(ඩයනා උදයංගනී)

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

පසුගිය දශක කිහිපයේදී සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද ඇතැම් සංවර්ධන කටයුතු ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී ඇති බවත්, එබැවින් සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (4) පැවැසීය.

රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා දැනට පවතින ඉතා පැරැණි පරිපාලන හා මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට ලක් කළ යුතු බව කී ජනාධිපතිවරයා ගෙවීගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, වගන්ති සහ රෙගුලාසි තවමත් පැවැතීම සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් බව ද සඳහන් කළේය.

ජාතියේ අනාගතය ශක්තිමත් වන්නේ උගතුන් වැඩිවූ විට බැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අදට ඔබින අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කරමින්, අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවන් සමඟ ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඊයේ (4) පැවැති 70 වැනි ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය අමතමිනි.

නිදහස සමඟ සතුටින් ජීවත්වීමට නම් සෞභාග්‍යය අත්‍යාවශ්‍ය බව කී ජනාධිපතිවරයා ජනතාවට ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර දීම සඳහා සැම විටම වගකීමෙන් කටයුතු කළ යුතු බව ද කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.

“පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් වශයෙන් අප විසින් මහා බ්‍රිතාන්‍යයට මෙන්ම ගෞරවනීය රජ පවුලට කරන ලද ආරාධනය අනුව අපට සුබ පතමින් මෙහි පැමිණි බි්‍රතාන්‍ය රාජකීය පවුලේ ගෞරවනීය නියෝජිතයා ඇතුළු විදේශ නියෝජිතයන් හා සියලු ආරාධිතයන් ගෞරවයෙන් මෙම අවස්ථාවට පිළිගනු ලබනවා.

අප අද ඉතාමත් ගෞරවයෙන් මෙන්ම අභිමානයෙන් සිහිපත් කරන්නේ අපේ රටට යටත්විජිත යුගයෙන් නිදහස ලැබී වසර 70 ක් සපිරීමයි. මේ ගෙවී ගිය වසර 70 ක අත්දැකීම් අපේ රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම සඳහා මෙන්ම අනාගත ප්‍රගමනය සඳහා ඉතාමත් වැදගත් වෙනවා.

විශේෂයෙන්ම 1948 නිදහස ලැබීමෙන් පසු තිබුණු අභියෝග ගණනාවක් අප විසින් ජය ගනු ලැබුවා. ඒ සඳහා එදා සිට මෙදා දක්වා බලයට පත්වූ සෑම රජයක්ම, රාජ්‍ය නායකත්වයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ රටේ පොදු මහජනතාව සිය වගකීම් සහ යුතුකම් මනා ලෙස ඉටු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

බලාපොරොත්තු නොවූ ආකාරයට අපේ රට බෙදීමට හා වෙන් කිරීමට ඇතිවූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ව්‍යාපාරය නිසා අපට ඔවුන් පරාජයට පත්කිරීමට වසර 26ක පමණ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදීමට සිදුවුණා. එය අපේ රටේ ආර්ථික පසුබෑමක් මෙන්ම ජාතියේ ප්‍රගමනය සඳහා විවිධ ක්ෂේත්‍රවල ගෙන ගිය ප්‍රබුද්ධ වැඩපිළිවෙළවල් තුළ පසුගාමී තත්ත්වයන් ඇතිවීමට හේතු වුණා.

එහෙත් අපේ ඉතිහාසයේ වසර ගණනක ශ්‍රේෂ්ඨත්වය, අභිමානය, පෙර දවස මහා අභිමානවත් මහා කතාවෙන් අපට ලැබී තිබෙන අත්දැකීම්, ජාතියට ලැබී තිබෙන ජීව ගුණය ආදී සියල්ල සමඟ අපේ අනාගතය සඳහා ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීමට අපේ රට තුළ සිටින උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන් පඬිවරුන් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සමඟ රටේ පොදු මහජනතාව සිය යුග මෙහෙවර ඉටු කරමින් සිටිනවා.

අද අප මුහුණ දෙන්නා වූ ප්‍රධානතම අභියෝග මොනවා ද? ජාතියේ අනාගතය සඳහා අප විසින් කළයුතු මෙහෙවර කුමක් ද? හැත්තෑ වසරක අතීත අත්දැකීම් සමඟ අනාගතය ගොඩනඟා ගැනීම සඳහා අප ඒ අභියෝග තේරුම්ගත යුතු වෙනවා. ජාතියේ ප්‍රගමනය සඳහා ප්‍රබුද්ධ වූ වැඩපිළිවෙළකට අප සියලු දෙනා කැපවිය යුතු වෙනවා. එය අප වැළඳගත යුතු වෙනවා. එහි තිබෙන්නා වූ ජීව ගුණය අප විසින් ශක්තිමත් කළ යුතු වෙනවා.
 
අපට ආර්ථික වශයෙන් පවතින අසීරුතාවයන් තිබෙන පසුබිම තුළ එම ආර්ථික ජයග්‍රහණ ළඟාකර ගැනීම සඳහා රජයක් විදියට අපි කැපවී සිටිනවා. අප මුහුණදෙන අභියෝග අතර දුගීභාවය, ප්‍රබල වූ අභියෝගයක්. මීට පෙර බලයට පත්වූ සෑම රජයක්ම දුප්පත්කමින් නිදහස් වීම සඳහා විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවායේ යම් යම් සුබදායී ප්‍රතිඵල තිබෙනවා.

අපි ඒ අතීත අත්දැකීම් සමඟ නව වැඩපිළිවෙළක් තුළ දුගී බවින් නිදහස් වීම සඳහා දැනට කෙරෙන කාර්යයන් මීට වඩා ප්‍රබුද්ධ ලෙසත්, කාර්යක්ෂම ලෙසත් ඉටුකළ යුතු වෙනවා. එහිදී දුප්පත්කමින් නිදහස් වීමේ ඒ අභියෝගය ඉදිරියේදී අපට ජයගත හැකියි කියා මා විශ්වාස කරනවා. අප සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගැනීම අවශ්‍ය වෙනවා.

අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා නොසලකා දේශපාලන පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කරන ලද සංවර්ධනය නිසා ඇතැම් වේලාවට ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල ලබා දී තිබෙන බව කනගාටුවෙන් වුව ද කිවයුතු වෙනවා. ඒ නිසා දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය, රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය සෑම විටම මෙහිදී පැහැදිලි ලෙස සංවර්ධනයේ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

ඒ වගේම අපේ රට අදට වඩා උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන්, පඬිවරුන්ගෙන් ශක්තිමත් කළ යුතුයි. ජාතියේ අනාගතය සැමවිටම ශක්තිමත් වන්නේ උගතුන් වැඩි වූ රටකයි. එය අප විසින් කළ යුතු වෙනවා. ඒ සඳහා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කාර්යක්ෂමතාවය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම්වල අදට ඔබින ආකාරයට සකස් කළ යුතු වෙනවා. මෙහිදී අධිතාක්ෂණික ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයන් සමඟ අප මූලික වශයෙන්ම නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය සඳහා කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා.

නවෝත්පාදන ආර්ථිකයේත්, හරිත ආර්ථිකයේත් මූලධර්ම සහ ප්‍රතිපත්ති තුළ මූලික වශයෙන් නිපුණතා සංවර්ධනයට වෘත්තීය අධ්‍යාපනයට ඉතාමත් වැදගත් ස්ථානයක් දීම අත්‍යවශ්‍යය යන්න මාගේ අදහසයි. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව සඳහා ඉතා පැරණි පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි කඩිනම් සංශෝධනයකට යටත් කළ යුතු වෙනවා. ගෙවී ගිය දශක කිහිපයේ එවැනි සංශෝධන කොතෙක් කර තිබුණත් තවමත් මීට අවුරුදු සියයකට එහා තිබූ ඇතැම් ආඥා පනත්, ඇතැම් වගන්ති ඒ වගේම රෙගුලාසි තිබෙන බව ඔබ අප දන්නවා. එය සංවර්ධනයේ ඉදිරි ගමනට බාධාවක් ලෙස අපි දකිනවා. කාර්යක්ෂම සංවර්ධනයක් හා විනයක් ඇති පරිපාලනයක් සඳහා ඒ දේ කළ යුතු වෙනවා.

ඒ වගේම මේ රටේ ඉතා වැදගත් ක්ෂේත්‍ර ව්‍යවස්ථාපිත ආයතන ගණනාවක් සඳහා අප අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතන, පළාත් සභාව, පාර්ලිමේන්තුව ව්‍යාවස්ථාදායකය, ජනාධිපති තනතුර මේ සියලු ආයතන සහ තනතුරු වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රතිසංවිධානය කොට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

විශේෂයෙන්ම දූෂිත දේශපාලනය ජාතියේ ප්‍රගමනයට අනාගතයට අයහපත් බරපතළ ප්‍රශ්නයක් අභියෝගයක් සහ අවහිරයක් වී තිබෙන බැවින් අපි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ජනාධිපති ධුරයේ සිට පළාත් පාලන ආයතන දක්වා, පළාත් පාලන ආයතනවල සිට ජනාධිපති ධුරය දක්වාත් ප්‍රතිසංවිධානය විය යුතුයි. සංවර්ධන සැලසුම්වල විධිමත්භාවය මෙන්ම විනයක් ඇති දේශපාලන පරපුරක් සමඟ මේ රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මා පැහැදිලිව දකිනවා.

සංවර්ධනයේ හා ජාතියේ අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග ජය ගැනීමේදී දේශපාලනඥයා තුළ තිබිය යුතු අවංකභාවය පැහැදිලි ලෙසම ඉතා වැදගත් වෙනවා. ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් රට ගොඩනැඟීමටත් හැක්කේ සහ මුළු මහත් පොදු ජනතාව රාජ්‍ය පාලනය සඳහා ඒකරාශී වන්නේ මේ අවංකභාවය තුළයි. මේ හැත්තෑවන නිදහස් සමරුව පවත්වන අවස්ථාවේ ඔබෙත්, මගේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගා ගැනීම සඳහා    දේශපාලනඥයන් තුළ තිබිය යුතු කැපවීම, අවංකභාවය, නොකිළිටිභාවය, පිරිසුදුභාවය ඉතාමත් වැදගත් යුගයේ අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. මිනිසුන්ට මෙන්ම ගස, කොළ ඇතුළු සියලු සතුන්ට නිදහසේ පැවැත්ම අවශ්‍ය බව ඔබ අප කවුරුත් දන්නවා. සතා සිවුපාවා ගහකොළ ඇළ දොළ ස්වභාවධර්මයාගේ අසීමිත වස්තූන්, ඊට තිබිය යුතු නිදහසත්, මිනිසාට තිබිය යුතු නිදහසත් කිසිදු වෙනසක් නොමැති බව නිදහස පිළිබඳ කථා කරන විට අප සෑම විටම සිතාගත යුතුයි.

සැබෑ නිදහස යන්න මිනිසකුගේ නිදහස පමණක් නොවෙයි. ඒ සඳහා අපේ කැපවීම අධිෂ්ඨානය අවශ්‍යයි. එහි තිබෙන්නා වූ ඉතාමත් සංකීර්ණ ස්වභාවය, ව්‍යාප්ත තත්ත්වය, වගකීම් සහගත තත්ත්වය පාසල් දරුවාගේ සිට වඩ වඩාත් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය මා දකිනවා. ඒ නිසා මේ සියලු කරුණු සම්බන්ධයෙන් අප අවධානය යොමු කළ යුතුයි.

නිදහස පිළිබඳ අපට තිබෙන්නා වූ අවබෝධයත්, අත්දැකීමත් සමඟ සතුටින් ජීවත්වෙන්න නිදහස් සමාජයක සෞභාග්‍යය ඉතාමත් අත්‍යාවශ්‍යයි. ආර්ථික සමෘද්ධිය, සෞභාග්‍යය ජනතාවගේ ප්‍රාර්ථනාවක්. ඒ නිසා නිදහස සියලු අංශවල ශක්තිමත් කරන්නත් සෞභාග්‍යය උදාකර දීම සඳහා ස්වදේශික අපේම ජනතාවගේ අනන්‍යතාවයන් දේශීයත්වය අපේ කර්මාන්ත අපේ කෘෂිකර්මාන්තය අපේ කියන සියලු_ දේවල් සමඟ අපේ සංස්කෘතිය ජාතික අනන්‍යතාවන් සමඟ ඒ සෞභාග්‍යය උදාකරදීම සඳහා අප සැමවිටම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.

විදේශීය රටවල්වල, දියුණු රටවල්වල තිබෙන තාක්ෂණික දියුණුව අපේ දැනුමට අවශ්‍යයි සේම ඒ දැනුම ලබාගැනීමත් සමඟ අප කිසිවිටෙකත් අපේ ස්වදේශික ප්‍රාර්ථනාවන්, ස්වදේශික ඓතිහාසික උරුමයන් බිඳ නොහළන ලෙස කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපේ වසර දහස් ගණනක මහා ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාවේ මූලික වශයෙන්ම අපේ සංස්කෘතිය, අනන්‍යතාව, අපේ පෞරාණික වස්තු, අපේ උරුමයන් සියල්ල රැකගෙන පෝෂණය කරගෙන ආරක්ෂා කරගෙන අප මාතෘභූමිය ගොඩනැගිය යුතු වෙනවා.

මේ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලු කාර්ය මණ්ඩල ප්‍රධානීන්ගේ වගකීම් සැමවිටම ඉටුකළ යුතු වෙනවා. අපි මේ සියල්ලෙහි අවධානය යොමුකළ යුතු වෙනවා. මා පෙර කී පරිදි අපට තිබෙන අභියෝග අප කිසිවිටෙක අමතක නොකළ යුතුයි. දූෂණ විරෝධය යනු රටක ආත්මාරක්ෂාව යන්න මා මෙහිදී සඳහන් කරනවා. රටේ සංවර්ධනය සඳහා රටේ අනාගතය සඳහා දූෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම, ඒ මතය ක්‍රියාත්මක කිරීම ජාතියේ ප්‍රගමනයේ ආත්මාරක්ෂාව ලෙසයි මා මෙහිදී දකින්නේ.

එසේම අපේ ශ්‍රේෂ්ඨ මව්බිම අඅ!මත ආර්ථික නිදහස ගොඩනැගෙමින් තිබෙන විට ඒ ආර්ථික නිදහසට එරෙහිව දූෂණය අල්ලස හොරකම නාස්තිය අප විසින් පිටු දැකිය යුතු වෙනවා. හොරකම, දූෂණය, අල්ලස අපිට අපේ ජාතියේ අනාගතය සඳහා අද ඉතාමත් දැඩි ලෙස බලපා තිබෙන කාරණයක්. සෑම දේශපාලනඥයෙක්ම මේ රටේ තම තමාගේ වගකීම් ඉටු කිරීමේදී ඒ ආදර්ශය දීම අත්‍යවශ්‍ය යුග මෙහෙවරක් යුගයේ කාර්යයක් ලෙසයි මම මෙහිදී හඳුන්වන්නේ.

අප කුසීතකමෙන්, අලසකමෙන්, පසුබෑමෙන් තොරව, කාර්යක්ෂමව, එඩිතරව, වීරත්වයෙන්, සටන්කාමීත්වයෙන් අපි සෑම කෙනෙක්ම අපේ ආර්ථිකය ගොඩනැංවීම සහ රාජ්‍ය ප්‍රබුද්ධත්වය තුළ මේ රට ඉදිරියට ගෙන යෑම සඳහා කැපවීම අත්‍යාවශ්‍ය බව මම මෙහිදී පැහැදිලිව දකිනවා.

අපට පසුගිය දශක කිහිපයක තිබෙන අත්දැකීම් සමඟ මේ රට ගොඩනැගීම සඳහා මූලික වශයෙන් ජාතිවාදී අදහස්වලින් තොරව ජාතික සමගිය සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ජාතිවාදී ගැටුම්වලින් තොරව ජීවත් වීමේ නිදහස රටේ සියලු දෙනාට සහතික කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ සහතික කිරීම තුළ සියලු දෙනාගේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව අවශ්‍ය වෙනවා.

සිංහල දමිළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු ජන කොටස්වල සහජීවනය, සමගිය, ආගමික සහජීවනය, භාෂාවේ ජාතික සහජීවනය මේ සියල්ල තුළ ජාතික සමගිය ශක්තිමත් කරමින් සියලු දෙනාට විශ්වාසයෙන්, බියෙන් සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය අප සෑමවිටම සහතික කළ යුතු වෙනවා.

ඒ නිසා අපි මේ සියලු කාර්යයන් සඳහා අපේ කැපවීම ඉතා අත්‍යවශ්‍ය බව මේ හැත්තෑවන නිදහස් ඓතිහාසික සමුළුවේදී මුළුමහත් ආදරණීය ජනතාව ප්‍රමුඛව සියලු වගකීම් දරන සෑම ක්ෂේත්‍රයකම ප්‍රධානීන්ගෙන්, වගකිවයුත්තන්ගෙන් මා ඉල්ලා සිටිනවා.

අද මූලික වශයෙන්ම දේශප්‍රේමීත්වය යනු මුල්‍ය විනයක් ඇතිව සියලු දෙනා වැඩ කිරීමයි කියා මා මෙහිදී ඔබට අදහසක් ඉදිරිපත් කරනවා. දේශප්‍රේමීත්වය එක් එක් යුග තුළ, එක් එක් කාල පරිච්ඡේද තුළ, එක් එක් අවස්ථා තුළ එය අපට විග්‍රහ කරන්න පුළුවන්. ඊට අවශ්‍ය නිර්වචනයන් දෙන්න පුළුවන්. අද දේශප්‍රේමීත්වය යනු සෑම කෙනෙක්ම දේශපාලනඥයාගේ සිට රාජ්‍ය නිලධාරීන් ද රටේ අවසාන පුරවැසියා ද සිය කටයුතු කිරීමේදී මූල්‍ය විනයක් තුළ කටයුතු කිරීම බව මා මෙහිදී දැඩි ලෙස ගෞරවනීය ලෙස අවධාරණය කරනවා.

දූෂණයට, හොරකමට විරුද්ධව මූල්‍ය විනයක් ඇති කිරීමේ පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මා මෙහිදී දකිනවා. නිදහසේ අධිෂ්ඨානය පිරිසිදු, නොකිළිටි දේශපාලනයක් යන්නයි මාගේ අදහස. ඒ නිසා පිරිසුදු, නොකිළිටි දේශපාලනයක් සඳහා මූලික වශයෙන්ම අප සියලු දෙනාම කැපවෙමින් අපට අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, බහුශ්‍රැතයන්, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් සාමූහික ප්‍රයත්නයක් තුළ අප සියලු දෙනා වගකීම් ඉටුකරමින්, රට ගොඩනඟා ගැනීමට තිබෙන ප්‍රධාන අභියෝගය වූ දූෂණය වළක්වා ගැනීම සඳහා, අල්ලස වළක්වා ගැනීම සඳහා අප සියලුදෙනාම පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි කියන පණිවිඩය මේ ගෞරවණීය, ආදරණීය ජනතාවට 70 වන නිදහස් සමුළුවේදී පැහැදිලි කිරීමට කාරුණිකව කැමතියි.

අද මේ ඉතාමත් වැදගත්, ගෞරවනීය, ජාතියේ අභිමානවත් අවස්ථාවේදී අපේ රට බෙදන්නට එල්ටීටීඊ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කටයුතු කළ අවස්ථාවේ අපේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සේවා කරන ලද ඉමහත් වූ කැප කිරීම මෙහිදී අප අමතක කළ යුතු නෑ. ඔවුන් ජීවිත පරිත්‍යාග කරමින්, අවයව අතපය අහිමි කරමින්, ඔවුන්ගේ දරුවන් පවුල් ජීවිත අහිමි කරගනිමින් ඉතාමත් වේදනාකාරී අත්දැකීම් සමඟ ජාතියේ අනාගතය, ජාතියේ නිදහස සහ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සඳහා සටන් කරනු ලැබුවා.

ඒ නිසා මම මේ 70 වන නිදහස් දින සැමරුම් උළෙලේදී රජයේත්, ජනතාවගේත් ගෞවරණීය ප්‍රණාමය මේ රටේ යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සියලුදෙනා සඳහාත් ඒ යුද්ධය පැවැති කාලයේ ඉතාමත් කැපවීමකින් කටයුතු කළ මුළු මහත් රාජ්‍ය සේවයේත්, පොදු ජනතාව සියලුදෙනාටමත් පුදකරනවා.

විශේෂයෙන් අද මේ 70 වන නිදහස් සැමරුම් උළෙලට එක්වූ ඔබ සියලු දෙනාටම මම මගේ ගෞවරණීය ස්තූතිය පුදකරනවා.

අපේ ජාතියේ අනාගතය සඳහා දුගීභාවයෙන් නිදහස් වෙමින්, දූෂණයෙන් නිදහස් වෙමින් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟමින් ලෝකයේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ඉදිරියට යන්නට අපේ ඓතිහාසික මතක සටහන්, අත්දැකීම් සමඟ කටයුතු කළ යුතුයි. නව අධිතාක්ෂණික ලෝකයේ නව පරපුරත් සමඟ උගත් තරුණ පරපුරත් සමඟ අප සියලු දෙනාම ඒ වෙනුවෙන් කැපවෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් සමුගන්නවා.” යැයි ජනාධිපතිවරයා පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විශේෂ ආරාධිතයන් වශයෙන් බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ නියෝජිතයා ලෙස ඇයගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ වන සොෆී රීස් ජෝන්ස් කුමරිය, කතානායක කරු ජයසූරිය, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මැති ඇමතිවරුන්, විදේශ නියෝජිතයන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.