ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහවහ ගොස් තිබේ. මෙරට තරුණ පරපුරෙන් විශාල කොටසක් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව මෙම ව්‍යසනයට ගොදුරුවී තිබේ. මුලදී නගරබදට පමණක් සීමා වී තිබුණු මෙම උපද්‍රවය වර්තමානය වන විට ඈත දුෂ්කර ගම්මානවලට පවා පැතිර ගොස් ඇති බව නිරන්තරයෙන් මාධ්‍ය වාර්තා කරයි. මෙය අපේ රටට පමණක් නොව ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය පිලිපීනය වැනි රටවල පවා ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති ආකාරයක් දැකිය හැකිය. දැඩි නීති ක්‍රියාත්මක වන පකිස්ථානයේ පවා බලුකිස්ථානය වැනි සමහර ප්‍රදේශවල නීතියේ අණසක ක්‍රියාත්මක වන්නේ නැත. ඒවා පාලනය වන්නේ ගිනි අවි අතින් ගත් කොකේන් නිෂ්පාදනය කරන “ගෝඞ් ෆාදර්ලා” අතිනි. 

ලංකාවේ හෙරොයින් අසුවන්නේ ටොන් කනක්කුවේය. පසුගියදා පොලිසියට අසුවූ මත්කුඩු ප්‍රමාණයක වටිනාකම රුපියල් කෝටි 125 කි. මේ එන්නේ මොකාටදැයි ඉතා පැහැදිලිය. නිය පොත්තෙන් කඩා මර්දනය කළ යුතුව තිබුණු සමාජ ව්‍යසනයක් වර්තමානය වෙන විට පොරවෙන් කැපිය යුතු තැනට පත්ව ඇත. මෙම තත්ත්වය වටහා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් තරමක දැඩි පියවරක් ගෙන තිබේ. එනම් මෙම මහා පරිමාණ කුඩු ජාවාරම මෙහෙයවන්නේ බන්ධනාගාරගතව මරණීය දණ්ඩනය නියමව සිටින සමහර අය බව කියවෙන නිසා ජාතිය වෙනුවෙන් සිතා බලා එවැනි අයට මරණීය දඬුවම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමයි.
මෙය කන වැකුණු වහාම දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධාන කඩු, පොලු අමෝරාගෙන සටනට පිවිස සිටී. එහි අලුත්ම පියවරක් වශයෙන් යුරෝපා සංගමය, මෙන්ම යුරෝපයේ තවත් බලගතු රාජ්‍යයන් වන බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, නෝර්වේ සහ ඇමරිකා මහාද්වීපයේ කැනඩාවද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ම මැදිහත් වී මෙම මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. ඔවුන්ගේ අදහසව ඇත්තේ මරණීය දණ්ඩනය මිනිසාගේ ගරුත්වයට නොගැලපෙන බවත්, එමගින් කිසිවක් වළක්වා ගත නොහැකි බවත් මෙමගින් විනිශ්චය ක්‍රියාවලියේදී ඇතිවිය හැකි වරදක් මරණයකින් කෙළවරවීමට සහ එවැනි වරදක් යළි නිවැරදි කර ගැනීමට නොහැකිවීමේ තත්ත්වයක් උද්ගත වන බවත්ය. එනිසා ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත් ශ්‍රී ලංකාවේ මරණීය දඬුවමට විරුද්ධවීමේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙසත් එම රාජ්‍යතාන්ත්‍රික ලිපියේ සඳහන් කර ඇති බව මෙම මාධ්‍ය වාර්තා කළේය. මෙම රටවල් සමූහයම එක්ව කලකට පෙර ක්‍රියාත්මක කළ පොකුරු පිටින් එල්ලා මැරීමක් ගැන අපේ මතකය අවදිවන්නේ මෙම පසුබිම තුළය. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි යන කියමන සමාජ ගතවූවේ හකුරු හැදීම පිළිබඳ සංකල්පයක් මුල්කර ගනිමින් බව ජනප්‍රවාදයේ කියවේ. එහෙත් එය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් බලගැන්වෙන පදනමක් සහිත ක්‍රියාවලියක් බව නූතන ඉතිහාසය පිරික්සීමේදී හමුවන මෙම පුවතින් හෙළිවේ.


අපි 1945 වසරට යොමු වෙමු. මේ වන විට දෙවැනි ලෝක මහා යුද්ධය නිමාවී තිබුණත් කෝටි ගණන් ජනතාවක් මිය ගිය එම සාපරාධී යුද්ධයේ ගිනිදැල් තුළින් විහිදෙන පුළුටු ගඳ මුළුමනින්ම නැවතී තිබුණේ නැත. යුද්ධයේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි යුද ජයග්‍රහණයේ උරුමක්කාරයන් වූ බි්‍රතාන්‍යය, ප්‍රංශය ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය යන රටවල නායකයන් එම යුද්ධය ඇති කිරීමට සහ ව්‍යාප්ත කිරීමට නායකත්වය දුන් පිරිසට යුද අපරාධ චෝදනා මත විනිශ්චයකට භාජනය කිරීමටත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් පැමිණවීමටත් ක්‍රමවේදයක් සකස් කළහ. එහි ප්‍රතිඵලය වූවේ ඉතිහාසයේ නියුරෙන්බර්ග් නඩු විභාගය යැයි සැලකෙන යුද අපරාධ නඩු විභාගය ආරම්භ වීමයි.


යුද්ධය ආරම්භ වීමට පෙර එහි නිර්මාතෘවරයා මෙසේ පවසා තිබුණි. “අපගේ අරමුණු ඉටුකර ගන්නට නොහැකිවුවහොත් ලෝකයාගෙන් අඩක් පමණ අපි සමග වළපල්ලට ගෙන යන්නෙමු.” ජර්මන් යුදවාදීන්ගේ කෲරත්වය කොතරම් දැයි කියතොත් නායකයා වරක් මෙසේ සඳහන් කර තිබුණි. “ජනශූන්‍යකරණය සඳහා විධිමත් තාක්ෂණයක් නිපදවා ගත යුතුය. ජනශූන්‍යකරණය යනුවෙන් මා අදහස් කරනුයේ අන්‍ය වාර්ගික ජනකොටස් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමයි. ක්‍රියාත්මක කිරීමට මා අදහස් කරන්නේ එයයි. මගේ කාර්යභාරය එයයි. ස්වභාව ධර්මය කෲරයි. එනිසා අපිද කෲර විය යුත්තෙමු. පණුවන් මෙන්ම බෝවෙන පහත් වාර්ගිකයන් තුරන් කර දැමීමට මට අයිතියක් තිබේ.”


මෙවැනි අති භයානක ක්‍රියාපිළිවෙතක් උදෙසා ජර්මන් නාසිහු සටන් වැදුනාහ. ඒ සඳහා කළ අපරාධ නිමක් නැත. මනුෂ්‍ය ඝාතන සිදු කළේ කෝටි ගණනෙනි. සෝවියට් යුද පෙරමුණේදී පමණක් සිදුකළ මරණ සංඛ්‍යාව කෝටි තුනකට වැඩි යයි නියුරෙන්බර්ග් යුද අපරාධ අධිකරණය ඉදිරියේ සෝවියට් අභිචෝදක රාජනීතිඥ රොමාන් රුදෙන්කෝ පැවසීය. මිනිස් ඉතිහාසයේ සිදුකළ ම්ලේච්ඡම අපරාධ බහුලවම සිදුවූයේ මෙම දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදීය. එම අපරාධකරුවන්ට නඩු දමා විභාග කිරීමට පත් කෙරුණු උසාවිය රටවල් හතරක විනිසුරුවන්ගෙන් සමන්විත වූවේය. එයට සෝවියට් රුසියාවේ මේජර් ජෙනරාල් අයි. ටී. නිකිමෙන්කෝ සහ ලුතිනන් කර්නල් ඒ. එෆ්. වොල්ස්කෝව්ද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ෆ්‍රැන්සිස් බීඞ්ල්, සහ ජෝන් පාකර් යන විනිසුරුවරුද, ප්‍රංශයෙන් චොනෙඩියු ඩිමැබ්‍රේස් සහ රොබට් ෆැල්කෝද සහභාගි වූහ. මහා බි්‍රනාන්‍යයෙන් පැමිණි විනිසුරුවරුන් වූවේ එලියස් නෝර්මන් බර්කට් සාමි, සහ විනිසුරු ජ්‍යොප්‍රි ලෝරන්ස් සාමි යන දෙදෙනාය. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අභිචෝදකවරුන් ලෙස කටයුතු කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රොබට් ජැක්සන්, මහා බි්‍රතාන්‍යයේ නීතිපති සර් හාට්ලි ෂෝක්‍රොස්, ප්‍රංශයේ ෆ්‍රැන්කෝයි ඩි මෙන්තන් සහ සෝවියට් රුසියාවේ රොමාන් රුදෙන්කෝ යන මහත්වරුන්ය. ඔවුන්ගේ නියෝජිතයෝ සහ සහායකයෝද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.


යුද්ධය පිළිබඳ ප්‍රධානම විත්තිකරුවූ ඇඩොල්ප් හිට්ලර් සහ තවත් ප්‍රබල නට්සි නායකයෙකු වූ හෙන්රිච් හිම්ලර් මේ වන විට ජීවතුන් අතර සිටියේ නැත. ඔවුන් දිවි නසාගෙනය. කෝටි ප්‍රකෝටි ගණන් මිනිස් ජීවිත විනාශ කළා වුවද තමාට විරුද්ධ නඩුවකට මුහුණදී දඬුවම් විඳීමට ඔවුන් බිය වූවා සේය. නියුරන්බර්ග් සිර කූඩුවේ සිටියදී තවත් නායකයෙකු වූ රොබට් ලී දිවි නසා ගත්තේය. නඩු විභාගයට මුහුණ දුන්නේ පහත සඳහන් විත්තිකරුවෝය.


1. හර්මන් විල්හෙල්ම් ගෝරින් - හිට්ලර්ගේ ආණ්ඩුවේ ගුවන් හමුදා නායක
2. රුඩොල්ෆ් හෙස් - එම රජයේ ඇමති ධූර කීපයක් දැරුවෙකි.
3. ජෝකිම් වොන් රිබන්ට්‍රොප් - විදේශ ඇමති
4. රොබට් ලී - පක්ෂ නායකයෙක්, වෘත්තීය සමිති නායකයෙක්
5. විල්හෙල්ම් කීට්ල් - හමුදා නායක
6. අර්නස්ට් කැල්ටෙන්බෘනර් - ආරක්ෂක කටයුතු ප්‍රධානියා
7. ඇල්ෆ්‍රඞ් රෙසෙන්බර්ග් - ඇමතිවරයෙක්
8. හැන්ස් ෆ්‍රැන්ක් - අධිකරණ ඇමති
9. විල්හෙල්ම් ෆ්‍රික් - ඇමතිවරයෙක්
10. ජුලියස් ස්ටී්‍රචර් - යුදෙව් ඝාතනයේ නායකයෙක්
11. වැල්දර්ෆන්ක් - ඇමතිවරයෙක්
12. හජල්මාර් ෂාෂ්ට් - හිට්ලර්ගේ උපදේශකවරයෙක්
13. ගැස්ටාව් ක්‍රප් මොන් බෝලන් හන්ඞ් හල්බාෂ් - ධනවත් ව්‍යාපාරිකයෙක් හිට්ලර්ට මුදල් ආධාර දුන් මහා පරිමාණ ධනවතෙක්
14. කාල් ඩොයෙනිට්ස් - නාසි නාවික හමුදාපති
15. එරික් රීචර් - නාවික හමුදා අද්මිරාල්වරයෙක් ඩොයෙනිට්ස්ගෙන් පසු නාවික හමුදාපති
16. බැල්බර් වොන් ෂිරාෂ් - නාසි තරුණ සංවිධානයේ නායක
17. ෆ්‍රිට්ස් සෝකල් - මිනිස් බල මහ කොමසාරිස්
18. ඇල්ෆ්‍රඞ් ජෝච්ල් - හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 
19. ෆ්‍රාන්ස් වොන් පැපෙන් - නාසි ඔත්තු සේවයේ ජාත්‍යන්තර අංශයේ නායක
20. ආතර් සෙයින් ඉන්කාන් - පෝලන්තයේ සහ නෙදර්ලන්තයේ නාසි පාලක
21. ඇල්බර්ට් ස්පියර් - නාසි ප්‍රධානියෙක්
22. කොන්ස්ටන්ටින් වොන් නියුරාන් - නාසි රාජාධිකරණයේ සභාපති 
23. හැන්ස් ෆ්‍රිට්ගේ - ප්‍රචාරක ව්‍යාපාරයේ දෙවැන්නා
24. මාටින් බෝමන් - නට්සි පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා


විත්තිකරුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාව සලසා තිබුණි. මෙම නඩුව ඔප්පු කිරීම සඳහා පැමිණිල්ලෙන් ලියවිලි දෙදහස් හයසිය තිහක්ද විත්තියෙන් දෙදහස් හත්සියයක්ද ඉදිරිපත් කළහ. සාක්කි කරුවෝ එකසිය දහසය දෙනෙක් පැමිණ සාක්ෂි දුන්හ. එකසිය හතළිස් තුනක් විත්තියෙන් සාක්ෂි දුන්හ. ඊට අමතරව දිවුරුම් පෙත්සම් තුන් ලක්ෂයක් සලකා බැලීමට සිදුවිය. නඩු විභාගයට වසරක පමණ කාලයක් ගතවූ බව කියනු ලැබේ. 1945 නොවැම්බර් 20 වැනිදා සිට 1946 ඔක්තෝබර් 01 වැනිදා දක්වා පැවති එම නඩු විභාගයේ කටයුතු සඳහා කඩදාසි පනස් ලක්ෂයක් වැයවූ බව කියනු ලැබේ. නඩු වාර්තාව පිටු දහසය දහසක් වූ බව කියවේ. උසාවිය සැසිවාර හාරසිය තුනක් පවත්වා ඇත. මෙය සමස්ත ලෝකයේම අවධානයට යොමුවූ කාර්යයක් වූවේය.


නියුරෙම්බර්ග් යුද අපරාධ අධිකරණ නඩු විභාගය 1945 නොවැම්බර් විසිවැනිදා ආරම්භ වූ අවස්ථාවේදී අධිකරණයේ සභාපතිවරයා ආරම්භක දේශනය සිදු කරමින් මෙසේ පැවසීය. දැන් ආරම්භ වීමට නියමිත නඩු විභාගය ලෝකයේ නීති විද්‍යාව පිළිබඳ ඉතිහාසයේ අතුල්‍ය අවස්ථාවකි. සමස්ත ලෝක ජනතාවටම සුවිශේෂයෙන් වැදගත් වන අවස්ථාවකි. එහෙයින් තමන්ගේ සේවය බියෙන් හෝ බැඳීමෙන්, තොරව පූජ්‍යත්වයෙන් සැලකෙන නීතියේ හා යුක්තියේ මූලධර්මවලට අනුව ඉෂ්ට කිරීමේ වගකීම මේ නඩුවට කවර ආකාරයෙන් හෝ සම්බන්ධ වන සෑම කෙනෙකු වෙතම පැවරෙන්නේය.”

 

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ