ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ‍ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ 

 

ජනාධිපතිවරණ සටන කෙබඳුද? තබා ඇති තක්සේරුව කවරාකාරද? අභියෝග මොනවාද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය - කොහොමද ඔබේ ඡන්ද ව්‍යාපාරය? 


පිළිතුර - ඡන්ද ව්‍යාපාරය කියන වචනයට නම් මම වැඩිය කැමති නෑ. අපේ පක්ෂය ආරම්භ කරපු දවසේ ඉඳලා මැතිවරණ ලබාගන්න තමයි අපි හුඟක් වෙහෙසුණේ. පළාත් සභා මැතිවරණය නම් අපට ලබා ගන්න බැරි වුණා. හැබැයි ප්‍රාදේශීය සභා මැතිවරණය නම් අපි උදුරා ගත්තා. ජනාධිපතිවරණය අපට ලැබුණා. 


ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා විශේෂයෙන්ම රටත් ජනතාවත් දිනවීම සඳහා අත්‍යවශ්‍ය වෙලා තියෙනවා අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම. මෙතැන ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවයට වඩා එහෙමත් නැත්නම් පොදුජන පෙරමුණේ අවශ්‍යතාවයට වඩා රටේ අවශ්‍යතාවයක් බවට ජනතාවගේ අවශ්‍යතාවයක් බවට ඒක පත්වෙලා තියෙනවා. 


ප්‍රශ්නය - ඔබලාට හිටපු හොඳම අපේක්ෂකයා ද මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා දැන් ඇහුවොත්? 


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. ආරම්භයේදී කාට හරි තිබුණානම් කිසියම් කුතුහලයක් දැන් ඒක සම්පූර්ණයෙන්ම පහවෙලා. මේ සඳහා සුදුසුම අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා සමහර සුදුස්සෝ නුසුදුස්සෝ බවට පත් කළ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා එතුමියව සටන් බිමෙන් ඉවත් කළා. ඒ වගේම ආරම්භයේදීම මහින්ද රාජපක්ෂ මැතිතුමා සටනින් ඉවත් කළා. ඒ අනුව අපේ කඳවුරෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා විතරක් නොවෙයි ඒක නිවැරැදිම තේරීමක් කියන එක මේ වෙනකොට තහවුරු වෙලා ඉවරයි. 


ප්‍රශ්නය - ෂැංග්‍රිලා හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා. එතැනදී ගෝඨාභය රාජපක්ෂ සෘජුව උත්තර දුන්නේ නෑ. බෝලය වෙන අයට පාස් කළා කියලත් කියනවා? 


පිළිතුර - එහෙම කිසිම දෙයක් එතැන නෑ. දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය කියන එක විවිධ විදියට බෙදිලා තියෙනවා. විධායක බලය එකතැනකටත් ව්‍යවස්ථාදායක බලය තව තැනකටත් ගිහින් තියෙනවා. පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් ආණ්ඩුවේ නායකත්වය හිමිවන්නේ අගමැතිවරයාට. එහෙමනේ තියෙන්නේ. අපේ අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමයි. ඒ කේෂ්ත්‍රයට සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් අපේ පොදු එකඟතාව තමයි අගමැතිතුමා හා පක්ෂ නායකයන් සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුතුයි කියන එක. ඒ වගේම ගෝඨාභය පොදුජන පෙරමුණේ අපේක්ෂකයාත් නොවෙයි. මෙතුමා සමස්ත ජාතියේම අපේක්ෂකයා බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක එතුමා ‘බෝලය පාස් කිරීම’ නොවෙයි සාමූහික වගකීම් දරන්න ඕනෑ කියන එක තමයි ඒ පෙන්නුවේ. අනික් පැත්තෙන් ගෝඨාභය තනිවම උත්තර දෙන්න ගියානම් එතකොට කියනවා ‘මෙයා තනියෙන් වැඩ කරන්නේ’ කියලා. මටත් ඔය චෝදනාව තියෙනවනේ. මෙයා තනියෙන් උත්තර දෙන්නේ ඇයි? මෙයා ඒකාධිපතියෙක්, ආඥාදායකයෙක් ඔය විදියට කියයි. 

ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන රටේ ආර්ථිකය නැංවීම ගැන ගැඹුරු අවබෝධයක් තිබිය යුතුයි. නමුත් ඔබේ ප්‍රතිවාදීන් කියනවා ‘ෂැංග්‍රිලා සාකච්ඡාවේදී ගෝඨාභයට එහෙම අවබෝධයක් නැහැ කියලා ඔප්පු වුණා’ කියලා. 


පිළිතුර - මුලින්ම කියන්න ඕනෑ ඒක ගෝඨාභයගේ පමණක් මාධ්‍ය සාකච්ඡාවක් නොවෙයි. ඒකනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, පක්ෂවල නායකයෝ එතැනට ආවේ. එතුමා පමණක් හෝ අපේ පක්ෂයේ මාධ්‍ය හමුවක් හෝ නම් තිබුණේ එතුමා විතරක් කතා කරනවා. අනික් කාරණය තමයි සමහර මාධ්‍ය ඒ කරුණු විකෘති කරමින් තමයි දාන්නේ. එතුමාගේ දැනුම සම්බන්ධයෙන් මම හිතන්නේ මේ රටේ ජනතාවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතුමා බොහොම කාලයක් කැපකිරීම් කරලා අධ්‍යයනය කරලා විවිධ පර්යේෂණ කරලා උගතුන් වියතුන් සමඟ වගේම සමාජයේ ඉන්න පොඩිම මිනිහාත් එක්ක සාකච්ඡා කරලා ඒ දැනුම ගොඩනගාගෙන තියෙන්නේ. 


ප්‍රශ්නය - නමුත් තවම ප්‍රතිපත්ති ප්‍රකාශනයවත් එළියට දාලා නෑ? 


පිළිතුර - සුදුසුම වෙලාවේදී ඒක ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සියලු දෙනාගෙම දායකත්වයෙන් ඉදිරිපත් කරන නිසා තමයි යම් කාලයක් ගත වුණේ. මේක මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි. මේ රටේ ඉදිරි දැක්ම ලියැවෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. 


ප්‍රශ්නය - 2015 දී අවසන් මොහොත දක්වාම ඔබ හිතාගෙන හිටියේ එන්නේ රනිල් කියලා. මේ පාරත් ඔබ හිතාගෙන හිටියේ රනිල් එයි කියලා. ඒත් ආවේ සජිත්? 


පිළිතුර - නෑ. අපි අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා එන්නේ සජිත් ප්‍රේමදාස කියලා. ප්‍රශ්නයක් නෑ. කවුරු ආවත් අපිට අභියෝගයක් නෑ. අනික අපි මේ පුද්ගලයකුට විරුද්ධව නොවෙයිනේ අපි චෝදනා කරන්නේ. සමස්ත රජයටම එරෙහිවනේ අපි චෝදනා ගොනු කරලා තියෙන්නේ. 


ප්‍රශ්නය - එජාපයමයි කිව්වේ රනිල්ට වඩා සජිත් ප්‍රබලයි කියලා. ඒ සජිත් සටනට ඒම ඔබේ දේශපාලන සැලසුම් අවුල් කිරීමක් නොවෙයිද? 


පිළිතුර - නෑ. කිසිම අවුලක් නෑ. අපි හැම දෙයකටම සූදානම් වෙලා හිටියේ. අපි මුළු රජයම පරාජය කරලා රට දිනවන කොට ඒ ද බී ද කියන එක ප්‍රශ්නයක් කරගත්තේ නෑ. 


ප්‍රශ්නය - සජිත්ගේ පැමිණීමත් එක්ක රට තුළ රැල්ලක් නිර්මාණය වුණා? 


පිළිතුර - ඔව්! එහෙම රැල්ලක් පාක්ෂිකයන් අතර නිර්මාණය වුණා. 


ප්‍රශ්නය- පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයකට ආවා. ඔබ එයට ඒ තරම් මනාපයක් නෑ? 


පිළිතුර - පොදුවේ තීන්දුව ගත්තට පස්සේ ඒ කාර්යභාරය අප්‍රතිහත ධෛර්යයෙන් ඉෂ්ට කරගන්න මම මහන්සි වුණා. මට මෙහෙමත් කියන්න පුළුවන්. පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් කිරීමේ කටයුත්තෙදී ඒ වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වුණේ මම කියලා. 


ප්‍රශ්නය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ‘හූ’ කියනවා. එතකොට කොහොමද ඒකාබද්ධ ගමනක් යන්නේ? 


පිළිතුර - එහෙම විග්‍රහ කිරීමේදී අපට පේන දෙයනම් ඒක සංවිධානාත්මක කණ්ඩායම් විසින් කරන දෙයක්. අපේ අයත් ඒකට කැමැති හෝ අකැමැති වෙන්න පුළුවන්. නමුත් මේක කරන්නේ අපිට සම්බන්ධ නැති වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක් බවයි පේන්නේ. 


ප්‍රශ්නය - ඒ වැඩේට පොහොට්ටුවේ කිසිම සම්බන්ධයක් නෑ? 


පිළිතුර - කිසිම සම්බන්ධයක් නෑ. නමුත් මෙතැන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්නයකුත් නොවෙයි. අභ්‍යන්තර ප්‍රශ්න තමයි ඔය එළියට එන්නේ. 


ප්‍රශ්නය - ඔබේ උත්තරය පැහැදිලි නෑ? 


පිළිතුර - මෙහෙමනේ. අපේ කඳවුර විශාල වෙන්න, විශාල වෙන්න අපේ කඳවුර ඇතුළේ තරගය වැඩි වෙනවනේ මේ ජේ.ආර්.ගේ ඡන්ද ක්‍රමය උඩ. මෙතැන තියෙන්නේ එහෙම දෙයක් මිස වෙන දෙයක් නොවෙයි. ඒක බරපතළ ප්‍රශ්නයක් තමයි. නමුත් මැතිවරණ ක්‍රමයේ වැරැද්දෙන් තමයි ඔය තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. 


ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ ගණනාවක් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ ඒ ගැන දැනුම්වත්ද? 


පිළිතුර - නෑ. දැක්කෙත් නෑ. අපිට ඉදිරිපත් කළෙත් නෑ පක්ෂයක් විදියට.


ප්‍රශ්නය - කොහොම වුණත් ඒ ඉල්ලීම් මොනවාද කියලා ඔබ නොදැන ඉන්න විදියක් නෑ. ඔබේ ප්‍රතිචාරය කොහොමද? 


පිළිතුර - ඇත්තටම ඒ යෝජනා බලන්නවත් අවශ්‍ය නෑ. ඔය කියන කාරණා 2005දී මහින්ද චින්තනය සකස් කරන මොහොතේ සිටම ප්‍රතික්ෂේප කරපු ඒවා. අපි ස්ථිරසාරව ඉන්නේ ඒකීය ලංකාවක් කියන සංකල්පයේ. ඒක 2005 ඉඳන් අපි පෙනී හිටපු ස්ථාවරයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්‍ඩුව ඒකීය ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියේ නෑ. නමුත් 2005දී මහින්ද රාජපක්ෂ මැතිතුමා භය නැතිව ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා කියලා මහින්ද චින්තනයේ දැම්මා. ඒ නිසාම අපේ මැතිවරණ ප්‍රකාශනයට පක්ෂයේ නම දාන්න ඒ කාලේ පක්ෂ නායකත්වයේ හිටපු චන්ද්‍රිකා මැතිනිය ඉඩ දුන්නේ නෑ. ඒ නිසා තමයි ‘මහින්ද චින්තනය’ කියලා ඉතිහාසයේ පළමු වරට පක්ෂයේ නම නැතිව මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේ. ඒ වගේම ජාතික හෙළ උරුමය ඔය චම්පික ඇමැතිතුමාලා අපිත් එක්ක එකතු වුණෙත් ඔය ඒකීය රාජ්‍ය කියන සංකල්පය නිසයි. ඒ නිසා අපි තදින්ම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකීය රාජ්‍ය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු දහස් ගණනක් ඉන්නවා. ඒ නිසා අපට ඒ මව්බිමත් සමග තිබෙන බැඳීමෙන් බැහැරව යන්න ගමනක් නෑ. එයින් පිට ගමනක් අපට නෑ. මම ඉන්දියාවට ගිහිල්ලා ඉන්දීය නායකයන් සමඟ අස්සන් කරපු, ඒකාබද්ධ නිවේදනයෙත් ඒකීය ලංකාව කියන වචනය ඇතුල් කළා. ඉතිහාසයේ පළමු වතාවට තමයි ඉන්දියාවත් ඒක පිළිගත්තේ. 


ප්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානය ඔබලා සමඟ තවම සාකච්ඡා කළේ‍ නෑ. 


පිළිතුර - නෑ. සාකච්ඡා කළේ නෑ. 


ප්‍රශ්නය - ඒ සඳහා ආරාධනාවක්වත් නැද්ද? 


පිළිතුර - මට හෝ අපේ පක්ෂයට එහෙම ආරාධනාවක් යෝජනාවක් ඇවිත් නෑ. 


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂට හෝ මහින්ද රාජපක්ෂට? 


පිළිතුර - ඇත්තටම ඒ ගැන හරියටම කියන්න මම දන්නේ නෑ. අපට නම් එහෙම ඉල්ලීමක් ආවේ නෑ. ඔය වගේ ඉල්ලීම් නම් තියෙන්නේ එහෙම ආරාධනාවක් ආවේ නෑ කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. 


ප්‍රශ්නය -නමුත් සුළු ජාතික ඡන්ද ජනාධිපතිවරණයකදී තීරණාත්මකයි? 


පිළිතුර - මම සුළු ජාතීන් කියලා කියන්නේ නෑ. සහෝදර ජාතීන් කියලයි කියන්නේ. අපිත් එක්ක ජීවත් වෙන සහෝදර ජාතීන් කිහිපයක් ඉන්නවා. ඒ අයටත් මේ මහා ප්‍රවාහයට එන්න පුළුවන්. අපි පළාත් පාලන මැතිවරණයේදී උතුරේ හා නැගෙනහිර පක්ෂයක් විදියට තරග වැදුණත් අපට යම් කිසි ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. මේ රටේ තියෙන ග්‍රාමසේවා වසම් දහහතර දාහෙන් දෙළොස් දාස් අටසිය පහක විතරයි අපි සංවිධාන කටයුතු කරලා තිබුණේ. ඉතාම මෑතකදී තමයි අපි ඒ ප්‍රදේශවලට ඇතුල් වුණේ. එතැනදී මට පේනවා ඔවුන් බොහොම කැමැත්තෙන් බලාගෙන ඉඳලා තියෙනවා උතුරේත් නැගෙනහිරත් දෙමළ ජනතාව අපි කවදද එන්නේ කියලා. 


ප්‍රශ්නය - එතකොට මුස්ලිම් ජනතාව? 


පිළිතුර - මුස්ලිම් ජනතාවත් අපත් සමඟ එක්වෙමින් ඉන්නවා. මුස්ලිම් මිනිසා කියන්නෙත් රටේ කෙනෙක්නේ. ඉතින් ඔවුන්ටත් පොදු මහ ජනතාවට දැනෙන දෙයම දැනෙනවනේ. ඔවුන්ටත් මේ වෙලා තියෙන විනාශය පෙනෙනවනේ. 


ප්‍රශ්නය- පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජනතාව ඔබේ කඳවුරෙන් තවත් ඈත් වුණා කියලා ඔබ හිතන්නේ නැද්ද? 


පිළිතුර - එහෙම වෙන්න හේතුවක් නෑනේ. එහෙම වුණා වෙන්න පුළුවන්. නමුත් අපෙන් ඈත් වෙන්න අපි මොනවද කළේ‍? ඒ කියන්නේ අපි බෝම්බ ගහන්න උදව් කළෙත් නෑ. ඒක අනුමත කළෙත් නෑ. 

 

පොහොට්ටුව හා ශ්‍රීලනිපය එක් කිරීමේ කටයුත්තේ දී ඒ වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වුණේ මම. 

 


ප්‍රශ්නය - නමුත් මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් දියත් වුණා. ඒවාට ඔබලාගේ කඳවුරෙන් යම් සහයෝගයක් ලැබුණා? 


පිළිතුර - සම්පූර්ණයෙන්ම වැරැදියි. රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු කාර්යය කිරීමේ වගකීම රජයට අයිති මිසක් අපට අයිති දෙයක් නොවෙයි. ඒ වගේම ඒ ප්‍රචණ්ඩත්වය පිටිපස්සේ හිටියේ කවුද කියලා හොඳටම පැහැදිලි වුණා. අපි පාලනය කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දුන්නේ සියලුම දෙනාටම සාධාරණව කටයුතු කරන්න කියලයි. අපි තමයි ඒ ආදර්ශය දුන්නේ. අපේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනිව යම් දෙයක් වෙලා තියෙනවා නම් මට එතැන පෙන්වන්න. 


ප්‍රශ්නය - ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ට විවිධ චෝදනා එල්ල වුණා. එසේ චෝදනා එල්ල වුණු නායකයන් ඔබලාට සහයෝගය දෙන්න ඉදිරිපත් වුණොත් ඒ සහයෝගය ගන්නවද? 


පිළිතුර - පළමුවෙන්ම කියන්න ඕනෑ ඔය චෝදනා ගැන. රජය අපක්ෂපාතී පරීක්ෂණයක් නොකිරීම ගැන අපි චෝදනා කරනවා. මොකද ඒක දෙපැත්තටම අවාසියි. එක පැත්තකින් චූදිතයාට අවාසියි. අනික් අතට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට අහිමි කරලා තියෙනවා. ඒ දෙකම වැරැදියි. ඒ නිසා මුලින්ම අපක්ෂපාතීව ඒ පරීක්ෂණ කරලා වැරැදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි. ඒ වගේම නීතියේ යම් අඩුපාඩුකම් තියෙන අවස්ථා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ආ යුතුව තිබෙනවා. නමුත් දැන් ඒකටත් සෑහෙන කාලයක් ගෙවිලා තියෙනවා. තාම ඒක හරියට කෙරිලා නෑ. හැමෝම එකඟ වෙච්ච කාරණා කිහිපයක් තියෙනවා. සියලුම ආගමික නායකයන් එකඟ වෙච්ච සියලුම දේශපාලන පක්ෂ එකඟ වෙච්ච රටේ පොදු මහජනතාවත් එකඟ වෙච්ච සංශෝධන ටිකක් තියෙනවනේ. 


ඒ වගේම රටේ සෑම ප්‍රදේශයකම වගේම සියලුම ජාතීන්ට සියලු ආගම් අදහන අයට එකම නීතියක් රටේ තිබිය යුතුයි කියන පදනම හැමෝම පිළිඅරගෙන තියෙනවා. ඇයි ඒක වහාම නීතිගත කරන්නේ නැත්තේ? විවිධ පිටරට ගිවිසුම් අත්සන් කරන්න, ඒ විදේශ බලවේග සතුටු කරන්න නීති ගේන්න කඩිමුඩියේ කටයුතු කරනවා. නමුත් ඊට පෙර කළ යුතුව තිබෙන මුළු රටම එක නීතියක් යටතට ගැනීම කරන්නේ නෑ. ඒක අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. 


ප්‍රශ්නය - කාත්තන්කුඩිය අරාබි කරණයට ලක් කළා කියලා කියපු හිස්බුල්ලාගේ සහායත් ගෝඨාභයට කියලා එස්.බී. දිසානායක කිව්වා? 


පිළිතුර - එහෙම දෙයක් අපිට කියලා නෑ. එස්.බී. ඇමැතිතුමාට එහෙම කිව්වද කියලා මම දන්නේ නෑ. සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකයන්ට මැතිවරණ කොමිෂන් සභාව බොහොම පැහැදිලිවම කිව්වා ‘කිසිම අපේක්ෂකයකුට තවත් අපේක්ෂකයෙක් වෙනුවෙන් පෙනී ඉන්න බෑ’ කියලා. එහෙම කළොත් එහෙම කරන කෙනාට එරෙහිව මැතිවරණ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා කියලත් කිව්වා. ඒ නිසා වෙනත් අපේක්ෂකයකුගේ සහයෝගය පැතීම හෝ දීම මැතිවරණ කොමිසම මෙවර නීති විරෝධී කටයුත්තක් ලෙස හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ප්‍රශ්නය අදාළ වෙන්නේ නෑ. 


ප්‍රශ්නය - යුද්ධය අවසන් මොහොතේදී හමුදාවට අණ දුන්නේ සරත් ෆොන්සේකා කියලා ගෝඨාභය කිව්වා. එහෙම නම් යුද ජයග්‍රහණයේ ගෞරවය සරත් ෆොන්සේකාට හිමිවිය යුතුයි කියලයි එජාපය කියන්නේ? 


පිළිතුර - ඒක මම නම් මුල ඉඳලම කියපු දෙයක් තමයි. එතුමා විතරක් නොවෙයි සෙසු හමුදා, පොලිසිය ඒ වගේම රටේ සාමාන්‍ය ජනතාව දක්වා. සියලුම දෙනාට ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමි විය යුතුයි. ජනතාව මොනතරම් කැප කිරීම් කළාද? ඒ ගෞරවය ඒ සියලු දෙනාම වගේම නායකත්වය දුන් සියලු දෙනාටම හිමි විය යුතුයි. 


ප්‍රශ්නය- එහෙම නම් ෆොන්සේකාව හිරේ දැම්මේ ඇයි කියලා යූඑන්පීය අහනවා? 


පිළිතුර - ඒකම තමයි අපිට අහන්න තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ රණවිරුවෙක් නිසා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලයි. මේ ආණ්ඩුව යටතේ රණවිරුවන් සිය ගානක් හි​ෙර් දැම්මේ! එහෙම කළේ ඒ පදනමින්ද! මෙතැනදී අපි බොහොම පැහැදිලිවම කියන්න ඕනෑ විවිධ ප්‍රශ්න ඇති වෙන්න ඇති, යුද්ධය කියන්නේ ඉතා කටුක දෙයක්නේ. මේ ඉතිහාසෙ පැත්තකින් තියන්න කාලය ඇවිල්ලා කියලයි මම හිතන්නේ. 


ප්‍රශ්නය- උතුරේ අම්මාවරු අතුරුදන් දරුවන් ඉල්ලනවා? 


පිළිතුර - ඇයි දකුණේ අම්මලා එහෙම ඉල්ලන්නේ නැද්ද? අතුරුදන් හමුදා සාමාජිකයන් නැද්ද? මම කිව්වේ ඒකයි යුද්ධය ඉතාම කටුක දෙයක් කියලා. මේක තවදුරටත් කර ගහගෙන යා යුතු නෑ. ඒකෙන් වාසිය යන්නේ වෙන රටවල ඉන්න අයට හා මේකෙන් ප්‍රයෝජන ගන්න හදන අයට. අසරණ ජනතාවට ඒකෙන් යහපතක් වෙන්නේ නෑ. 


ප්‍රශ්නය - ‘මම ජනාධිපති වුණොත් හිරේ ඉන්න සියලුම රණවිරුවන් නිදහස් කරනවා’ කියලා ගෝඨාභය කිව්වා. මේ නීතිය අතට ගත් ඒකාධිපතියකුගේ ප්‍රකාශයක් නොවේද? 


පිළිතුර - නෑ. අනිවාර්යයෙන්ම රණවිරුවෝ විතරක් නොවෙයි, හාමුදුරුවරුන්වත් හිරේ දැම්මනේ. නීතිය අවනීතියක් බවට පත් කරලා යම් කිසි කෙනෙක්ව හිරේ දාලා තියෙනවා නම් ඒක හරිද? නීතියේ මූලික සිද්ධාන්තය තමයි වැරැදිකාරයා බවට ඔප්පු වෙනකන් ඔහු සැකකරුවකු පමණයි. ඒ දේ මේ රණවිරුවන්ට, පූජ්‍ය පක්ෂයට, රජයේ සේවකයන්ට දේශපාලන හේතුමත නොදෙන්නේ? විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන්ට ඇයි ඒ දේ නොදෙන්නේ. ඒ නිසා අපි කියන්නේ නීතියේ සහනය කාටත් දිය යුතුයි කියලයි. 


ප්‍රශ්නය- ජනාධිපති ලෙස ගෝඨාභය දිවුරුම් දෙනවාත් සමඟම අගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනවා කියලා කියවුණා? 


පිළිතුර - එහෙම පූර්වාදර්ශයක් තියෙනවා. 2015 දී එහෙම වුණානේ. ඒක බොහොම ගැඹුරින් කල්පනා කරලා බැලිය යුතු දෙයක්. ඒක පාර්ලිමේන්තුවට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අයිති කාර්යයක්. 


ප්‍රශ්නය - 2015දී වෙච්ච දේ ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලා ඔබලා කිව්වා. ඒ දේ ඔබලාට කරන කොට කොහොමද ඒක ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ? 


පිළිතුර - අරක ප්‍රජාතන්ත්‍ර විරොධීනම් මේකත් ප්‍රජාතන්ත්‍ර විරෝධි තමයි. නමුත් 19 වැනි සංශෝධනයෙන් ඒ තත්ත්වය වෙනස් කළානේ. 


ප්‍රශ්නය - ජනාධිපතිවරණයදී ජාත්‍යන්තර බලපෑම් සරල නෑ. කොහොමද තියෙන බලපෑම්? 


පිළිතුර - මටනම් කිසිම බලපෑමක් නෑ. 


ප්‍රශ්නය - නමුත් 2015දී එහෙම බලපෑමක් තිබුණා? 


පිළිතුර - ගිය පාර ගැන නොවෙයි මම කතා කරන්නේ මේ පාර ගැනයි. මේ පාරනම් අපිට කිසිම බලපෑමක් නෑ. අපිට ජනතාව ශක්තිය දෙනවා. ඒ ශක්තිය ජනතාව අපට දෙනකම් ඕනෑම බලපෑමකට නොබියව මුහුණ දෙන්න අපට පුළුවන්. දැනට බලපෑම් කරන්න උත්සාහයක් නෑ. 


ප්‍රශ්නය - ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔබට ඒකාන්ත විශ්වාසයක් ද තියෙන්නේ? 


පිළිතුර - පැහැදිලිවම අපට රටේ ජනතාව විශ්වාසයි. තමන්ගේ දරු මල්ලන් ගැන කල්පනා කරලා සුරක්ෂිත රටක බයක් සැකක් නැතිව ජීවත් වෙන්න රටක් අවශ්‍යයි කියලා හිතන සමෘද්ධිමත් රටක්, නොබෙදුණු රටක් ගැන හිතන ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අපේ දේශප්‍රේමී කඳවුර ඉහළින්ම ඔසොවා තබන බවට අපට කිසිදු සැකයක් නැහැ. 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්