සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ ජනාධිපතිවරයා සමග අලුත් සහල් මංගල්‍යයට සහභාගිවීමටය.


අනතුරුව අටමස්ථානාධිපති නාහිමියන් බැහැදුටු අගමැතිවරයා අටමස්ථානයට අයත් විහාරස්ථාන කිහිපයක් වැඳ පුදාගන්නද අමතක කළේ නැත. පැමිණ සිටි ජනතාව සමගද අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසකට පෙනී සිටියේය.


ඇමැති හැරිසන්ගේ අදහස මත ශ්‍රී මහා බෝධිය අසල ඉඩමක ඉදි කිරීමට යෝජිත වන්දනාකරුවන් සඳහා වන දේශීය ආහාර පාන සැපයීම සඳහා වන හෙළ බොජුන්හලට මුල්ගල තැබීමද අගමැතිවරයා එදින සිදු කළේය.


අනතුරුව රටේ විවිධ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක විවෘත කිරීම් හා ආරම්භ කිරීමේ අවස්ථාවලටද අගමැතිවරයා ගෙවී ගිය සතියේදී එක්විය.
බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර එහි සේවක සේවිකාවන්ට සුබ ප්‍රාර්ථනා කිරීමේ අවස්ථාවට එක්වීමටය. සිකුරාදා දකුණු පළාත් මුහුදු තීරයට අගමැති සහ බිරිඳ මෛත්‍රී ගියේ දින කිහිපයක විවේකයක් සඳහාය.


නව වසරට තමාට සුබ පැතීම සඳහා අරලියගහ මැදුරට පැමිණ සිටි මැති-ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් සමඟද සුපුරුදු කතාබහකට අගමැතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා එක්විය.


“විවේක ගන්න තමන්ගේ මව් රට ඇමරිකාවට හිය ගෝඨට මාර හෙණයක් පාත් වුණේ. ඉස්සර කරපු-කියපුවට විරුද්ධව නඩු 3ක් ම වැටිලා.”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරීය.


“ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඇමරිකාවේ පුරවැසිකම ඉවත් කරගන්න මේ නඩු අවුලක් වේවිද?” චමින්ද විජේසිරි ඍජුවම විමසුවේ අගමැතිගෙනි.
“ඒක මට හරියට කියන්න අමාරුයි. ලොකු ප්‍රශ්නාර්ථය නම් තියනවා.” අගමැතිවරයා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය.


“මේවා සිවිල් නඩු වුණාට ඊට පසු මානව හිමිකම් උල්ලංඝනය කළා කියා විභාග කරන පසුබිමකුත් ඇති වෙන්න පුළුවන් කියා ආරංචියි. ඇමරිකාව හා යුරෝපයේ අපරාධ නඩුවලටත් වඩා මානව හිමිකම් චෝදනාවලට දැඩි බලපෑම් එනවා. මොකද, ජාත්‍යන්තර මානව හිමිකම් එකඟතා අනුවයි, ඊට පස්සේ වැ​​ඩේ ඉදිරියට යන්නේ.”, නවීන් දිසානායක කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.


“ඒත් ලංකාවේ සමහර මාධ්‍ය දිගටම කියන්නේ ගෝඨාභයට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ළඟදීම එනවා කියලයි. අප බලමු මොකද වෙන්නේ කියලා”, හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“මේ නඩු-හබ මානව හිමිකම් ප්‍රශ්න ඔක්කොගෙන්ම බේරිලා ගෝඨාභය ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගත්තත් එයා ඊට පස්සේ ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් ලංකාවේ පුරවැසිකම ගන්න ඕනෑ. ඇමරිකාවෙ පුරවැසිකම අයින් කර ගත්තටත් වඩා ඒ වැඬේ අමාරු වේවිද දන්නේ නැහැ.” චමින්ද විජේසිරි කීවේ මඳ සිනහවක්ද සමගිනි.
“දැනට ආගමන විගමන වගකීම් තිබෙන්නේ ඇමැති වජිරටයි. පුරවැසිකම් දීම් තීන්දු වෙන්නේ ඇමැතිගේ අනුමැතියට යටත්වයි. ඒ ඇමැතිකම ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාට දෙන්න කියා ආණ්ඩුව යෝජනා කරනවා කියන ආරංචිය ඇත්තද?” නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.


“ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාට දැනටත් අභ්‍යන්තර කටයුතු අධීක්ෂණ මන්ත්‍රී හැටියට වැඩ බලන්න කියා ආණ්ඩුව කියා තිබෙනවා. ඒ කැබිනට් ඇමතිකම ඔහුට දෙන්නැයි ජනාධිපතිට යෝජනා කරන්න කියා මැති-ඇමතිවරුන් හා පසුපෙළ මගෙන් විශාල ඉල්ලීම් කරන තත්ත්වය දැන් තිබෙන්නේ.” අගමැතිවරයා කීය.
“ගෝඨගේ පුරවැසිකමේ ප්‍රශ්නයට ෆොන්සේකා අතගහවි කියා හිතලා ජනාධිපතිතුමා ඒ ඇමැතිකම ෆොන්සේකාට නොදුන්නොත් මොකද කරන්නේ?” ලක්ෂ්මන් කිරිඇල්ල යොමුකළ ප්‍රශ්නය ඉතා වැදගත් එකක් විය.


”කිරිඇල්ල, ෆීල්ඞ් මාර්ෂල්, රංගේ බණ්ඩාර වගේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට ජනාධිපතිතුමා දිගටම කෙනෙහිළිකම් කළොත් ඇමැතිකම් බෙදීමේදී කවුරු අභ්‍යන්තර ඇමති වුණත් ගෝඨාභයට ලංකාවෙ පුරවැසිකම අපේ ආණ්ඩුව යටතේ දීම ගැන සිය දහස් වාරයක් හිතලා එහෙමනම් ගේමට-ගේම ගහන්න අපේ ආණ්ඩුව කොන්ද ශක්තිමත් කර ගන්න ඕනෑ.”, හේෂා විතානගේ කළ ගිනියම් ප්‍රකාශය හමුවේ අගමැති ඇතුළු සියලු දෙනාම මුහුණට මුහුණ බලා ගත්තේ එය ඉතා වැදගත් අදහස් බව තම ඉරියව් වලින් ප්‍රකට කරමිනි.
“අය-වැයෙන් ආණ්ඩුව පෙරළන්න හිටපු පොහොට්ටුවට අන්තිමට දෙවැනි වර කියවීමේදී තිබූ ඡන්ද 76 නුත් 2ක් අඩු වුණා. ජවිපෙ ඡන්ද 6 යි දෙවැනි වතාවටත් පොහොට්ටුවට පොල්ල තියපු ශ්‍රීලනිප ඡන්දයි අයින් කළාම පොහොට්ටුවට තිබෙන්නෙ ඡන්ද 68යි. 68න් ආණ්ඩු පෙරළන්න දඟළන එක මොන තරම් විහිළුවක්ද.?


“එතනදී පොහොට්ටුවට කඩේ ගියපු මාධ්‍ය ආයතනත් අනාථ වුණා.”, දයා ගමගේ කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.


“ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් තිබෙන ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන්න ජනාධිපතිගේ නායකත්වයෙන් තියන පක්ෂයට බැහැ කියා මහින්දම ඊට පස්සේ රටට කිව්වා. ආණ්ඩු පෙරළන්න දඟළන පොහොට්ටුවේ අනිත් අයට මේක නොතේරෙන එකයි පුදුමේ”, යයි කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.


”තමන්ගේ ධූර කාලය වසර 6 ක් නේද කියා අහලයි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවලයි ශේෂ්ඨාධිකරණයෙන් හොඳ කනේ පාරවල් දෙකක් කාපු අපේ ජනාධිපතිතුමා 2020 ජුනි වෙනකන් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන්ද කියා අහන්න උත්සාහ කළොත් ඒක තුන් වැනි කනේ පාර වෙන්නත් බැරි නැහැ කියලයි නීති විශාරදයන් කියන්නේ” මුජිබර් රහුමාන් ගිනියම් තැනකට කතාව යොමු කළේය.


“1977 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වූ දා සිට වසර 6 කටයි, වලංගු ධූර කාලය නියම වෙන්නේ. 19 වැනි සංශෝධනයෙන් වුණේ වසර 6 වසර 5 දක්වා අඩුවීම විතරක් බවයි, මා කතා කළ රටේ ප්‍රවීණතම නීති විශාරදයින්ගේ ස්ථාවරය වෙන්නේ”, නවීන් දිසානායක කීවේ එවැන්නකි.


”වාසුලා-දයාසිරිලා වගේ ගොඩ පෙරකදෝරුවන් ව්‍යවස්ථාව වත් හරියට කියවන්නේ නැතුවයි, ඔය පණ්ඩිත කතා කියන්නේ.


2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණ ප්‍රතිඵල ආවා. මේ ජනාධිපතිට හිමි ධූර කාලය වසර පහයි කියලත් ශේෂ්ඨාධිකරණය තීන්දු කළා. එහෙමනම් 2015 ජනවාරි 8 ඉඳලා වසර පහක ධූර කාලයකුයි, මේ ජනාධිපතිට හිමි වෙන්නේ. ඒ අනුව මේ අවුරුද්දේ අගදී ධූරකාලය ඉවර වෙනවා. ඕකට වෙන මහාප්‍රාණ තර්ක අවශ්‍ය නැහැ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ උස් හඬින් සිනාසෙමිනි.