(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු සහ හිගුරානේ නවරත්න සමරතුංග)

මේ දවස්වල මැතිවරණ වේදිකාවල නත්තල් පප්පලා වගේ දෙන්නෙක් ඇවිත් දකින දකින දේ අපි නොමිලේ දෙනවා කිය කියා යනවා. අපි දුප්පත්කම විකුණන්නේ නැහැ. හැමෝටම හම්බකරගෙන කන්න පුළුවන් ආර්ථිකයක් රටක් නිර්මාණය කරනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා (31) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ හලාවත පැවති ජනතා රැලියකට සහභාගී වෙමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

මැතිවරණ වේදිකා දෙස බලනවිට අපිට අලුත් පාලකයෙක් අලුත් පාලනයක් පේන්නේ නැහැ. මේවායේ අපූරු අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. වේදිකාවලට නැගලා අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මේ කතා ඇහුවම ප්‍රශ්නයක් එනවා මෙච්චරකල් ආණ්ඩු කළේ කවුද කියලා. මේ දෙගොල්ලොම තමයි. දැන් අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ මේ ගොල්ලෝ දුප්පත්කම අළෙවි කරනවා. රටේ ජනතාව දුප්පත් කරලා ඡන්දවලදී දුප්පත්කම විකුණනවා.

අපි ඔබ සැම හමුවෙන්නට ආවේ, ඒකට නොවෙයි. අපි තමුන්නාන්සේලා හමුවෙන්න ආවේ දුප්පත්කම විකුණන දේශපාලනය වෙනුවට දුප්පත්කම තුරන් කරන දේශපාලනය ආරම්භ කරමු කියන්න.

මේක තනිකෙනෙකුට ඉන්ද්‍රජාලික බලයකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. විහාර මහා දේවිලා, දුටුගැමුණුලා ඇවිල්ලා මේ වැඬේ කරයි කියලා නැවත රැවටෙන්න එපා. තනි මිනිහෙකුට ඕන නම් කරන්න පුළුවන් වෙන්නේ පිට්ටනියකට ගිහිල්ලා කරණම් ගහන්න. මේ රට හදන්න පුලුවන් සමූහයක් හැටියට ඔබත් මමත් අපි සියලු දෙනා එකතුවිය යුතුයි. සහතික වශයෙන් අපි රට හදනවා. සැකයක් තියාගන්න එපා.

රට හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය සාධාරණව ඉටුකරන්න ඕනෑ. දේශපාලන බලපෑම් නැත්නම් ඕනෑම අපරාධයක් සොයා ගන්න අපේ පොලිසියට පුළුවන්. ඊළඟට වංචා දූෂණය නවත්වන්න ඕනෑ. මේ වෙනකොට ආර්ථික සංවර්ධනය මනින සියලුම නිර්ණායකවලින් රට දුප්පත් වෙලා. පාලකයෝ පොහොසත් වෙලා තියෙන්නේ වංචා, දූෂණ නිසා. අපි මේක නවත්වනවා. හොරකම් කරපු ජනතාවගේ සියලුම දේවල් ආපහු පවරාගන්නා බවටත් අපි සහතික වෙනවා. ස්වේච්ඡාවෙන් භාර දුන්නේ නැතිනම් සියලු දේපළ පවරා ගන්න ක්‍රමයක් අපි හදනවා.

චීනයේ කෝටි 135ක විතර ජනතාවකට ඇමති මණ්ඩලය 27යි. අපේ රටේ  ජනගහනය කෝටි දෙකයි. ඇමතිවරු 100 පැනලා. ඇමතිවරයෙක් කියන්නේ ජනපදයක් නඩත්තු කරන්න දරන වියදම නාස්ති කරන කෙනෙක්. ඇමතිවරයාට වාහන, ඊට අමතරව කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුට වාහන. කාර්ය මණ්ඩලයට 15 දෙනයි. ඇමතිට දුරකථන දෙනවා. කොළඹින් ගෙයක් දෙනවා. ලයිට් බිල ගෙවනවා. වතුර බිල් ගෙවනවා. මේ වගේ ගත්තාම ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක්. අපි මේ සියලු වියදම් කපනවා. අපේ පාලනයක ඇමතිවරුන් උපරිම 25 යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. අපේ රට හදන්නේ එහෙම.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට අවුරුදු 5ක් ගියහම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. අවුරුද්දට දවස් 4ක් පාර්ලිමේන්තු ගියත් ඇති විශ්‍රාම වැටුපක් ලැබෙනවා. හලාවත ධීවර ජනයා මහ මුහුදත් එක්ක පොරබදමින් අවුරුදු 30-40ක් ධීවර රස්සාව කරනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? ගොවි ජනතාව අවුරුදු 70-75 වෙනකම් හේන කුඹුර එක්ක පොරබදනවා. විශ්‍රාම වැටුපක් හම්බ වෙනවාද? හැබැයි මන්ත්‍රීවරයාට අවුරුදු පහකට දවස් 20ක් පාර්ලිමේන්තු ගියාම විශ්‍රාම වැටුපක් හම්බ වෙනවා. සාධාරණද? අපි මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම නතර කරනවා. හිටපු ජනාධිපතිවරුත් ඒ වගේ. මේ ගොල්ලන්ව මහජන මුදලින් නඩත්තු කරන්න ඕන නැහැ. රට දුප්පත්; පාලකයෝ පොහොසත් කියලා මම කිව්වේ මෙන්න මේ වගේ තත්ත්වයක් ගැන අවධානය යොමු කරන්නයි.

රට ගොඩනඟන්න නම්, නීතියේ විධානය තහවුරු කිරීම, වංචා - දූෂණ නැවැත්වීම වගේම මහජන ආරක්ෂාව තහවුරු කිරීම කරන්න ඕනෑ. ජාතික සමගිය ගොඩනැඟීම, සිංහල, දෙමළ, මුස්ලිම් අන්‍යොන්‍ය විශ්වාසය සහ ගරුත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. මහජන ආරක්ෂාව තහවුරු කරන්න පොලිසිය හිටියහම ඇති. ඒකට ආරක්ෂක ලේකම්ලා, ජෙනරාල්ලා අවශ්‍ය වන්නේ නැහැ. මහජන ආරක්ෂාව තහවුරු කරන්න ඔය අනෙක් කිසිවෙකුටත් බැහැ. එය කළ හැක්කේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමෙන් පමණයි.

රටේ විශ්වවිද්‍යාලවල බහුතරය සිසුවියෝ. හැබැයි රැකියාවල නියුක්තව ඉන්නේ සියයට තිස්එකයි. උපාධියක් අරගෙන බොහෝ දෙනකුට ගෙදර මුරකරන්න වෙලා.  ඉතාලියෙන් සල්ලි ටිකක් අරගෙන එනකෙනා, අධ්‍යාපනය ලබලා ගෙදර ඉන්න කාන්තාව, වගේම අලුතින් ගොඩනැඟෙමින් සිටින තරුණයා කියන පාර්ශ්ව තුන එකතු කරලා නව ව්‍යාවසායකයන් අපි බිහිකරනවා. මේ වෙනුවෙන් විදේශ රටවල තිබෙන අපේ තානාපති සේවය වාණිජ ඉලක්ක හඳුනාගැනීමට යොමු කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක වෙළඳපොළේ කොටසක් අත්පත් කරගන්න පුළුවන් මේ තුළින්. ඒ තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන පුබුදුවන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.

සජිත් පාර්ලිමේන්තුවට ගියේ 2000දී. මමත් පාර්ලිමේන්තු ගියේ 2000දී. දෙන්නාගේම පාර්ලිමේන්තු ජීවිතවලට අවුරුදු 19යි. සජිත් ප්‍රේමදාස, ගෝඨාභයගේ නම කියපු එක තැනක් පාර්ලිමේන්තුවේ හැන්සාඞ්වල පෙන්වන්න. ගෝඨාභය පරාජය කරන්න එන සජිත් අවුරුදු 19ක් මොනවාද කළේ? හලාවත ධීවරයන්ට වෙඩි තියනකොට, රතුපස්වලදී හමුදාව දාලා ජනතාවට වෙඩි තියනකොට, දර්ගාවලදී, අලුත්ගමදී, මුස්ලිම් ජනතාවට පහර දෙනකොට සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට චෝදනා කළාද? නැහැ.

මේ රටේ අද තියෙන්නේ රාජපක්ෂලා පරාජය කරන එක විතරක් නොවෙයි. රාජපක්ෂලා එක්ක ඉතාම කුළුපගව කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය එකට තබා පරාජය කිරීමයි මේ වෙලාවේ ජනතාවගේ වගකීම.  රාජපක්ෂලාගේ නඩුවලින් ඒ අයව බේරාගත්ත විදිහ අපි දන්නවා. මේ ගොල්ලෝ අපිට බෙදිලා පෙන්නුවාට එකම පන්තියේ කුළුපග මිතුරන්. ඒගොල්ලෝ එකිනෙකා එකිනෙකාට ආරක්ෂාව සපයනවා. එකිනෙකා රහසේ මුණගැහෙනවා. මේ කඳවුරු දෙකම එකට තබා පරාජයට පත් කරන්න නොවැම්බර් 16 වැනිදා ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා (30) අම්පාර නගරයේදීද ජනරැලියක් ඇමතීය. එහිදී ඔහු මෙසේ කීය.

කෘෂිකර්මාන්තයේ තියෙන ගැටලු ටික අපි හරියට හඳුනා ගන්න ඕනෑ. හඳුනාගෙන ඒවාට විසඳුම් දෙන්නට ඕනෑ. කෘෂිකර්මාන්තයේ විසඳිය යුතු පළමුවැනි ප්‍රශ්නය බීජ. බඩඉරිඟු_හිටෙව්වාට කරල එන්නේ නෑ. ලූනු හිටෙව්වාට ලූනු අලේ කොයිවගේද? ලක්ෂ හැත්තෑපහක් දීලා අපි ගස් ලබු ඇට කිලෝ එකක් ගෙනල්ලා හිටෙව්වොත් ඒකේ ගස්ලබු විතරක් හැදිලා හරියන්නේ නෑ. රත්තරනුත් දෙකක් තුනක් හැදෙන්නට ඕනෑ.

ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙනවා යළි සාධාරණ මිලකට ගුණාත්මක සහතික බීජ ලබා දෙන වැඩපිළිවෙළ අපි හදනවා. අපි බීජ පර්යේෂණ ආයතන දියුණු කරනවා. බීජ ගොවිපළ දියුණු කරනවා. බීජ ගොවීන් හදනවා. අපට පුළුවන්ද මේ රටේ කන්න තුනක් වගා කරන්න. මේ වැඩිහිටි තාත්තලාට මම කියන්නේ.

ඉස්සරනම් අපි අතරමැදි කන්නයක් වගා කළා. මහ කන්නයේ ඉඳලා යල කන්නය දක්වා දින හතළිස් පහක් විතර තියෙනවා. දින හතළිස් පහට අපි එව්වාට උඳු ගැහුවා, මුං ගැහුවා, මිරිස් ගැහුවා. මොකක්ද සිද්දවෙලා තියෙන්නේ වතුරවලට. මොකක්ද සිද්දවෙලා තියෙන අනතුර?

අපේ තුන්වැනි පරම්පරාවේ දරුවන්ට දැන් ඉඩම් නෑ. හැබැයි ඉඩම් අපේ දරුවන්ට නැති වුණාට කොම්පැනිවලට ඉඩම් දෙනවා.

අපි කොම්පැනිවලට දීපු ඉඩම් ඔක්කොම පවරාගෙන ආපසු ගොවි ජනතාවට දෙනවා. ඒ වගේම ඉතාමත් හොඳ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවක් අපි හදනවා. අපිට කෘෂිබිම් තියෙන්නේ සියයට පහයි. මේ සියයට පහත් නැති වුණොත් මොකක්ද අපිට වෙන්නේ?

ඒ නිසා වගා කරන්නේ මොනවද? නගරය හැදෙන්නේ කොතනද? ජලාශ තියෙන්නේ කොතනද? ඒක නීතියකින් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා. කාටවත් පිටින් ඉඩ දෙන්නේ නෑ. ඇමති එනකොට තමන්ට ඕනෑ ගෙවල් හදන්න ඒ සැලැස්මත් වෙනස් කරනවා.

අපේ රටේ වසරකට කසාද සිද්දවෙනවා එක්ලක්ෂ හැටදාහක්. ඒකෙන් ලක්ෂයකට  හම්බ වෙනවා අම්මා තාත්තාලගේ ඉඩම්. හැට දාහකට අලුතන් ගෙවල් ඕනෑ වෙනවා. පර්චස් දහය ගානේ යට කළොත් පර්චස් ලක්ෂ හැටක් ඕනෑ වෙනවා. අවුරුද්දකට පර්චස් ලක්ෂ හයක් ඕනෑ වෙනවා. අවරුදු දහයක් ගියොත් පර්චස් ලක්ෂ හැටක් ඕනෑ වෙනවා.

සේනානායක සමුද්‍රයේ මුර්‍ළු බිම්වලට සමාන බිම් ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා අවුරුදු දහයක් යනකොට. පෞද්ගලික ඉඩමේ ගෙවල් හදන්න තියෙන අයිතිය නැති කරන්නේ නැහැ.

හැබැයි ආණ්ඩුවෙන් හදන සියලුම නිවාස ව්‍යාපෘති මහල් නිවාස බට පත් කරනවා. පුරුදු වෙන්න ඕනෑ ඒවායේ ඉන්න.
කාලා අපි මැරිලා යනවා. හොඳද ඒක? සාධාරණ නෑ. ඒ නිසා අපේ භූමිය ආරක්ෂාකරලා දෙන විදියේ ඉඩම් පිළිබඳ  සැලැස්මක් අපි මේ රටේ හදනවා.

ඊළඟට දැන් ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා පොහොර. යූරියා පොහොර හැබෑවටම මම ඔයගොල්ලන්ට එකක් කියනවා. තරහා වෙන්න එපා. මේ දෙන  සහනාධාරවලට වඩා රුපියලකින්වත් සහනාධාර නම් වැඩි කරන්නේ නෑ.

මොකද කියන්නේ බැරිද අපිට යූරියා නිකම් දෙන්න. අපි දෙන්නේ නෑ. ඇයි අපි ගුණාත්මක පොහොර දෙනවා.
තමුන්නාන්සෙලාට ඕනෑ හිඟන ආර්ථිකයක්ද? හැමදාම හිඟාකන්න ඕනැද?

හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස්
දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, ජාතික ජනබලවේගයේ අම්පාර දිස්ත්‍රික් සභාපති සුනිල් ගුණතිලක, යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණේ නජා මොහොමඞ්, ජාතික විද්වත් සංවිධානයේ නියෝජිත මහාචාර්ය චන්දන අබේරත්න, දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුද මෙම රැළිවලදී අදහස් දැක්වූහ.