(නිමන්ති රණසිංහ)
සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය.
අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයන් ලෙස තොරතුරු අනාවරණය වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවක දී එම මුදලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් නමැත්තාගේ මවුපියන් ගල්කිස්සේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ නිවෙසට මෙම මුදල්වලින් කොටසක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා තම කොට්ඨාසය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.
සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිටින තම පුත්‍රයා වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ්ගේ දියණියක වන අස්මා සමග මෙරටට පැමිණෙන තැනැත්තකු විසින් පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින තිදෙනාගෙන් තවත් අයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහසිර් නමැත්තාගේ 2018 සැප්තැම්බර් මාසයේ දිනක තමාට වට්ස්අප් මගින් දුරකතන ඇමතුමක් ලබා දුන් බව තමා දැනුම් දෙන තුරු එම පාර්සලය සුරක්ෂිතව නිවසේ තබා ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බව ද මොහොමඞ් මුහුසිත් ඉෂාක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබිණි.
මෙම වට්ස්අප් දුරකතන ඇමතුම ලැබී දින කිහිපයකට පසුව මුහුණ සම්පූර්ණයෙන් වසාගත් මුස්ලිම් කාන්තාවක් තම නිවසට පැමිණ සිරියාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ සිටින මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දුන් බවත් තම දියණිය එය පරීක්ෂා නොකර නිදන කාමරයේ අල්මාරියේ තැබූ බවත් පැමිණිලිකරු සඳහන් කර තිබිණි.
ඉන්පසු තවත් දින හතකට පමණ පසුව සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු තම නිවසට පැමිණ මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබා දුන් බවත් එයද අනෙක් පාර්සලය තැබූ ස්ථානයේම තැබූ බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
පසුව මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා තමාට දුරකතන ඇමතුමක් ලබා දී එම පාර්සල්වල ඇති මුදල් ඇමරිකානු ඩොලර්වලට මාරුකර තමා දැනුම් දෙන තුරු නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ප්‍රකාශ කළ බව ද පසුව තමා එම පාර්සල් දෙකේ ඇති මුදල් පරීක්‍ෂකා කිරීමේ දී එහි රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් තිබූ බව ද එම මුදල් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරනු ලබන ස්ථාන තුනකට ගෙනගොස් ඇමෙරිකානු ඩොලර්වලට මාරුකර නිවසේ නිදන කාමරයේ අල්මාරියේ සුරක්‍ෂිතව තැබූ බව ද පැමිණිකරු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් බාරයට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම ඇමරිකානු ඩොලර් 23,500 මුදල නීත්‍යානුකූල මුදල් නෝට්ටුදැයි යන්න පරීක්‍ෂා කර බැලීමට මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම මුදල් නීත්‍යානුකූල ඇමෙරිකානු ඩොලර් නෝට්ටුදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහ බැංකුවේ මූල්‍ය කළමනාකරුට නියෝගයක් නිකුත් කළේය.
COMMENTS
ගියපු කාලේම පියවරක් නොගත්ත එකේ විපාක තමයි. කොහොමත් මේ ආණ්ඩුව ප්‍රශ්න ඇදගෙන යන්න රුසියෝ. සයිටම් සහ හොරු අල්ලපු හැටි දැක්කනේ.
කාට මේවා කියන්නද? දැන් තමයි හිතිලා තියෙන්නේ මේක නීති විරෝධී වැඩක් කියලා...... මේ ආණ්ඩුවෙන් ඡන්ද ඉල්ලන්න හොද සුදුසුකමක් තියෙනවා
ලක්ෂ 62 ජනයා සතුටින් ඉපිල ගියා
මෙම පුද්ගලයා මෙම තොරතුරු හෙලිකිරීම සඳහා පැමිණීල්ලක් ඉදිරිපත් කළ එක අගය කල යුතු දෙයක්.
මේ ත්‍රස්තයෝ ඔක්කොම එකම ජන කණ්ඩායමක් ආණ්ඩුවෙන් අපට කියනවා එයාලගේ කඩවලිනුත් කන්ඩ කියල හිතවත් කම් නැති කරගන්ඩ එපා කියල දැන් අපි මොන ක්‍රමේටද අඳුන ගන්නේ හොඳ අය?
හා හා... අත්අඩංගුවට ගන්න එපා.. සිරියාවේ ත්‍රස්ත කටයුතු වලට ගිහින් එන හාදයින්ව.. ලංකාවේ නීති නැහැ නේද?
තව රාජපක්ෂලාගේ ඉඩම්වල වලවල් හාරමු රත්රන් අශ්වයින් හොයන්න. කරන්න තිබුණු වැඩ නොකර බොරුකරපු එකේ විපාක ජනතාව විඳින්නේ... ලක්ෂ 62ට සතුටුද දැන්...?
මේ සියලු ප්‍රශ්න වලට වග කියන්න ඕනේ හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ තීන්දුව. හොඳටම දැනදැනත් සිඟිති දේවල් බලාපොරොත්තුවෙන් ඡන්ද දීපු එක...
සියලු දේ සිදුවෙන්නට ඉඩ හැර දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් සිටිනා පිරිසකුත් අප රට තුල සිටී.......
මේ පාලකයෝ සේරම අනාගත්ත. 2016 සහ්රාන් ගැන තොරතුරු ලැබුණු විගස, ක්ෂණික කටයුතු කලානං, අද මෙහෙම වෙන්න නැහැ. දේශපාලන බල ප්‍රේමයකින් තොරව ආරක්ෂක අංශයට වැඩ කරන්න දුන්නන් නං, මේ රටේ කිසිම ත්‍රස්තාවාදීන්ට හෝ අපරාධකරුවන්ට ඉඩ නැහැ.
ඩේසි අච්චිගේ මැණික් මල්ල වගේ වෙයිද?
හැම මිනිසෙකුටම දේශපාලක තනතුරක් ලබා ගත හැකි වන්නට පුළුවනි. එහෙත් හැම දේශපාලකයෙකුටම නායකයෙක් විය නොහැකිය. නායකත්වයට නුසුදුසු දේශපාලකයකු නායකත්වයට පත්වූ කල්හි රටකට අත්වන ඉරණම මෙබඳුය.
පුහුණුවන්නන් කවුද කියල දන්නවානේ. මුන් කවදා නමුත් මහත් විනාශයක් කිරීමට මෙරටට ඒවි. උඩබලාගෙන නොයිඳ අත් අඩංගුවට ගන්න බලන්න උන්ට උදව්දෙන දේශපාලුවන් ගැනත් සොයන්න.
මල්වානේ පුහුණු මධ්‍යස්ථානයක් තිබුනලු. කවුද එම මධ්‍යස්ථානය හදල තියෙන්නේ?. එම ඉඩම කාගේද? කොතනද තියෙන්නේ? මේ මොනවත් විස්තර එම ප්‍රදේශයේ මිනිස්සු හැටියට අපිත් දැනගන්න කැමතියි. අපි අපේ දරුවන්ගේ ඉදිරි ආරක්ෂාව ගැන , ඉදිරි අනාගතය ගැන මීට වැඩ සෝදිසියෙන් ඉන්න ඕනේ.
2018 සැප්තැම්බර් මස ආරම්භ වුනු සිදුවීම් දාමය පොලිසියට දැනුම්දීමට මෙතරම් කාලයක් බලාසිටියේ කුමක් නිසාද යන්න සලක බැලීම සුදුසුය. මෙම පැමිණිල්ල කලින් කරානම් මුහුණු වසාගෙන පැමිණි ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට තිබුණ නේද? රටේ බෝම්බ පිපිරී මිනිසුන් සියගණනක් මිය යනතෙක් මෙම මුදල් නීතිවිරෝධී බව නොසිතුනේද ?
ඔවුන් ශ්‍රී ලන්කන් නෙවේ.. ලෝකය විනාශ කරන්නන් එවපු දෙමාපියන් නැති හැතිකරයක්... ලංකාවට දෙවි පිහිටයි...
දැන්වත් කොන්ද පන ඇති පිරිසකට මේ රට පාලනේ දෙන්න ඕනේ. එකාට එකා වෛර කරනවා මිසක් තවම වැරැද්ද පිළිගන්නේ නැති මේ අය ඡන්දෙ ඉල්ලලා ආපුවම අපේ මෝඩ හරක්ටික උන්ගේ වාසියට උඩ පැනලා දෙයි. ඔක්කම එකයි පාර්ලිමේන්තුවේ නෑ ගහන්න විතරයි පුළුවන්. දැන්වත් අපේ රට බේරගන්නම් අලුතෙන්ම සුදුසෙක් පත්කරන්න. හොරුන්ටයි මැරයින්ටයි මේ රට දෙන්න එපා.