.සී.ටීවී කැමරාවේ  පටිගත වී ඇතැයි පොලිසිය පවසයි.
 
වෙළඳසැලේ හිමිකරු වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවෙහි ඉබි යතුරු   කඩා තිබෙනු  දැක සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත. 
 
මීට පෙරද මෙම ඖෂධ වෙළඳසැල අවස්ථා කිහිපයකදී සොරුන් විසින් බිඳ ඇති අතර එම සොරුන් දෙනියාය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.