IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලිමසෝල් සදහම් මැදුර සිදු කළ පුණ්‍යානුමෝදනා පිංකම

 

තුන්ලෝකාග්‍ර වූ බුදුපියාණන් වහන්සේ පළමුව අපට කියා දුන් කෘත ගුණ සැලකීම උන්වහන්සේගේ ආදර්ශයෙන්ම පෙන්වා වදාළ සේක. සම්බුද්ධත්වයට පත්වන උත්තම මොහොතේ සෙවන දුන් අජීවී ඇසතු බෝධි වෘක්ෂයට අනිමිස ලෝචන පූජාව සිදු කිරීමෙන් ලොවටම කියා දුන්නේ එයයි. එය සත්පුරුෂයන් තුළ තිබිය යුතු මහා ගුණයක් මෙන්ම සියලු මනුෂ්‍යයින්ගේ යුතුකමක්ද වන්නේය. 


එවන් කෘත ගුණ සැලකීමේ මහා පිංකමක් 2019-01-27 වන ඉරු දින සයිප්‍රසයේ ලිමාසෝල් නගරයේ නගර සභා ශාලාවේදී පැවැත්විණි. එය සංවිධානය කොට තිබුණේ සයිප්‍රසයේ සියලු නගරවල සේවය කරන ශ්‍රී ලංකාරාම විහාරස්ථ දායක භවතුන්ගේ සහයෝගයෙන් යුතුව, ලිමාසෝල් සදහම් මැදුරෙහි දායක භවතුන් විසිනි. 


මීට වසර 13 කට පමණ පෙර බුදු දහමේ අයන්නවත් නොදත් සයිප්‍රස් දේශයේ ප්‍රථම බෞද්ධ විහාරය, ශ්‍රී ලංකාරාමය නමින් ආරම්භ විය. එහි ප්‍රධාන අනුශාසකයාණන් වහන්සේ මෙන්ම විහාරාධිපතීන් වහන්සේ වන්නේද කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය හා සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ ධර්මකීර්ති ශ්‍රී පූජ්‍යපාද මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේය. 


උන්වහන්සේගේ මෑණියන් වන සෝමසීලි රත්නසේකර මාතාව මීට වසරකට පෙර මෙලොවින් සමු ගත්තාය. එකී පින්බර මාතාවගේ වර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනා පින්කම මෙසේ සියලු දෙනා විසින් ඉතා උනන්දුවෙන් යුතුව සිදු කරනු ලැබීය. දුර රටකට පැමිණ ආර්ථිකය ජයගන්නට වෙහෙසෙන අපගේ නැණ ගුණ පෝෂණය කරන්නට උතුම් මෙහෙවරක යෙදෙන උන්වහන්සේ නිසා දහස් සංඛ්‍යාත පිරිසක් පින් කුසල් වඩන්නේය. නිවන් මග පසක් කර ගන්නේය. එවන් බුදු පුතෙකු අපට දායාද කළ ඒ මව්තුමියට පින්දීම මෙරට සේවයේ නියුතු දහමේ සුවඳ විඳින අපගේ යුතුකම වන්නේය. මේ පින්කම කෘතවේදී පින්කමක් වන්නේ එබැවිනි. 


 සධාතුක කරඬුව පෙරටු කරගෙන මහා සංඝ රත්නය හේවිසි පූජා මධ්‍යයේ වැඩම කරවීමත් සමග පින්කමෙහි කටයුතු ආරම්භ විය. ඉන් පසු පැවැත්වූයේ සුවිශේෂි වන්දනාවකි. ඒ සත්බුදු වන්දනාවයි. කල්ප සියයක් තුළ පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලා විෂයෙහි දහවල සම්බුද්ධ පූජාව හා පරිස්කාර පූජාවන් පවත්වා සිදුකළ වන්දනාව අපගේ සිත් නිවාලන්නට සමත් විය. ඉන් අනතුරුව මහ සඟරුවන විෂයෙහි දහවල් දානය පූජා කරන ලදී. ඉන් අනතුරුව පැන් වඩා ඒ උතුම් පින්බර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරනු ලැබුවේ පැමිණ සිටි කවුරුත් තම තමන්ගේ මවට පින් දෙන්නාක් මෙන්ය. 


පස්වරු 1.00 සිට මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේ විසින් හෝරා එක හමාරක් පුරා පවත්වන ලද මව්පිය ගුණසම්භාවනා වැඩසටහන ඇරඹුණ මොහොතේ සිට අපගේ සිත් දැහැන් ගත කළේය. ඇසු ඇසූවන්ගේ හදවත් සංවේදී කරවන සුලු වූ ද නෙතට කඳුළක් ගෙනෙන්නා වූ ද එකී වැඩසටහන තුළින් අපද අපගේ මව්පියන් අසලට සිතින් රැගෙන ගියේය. 


මාපිය දූදරු සබඳතා ගිලිහී යමින් තිබෙන අද සමාජයට උන්වහන්සේගේ මෙම මව්පිය වන්දනා වැඩසටහන ඉතා අගනා වැඩසටහනකි. ගද්‍යයෙන් හා පද්‍යයෙන් අලංකෘත වූ මෙම මාපිය වන්දනා වැඩසටහන අතරතුර ඇසෙන්නට සැලැස් වූ මව් පිය ගුණ ගී කිහිපය අනන්ත වාර ගණනක් අප අසා ඇත ද එදින එය අසන විට මව්පියන් ගැන ඇති වූයේ කියාගත නොහැකි සංවේදී බවකි. 


කෙසේ නමුත් එම මාතාවට පින් පැමිණවීම වෙනුවෙන් මෙම දායක පිරිස් එක්රොක් වූයේ යුරෝපා රටට උත්තරීතර බුදු දහමේ පණිවිඩය රැගෙන වසර 13 කට පෙර වැඩිය උන්වහන්සේ එදා මෙදාතුර සිදු කරන්නා වූ ශාසනික හා සමාජීය අනුපමේය මෙහෙවර නිසාවෙන් අාධ්‍යාත්මික ප්‍රතිලාභ ලැබූ කෙළෙහිගුණ දත් කෘතවේදී මිනිසුන් ලෙසය. 
මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙන් පැවැති එකී පින්කම සඳහා නව කොන්සල් ජනරාල්තුමා වන රෝහන අඹගොල්ල මහතා එම මහත්මිය ඇතුලු කාර්යාලයේ සියලුම නිලධාරීහු සම්බන්ධ වුහ. මෙහිදී මෙම උතුම් වූ පින්කම සූදානම් කළ ලිමසෝල් සදහම් මැදුරේ සියලුම දායක පින්වතුන්ට මෙන්ම පින්කම වෙනුවෙන් සහසම්බන්ධ වූ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරමු. 

 

 


විමලා යාපා 
මාධ්‍ය ඒකකය 
සයිප්‍රසයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය



අදහස් (0)

ලිමසෝල් සදහම් මැදුර සිදු කළ පුණ්‍යානුමෝදනා පිංකම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site