
(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ්-19 ඇතුළු වයිරස විනාශ කරන නවතම මුහුණු ආවරණයක් හඳුන්වාදීම අද(25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන කේ.එන් 95 මුහුණු ආවරණයට වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වයිරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇති බවද ඒමහතා පැවසීය. සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වයිරස දින 7ක් පමණ පැවතුණද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.
එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිඳිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වයිරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.
එසේම 25 වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හඳුන්වාදීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

COMMENTS
නියම සුදුස්සාට මුලින්ම දීලා තියෙන්නේ. දියවන්නාවේ ඉන්න අනික් දේශපාලුවන්ටත් දෙන්න ඕනෑ. ජනතාවට සේවය කරන්න ඉන්න අයනේ...
මගේ මව්බිමට ජයවේවා...!!! මොනවා සොයාගත්තත් එතැනින් නවතිනවා... ඒකයි දුක...
බලාපල්ලා... ඒකත් කරල තියෙන්නේ රාජපක්ෂ කෙනෙක්....
මේ ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා..
2020 මැද භාගයේදී මතුවුණු සමහර කොරෝනා වයිරස් ප්‍රභේද (variants) පෙර පැවති වෛරස් ප්‍රභේද වලට වඩා ප්‍රමුඛ වෙලා (dominant strain). ඒවා වඩා පහසුවෙන් පැතිරීම පමණක් නොව, COVID-19 එන්නත් හෝ පූර්ව ආසාදන මගින් ශරීරයේ ජනනය වන ප්‍රතිදේහ මගහැරීමට හැකි අතර එය වඩාත් දරුණු රෝගාබාධ හා මරණවලට සම්බන්ධ බව පර්යේෂකයෝ සොයා ගෙන තියනවා. ප්‍රශ්නය වන්නේ 2022 දී සහ ඉන් ඔබ්බටත් වෙස්මුහුණු පැළඳීමට අප සූදානම්ද නැද්ද යන්නයි. මෙම වෛරසයට වෙනස් වෙන්න මිනිස් සිරුරක් අත්‍යාවශ්‍යයි. නැත්නම් වෛරසය නැතිවෙලා යනවා. ඒ නිසා, ඔබේ ශරීරයට වෛරස් ඇතුළු වීම වැළැක්වීමට හැකි සෑම දෙයක්ම කරන්න. අපි සෑම කෙනෙකුම අපගේ වගකීම ඉටු කරන්නේ නම් වෛරසය නැති කරන්න පුළුවන්. ඒ සඳහා ලබාගත හැකි විට එන්නත ලබාගන්න. ඒ අතර අනවශ්‍ය ගමන් සහ රැස්වීම් වලින් වළකින්න. අපට ප්‍රජා ප්‍රතිශක්තිය ලැබෙන තුරු... මුහුණු ආවරණ දෙකක් පළඳින්න. මුහුණු ආවරණ වලට ලුණු ද්‍රාවණ ඉසින්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. මිථ්‍යාවට අහුවෙන්න එපා.
සුබ පැතුම්... මේක සුවිසල් දායකත්වයක්...
මේ නව නිපැයුමට අපගේ උත්තමාචාරය..!!!
කේ.එන් 95 මුහුණු ආවරණය නෙමෙයි... n95 තමයි හොඳම මුහුණු ආවරණය... හදන්නේ ඇමෙරිකාවේ 3M ආයතනය..
මේ කියන විදිහට සේදුවාම අර යොදා තිබෙන කෙමිකල් එක රැදී තිබෙනවාද? 25 වතාවක් සෝදන්න පුළුවන් කියන්නේ මැද තිබෙන ෆිල්ටර් වගේ තුනී රෙද්දට මොකුත් වෙන්නේ නැද්ද? කිසිවෙක් මේ ගැන අහන්නේ නැත්තේ හේතුව... ?