(මාරියා තෙරේසාගේ දින සටහන්)


1946 වර්ෂයේ පළමුවැනි දිනය මා ගත කෙරුවේ අපේ ගම්බද නිවහනේය. එය සිතූ පමණින් සතුටුදායක දිනයක් නොවූයේ මට පැටි්‍රයාගෙන් බැණුම් ඇසීමට සිදු වූ බැවිණි. ඒ මා ඇගේ කුඩා දරුවාට භූතයින් ගැන කතා කියා ඔහු හඬන්නට පටන්ගත් බැවිණි. පැටි්‍රයා යළිත් ගැබිනියක වී සිටි බැවින් ඈ එපමණ ශරීර සුවයකින් නොසිටින්නට ඇත. නමුත් ඈ මා සමඟ අඳුරු බරාදයේ සෙල්ලම කෙරුවේ මා සිව් හැවිරිදි ළමයෙකුව සිටියදී බව ඇයට අමතකව ගොසිනි.


නමුත් මට සොම්බිවරුන් ගැන කතා කියා දුන්නේ නෙලාය. මා කෙරුවේ ඒවා නැවත කීම පමණි.


කෙසේ වෙතත් වසරේ පළමු දිනය දා මා සිතින් අදිටන් කරගත් දෑ කිහිපයක් තිබුණි. නෙල්සන්ට හොල්මන් කතා කියා ඔහු  බිය නොකිරීමට මම අදිටත් කළෙමි.


මගේ වැඩ කටයුතු කෙරෙහි දැඩිව අවධානය යොමු කිරීමටත් යාඥ කරන විට නින්දට නොවැටී සිටීමටත් මම අදිටන් කළෙමි.

දේවස්ථානයට ගියවිට අන් අයගේ ඇඳුම් වෙත අවධානය යොමු නොකර සිටීමට මම අදිටන් කළෙමි. ශුද්ධ වූ කතෝලික පල්ලියේ හා ඇපොස්තලික සභාවේ තරුණ කාන්තාවන් වශයෙන් අප මේ කාරණය සිත තබා ගත යුතු බව අසුන්සන් කන්‍යාසොයුරියද අවධාරනය කළාය.


මා මෘදු සිතක් තබා නොගැනීමද අදිටන් කෙරුවේ හැඬීමෙන් මුහුණ හැමදාටම රැළි වැටෙන බව මිනර්වා කියූ බැවිණි.


එක් වසරක් සඳහා මෙම අදිටන් කිරීම් හොඳටෝම ප්‍රමාණවත් බව මට හැඟේ.


අපි සැන්තියාගෝවේ සාප්පු සවාරි ගියෙමු. අපි අපට උවමනා කරන දේවල්වල ලැයිස්තු සකස් කළෙමු. තාත්තාට ඉස්ටෝරුවේ වැඩට උදවු දීම නිසා මට මුදල් ලැබුණි. මා ඔහුගේ පුංචි ලේකම්වරිය බව ඔහු කීය.


මට තවත් අලුත් සපත්තු ජෝඩුවක් උවමනා බව මම අම්මාට කීවෙමි. මා පාසලේ උත්සවයට ගත් සපත්තු ජෝඩුව තිබියදී තවත් අලුත් එකක් උවමනා කුමටදැයි අම්මාට වටහා ගත නොහැකි විය. නමුත් මේ අලුත්ම පාවහන් යුගලකි. මට ඒවා ගැන ආශාවක් ඇති වුණා. අම්මාට පහදා දීම සඳහා මිනර්වාගේද සහාය ලැබුණු බව අමතක කළ යුතු නොවේ.


මිනර්වා බොහෝ දක්ෂ නිසා හැමවිටම අම්මාට බලපෑමක් කිරීමට ඈ සමත් වූවාය. 


මිනර්වා මෙදින රතු සුදු කොටු වැටුණු බොහෝ ලස්සන, කෙටි සායක් සහිත නාන ඇඳුමකට වසඟ වූවාය. අම්මා ඇයට පොරොන්දුව මතක් කළාය. පෙරදා රැයේ රාත්‍රී ආහාර ගන්නා විට මේ වසරේ පටන් කළපුවේ පිහිනීම නතර කර දමන බවට මිනර්වා පොරොන්දු වූවාය. එය නීතිඥවරියක වීමේ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවට ඈ කළ කැප කිරීමකි. තාත්තා කියන අන්දමට මිනර්වා බෝම්බ දමා ගසන අයුරින් කරුණු කීමට දක්ෂය.


මං ඒක පාවිච්චි කරන්න සැලසුම් කරන්නෙ නැහැ. මිනර්වා අම්මාට පහදා දුන්නාය. නමුත් ලස්සන ඇදුමක් මාව පොලඹද්දී මම මගේ පොරොන්දු රකින්නෙ කොහොමද?


“ඔයා නම් ස්වර්ගයෙ දොර ළඟට ගිහින් ශාන්ත පීතරතුමා එක්කත් වාද කරාවි” අම්මා පැවසුවාය. නමුත් ඈ එය කීවේ සිනාසෙමින් හා හිස සලමිනි.


මගේ ඥාති සොයුරා බර්ටෝ ඉතා හොඳ කෙනෙකි. ඔහුගේ වැඩිමල් සොයුරා වන රාවල් ද එසේ නමුත් බර්ටෝ විශේෂ මනසක් සහිත විශේෂ පෙනුමක් ඇති ළමයෙකි.


පෙරදාක අපි ඔවුන් හා කතා බහ කරන විට අම්මා ඇගේ රෝස පඳුරු කනාටු වී ඇතැයි කන් කෙඳිරි ගෑවාය. මෙම උදෑසන පාතරාසය නිම කළ හැටියේම වගේ බර්ටෝ පෙනී සිටියේ ඉතා අලංකාර රෝසමල් පිරවූ කූඩයක් රැගෙනය. ඔහු ඒවා අම්මා වෙනුවෙන්ම නෙලා ගෙනැවිත් තිබුණේය. රියාගේ උද්‍යානය හැම වර්ගයකම රෝස වලින් පිරී තිබුණි. බර්ටෝ ඒවා දිග නටුව සහිතව නෙළා අලංකාර ලෙස වේවැල් කූඩයේ අසුරා තිබිණ. පිරිමි ළමයෙකු මෙවැනි දෙයක් කිරීම පුදුම සහගත යමක් නොවේද?


එම උදයේ මුළු නිවසම විලවුන් සාප්පුවක් මෙන් රෝස සුවඳින් පිරී තිබිණ.


රජතුන් කට්ටුව සැමරුම් දිනයේ මට ඔපදැමූ සපත්තු කුට්ටම හා සුදුපාට සම් සපත්තු යුගළ පාවිච්චි කළ යුතුදැයි යන දෙගිඩියාව ඇතිවුණි. අන්තිමේදී මා අම්මා පාසලේ උත්සවයට රැගෙන දුන් සම් සපත්තු පැලැන්දේ ඒවා තව දුරටත් විශේෂ බව අම්මාට පෙන්වා දීමටය.


මාමාවරු, හුරුබුහුටි මස්සිනාලා ඇතුළු සැම සමඟින් ගත් රාත්‍රී භෝජනයෙන් පසුව විනෝදජනක මොහොතක් උදාවිය. ඊළඟ  ඉරිදා පරිත්‍යාගශීලියාගේ දිනය විශාල පෙළපාළියක් ගමන් කරන බව ටියෝ පෙපේ මතක් කළේය. අපි ඒ සැමරුම සඳහා සොහොන් පිටියට නොයා යුතු මන්දැයි වැන්නක් මිනර්වා සඳහන් කළාය. රටේ නායකයා පිළිබඳව කළ එම අදහස් දැක්වීමත් සමඟින් කාමරය සොහොන් පිටියක නිහැඬියාවකට ඇද වැටුණු බව කිව හැක. මට ඒ පිළිබඳව යම් අදහසක් ඇති වූ බව කිව හැක. අප පරිත්‍යාගශීලි නායකයාගේ දවස සොහොන් බිමක සැමරිය යුතු මන්දැයි මම මිනර්වාගෙන් ඇසුවෙමි. එය අමතක කර දැමිය යුතු නරක සිහිනයක් පමණක් බව ඈ කීවාය.


කෙසේ වෙතත් අදාළ ඉරුදිනයේ අපි ටියෝ පෙපේ එනතුරු බලා සිටියෙමු. ඔහු පැමිණීමට සිටියේ පරණ අශ්ව කරත්තයකිනි. ඒ අප සැල්සිඩෝවේ පැවැත්වෙන සැමරුම කරා කැටුව යාමටය. පෙළපාළියෙන් පසුව නගර ශාලාවේ ගුණ ගායනයක් සමඟින් සාදයක් පැවැත්වෙනු ඇත. තාත්තා ද ටෘජිලෝ ටිලර්ස් ගැන කතා පැවැත්වීමට අදහස් කර සිටියේය.


මේ වතාවේ මම මගේ ඔප දැමූ සම් සපත්තු යුගළ හා බේබි නිල් පාට පොප්ලින් ඇඳුමක් හා කුඩා කෙටි කබායක් ඇන්දෙමි. මා තෝරාගත් රෙද්දකින් එය මසා දුන්නේ පැටි්‍රයාය.


අප බලාසිටින අතරතුර මම පරිතයාගශීලියාගේ දිනයට මුළු හදින් ශුභ පැතුවෙමි. ඔහු රටේ ජනාධිපතිවරයා වීම අපගේ වාසනාවකි. මා ඉපිද තිබුණේද ඔහු මෙන්ම ඔක්තෝබරයේය. අපගේ උපන් දිනය අතර වෙනස වූයේ දින නවයක් (හා වසර හතළිස් හතරක්) පමණි. එයින් මගේ ජීවිතයේද විශේෂ වෙනසක් ඇතැයි සිතන්නට මම පුරුදු වීමි 


ජනවාරි 14 වැනි දින නව පාසල් වාරය උදාවුණි. නිවාඩුවෙන් පසු පාසලට ගිය පසු මට දැඩි ලෙස නිවස සිහිවීම වළකාගත නොහැකිවිය. ඇත්තෙන්ම මා දින සටහන් ලියන්නේ හැඬුම වළකා ගැනීමටය.


ඩෙයිසි මේ වන විට රීටාගේ හොඳම මිතුරිය වී සිටියාය. ඒ දෙදෙනාම වාසය කෙරුවේ පුවර්ටෝ ප්ලාටා හි වූ බැවින් නිවාඩු කාලයේ ඔවුන්ගේ මිත්‍රත්වය වැඩි දියුණු වී තිබුණි. සමහරවිට දැන් ලීඩියා මගේ සමීපතම මිතුරිය වනු ඇත. ඇගේ පවුලම වන්දනා ගමනක් ගොස් සිටි බැවින් ඈ ජනවාරි විසිඑක වනතුරු පාසල් නොඑනු ඇත.


ඊළඟ සඳුදා උදයේ පෙර දැනුම් දීමකින් තොරව මා එකවර විදුහල්පති කාමරයට කැඳවනු ලැබීමෙන් මා තුළ තිගැස්මක් ඇතිවිය. මිනර්වාද එහි සිටිනු දකිත්ම මගේ තිගැස්ම බියකට හැරුණි. පළමුව අප පවුලේ කෙනෙකු මියගොස් ඇතැයි මා සිතුවද මිනර්වා ඇස් බෝල කරකවා කියන දෙයක් කල්පනාවෙන් කිවයුතු බවට සංඥා කළාය.


අසුන්සන් කන්‍යාසොයුරිය එක එල්ලේ මවෙත විත්, ඔබේ සහෝදරිය හොර රහසේම පාසලෙන් කට්ටි පැන හසු වූ බව පැවසුවාය. ඊළඟට මා යමක් සිතා ගැනීමට පෙරාතුව ලාවේගා හි සිටි අපේ ටිඕ මොන් අසනීපයෙන් දැයි ඈ ඇසුවාය. ඔව් ද නැද්ද කිව යුතු විය. අනතුරුව මිනර්වාගේ රෝගී පෙනුමැති මුහුණ දෙස බැලූ මම හිස සලා ටිඕ මොන් අසනීප වී ඇති බව කීවෙමි. එය සරම්ප බව සොයා ගැනීමටද මට හැකිවුණි. මිනර්වාගේ මුහුණ යථා තත්ත්වයට පත්විය. ඈ අපගේ විදුහල්පතිනිය වෙත මං ඔයාට කීවනෙ වැනි බැල්මක් යොමු කළාය. 


මා ඇගේ මුසාව තහවුරු කළ බව මට වැටහුණි. සරම්ප බෝවන රෝගයක් වූ බැවින් ඇයට කිසිවිට අවසර ලබාගෙන පිටතට යා නොහැකි වනු ඇත.

 

 

 

 

 

 

 

 

 

පරිවර්තනය - මානල් ජයන්ති ගුණසේකර