(කුරුණෑගල අධිකරණ - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

 “මා අධ්‍යාපනයේ කරන එක ප්‍රතිසංස්කරණයක් කියන්නම්. පහේ විභාගය දක්වා මුල් පන්ති පහේදී එකදු විභාගයක්වත් තියන්නේ නැහැ. පහේ පන්තියේ සිට නමය වසර දක්වා විභාග තියෙනවා. එක දෙක තුන ස්ථාන කවුද කියලා තෝරන්නේ නැහැ. නමය පංතියේදී විභාගයක් තියෙනවා. එහිදී ඒ දරුවා ලබාගන්නා ලකුණු ප්‍රමාණය ඒ දරුවා විෂයන් පිළිබඳව දක්වන දක්ෂතාව අනුව දරුවාගේ මව්පියන් ගුරුවරු සමග සාකච්ඡා කරලා දරුවා ඉන් ඉදිරියට යා යුතු මාර්ගය පිළිබඳව කරුණු කියා දෙනවා.

අද තියෙනවද එහෙම පාරක්. සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ වැඩියෙන් ගත්තොත් විද්‍යා හෝ ගණිතය කරන්න ඕන. ඒ සාමාර්ථ අඩුයි නම් වාණිජ හෝ කලා. අද අධ්‍යාපනය තීරණය වෙලා තියෙන්නේ දරුවාගේ හැකියාව මත නෙමෙයි.” යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (09) වාරියපොලදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ වාරියපොළ නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියකට සහභාගි වෙමිනි.

 අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද කීවේය.

“ගුරුවරයයි දරුවයි මව්පියනුයි එකතුවෙලා දරුවාගේ හැකියාව මත දරුවාගේ ක්ෂේත්‍රය මොකද්ද කියලා තීරණය කරන්න ඕනෑ. එයාගේ හැකියාව තියෙන්නේ අපේ රටේ ලේඛකයෙක් වෙන්න නම් ඒ සඳහා නියමිත අධ්‍යාපන ධාරාව, චිත්‍රපටකරුවෙකු වෙන්නනම් ඒ සඳහා නියමිත අධ්‍යාපන ධාරාව, දොස්තරවරයෙකු ඉන්ජිනේරුවෙකු හෝ කළමනාකරුවෙකු වෙන්න නම් අදාළ අධ්‍යාපන ධාරාව, විද්‍යාඥයෙක් වෙන්නනම් ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය, දරුවාගේ හැකියාව අනුව අධ්‍යාපන ධාරාව හඳුන්වා දීලා ඒ තුළින් දරුවා උඩට ගේන්න ඕනෑ. අද මොකද වෙලා තියෙන්නේ. දරුවට අවබෝධයකුත් නැහැ මව්පියන්ට අවබෝධයකුත් නැහැ. මව්පියන් අඬමින් ඉන්නවා. ඒ නිසා අපි මේ අධ්‍යාපන රටාව වෙනස් කරනවා. අපි මවුපියන්ට ආරාධනා කරනවා

ගෙදරදී දරුවන් අධිකාරි බලයකට යටත් කරන්න එපා කියලා. මා දැක්කා ගුරුවරුන්ගේ පහරදීම් ගැන මවුපියන්ගේ පහරදීම් ගැන. කිසිම දරුවෙකුට පහර දෙන්න අත උස්සන්න එපා. අද මනෝවිද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා අධිකාරි බලයක් යොදා දරුවෙකු හදන්න බැරි බව. ගහලා බැනලා දරුවෙකු හදන්න බැහැ. මම දැක්කා ජනාධිපතිතුමා කියලා තියෙනවා එතුමාට නම් ගුරුවරු ගැහුවා කියලා. ඉතිං ඒකෙන්ම ඔප්පු වෙනවා ගහලා හදන්න බැරි බව. ඒ නිසා ගෙදර අධිකාරි බලයකට යටත් කරන දරුවා සමාජයේ නිතරම ගැටුනු දරුවෙකු බවට පත්වෙනවා. අපි දැකලා තියෙනවා සමහර දරුවෝ තාත්තා එනකොට ලොකු අයියා එනකොට හැංගෙනවා. ඇයි ඒ බයකරලා හදන්නේ. එහෙම හදන්න එපා. ඒ නිසා අපි ඒ සඳහා අධ්‍යාපනයක් ලබාදෙනවා වගේම සමහරවිට අපි කල්පනා කරනවා ඒ අධ්‍යාපනයේ එක අග්‍රයකදී නීති සම්පාදනය කරන්න දරුවන්ගේ හිංසනය වැළැක්වීම සඳහා. අපි ඒක කරනවා. හැබැයි මම කියන්නේ නැහැ අවුරුද්දකින් කියලා. දරුවන්ට වධ හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරනවා.

ආණ්ඩුවක වගකීම් තියෙනවා එක තලයක. ආර්ථික සංවර්ධනය, මංමාවත් ඉදිකිරීම, යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම, රටේ පරිපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, නීතියේ විධාන ආදිපත්‍යය තහවුරු කිරීම, නඩු කාර්යක්ෂම කිරීම ආදී රාජ්‍යයකට පැවරෙන එක ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ වගේම පාලනයකට පැවරෙන තව කොටසක් තිබෙනවා. ඒ තමයි සියලුම පුරවැසියා දරුවා, තරුණයා, වැඩිහිටියා, කාන්තාව, ආබාධයට ලක්වූවන් සහ රෝගියා යන මේ සියලු දෙනා රැකබලාගැනීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව හදන්නේ අපි ඒකට. රටක සංවර්ධනය පිළිබඳ වගකීම වගේම ජනතාවගේ ජීවිතය ආරක්ෂා කරගෙන රැකබලා ගැනීමත් පාලනයක වගකීමක්.

 මේ සමාජයේ ජීවත් වෙන සෑම තරාතිරකම කෙනෙකුගේම ජීවිතය රැකබලා ගන්නවා කියන එක අපි ඔබට සහතික වෙනවා. විශේෂයෙන්ම දරුවෝ. අපි දන්නවා අපේ දරුවෝ අද විශාල පීඩාවකට පත්වී තිබෙනවා. ඒ විශාල පීඩාවේ ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය. අද අපේ රටේ අධ්‍යාපනය කියලා කියන්නේ විභාග තුනකට දරුවන් සූදානම් කිරීම. කටේ කිරි සුවඳ යන්න කලින් ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ ආයෙත් හඹාගෙන යනවා සාමාන්‍ය පෙළට. ඊළඟට හඹාගෙන යනවා උසස් පෙළට. අපේ රටේ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස්වී තිබෙන්නේ. අපි මේ රටේ දරුවන්ට සහතිකයක් දෙනවා මේ ව්‍යවසනයෙන් අපේ රටේ දරුවන් නිදහස් කර ගන්නවා කියලා. අද දරුවන්ට ළමා කාලයක් තිබෙනවද? දරුවන්ට ළමා කාලයක් නැහැ. එහෙම එකක් නැහැ. ඉස්කෝලෙන් ටියුෂන් එකට ආයෙත් ටියුෂන් එකෙන් ඉස්කෝලෙට. මට මේ ළඟදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානම රසායන විද්‍යාව පෞද්ගලික පන්ති කරන තරුණ ගුරුවරයෙක් මුණගැහුනා. ඔහු මට කිව්වා ඔහුගේ පංතියේ ළමයි දාහා දෙදාහා ඉන්නවා කිව්වා. ඔහු වැඩියෙන්ම සතුටු වෙන්නේ එක ළමයෙක්වත් තමන්ගේ පන්තියට ආවේ නැති දවසට කියලා ඔහු කිව්වා.

 එයා කිව්වා මේ ඛේදවාචකය දකිනවා කියලා. ළමයි දාහක් ඉන්න පන්තියක අඩුම තරමින් ළමයි පනහක් වත් මානසික වෛද්‍යවරයෙකු මුණගැහෙනවා කිව්වා මාසයකට. උගන්නනවා කියන්නේ අනුමාන ප්‍රශ්න සීයක් හදලා ඒක කටපාඩම් කරවන එක කියලා එයා කිව්වා. ඔච්චරයි අධ්‍යාපනය. මේ මේ ටික එන්න පුළුවන් කියලා උපකල්පනය කරලා ප්‍රශ්න ටික හදලා පාඩම් කරවනවා කියලා කිව්වා. මේ ව්‍යවසනයෙන් දරුවන් ගලවා ගන්නට අවශ්‍යයි කියලා කිව්වා. අද දරුවා මානසික ආතතියට මහුණ දීලා නැද්ද? ඔයගොල්ලන්ගෙ දරුවා බලන්න ගෙදර ඉන්න සමහර විට කියනවා මට නිකම්ම නින්ද යනවා කියලා. ඒක මානසික ආතතියේ එක ප්‍රකාශනයක්. සමහර විට නින්ද යන්නේ නැහැ. තවත් සමහරවිට නිරන්තරයෙන් කේන්ති එනවා. පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ කියනවා. මේ ඔක්කොම මානසික ආතතිය. මේකට හේතුව මේ අධ්‍යාපන ක්‍රමය. දරුවන් විශාල වශයෙන් මානසික පීඩාවට පත්වෙලා තියෙනවා. අපි ඕගොල්ලන්ට සහතිකයක් දෙනවා මේ දරුවා මත හෙළා තිබෙන මානසික පීඩනයෙන් දරුවන් ගලවා ගන්නට අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි හදනවා. අද අධ්‍යාපනය තියෙන්නේ පාසලෙන් එළියේ. එම අධ්‍යාපනය නැවත අපි පාසල වෙත ගෙනයාමේ වැඩපිළිවෙළක් හදනවා. එදා අපේ ළමයින්ට ළමා කාලයක් තිබුණ. පොතක් කියවන්න වැවක් අසල ඉන්න දරුවෙක් නම් වැවේ එගොඩ මෙගොඩ පීනුවා. ගඟක් තිබුණානම් ගඟේ එගොඩ මෙගොඩ පීනුවා. ගොයම් කැපුවට පස්සෙ වෙල් යායට ගිහින් සෙල්ලම් කළා. හංදියේ බෝක්කුවක කඩයක් ළඟ කොල්ලො රංචු ගැහිලා හිටියා. අද එහෙම ජීවිතයක් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට යළි ළමා කාලයක් ලබාදිය යුතුයි.

මා ඇතුළු අපේ කණ්ඩායම ඕනෑම අවස්ථාවක මාධ්‍ය ඉදිරිපිටට ගිහිල්ලා අපේ සැලසුම් ඉදිරිපත් කරන්නත් ඒ වාගෙ
අපෙන් ප්‍රශ්න කරන්නත් අවස්ථාව ලබාදීලා තියෙනවා. මේ දවස් කීපය ගත්තොත් මා ඊයේ ස්වර්ණවාහානියේ, අද රෑ අයි ටී එන්, හෙට රෑ සිරස, අනිද්දා රෑ හිරු සලකුණ. ඒවා තිර පිටපත ලියලා කරන රඟදැක්වීම් නෙමෙයි. බොහෝ ඒවා සැබැවින්ම සජීවීව ඒ අයට අපෙන් ප්‍රශ්න කරන්න ඉඩ දෙමින් ඒ ප්‍රශ්නවලදී අදට බාරගන්න හැකි දේ බාරගනිමින් ප්‍රතික්ෂේප කළ යුතු දේ ප්‍රතික්ෂේප කරමින් විසඳුම් ලබාදීමට සමත්වන කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අනිත් අයගේ වේදිකාවේ වැඩියෙන්ම තියෙන්නේ මොනවාද? උසුළු විසුළු දෙපැත්තට කැපෙන කතා. ඒ නිසා අපි සතුටු වෙනවා ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාව මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් පහත් අඩියක සිට ප්‍රබුද්ධ තලයකට ඔසවා තබන්නට ජාතික ජනබලවේගය මැතිවරණ ව්‍යාපාරය තුළ සමත්වී තිබෙනවා.

කොහොමද මැතිවරණ ව්‍යාපාරය තිබුණේ. බත් පැකට් දෙනවා අරක්කු පැකට් දෙනවා බීලා එනවා. ඒක තමයි තිබුණු මැතිවරණ ව්‍යාපාරය. ඊට පස්සේ වේදිකාවට නගිනවා උසුළු විසුළු කරනවා දෙපැත්ත කැපෙන කතා කියනවා. බාගෙට අසභ්‍ය වචන කතාකරනවා. එහෙම වේදිකා තිබුණේ. හැබැයි මතක තියාගන්න ලංකා ඉතිහාසයේ මැතිවරණ වේදිකාවක ඉතාමත් ප්‍රබුද්ධ සහ විනයානුකූල දේශපාලන ව්‍යාපාරයකට අපේ රට කැඳවාගෙන ඒමේ පරිවර්තනය අපි මේ වෙනකොටත් ඉටුකරලා අවසන්. ඒක තමයි වැදගත්ම. අපි ඒක කරමින් ඉන්නවා. දේශපාලනය කියන්නේ ඒක.

මැතිවරණ ව්‍යාපාරය වෙනස් කළ අපට පමණයි මේ රට වෙනස් කළ හැක්කේ කියන විශ්වාසය ඔබ අප කෙරෙහි තබන්න. බිඳවැටුණු මැතිවරණ ව්‍යාපාරය ජනතාවට අප්‍රසන්න වූ මැතිවරණ ව්‍යාපාරය ඒක අපි වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම බිඳවැටුණු රටත් කඩාවැටුණු රටත් සහතික වශයෙන් වෙනස් කළ හැකි ජන බලවේගය තමයි ජාතික ජනබලවේගය කියලා අපි ඔබට සහතිකයක් දෙනවා. ඇයි ඒ මේ රට හදන්න ඕනෑ. මේ රට හැදීම සඳහා ගොඩක් කරුණු අපි අද සාකච්ඡා කරලා තියෙන්නේ. මේ මාස එකහමාරක කාලය තුළ අපි දීර්ඝ ලෙස මේ රට ගොඩනැගීම පිළිබඳව මේ රටේ දැක්ම පිළිබඳව අපි කතා කළා. මම හිතනවා අපි ඒක සැලකිය යුතු ප්‍රමාණයක් සමාජය වෙත අපි ගෙනිහිල්ලා තිබෙනවා.

මහාචාර්ය චන්දන ජයරත්න, චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ඒ.එම්. රිස්මි, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න, වාරියපොල ආසනයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායිකා මැණිකේ ගුණසේකර, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන් වන සුජීව දිසානායක සහ විජිතා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරන පක්ෂ සහ සංවිධාන ගණනාවක නියෝජිතයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.