සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය රඟන නවතම චිත්‍රපටය වන ‘‘චැපාක්’’ මේ දිනවල ශ්‍රී ලංකාවේද තිරගත වේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඇසිඩ් ව්‍යාපාරයට එරෙහිව අරගල කරන ඉන්දියාවේ ලක්ෂ්මි අගර්වල් නම් තරුණිය මෙම චිත්‍රපටයට පාදක වී තිබීමයි. ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරුව දිවි ගලවා ගත් ලක්ෂ්මි පිළිබඳ මෙවර සටහනක් තැබීමට අප සිතුවේ එබැවිනි. 


නවදිල්ලියේ මධ්‍යම පාන්තිකයෙකු ලෙස උපත ලද ලක්ෂ්මි, කුඩා කල සිටම ගායිකාවක වීමට සිහින දුටු තරුණියකි. ඇය කටයුතු කළේද එම සිහිනය ඉටු කර ගැනීම සඳහායි. එහෙත් 2005 වසරේදී නදීම් ඛාන් නමැත්තෙකු ඈ පසුපස ලු‍හුබැඳ ගියේ ඇගේ සිහිනය වෙනත් හැරවුම් ලක්ෂ්‍යයක සනිටුහන් කරමිනි. 
වයස අවුරුදු පහළොවක් වූ ලක්ෂ්මි වෙත නදීම් විවාහ යෝජනාවක් ගෙන එන අතර ඇය එම යෝජනාව එකහෙළාම ප්‍රතික්ෂේප කරන්නේ ඒ වෙනුවෙන් ඇයට අත්විඳීමට සිදුවන විපාකය නොදැනය. කෙසේ වෙතත්‍් ඇගේ අරගලය ආරම්භ වන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 


ඇසිඞ් විකිණීම තහනම් කිරීම සහ ඇසිඩ් ප්‍රහාරවලට ගොදුරු වූ තරුණියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අත්සන් 27,000ක් එතැන් පටන් එකතු කරන්නට පටන් ගන්නා ලක්ෂ්මි, ඒ වෙනුවෙන් 'Stop Sale Acid' නමින් පදනමක්ද පිහිටුවන්නේ ඇසිඩ් යන්න ලෝකයෙන්ම තුරන් කිරීම සඳහාද පෙරමුණ ගනිමිනි. ඇය ඒ වෙනුවෙන් කොතරම් වෙහෙසවූයේද යත් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පා තැබුවේ මෙම තරුණියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමිනි. 


“ඔවුන් මගේ මුහුණ කැළැල් කර ඇත. එහෙත් ඒ මගේ ආත්මය නොවේ.’’ ඇය මාධ්‍යයට පැවසුවේ එයයි. 
පසුගිය දිනෙක පැවැති සම්මුඛ සාකච්ඡාවකදීද ඇය තම අරගලයේ සාර්ථකත්වය පිළිබඳව මෙසේ පැවසුවාය. 


“මේ වෙද්දි ඇසිඩ් ප්‍රහාරවලින් දිවි ගලවා ගත් අය එළිමහනට එමින් සිටිනවා. ඔවුන් දැන් තමන්ගෙ මුහුණු පෙන්වීමට පටන් අරන්. ඒවා සටන් බවට පත්වෙද්දි මිනිස්සුත් ඔවුන්ට සංවේදී වෙන්න පටන් අරන්. ඒත් ඊට කලින් ඉන්දියානු සමාජය ඇසිඩ් ප්‍රහාර ගැන කතා කළේ නෑ. අනික 2012දී අපි පැවරූ නඩුවෙන් පස්සෙ, 2013දී ඇසිඩ් ප්‍රහාරයට එරෙහිව නීතියක් පවා සම්මත වුණා. ඒ නිසා දැන් තියෙන්නේ මන්දගාමී අධිකරණ පද්ධතිය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද නඩු කියන්නේ සදාකාලික දෙයක්. ඒ නිසා අධිකරණ පද්ධතිය සහ රජය ඔවුන්ගේ කටයුතු වේගවත් කළොත් එදාට මේ වගේ සාපරාධී අපරාධ කිරීමට මිනිස්සු බය වෙයි. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න නම් රජය මීට වඩා උනන්දු විය යුතුයි. මොකද අපි කරන්නේ රජය කළ යුතු දෙයක්.’’ 


මේ වන විට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක බවටද පත්ව ඇති ඇය, මෙම අරගලය අතරතුර සමාජ ක්‍රියාකරුවෙකු වන ආලෝක් ඩික්සිත් හමුවන අතර ඇගේ ජීවිතයේ තවත් නැවුම් පරිච්ඡේදයක් සනිටුහන් වන්නේ මින් පසුවයි. එනම් විවාහ නොවීමට තීරණය කළ මෙම දෙදෙනා, සිය සම්බන්ධතාවයට නැවුම් අරුතක් ලබා දුන්නේ මියෙන තුරු එක්ව වාසය කිරීමට ගිවිස ගනිමිනි. එනම් විවාහ නොවී සමාජයට අභියෝග කිරීම ඔවුන්ගේ අරමුණ වූයේය. 
එහෙත් සිදුවූයේ අනෙකකි. 2015 වසරේදීම ඇයට නැවතත් නව අභියෝගයකට මුහුණදීමට සිදුවිණ. ඒ ඩික්සිත්ගෙන්ද ඇයට වෙන්වීමට සිදුවූ බැවිනි. කෙසේ වුවත් හුදෙකලාවේ වුවද සිය අරගලය ඉදිරියටම රැගෙන ගිය ලක්ෂ්මි, මේ නිසාම ඇසිඩ් ප්‍රහාරවලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර හඬ බවට පත්වන්නේ මේ වසරේදීද 'International Women Empowerment Award 2019 from IWES' ‘‘යුනිසෙෆ්’’ සම්මානය, ඉන්දියානු ළමා හා කාන්තා අමාත්‍යාංශ සම්මානය ආදී සම්මානවලින් පිදුම් ලබමිනි. ඒ 2014 වසරේදී ඇමෙරිකානු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා අතින් ලැබූ 'International Women of Courage' සම්මානයට අමතරවය. 

 

 


එබැවින් ලක්ෂ්මිගේ එඩිතරභාවය පිළිබඳ ඈ විසින්ම පළ කළ අදහසකින්ම මෙම සටහන අවසන් කරන්නෙමු. 


“මම මට පහර දුන් දවසෙ ඉඳන්ම ජීවිතේ එක්ක පොරබැදුවා. නමුත් මගේ පවුලේ අය මට ශක්තිය සැපයුවා. මගේ නීතිවේදියා පවා මගේ නඩුවට නොමිලේ පෙනී සිටියා. ඔවුන් තමයි මගේ ශක්තියේ ප්‍රධාන කුලුනු වු‍ණේ. ඒත් මේ ඇසිඞ් ප්‍රහාරයෙන් පස්සේ මගේ මුළු පවුලම පීඩනයට පත් වුණා. ඒක කොච්චරද කියනව නම් මගේ තාත්තා සහ සහෝදරයා පවා මිය ගියා. අන්තිමට මට හිටියෙ අම්මා විතරයි. 


ඒ නිසා කෙනෙක් පහර දෙනවා නම් පහර දෙන්නේ එක පාරයි කියල අපි දැනගන්න ඕනි. ඒත් සමාජය හැම වෙලාවෙම පහර දෙනවා. ඒ පහරදීමෙන් පස්සෙ ඒ ජීවිතය හරිම වේදනාකාරියි. ඒ නිසා තමයි ඒ වගේ අය සියදිවි නසා ගැනීමකට සමාජය විසින් තල්ලු‍ කරන්නෙ. මොකද සමාජය ඔවුන්ව සලකන්නේ ගොදුරු විදිහට. එහෙම නැතුව ජීවිතය ගලවා ගත් සටන්කරුවෙකු විදිහට නෙමෙයි. ඒ නිසා ඇසිඞ් ප්‍රහාරවලින් ජීවිතය ගලවා ගත් අය වෙනුවෙන් මම ඉල්ලන්නේ ඔවුන්ගෙ ජීවිත දුෂ්කර කරන්න එපා කියලයි. ඒක මගේ කාරුණික ආයාචනයක්.’’

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි