“තමන් මට චෝදනා කළා කියලා මා ඒවා ගණන් ගන්නේ නෑ. ඒත් මං නැති තැන එහෙම චෝදනා කරන එක වැරදියි.” ජියැන්ගේ කතා බහේ සහ ආකල්පයන්හි යම් මුදුබවක් විය. ඇයට චෝදනා කිරිමේ කිසිදු නරක අභිප්‍රායක් මට නොතිබුණු බැව් නැවත නැවතත් ඇයට පැවසීමි. නැවත කිසි දිනක එවන් දෙයක් නොකියන බවටද මම ඇප වුනෙමි.  

 

“මාගැන චෝදනාවක් තියෙනවා නම් මගේ මූණටම කියන්න. එහෙම කීවා කියලා මම කිසිම වෙලාවක කෝප වෙන්නේ නැහැ. නමුත් මා නැති තැන එහෙම කරන්න එපා.”


අනතුරුව මාතෘකාව වෙනස් කළ ඇය මගේ වැඩ කටයුතු ගැන මෙන්ම මාවෝ හොඳින් කෑම බීම ගන්නවාද, ඔහුගේ විවේක කටයුතු කොහොමද යනුවෙන් මාවෝ ගේ තොරතුරු විමසන්නට වුවාය.


“මම එතරම් හොඳ සනීප තත්ත්වයක නෙවෙයි ඉන්නේ. එනිසා ප්‍රධාන වශයෙන් මම සභාපතිතුමා තමුන්ගේ රැකවරණයට පත් කරනවා. තමුන් ඒ වැඬේ හොඳට කරනවා නම් මං ඒ ගැන තමුන්ට ප්‍රශංසා කරනවා.”


මම කාමරයේ සිටි අතරතුරේ මාවෝ ඇයට දුරකථනයෙන් කතා කළ බව පසුව මට දැන ගන්නට ලැබුණි. “පටු අදහස් තියෙන ගැහැනියක් වගේ හැසිරෙන්නට එපා.” ඔහු ඇයට එසේ උපදෙස් දී තිබුණි. “ඔයාට සනීප නැහැ කියලා දැනගත්ත වෙලේ ඉඳලා යින්කියෝ බොහොම කනස්සල්ලෙන් හිටියේ. එයා ඔයා වෙනුවෙන් බඩු ටිකකුත් අරගෙන ඔයාව බලන්න යන්න ඕනැ කියලා කීවා. එයාත් එක්ක හොඳින් කතා බහ කරලා ඔයා උදාර කෙනෙක් කියලා ඇයි පෙන්වන්නේ නැත්තේ?.”


එනිසා මාවෝ දුන් බැව් ඇය දැන සිටි බඩු ගෙනැවිත් දෙන ලෙස මට කියන්නැයි ජියැන්ග් ඇගේ හෙදියට කතාකර කීවාය. මාවෝ ඉතා සාමකාමි ලෙස අප අතර පැවති ආරවුල සමථයකට පත් කළේ එලෙසිනි. ඒ සමගම වැඩි කල් නොයවා මට පෞද්ගලික ආරක්ෂකයින්ගේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස උසස්වීමක්ද ලැබුණි. ඒ කෙසේ වුවද මෙම සිදුවීම හරහා පසු කාලයේ මට ඉමහත් කරදර ගොන්නකට මුහුණ දෙන්නට සිදුවේ යැයි මම කිසිවිටකවත් නොසිතුවෙමි. 


ජියැන්ග් බලන්නට මා ආරෝග්‍යශාලාවට යන්නට පෙර මාවෝ මා ලියූ ස්වයං විවේචනය මට ආපසු දෙමින් සාමාන්‍ය ලෙස මෙසේ කීවේය. “මේක අරන් තමුන් ළඟම තියා ගන්නවා.”


එය මා ළඟ තබා නොගැනීමට මා දැන ගත යුතුව තිබුණි. ඒ මන්ද කියතොත් 1967 සංස්කෘතික විප්ලවය සමයේදී රතු හමුදා භටයින් මගේ නිවස සෝදිසි කරණ අතරවාරයේදී මාගේ ඒ ස්වයං විවේචනය ඔවුන් අතට පත්විය. මා මාවෝ ත්සේතුංට එරෙහි වුවා මෙන්ම ජියැන්ග් සහ මාවෝ බිඳවන්නට උත්සාහ කළාය යන මට විරුද්ධව ගොනුකළ චෝදනාවන්ට සාක්ෂි ලෙස ඔවුහු එය යොදා ගත්හ. ඉන්පසු ඔවුහු මා සිරගත කළහ. මට වධ හිංසා පමුණුවා කිහිප වතාවක්ම මගේ නිවස කොල්ලකෑවෝය.


දකුණු පළාතේ චාරිකාවක නියැළෙමින් සිටි අතරවාරයේදී මාවෝ ටියැන්ග්ජින් හි නතරව සිටි විට මා සිරගත කර සිටින බව ඔහුට දැනගන්නට ලැබී ඔහු වහා මා නිදහස් කළේය. ඒ ස්වයං විවේචන ලියැවිල්ල ඓතිහාසික වටිනාකමකින් යුත් ලියැවිල්ලක් ලෙස සලකා දැන් එය ටියැංජින් ලේඛනාගාරයේ තබා ඇත. 


ජියැන්ග් නිතරම පාහේ පෞද්ගලික ආරක්ෂකයින් වන අප සමග ආරවුල් ඇතිකර ගත්තාය. ඇය සමග ආරවුල් ඇතිකර ගැනීම ටික කලක් යනවිට අපට හුරු පුරුදු දෙයක් බවට පත් විය. ඇතැම් අවස්ථාවල අපි ප්‍රසිද්ධියේම ඇයට විරෝධය පෑවෙමු. නමුත් එසේ කළේ මාවෝ ගේ පවුලේම සාමාජිකයින් ලෙස දිගු කලක් ඔවුන් ළඟින්ම සිටි අප කිහිප දෙනෙක් පමණකි. ඇය සමග ඇවිළුණු අනිත් ආරක්ෂකයින් ගැන මම කියන්නට නොයමි. නමුත් ඇයත් මමත් තදින්ම ඇවිළුණු සිදුවිමක් මගේ මතකයේ තැන්පත්ව ඇත. 
1960 ගිම්හානයේදි මාවෝ සහ ජියැන්ග් බේදාහේ බලා ගිය ගමනට මමද එක්වීමි. ගස් ගොන්නක් මැද පිහිටි තනි තට්ටුවේ නිවසක අපි නවාතැන් ගත්තෙමු. දිනක් උදේ දහයට මාවෝ නින්දට යන්නට කලින් මට කතා කර සවස තුනට ඔහු අවදි කරන්නැයි දැන්වීය. සවස හතරට ඔහුට රැස්විමකට යන්න තිබුණි. මම මාවෝ ගේ කාමරයෙන් පිටවී ආරක්ෂකයින්ගේ කාමරයට පැමිණ පොත් කියවන්නට පටන් ගතිමි. සවස දෙකට පමණ ජියැන්ග් එවෙලෙහි රාජකාරියේ නියුතු සහකාර ආරක්ෂකයෙක් අත ඇය හමුවන ලෙසට මට දන්වා එවීය. “එන්න අපි කාඞ් සෙල්ලම් කරමු යින්කියෝ” මා දුටු ඇය උද්යෝගයෙන් යුතුව කීවාය. “අපි දෙන්නා එක පිලක ඉඳිමු.”

ආරියනන්ද දොඹගහවත්ත