(*** අංජුල මහික වීරරත්න)

කඩාවැටීම් පරාජයන් මැද නැගී සිටිය යුතුම යැයි ද වැරැදුණු තැන අවබෝධ කරගනිමින් වඩාත් ශක්තිමත් වෙමින් ඉක්මනින් නැගී සිටිය යුතු යැයි ද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ 74 වැනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව තවත් වසර සිය ගණනක් ආරක්ෂා කරගනිමින් ජයග්‍රහණය කරා පිය නැගිය යුතුව ම ඇතැයි ද රුවන් විජයවර්ධන මහතා කියයි.

රුවන් විජයවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ මූලිකත්වයෙන් 1946 සැප්තැම්බර් 6 වැනිදා මෙරට සියලු‍ ජන වර්ග, ආගම් එක්සත්ව එක මිටකට ගෙන ජනතා පවුරක් ලෙස ගොඩනංවමින්, සියලු‍ ජාතීන් එක්සත් කිරීමේ අභිලාෂය මත ගොඩනැගුණු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය යනුවෙන් හැඳින්වීමට තීරණය විය.

එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම සඳහා එවක පැවැති දේශපාලන කණ්ඩායම් වූ ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව, මුස්ලිම් සංගමය, ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයෝ 200කට වැඩි පිරිසක් කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් මාවතේ ෆාම්කෝට් මන්දිරයට රැස් වී එක්සත් ජාතික පක්ෂය නම් වූ මහා ජනතා බලවේගය නිර්මාණය කිරීමට සිය නිල දායකත්වය ලබාදීමට පියවර ගත්හ.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලද අවස්ථාවේ එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළේ ජේ.එල්. කොතලාවල මහතාය. ප්‍රථම නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සභාපතිවරයා ලෙස ද උපසභාපතිවරුන් ලෙස එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ටී.බී. ජයා, පොන්නම්බලම් අරුණාචලම්ගේ පුත්‍රයා වූ අරුණාචලම් මහාදේව, පොන්නම්බලම් රාමනාදන්ගේ බෑනා වූ එස්. නඩේසන්, ජෝන් කොතලාවල සහ ජෝර්ජ් ආර්. සිල්වා යන මහත්වරු ද තේරී පත් වූහ. මහලේකම්වරයා වූයේ එච්.එම්. අමරසූරිය මහතාය. ජේ.ආර්. ජයවර්ධන සහ ඒ.ආර්.ඒ. රෂීක් මහතා සම භාණ්ඩාගාරිකවරුන් ලෙස තේරී පත් වීම ජාතික සංහිඳියාව සහ ආගමික සහජීවනය සඳහා මූලික අඩිතාලම ලෙසින් සකස් විය.

කිසි දිනක වර්ගවාදී, ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවූ දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ දිනයේ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්,

“අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇති කරගත යුතුය. ජාති ආගම් භේද අනවශ්‍ය යි. සිංහල, ද්‍රවිඩ, යෝනක, මැලේ හෝ බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුව ද අප සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය කියාය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි භක්තිකයන් වුව ද අප සියලු‍ම දෙනා පැවැසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවා.” යනුවෙන් සිදුකළ ප්‍රකාශය එදා මෙන්ම අදටත් එක සේ වලංගු බව මාගේ අදහසයි.

1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළේය. එම මැතිවරණය ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය.

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී, දේශපාලනික සහ සමාජයීය බලවේග පෙරටුව සටන් මෙහෙය වූ එක්සත් ජාතික පක්ෂ නායකයෝ 1948 දී ශ්‍රී ලංකාවට නිදහස අත්පත් කරදීම වෙනුවෙන් පුරෝගාමී දේශපාලන බලවේගය නිර්මාණය කළහ.
ඩී.එස්. සේනානායක මැතිතුමන් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කරන සමයේ සිට කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කර තිබිණි. මෙම කෘෂි සංවර්ධන විප්ලවය මඟින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනපද රාශියක් ආරම්භ කරනු ලැබීය. 1950 දශකය වනවිට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක අන්දමින් මුල් බැස ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකික සමාජය තුළ ඇති නැති පරතරය තුරන් කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළ යුතුය යන සටන මල් ඵල ගැන්වීම වෙනුවෙන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන් දැක්වූ දායකත්වය ගෞරව පෙරදැරිව සිහිපත් කළ යුතුමය. එතුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මධ්‍ය විද්‍යාල සංකල්පය මෙරට නිදහස් අධ්‍යාපනයේ හැරැවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වා දුන්නාට කිසිම වරදක් නැත.
මෙරට සුවහසක් දුවා දරුවන්ට ඇති නැති භේද පසෙකලා සමාජයේ ස්ථර (Social Mobility) අතර ගමන් කරමින් ඉහළට ගමන් කිරීම වෙනුවෙන් එම වැඩපිළිවෙළෙහි වූ සාර්ථකත්වය, වර්තමානයේ නිදහස් අධ්‍යාපනය හේතුවෙන් තම ජීවිත ජයගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුළින් ප්‍රභාමත් වනු ඇත.

1952 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ ඩඩ්ලි සේනානායක මහතා ද ගෞරවාන්විත දේශපාලනයක නිරත වූවෙකි.

ජාතික සහජීවනය ගොඩනැගීම සඳහා එජාපය ආරම්භ කළ ප්‍රතිපත්ති සමුදාය ඉදිරියට ගෙන යාමට එතුමා කටයුතු කළේය. ඒ අනුව දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමේ දී එකම රටක් තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් ලෙස දැක්මක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය බව එතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ චීන-ලංකා රබර් සහල් ගිවිසුම ශ්‍රී ලංකාව විශේෂ ප්‍රවේශයකට යොමු කරවන්නක් විය. දේශීය අපනයන ශක්තිමත් කරමින් රබර් නිෂ්පාදනය සඳහා ලෝක වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තව ද පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, රුමේනියාව වැනි කොමියුනිස්ට්වාදී රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඇති කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයන් හඳුන්වාදීමේදී 1965 වසර සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමඟ බද්ධ කරගැනීම සඳහා කටයුතු කෙරුණු වසරයි. 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍ය මැදිහත් වීම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආයෝජනයන් ලෙස සැලකිය හැකිය.

අද මෙරට විදෙස් විනිමය ඉපැයීමේ ප්‍රධාන මාර්ගයක් වී ඇති සංචාරක කර්මාන්තය විධිමත් කර්මාන්තමය මුහුණුවරකින් සමාජගත වූයේ එලෙසිනි. ඒ ඔස්සේ මෙරට තුළ නිර්මාණය වූ රැකියා අවස්ථා ප්‍රමාණය ලක්ෂ ගණනකි.

සැම විටම ලෝක ආර්ථික, දේශපාලන සහ සමාජයීය තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් එක්සත් ජාතික පක්ෂය, වසර තිහ හතළිහක අනාගතයක් දෙස බලමින් සැම විටම වැඩ කළ දේශපාලන පක්ෂයක් විය.

එජාපයේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කොට යෝධ විප්ලවයක් ඇති කිරීමට නායකත්වය ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1977 වර්ෂයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ දී හයෙන් පහක බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට ජේ.ආර්. ජයවර්ධන මහතා සමත් විය. එය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය තුළ දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයක දී ලැබූ ඉහළම ජයග්‍රහණය විය.
ලෝක ආර්ථික ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතා නව ආර්ථික දර්ශනයක් ලෙස විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මෙරට ට හඳුන්වාදීමෙන් ආර්ථික ක්ෂේත්‍රයේ මහා පෙරැළියක් ඇති කිරීමට සමත් විය.

සංවෘත ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට රාජ්‍ය සුබසාධනය ශක්තිමත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික මොඩලය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළේය. එම ආර්ථික මොඩලය වූ කලී දකුණු ආසියාවේ රාජ්‍ය පාලකයකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම විප්ලවීය ආර්ථික හැරැවුම් ලක්ෂ්‍යයක් ලෙස දැක්විය හැකිය.

ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුකළ හැකි බලපෑම ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුනාගෙන තිබිණි. එමගින් වාණිජ ව්‍යාපාර කටයුතු පියවර කිහිපයකින් සංවර්ධනය වීමට අඩිතාලම වැටිණි. විශේෂයෙන් පෞද්ගලික ව්‍යවසායකයන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඇතුළත් කිරීම මගින් රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම දැක්විය හැකිය.
විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුම් ඇති කරගැනීමට එජාප රජයන් සමත් විය. රැකී රක්ෂා උත්පාදනය කිරීම මගින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප සංකල්පය හරහා හැත්තෑ හත විප්ලවයක් බවට පත්කරමින් විශාල ප්‍රබෝධයක් මෙන්ම පුනරුදයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය.

මෙම තත්ත්වය තුළ බියගම, කොග්ගල හා කටුනායක යන ප්‍රදේශ යා කරමින් පිහිටුවනු ලැබූ නිදහස් වෙළෙඳ කලාප මගින් කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් හට ආර්ථික ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් යුතුව කටයුතු කිරීමේ අවස්ථාව උදා විය.

ඒ වනවිට අධිරාජ්‍යවාදී බලපෑමට නතුව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට සම්පූර්ණයෙන්ම මෙරට ස්වදේශික බලය තහවුරු කරමින් රට හඳුන්වා දුන් 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මෙරට දේශපාලනයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

විශේෂයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් වර්ධනය කිරීම, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීම, මහජන ආරක්ෂක පනත හඳුන්වා දීම කැපී පෙනේ.

ඩී.එස්. සේනානායක යුගයේ ඇරැඹි ගොවි ජනපද ව්‍යාපාරය ජේ.ආර්. ජයවර්ධන යුගයේ මහවැලි ව්‍යාපාරය ලෙසින් පරිවර්තනය කොට යෝධ කෘෂි විප්ලවයක් ඇති කළ යුගය විය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ පොළොන්නරුව ශිෂ්ටාචාරයෙන් පසු ඇති කරනු ලැබූ දැවැන්තම වාරිමාර්ග සහ ඉංජිනේරු ශිල්පය පදනම් කරගත් ජලය රැස් කිරීමේ ක්‍රමෝපාය විය. අවුරුදු 30කින් නිම කිරීමට සැලැසුම් කර තිබූ මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටි කලකින් නිමාකොට කෘෂිකර්මාන්තය, විදුලි බලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග, නව නගර ඇති කිරීම ඇතුළු සමාජ - ආර්ථික සුබ සිද්ධිය සඳහා ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් ඇති කිරීම මගින් විප්ලවයක් ඇති කිරීමට එජාපය සමත් විය.

මෙරට නාවික වරායන් ප්‍රයෝජනයට සංවර්ධන කරමින් ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මෙරට ගුවන් සහ නාවික ශක්තිය ව්‍යාප්ත කිරීමේ සැලැසුම් සම්පාදනය කරන ලදී. මේ හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබුණි.

ථෙරවාදී බුදුදහම ආරක්ෂා කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය ස්ථාපිත කිරීම සහ ශාසනයේ උන්නතිය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය ඇති කිරීම ආදී පියවර රැසක් එජාප රජය මගින් ගන්නා ලදී. සංස්කෘතික උරුමය පදනම් කරගත් පුරාවිද්‍යා ස්ථාන ඇසුරින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම උදෙසා සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම සඳහා එජාපය කටයුතු කිරී‍මෙන් රටේ සංස්කෘතිය හා ජාතික උරුමය ආරක්ෂා කිරීමට පියවර තබන ලදී. මෙම යෝධ සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීමේ දී එජාපයේ දර්ශනය වූ ජාතික සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා ද විශේෂ අවධානය යොමු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ ජනතාවාදී දැක්ම තහවුරු කරමින් ග්‍රාමීය පළාත්වල ආර්ථික ශක්තිය දුර්වල වූ දුප්පත් මව්පියන්ගේ දූ දරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වා දීම නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු විය. විශේෂයෙන් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළුව පළාත් මට්ටමින් නව විශ්වවිද්‍යාලයන් ආරම්භ කිරීම සහ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙළ ගම්බද දුප්පත් මව්පියන්ගේ දූ දරුවන් වැඩි පිරිසකට විශ්වවිද්‍යාල වරම් හිමි කර දීමට සමත් විය.

ධනවාදී පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය හංවඩු ගැසීමට විරුද්ධ පක්ෂ උත්සාහ දැරුව ද මෙරට ජන සමාජය වෙනුවෙන් සමාජවාදී වූ තීරණ, සුබ සාධන වැඩසටහන් සියල්ල ගනු ලැබුවේත් ක්‍රියාත්මක කරනු ලැබුවේත් එක්සත් ජාතික පක්ෂය විසිනි.