(මුදිතා දයානන්ද)

රෝගී සමාජයක් සමග රටක් ඉදිරියට ගෙන යා නොහැකියි. ජාතික ජනබලවේගය ලෙස අපේ සැලැස්ම නිරෝගී පුරවැසියෙක් බිහිකර ගැනීමත් සෑම පුරවැසියෙකුටම සමාන සෞඛ්‍ය සේවයක් ලබාදීමත් යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඊයේ (15) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර දිසානායක මහතා විසින් වෛද්‍ය රොහාන් සුරවීර මහතා වෙත සංකේතාත්මකව පිළිගන්වනු ලැබීය.

එහිදී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

දැන් අපේ රට ලෙඩ වූ ජාතියක් බවට පත්වෙලා. රටේ ජනගහනයෙන් සියයට විසි අටක් කුමන හෝ රෝගයකින් පෙළෙනවා. 2016 වසරේ ජාතික සෞඛ්‍ය දත්ත අනුව දවසකට වකුගඩු රෝගයෙන් පමණක් හය දෙනෙක් මිය යනවා. වසරකට 2147ක් මිය යනවා. ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් දිනකට දොළොස් දෙනෙක් මිය යනවා. මේ ආකාරයට කුමන හෝ රෝගී තත්ත්වයක් නිසා දිනකට මිය යන පිරිස ජනගහනය හා සසඳන විට ඉතා විශාල අගයක්. රටක සංවර්ධනයට මේ තත්ත්වය බෙහෙවින් බලපානවා. මෙහි ඇති බරපතළම තත්ත්වය තමයි ඇතැමෙක් මිය යන්නේ තමන්ට වැළඳුණු රෝගය කුමක්දැයි වත් හරිහැටි හඳුනා නොගෙන වීම.

ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ නිරෝගී ජනතාවක් බිහිකරගැනීමයි. නිරෝගි පරපුරක් බිහිකර ගැනීමේදී අපේ ආහාර රටාව වැදගත් තැනක් ගන්නවා. අපි ඉස්සර ගොඩක් ශ්‍රමය වැගිරුවා. පාසලට ගියත් රැකියාවට ගියත් අපි කිලෝමීටරයක් දෙකක් පයින් ගියා. ගස් කපන කෙනා අත්කියත හෝ පොරව භාවිත කරලා තමයි ඒක කළේ. ගොයම් කැපුවේ මිනිස් ශ්‍රමයෙන් දෑ කැත්තෙන්. අද අපි පයින් යන්නේ නැහැ, අඩුම තරමින් යතුරුපැදියක් හෝ ත්‍රීවීලරයක්වත් භාවිත කරනවා. දෑතේ ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර ආදේශ වෙලා. ඒක හොඳයි. රටක් දියුණු වෙනවා කියන්නේ තාක්ෂණය සමග ඉදිරියට යාම තමයි. ඒත් අපි අපේ සීයලා ආච්චිලා කෑම ගත්තා වගේම තාමත් ඒ ප්‍රමාණයටම ආහාර ගන්නවා. මේක වෙනස් විය යුතුයි. ඒකට ජනතාව යොමු කරන්න, ජනතාවට කරුණු පහදලා දෙන්න තමයි පෝෂණවේදය කියලා විෂයක් තිබෙන්නේ. ඒත් අද ඒ විෂය නිසි පරිදි භාවිත වන්නේ නැහැ.

අපි ගන්නා ආහාරය මොන තරම් පිරිසුදු ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. අපේ ආහාර අද වස විසෙන් පිරිලා. අපේ වගාවන්ට යොදන රසායනිකවල වෙනසක් කළ යුතුයි. ඒ වගේම අපි කඩෙන් කෑම ගත්තොත් ඒ කඩ මොන තරම් පිරිසුදු ද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා. මේවාට නීතිරීති අවශ්‍යයි. ජනතාව ගන්නා ආහාරය පිරිසුදු බවට රජයෙන් සහතිකයක් දිය යුතුයි. එහෙත් අද ඒ වෙනුවට රජය කරන්නේ ආහාර වෙළෙඳ සල් හෝටල් ඒ බී සී කියලා වර්ගීකරණය කිරීමයි. මොකටද මෙහෙම වර්ගීකරණයක්. හරිනම් රටේ තියෙන්න ඕන ඒ වර්ගයේ හෝටල් විතරයි. හැම පුරවැසියෙකුටම එවැනි තැනකින් ආහාර ගන්න අවස්ථාව සැලසිය යුතුයි.

අපේ රටේ ජනගහණය ලක්ෂ දෙසීයයි. පසුගිය වසරේ රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා ලක්ෂ පන්සීයක්. මේ විදිහට බැලුවාම අපේ රටේ ජනගහණයෙන් අති බහුතරයක් රෝගීන්. ඒ වගේම ඔවුන් නිතර රෝගී වෙනවා. ඒ නිසා එකම පුද්ගලයා දෙතුන් වතාවක් රෝහලට ඇවිත්. සමහරු රෝහලට එන්නේ තවත් කෙනෙකුගේ උදව්වට. ඒ ඇවිත් ටික වෙලාවක් පෝලිමේ ඉන්නකොට හිතෙනවා මටත් බේත් ටිකක් ගත්තා නම් හොඳයි කියලා. එහෙම බෙහෙත් ගන්න ලෙඩ නිතරම හැම කෙනෙකුටම වගේ තිබෙනවා. දොස්තර මහත්තුරුත් තමන් ළඟට එන හැම ලෙඩෙකුටම මොනවා හරි බේත් ටිකක් දෙනවා. විටමින් සී ටිකක්. පෙනඩෝල් ටිකක් හරි දීලා යවනවා. අද අපේ රටේ ජනතාවත් සෞඛ්‍ය සේවයත් ඖෂධ ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙලා. එයින් මුදවාගෙන රටේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීම අපේ ප්‍රධාන අරමුණක්.

ඉස්සර රෝහල ආසන්නයේම තිබුණේ මිනිපෙට්ටි සාප්පුවක්. මොකද අනෙක් හැම දෙයක්ම රෝහලෙන් ලැබුණා. මැරුණාම පෙට්ටිය විතරයි පිටින් ගන්න සිදුවුණේ. අදට සාපේක්ෂව ගත්තාම මීට වසර තිහකට හතළිහකට කලින් අපේ රටේ ඉහළ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණා. ඒත් දැන් රෝහල්වල ගොඩනැගිලි තිබුණාට, අලංකාර කරලා තිබුණාට එයින් ලැබෙන සේවාව ඉතාමත් සීමා සහිතයි. පරීක්ෂණ සිදුකර ගන්න වෙන්නේ පිටින්. බෙහෙත් අති බහුතරයක් ගන්න වෙන්නේ පිටතින්. ඒ නිසා අද රෝහල් අවට පිරිලා තියෙන්නේ රසායනාගාර පරීක්ෂණ සිදුකරන ආයතන හා ෆාමසිවලින්.
 
අද අපේ ජනතාවට රෝගයක් වැළඳුනාම බෙහෙත් ගන්නවාද නැද්ද? ගන්නේ කොතනින්ද යන්න තීරණය කරන්න වෙන්නේ අතේ තිබෙන මුදල අනුව. සමහර විට රෝග තියාගෙන බෙහෙත් නොකර බොහෝ කල් ගත කරනවා. අන්තිමට රෝගය දරුණු වෙලා රෝහලට ගියාට පස්සේ සුව කරන්න බැරුව මිය යන අවස්ථාත් තිබෙනවා. අපේ පොකට්ටුව තමයි ඒක තීරණය කරන්නේ.

ජනතාවගෙන් කොටසක් ඒ විදිහට තමන්ට ප්‍රතිකාර ගන්න බැරි තරම් දුප්පතුන් වෙද්දි තවත් පිරිසක් සෙම්ප්‍රතිශ්‍යාවටත් ප්‍රතිකාර ගන්න සිංගප්පුරු යනවා. මා සතුව තිබෙනවා මගේ හිතවතෙක් 2019 වසරේ මීට මාසයකට දෙකකට පමණ පෙර හෘද රෝගයකට ප්‍රතිකාර ගන්න ගියාම ඔහුට වෛද්‍යවරයාගෙන් ලැබුණ චිට් එකක්. එහි තිබෙනවා වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් නම් කරලා ඒවා කරගන්න කියලා. ඒ ටික කරගෙන ශල්‍යකර්මය සඳහා නැවත රෝහලට ඇතුළත් වෙන්න කියලා 2021 අගෝස්තු 23 වෙනිදා. මේ තරම් කාලයක් බලාගෙන ඉන්නකොට ඔහු මිය යන්නත් පුළුවන්. අතේ සල්ලි තිබුණා නම් මේ ප්‍රශ්නයට ඔහුට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. අපේ සමහර මැති ඇමැතිවරු ඇතැම් අවස්ථාවල විදේශ ගතව ප්‍රතිකාර ලබාගෙන තිබෙන්නේ ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පනහ හැට වියදම් කරලා. සාමාන්‍ය පුද්ගලයෙක් ජනාධිපති අරමුදලෙන් කීයක් හරි ඉල්ලුම් කළා නම් ලැබෙන්නේ අවශ්‍ය මුදලෙන් පංගුවක් විතරයි. ඔබේ ජීවිත්වීමේ අයිතිය ඔබේ පොකට්ටුවේ ප්‍රමාණය මත තීරණය වීම වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණක්.

වකුගඩු රෝගය අපේ රටේ අද ජනතාව මුහුණ දී තිබෙන බරපතළ රෝගී තත්ත්වයක්. අනුරාධපුරයේ පමණක් හඳුනාගත් වකුගඩු රෝගීන් ඉන්නවා විසිපන්දහසක්. මේ රෝගය හඳුනාගන්නේ බරපතළ වුණාම නිසා හඳුනා නොගත් අය තවත් විශාල පිරිසක් ඇති කියලා අපි හිතනවා. රජය කරන්නේ වකුගඩු රෝගයට ගොදුරු වුණ කෙනෙකුට ප්‍රතිකාර ගන්න රුපියල් පන්දහසක් ලබාදීමයි. මේ මිනිසුන්ගේ දුප්පත්කම කොයිතරම්ද කියනවා නම් ඇතැමෙක් මේ පන්දාහත් අරගෙන ගෙදර වෙනත් අවශ්‍යතාවලට වියදම් කරනවා. දශක කීපයකට පෙර අපිට වකුගඩු රෝගියෙක් හමුවුණේ අවුරුදු හැට පහක හැත්තෑවක වගේ වයසෙන්. ඒත් දැන් අවුරුදු දහය පහළොව වයසේ වකුගඩු රෝගීනුත් ඉන්නවා.

දැන් මේ වකුගඩු රෝගයට ප්‍රතිකාර කරන්න නිසි ක්‍රමවේදයක් නැහැ වගේම එය වැළඳෙන්නේ කෙසේද යන්න නිර්ණය කිරීමට විධිමත් පරීක්ෂණයක්වත් නැහැ. සමහරු පර්යේෂණ කරලා නෙලුම් අල කන්න එපා කියනවා. සමහරු පර්යේෂණ කරලා මතුපිට ජලය පරිහරණය කරන්න එපා කියනවා. තවත් සමහරු ඇලුමිනියම් භාජනවල ආහාර පිසින්න එපා කියනවා. එක පිළියමක්, එක උත්තරයක්, එක වැඩපිළිවෙළක් සකස් කළ හැකි විධිමත් පර්යේෂණයක් රජයේ මැදිහත්වීමෙන් මෙතෙක් සිදුකර නැහැ. ඩෙංගු රෝගයට දක්වන සැලකිල්ලවත් වකුගඩු රෝගයට අද නැහැ. මොකද ඒකට ගොදුරු වෙන්නේ දුප්පත් අහිංසක ජනතාවනේ. අපි විධිමත් පර්යේෂණයක්  සිදුකර රෝග නිවාරණයට මඟ හදනවා.

දැන් අපි කිව්වාම සෞඛ්‍ය සේවාවට දළ ජාතික ආදායමෙන් සියයට පහක් වෙන් කරනවා කියලා කොහෙන්ද මුදල් කියලා අහන්න පුළුවන්. දැන් අපි කොයිතරම් මුදල් නාස්ති කරනවාද? එයාලංකා සමාගමේ පාඩුව බිලියන 142යි. ඒ කියන්නේ කෝටි 14,200ක්. රටේම රෝහල් තිබෙන්නේ 650ක් පමණ. මේ පාඩුව නැති කරගත්තා නම් එක රෝහලකට කෝටි 25 ගානේ දෙන්න පුළුවන්. නෙලුම් කුලුනේ පාඩුව නැති කරගත්තා නම් තවත් කෝටි ගාණක් රෝහලකට දෙන්න තිබුණා. මේ වගේ නාස්ති කිරීම් අපි කොයිතරම් කරනවාද? ඒ විතරක් නෙවෙයි අපි හිතන්නේ සෞඛ්‍යයට වෙන් කරන මුදල් ආයෝජනයක් ලෙසයි. මිනිසුන් රෝගීවීම වළක්වාගන්න පුළුවන් නම් එයින් රෝහල්වලට වෙන්කරන්න වෙන වියදම් අඩුවෙනවා. නිරෝගී ජනතාවක් රටේ සංවර්ධනයට දායක වී රටට ආදායම් උපයනවා. මේ දැක්ම රටේ පාලකයින්ට තිබෙන්න ඕන.

ජනතාව මුහුණ දෙන මේ සැබෑ ප්‍රශ්නය අද ප්‍රතිපත්ති ප්‍රකාශනවලට එන්නේ නැහැ. වේදිකාවල සාකච්ඡාවට ගන්නේ නැහැ. සංවාදයක් ගොඩ නැගෙන්නේ නැහැ. අපේ අරමුණ මේ ප්‍රශ්න පිළිබඳ හොඳ සංවාදයක් සකස් කරගනිමින් මනා සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීමයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වංසගත රෝග විද්‍යාඥ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා ලේකම් ලෙසත්, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත අබේසේන යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක (සැලසුම්) ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය නිමල් එදිරිසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු හෙද අධ්‍යක්ෂිකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී කුසුමා දිසානායක, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක කේ.ජී.පී. බණ්ඩාර, වෛද්‍ය ජයන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු හා විශ්‍රාමිකයෝ හා සාමාන්‍ය පුරවැසියන් පිරිසක්ද එක්ව සිටියහ.