ජාත්‍යන්තර ළමා දිනය හා ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. සමාජයේ පොදු ආදරයත් රැකවරණයත් විශේෂයෙන්ම හිමි විය යුතු දෙපිරිසක් ලෙස ළමයා සහ වැඩිහිටියා හැඳින්විය හැකිය. ඒ වෙනුවෙන් මිනිස් සමාජයේ පොදු අවධානය යොමු කිරීම සඳහා වෙන් වූ ඔක්තෝබර් 1 වැනි දිනය එම දිනයේ අරුත වඩාත් ඉහළින් ඔප් නැංවීමට සමත් වූ දිනයක් බවට පරිවර්තනය කර ගැනීමේ වැදගත්කම අප ඉදිරිපිට තිබේ.

දුරාතීතයේ ජාත්‍යන්තර ළමා දින හෝ ජාත්‍යන්තර වැඩිහිටි දින නොවීය. ආසියාතික ගුණගරුක භාවයේ ශික්‍ෂණය සහිත ශ්‍රී ලාංකේය සමාජය තුළ දරුවාට හැමදාමත් ආදරය ලැබුණේය. රැකවරණය ලැබුණේය. ‘‘පුත්තා වස්තු මනුස්සානං’’ හෙවත් ‘‘දරුවන් යනු මිනිසුන් සතු වස්තුවකි’’ යැයි ඇදහූ සමාජය තුළ දරුවා වෙනුවෙන් විශේෂිත දිනයක් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නොවීය.

‘‘කතඤ්ඤ කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං’’ යනුවෙන් බුදු වදනෙහි සඳහන්ය. එයින් කියවෙන්නේ කෙළෙහිගුණ දන්නා, කෙළෙහිගුණ සලකන මිනිසුන් ඉතා දුර්ලභ බවය. එහෙත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් බිමෙහි ‘‘පන් දහසක් කල් සස්න රක්නා රට’’ යැයි පින්සිරිබර බුදු මුව කමලින් නියත විවරණ ලද බිමෙහි ජීවත් වූ මිනිසා කෙළෙහි ගුණ ඇතුළු සියලු උත්තර සාර ධර්මවලින් සුපික්‍ෂිත ජීවිතයක් ගත කළේය.

කරුණු කාරණා එපරිදි වුවද නූතන පරිභෝජනවාදී සංකීර්ණ සමාජ පරිසරය තුළ සියලු උත්තර මානව ධර්ම සැළුම් වෙවුළුම් කා ගොස් තිබේ. මිනිස් ජීවිතයක අගය පිච්චියට ගොස් තිබේ. සාම්ප්‍රදායික සංස්කෘතික සමාජය පිටතින් හැමූ ව්‍යාජ සංස්කෘතික සැඩ සුළං ප්‍රහාරයකට ගොදුරු වී තිබේ. රුපියල් ශතවලින් දෑස් ගිනිකණ වැටුණු මිනිසාට දරුවා නොපෙනී ගියේය. වැඩිහිටියා අමතක වී ගියේය.

අප දවස් ගෙවා දමමින් සිටින්නේ එබඳු සමාජයකය. මෙම පරිසරය තුළ දරුවා අනාරක්‍ෂිත වී තිබේ. ලොව හොඳම දේ දරුවන්ට යැයි ශිෂ්ට සම්පන්න ජන සමාජ මගින් මහත් උත්කර්ෂයට නැංවූ නමුදු අප සමාජයේ දරුවා ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව තිබේ. ඉකුත් දිනෙක අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියවුණේ අසල්වැසි නිවෙසක බාලවයස්කාර දැරියකගේ නිරුවත් ඡායාරූප ගත් බාලවයස්කාර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බවය. ළමයා තුළ ළමයා අතුරුදන් වී විකෘති වැඩිහිටියකු නිර්මාණය වී තිබේ. එම සිදුවීම වූ කලී අප සමාජයේ ඇත්ත අභ්‍යන්තරය සම්බන්ධ සාම්පලයකි.

දෙක වසරේ හා තුන වසරේ ඉගෙනගන්නා මල් කැකුළු බඳු දියණියන් අපහරණය කළ ටියුෂන් ගුරුවරයකුට පහර දී පුටුවකට බැඳ පොලීසියට බාරදීමේ පුවතක් අප පුවත්පත වාර්තා කළේ මෙයට දෙසතියකට ඉහත දී ය. එම අමන ටියුෂන් ගුරුවරයා දෙදරු පියකු බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන් ය. නිවෙසටම පැමිණ උගන්වන අතරතුර දරුවා අපහරණය කළ ගුරුවරයකු පිළිබඳව මෙන්ම තම නිවෙසට දරුවන් ගෙන්වා උගන්වමින් එම දරුවන් අපහරණය කර ඒවා වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපැයූ පාපතරයකු සම්බන්ධ පුවතට තවමත් දෙතුන් සතියකි.

දරුවන් හත් අට දෙනකු මෙලොවට බිහිකර උස් මහත් කර සමාජයට දායාද කළ අම්මා කෙනකුට වියපත් වූ කල්හි මහ මග දමා ගිය පුවතට දෙතුන් සතියකි. එබඳු පුවත් පසුගිය සමයේ එකක් පසුපස එකක් වශයෙන් වාර්තා කෙරිණි. කාමරයක දමා දොරගුළු දමා මළමුත්‍ර සමග වැතිරී නිදන්නට බල කරමින් අම්මලා තාත්තලාට සලකන දරුවන් සම්බන්ධ පුවත් මෙන්ම අම්මලා තාත්තලා යකඩ දම්වැල්වලින් ගැට ගසා තබන, බලු කූඩුවට දමා සිටින දූ පුතුන් සම්බන්ධ පුවත් ද සුලභ ය.

සියල්ලෙන් පැහැදිලිවෙමින් තිබෙන්නේ අපගේ සංස්කෘතික ජීවිතය මහා කුණාටුවකට ලක් වී ඇති බව ය. එම පරිසරය තුළ ළමා නිවාස, අනාථ නිවාස මෙන්ම වැඩිහිටි නිවාස ද සුලභ වෙමින් තිබේ. මහා සංස්කෘතික ගුණවත් ජීවිතයකට උරුමකම් කී ශ්‍රී ලාංකිකයාට සිදුවී ඇති විලම්බැසිය එළැඹගත් සිහියෙන් යුතුව නිවැරැදිව විග්‍රහ කර ගත යුතු ය.

ජාත්‍යන්තර ළමා දිනයේදී හා වැඩිහිටි දිනයේ දී පමණක් ඔවුන් පිළිබඳ අවධානය යොමු කර මෙම සැහැසි ඉරණම වෙනස් කළ නොහැක. දරුවා සම්පතකි. වැඩිහිටියා සම්පතකි. ඔවුන් රැකගැනීම අප සතු පූජනීය වගකීමකි. එම වගකීම මගහැරුණු හෝ අත්හැරුණු ගමනක් අප කිසිවකුට නැත.

(***)