කැබිනට් රැස්වීමේ කතාබහ

 

සිය පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ යළි දිවයිනට පැමිණියේ සාර්ථක විදේශ සංචාරයක් නිම කරමිනි. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය මත ඉන්දියාවට ගිය ගෝඨාට ලැබුණේ ඉහළම පිළිගැනීමකි. ඔහු සමග ගිය දූත පිරිසද ඉතා සීමිතය. ජනාධිපතිවරයා හැරුණුවිට දේශපාලනඥයන් කිසිවෙකුත් සහභාගි නොවූ එම සංචාරයට නිලධාරී මට්ටමින් සහභාගි වූයේ ද සිවුදෙනකු පමණි. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල සහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගිෂ්වර බණ්ඩාර එම සිවුදෙනාය. දෙරටේ සම්බන්ධතාව ඉහළම තලයකට ගෙනඑමින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450ක පමණ ආධාරයක් ලබාදෙන්නට ඉන්දීය අගමැතිවරයා පියවර ගෙන තිබිණි.


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවීමෙන් පසුව රැස්වූ දෙවැනි කැබිනට් රැස්වීම පැවැත්වුණේ ගිය බදාදා හැන්දෑවේය. ජනාධිපති කාර්යාලයේදී කැබිනට් රැස්වීම ප.ව. 4.30ට පමණ ආරම්භ විය. මෙවර කැබිනට් රැස්වීමේදී ගත් ප්‍රධාන තීන්දුවක් වූයේ ගල්, වැලි හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමය. ඒ සම්බන්ධයෙන් මල් මෙන්ම ගල් ද එල්ලවන්නට වූයේ එම තීරණය ගැන විවිධ අර්ථකථනයන් ලබාදෙමිනි. මේ තීන්දුවට මග පෑදුවේ එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා පරිසර ඇමැති ලෙස ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකි. ‘පිවිතුරු රටක්’ යනුවෙන් ඔහු යෝජනාවලියක් ඉදිරිපත් කර තිබූ අතර, වැලි, ගල් හා පස් ප්‍රවාහනය පිළිබඳ බලපත්‍ර ප්‍රශ්නය මතුවූයේ එම යෝජනාවලිය පිළිබඳ සාකච්ඡාවේදී මතු වූ අතුරු කාරණයක් ලෙසිනි. වැලි, ගල් හා පස් ප්‍රවාහනයේ දී බලපත්‍ර අනිවාර්ය කර තිබීමෙන්, ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඇමැතිවරු කිහිප දෙනෙක්ම පෙන්වා දුන්හ. ඔවුන් කීවේ මේ ප්‍රවාහන බලපත්‍ර නිසා ගල්, වැලි සහ පස් මිල විශාල ලෙස වැඩි වී සාමාන්‍ය ජනතාවට ගෙයක් දොරක් පවා සාදා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවය. තමන් සමග ඇමැතිවරුන් කියා සිටියේ මෙය මාෆියාවක් බවට පත්ව ඇති බවය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ වැලි, ගල් හා පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අහෝසි කළයුතු බවය. ඒ සම්බන්ධයෙන්​ සොයා බැලීමට කමිටුවක් පත්කර, මේ ගැන සමාලෝචනයක් කළයුතු බවත්, ඒ සම්බන්ධයෙන් සාර්ථක අසාර්ථක බව බැලීමට මෙය සතියක් ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා කීවේය. පස්, වැලි හා ගල් ලබාගන්නා ස්ථාන සඳහා තවදුරටත් බලපත්‍ර වලංගු බවද ජනාධිපතිවරයා කියා තිබිණි.


ඊළඟට මතුවූ කාරණය වූයේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග සංචාරක​ ක්ෂේත්‍රයේ නියුතුවූවන් පත්ව සිටින අර්බුදකාරී තත්ත්වය ගැනය. සංචාරක ව්‍යාපාරයේ නියුතු ඇතැම් ව්‍යාපාරිකයන් බැංකු ණය ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට ඇදවැටී ඇති බව ඇමැතිවරු කීහ. ඒ අනුව ඔවුන්ට සහනයක් සැලසීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට හා සංචාරක අමාත්‍යාංශයට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.


මේ අතර, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු එමගින් අනුමැතිය ඉල්ලා තිබුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගරට වසර තුනක සේවා දිගුවක් ලබාදීමටය. සුනිල් කන්නන්ගර මහතා පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ නිලධාරියෙකි. ඔහු එම තනතුරින් ඉවත් කර ගෙදර යවන්නට හිටපු ඇමැතිවරුන් නොගත් උත්සාහයක් නැත. ඔහුට එරෙහිව ඔවුන් නැගු චෝදනාව වූයේ ඔහු පහුගිය ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරන බවකි. ජනක සිය පත්‍රිකාව ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබුණේ ඔහු දක්ෂ නිලධාරියකු බැවින්, ඔහුගේ සේවය අවශ්‍ය බවකි. ඒ අනුව ඔහුට සේවා දිගුවක් දෙන්නට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි විය.


ඇමැතිවරුන් දිවුරුම් දී සති දෙකක් පමණ ගතවී ඇතත්, ඔවුන්ට අයත් විෂය පථයන් හා ආයතන තවම ගැසට් කර නොමැත. එයට එක් හේතුවක් නම්, ඇමැතිවරුන් 16 දෙනකුට සීමාවීම නිසා ඔවුන්ගේ විෂය පථයන් පුළුල් වීමය. මේ නිසා විෂය පථයන් හා ආයතන බෙදීම අසීරු කාර්යයක් වී ඇත. ජනාධිපතිවරයා ගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී කීවේ ඉදිරි දින දෙක තුන ඇතුළත ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බවය.


මේ අතර, ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ පාසල් නිල ඇඳුම වෙනුවට නිල ඇඳුම් සඳහා වවුචර්පත දිගටම ලබාදීමට අනුමැතිය ඉල්ලමිනි. නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබාදීම ගිය ආණ්ඩුවේ යෝජනාවකි. එය හොඳ යෝජනාවක් බැවින්, දිගටම වවුචර් ලබාදෙන බව ඩලස් ද කියා තිබිණි. ඔහු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ ද ඒ වෙනුවෙනි. ඒ සමගම යෝජනා කර තිබුණේ අපොස උසස් පෙළ පන්තිවල සිසුන්ට දෙන නිල ඇඳුම් දීමනාව ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල වැඩි කිරීමටය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ අදහස අනුමත කළේය. ඒ අනුව උසස් පෙළ සිසුන්ගේ නිල ඇඳුම් දීමනාව වැඩි කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.


පොදුජන එක්සත් පෙරමුණ යළි සක්‍රීය කිරීම සඳහා ගිය සතියේ එහි විධායක සභාව ශ්‍රී ලනිප මූලස්ථානයට කැඳවනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ශ්‍රී ලනිපයේ මෙන්ම පොදුජන එක්සත් පෙරමුණේ ද සභාපතිවරයා වන මෛත්‍රී විසින් ගිය බදාදා රාත්‍රියේ කැඳවන ලද එහි විධායක සභා රැස්වීමට නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ඩිව් ගුණසේකර, දුමින්ද දිසානායක ඇතුළු විධායක සභිකයෝ සහභාගි වූහ.   


එදින විධායක සභාව රැස්කරගනු ලැබුවේ පොදුජන එක්සත් පෙරමුණ සක්‍රීය දේශපාලන පක්‍ෂයක් වශයෙන් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැන්වීම වෙනුවෙනි. පොදුජන එක්සත් පෙරමුණ මීළඟ විධායක සභා රැස්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාත් එක්ව පවත්වන නිසා ගිය බදාදා රැස්වීම පැයකටත් අඩු කාලයකට සීමා විය. එහිදී මෛත්‍රී කීවේ, මහින්ද රාජපක්‍ෂ මහතා සමග ද සාකච්ඡා කර මීළඟ රැස්වීම කැඳවා, නිලධාරි මණ්ඩලය පත්කර ගන්නා බවය.   
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමක් ගිය සතියේ​ විජේරාම මාවතේ නිල නිවසේ දී පැවැත්විණි. මෙවර රැස්වීමට මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට අමතරව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද සහභාගි විය. එහිදී වැඩි අවධානයක් ​යොමු වූයේ පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙනි.   


‘‘පසුගිය අවුරුදු පහේ දී දේශපාලන පලිගැනීම්වලට ලක්වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට කඩිනමින් සහන සලසන වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕනෑ’’ මහින්ද කීවේ සාකච්ඡාවට මුලපුරමිනි. අනතුරුව කතා කළේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා. ඔහු කීවේ එක්සත් ජාතික පක්‍ෂය බලයට ආ හැම වෙලාවෙම ඔය වගේ පලිගැනීම් සිදුවූ බවය.   
අනතුරුව දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කරගනු ලැබීය. එහි ප්‍රධානත්වය පැවරුවේ ගාමිණී ලොකුගේටය.   
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ගැන පක්‍ෂ නායකයන්ට පැහැදිලි කිරීමක් කළේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයාය. මේ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීම අත්‍යවශ්‍ය බව දිනේෂ් කීවේ ඒ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකව හා නීතිමය වශයෙන් පියවර ගෙන ඇති බව ද සඳහන් කරමිනි. අගමැති මහින්ද ද කීවේ මේ පිටුපස සැඟවුනු දේශපාලන වුවමනාවන් තිබිය හැකි බැවින්, සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් කළ යුතු බවය.   


ඉදිරි මහ මැතිවරණය ඊළඟට සාකච්ඡාවට ගැනුණු මාතෘකාව විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, අනෙකුත් සහෝදර පක්‍ෂත් එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු බවට ද එහිදී තීරණය විය. ඉදිරි මහ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ගෙන, ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සියලු දෙනාගේම අදහස විය.