රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-07

 

ලෙනින් ම, තමා පක්ෂයේ සහ රජයේ නිලධාරීන් බලාපොරොත්තු වූ දැඩි ආත්මසංයමයේ ආදර්ශයක් විය. පක්ෂයේ තීරණය ඔහුට නීතිය විය. ඔහු එම ආකල්පය අනෙක් අයගෙන් බලාපොරොත්තු විය. පක්ෂ විනය උල්ලංඝනය කළ පුද්ගලයා පක්ෂයේ සතුරන්ට ආධාර කළේ යැයි ඔහු කීමට පුරුදුව සිටියේය. 


සෝවියට් නීති සහ සමාජවාදී ප්‍රජා ජීවිතයේ ප්‍රතිපත්තිවලට අප සෑම දෙනෙකුම බැඳී ඇතැයි ලෙනින් කීය. මේ සම්බන්ධයෙන් ඔහු කිසිවකුටත් බුරුලක් නොදුණි. 1918 මැයි මාසයේදී අනවසරයේ ලෙනින්ගේ වැටුප වැඩිකිරීම පිළිබඳව මහජන කොමිසාර් මණ්ඩලයේ කාර්යාල කළමනාකරුට ඔහු තදින් තරවටු කළේය. 


වරක්, ලෙනින්ට රුමියාන්ටිසෙව් පුස්තකාලයෙන් පොත් කීපයක් උවමනා විය. ඒවා ඔහුගේ නිවසට එවන ලෙස ඔහු ඉල්ලා සිටියේය. තවද එසේ පොත් එවීම පුස්තකාලයේ රීතින්ට පටහැණි නම්, ඔහු ඒවා එක් රාත්‍රියක් පමණක් පුස්තකාලය වසා ඇති කාලය තුළ තබාගෙන පසුදා උදෑසන ආපසු ගෙනවිත් දෙන්නේ යැයි සඳහන් කළේය. 


නිහතමානිකම සරල බව සහ සුහද බව වැනි ළගන්නා මිනිස් ගතිගුණ ලෙනින් සතුවිය. ඔහු ගැන වර්ණනා කිරීම හා ගෞරව සම්මාන දැක්වීම ලෙනින් නොරිස්සීය. සිය නායකයාණන්ගේ පනස් වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ගෞරවෝපහාර දැක්වීම් වස් මොස්කව් නගරයේ කොමියුනිස්ට්වාදීහු රැස්වීමක් පැවැත්වීමට තීරණය කළහ. ලෙනින් පැමිණියේ රැස්වීම අවසන්වීමට ඔන්නමෙන්න කියා තිබියදීය. සහෝදරවරුන්ගේ පෙරැත්ත කිරීමට ඇහුම්කන් දීමක් වශයෙන් කෙටි කථාවක් පැවැත්වූ ඔහු එම කථාවේ මුළුමනින්ම සඳහන් කළේ පක්‍ෂය ගැන කරුණුය. ඔහු ආත්ම උඩඟුවෙහි ඇති අනතුර ගැන කොමියුනිස්ට්වරුන්ට අවවාද කළේය. පක්ෂයේ නොවිසිඳුණු ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන ලෙස කියා සිටියේය. 


ලෙනින් සමාජවාදයේ සතුරන්ට කිසිම සමාවක් නොදුන් අතර පක්ෂයේ සහ රජයේ විනය නොසලකා හැරියවුන්ට නැතිනම් නොසැලකිලිමත් ලෙස වැඩ කිරීමේ වරදට හසුවූවන්ට කිසිම බුරුලක් නොදුන්නේය. කෙනෙකු අවශ්‍ය නම් යම් වැඩක් දහ වතාවක් හෝ නිවැරදි කළ යුතුය. එහෙත් එය මොන ආකාරයෙන් හෝ කළ යුතුමයයි ඔහු කීවේය. 


වැඩ කරන ජනතාවගෙන් ලැබුණු ලිපි සහ පැමිණිලිවලට ඔහු ඉතා උනන්දුවෙන් අවධානය යොමු කළේය. එසේම නිලධාරින්ට හා මුළුමහත් සෝවියට් රාජ්‍ය යන්ත්‍රණයට එසේ කිරීමට උගැන්වීය. සියලුම ලිඛිත පැමිණිලි පැය විසිහතරක් ඇතුළතත්, වාචික පැමිණිලි පැය හතළිස් අටක් ඇතුළතත් ඔහු වෙත වාර්තා කරන ලෙස ඔහු සියලුම ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. එවැනි පැමිණිලි ගැන දෙන ලද තීරණ ක්‍රියාත්මක කළේදැයි සොයා බැලීමට දැඩි සුපරික්ෂාකාරිත්වයකින් සිටින ලෙස ඔහු කියා සිටියේය. 


සිය අවසාන ලිපිවලින් ඔහු සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ සාමය සඳහා නිරන්තරව සටන් කිරීමේ ධනවාදී රටවල් සමඟ ව්‍යාපාරික සබඳතා ස්ථාපිත කිරීමේ සහ විවිධ සමාජක්‍රම සහිත රාජ්‍යයන් අතර සාමකාමී සහපැවැත්මේ අවශ්‍යතාව පිළිබඳව යළි යළිත් අවධාරණය කළේය. ඒ සමගම නිරන්තර අවධියෙන් සිටින ලෙසත්, රටෙහි ආරක්ෂාව තර කරන ලෙසත්, රතු හමුදාව ඇසක් මෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. සමාජවාදය වඩා ප්‍රගතිශීලි ක්‍රමය වූ හෙයින් එය අන්තිමේදී සකල දේශයන්හි ජයගන්නා බව ලෙනින් තරයේ විශ්වාස කළේය. 


ලෙනින්ගේ අවසාන ලේඛනවලින් එකක් වූයේ ඔහුගේ “සම්මේලනය වෙත” ලිපියයි. 1924 මැයි මස පක්ෂයේ දහතුන්වැනි සමුළුවේ නියෝජිතයින්ට මෙම ලිපිය කියවන ලදී. එහි ලෙනින් යළිත් වරක් පක්ෂ සමගිය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඒකාබද්ධ හා ස්ථාවර මධ්‍යම කාරක සභාවක් පක්ෂය සමගිය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වශයෙන් ඔහු සැලකීය. මධ්‍යම කාරක සභිකයන් ගණන දශක කීපයකින් වැඩි කරන ලෙස හැකිනම් සියය දක්වාම වැඩිකරන ලෙස ඔහු සම්මේලනය වෙත ලිපියෙන් යෝජනා කළේය. මෙම පියවර සාමූහික මණ්ඩලයක් වශයෙන් මධ්‍යම කාරක සභාවේ ගෞරවය සහ අධිකාරය වර්ධනය කිරීමට සහ මධ්‍යම කාරක සභාවේ සුළු කණ්ඩායම් අතර ගැටුම් පක්ෂයේ අනාගතය පිළිබඳ උවමනාවට වැඩි වැදගත්කමක් අත්කරගනු වැළැක්වීමට අවශ්‍ය එකකැයි ඔහු ලිවීය. ලිපිය පක්ෂයේ සමගිය හා ශක්තිය කෙරෙහි පූර්ණ අවධානයක් යොමු කර තිබුණි. 


මධ්‍යම කාරක සභාව ශක්තිමත් කිරීමේ සහ එහි සාමාජිකත්වය වැඩි කිරීමේ ලෙනින්ගේ සැලැස්මට ට්‍රොම්ස්ති විරුද්ධ විය. එහෙක් මධ්‍යම කාරක සභාව මගින් ඔහු පරාජය කෙරිණ. 


සිය ලිපියෙන් ලෙනින් ඇතැම් මධ්‍යම කාරක සභිකයින්ගේ පුද්ගලික ගුණාංගවල දෘෂ්ටිකෝණයෙන් පක්ෂයේ ස්ථාවර භාවය පිළිබඳ ප්‍රශ්නය පරීක්ෂාකර බැලීය. එසේම සිනොවියෙන්, කමනෙව්, ට්‍රොට්ස්කි, බුකාරින්, ජයාතකොව් සහ ස්ටාලින්ගේ චරිත කෙටියෙන් විස්තර කළේය. 


ඔක්තෝබර් විප්ලවයට පෙරාතුව කමනෙව්ගේ හා සිනොවියෙව් ගේ පාවාදීමේ ක්‍රියාකලාපය අහම්බෙන් සිදුවූවක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ට්‍රොට්ස්කි බෝල්ෂෙවික් වාදියෙකු නොවීම සහ මධ්‍යම කාරක සභාවට එරෙහිව ඔහුගේ අරගලය ගැන සඳහන් කළ ලෙනින් ඔහු අධි ආත්ම  විශ්වාසයකින් කටයුතු කළ හා අවට සිටින පුද්ගලයන්ට අණදීමට අධික ලෙස ආසාවක් දැක්වූවකු වශයෙන් විස්තර කළේය. ට්‍රොට්ස්කි ගැන සඳහන් කරමින් ඔහු අප සමග සිටී. එහෙත් අපේ එකෙක් නොවේ යැයි ලෙනින් කීය. 


එම ලිපියෙන්ම ලෙනින් ස්ටාලින් ගැන සිය බිය පළකරමින් ඔහු අත විශාල බලයක් සංකේන්ද්‍රණය වී තිබේ නම් ඔහුගේ විශාල පෞද්ගලික වැරදි හේතුකොට ගෙන එම බලය ප්‍රමාණවත් අභිමතයකින් පාවිච්චි කිරීමට සමත් නොවිය හැකි වනු ඇතැයි සඳහන් කළේය. ස්ටාලින් මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ සලකා බලන ලෙස ලෙනින් සම්මේලනයට කියා සිටියේය. ස්ටාලින් සහෝදරයා තුළ පවතින යහපත් ගති ගුණවලට අමතරව තිබිය යුතු පරිචිතයක් එනම් වැඩි ඉවසීමක් ඇති වඩා පක්ෂපාත වඩා කාරුණික සහ සහෝදරවරුන්ගෙන් වැඩි සැලකිල්ලක් දක්වන හා අත්තනෝමතික බවින් අඩු යනාදී ගුණාංග ඇති සහෝදරයකු මෙම තනතුර දැරිය යුතු යැයි ලෙනින් කල්පනා කළේය. දහතුන්වැනි සමුළුව ට්‍රොට්ස්කිවාදයට එරෙහිව ස්ටාලින් ගෙන ගිය දැඩි අරගලයක් පක්ෂයේ ලෙනින්වාදී පිළිවෙත ආරක්ෂා කිරීමත් සැලකිල්ලට ගනිමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් තනතුරෙහි ඔහු රඳවා ගන්නා ලදී.


1923 මාර්තු මස මුලදී ලෙනින්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස නරක අතට හැරුණි. මැයි මාසයේ ඔහු ආපසු ගෝර්කි බලා ගියේය. පක්ෂයත් මුළුමහත් ජනතාවත් සිය නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා ඉතා ආශාවෙන් කියවූහ. 


ගිම්හානයේ මැදභාගයේ ඔහුගේ තත්ත්වය මදක් වර්ධනය විය. ඔක්තෝබර් 18 වැනිදා සහ 19 වැනිදා ලෙනින් මොස්කව් නගරයට ආවේය. නදේස්දා තෘප්ස්කයා මෙය ඇගේ මතක සටහන්වල විස්තර කරයි. එක් කදිම දිනයක ඔහු ගරාජයට ගියා කාරයට නැග්ගා. මොස්කව් නිවස බලා පදවන ලෙස කියා සිටියා. එහි සියලුම කාමර අතරින් ඔහු ඇවිදගෙන ගියා. ඔහුගේ කන්තෝරු කාමරයට ගියා. මහජන කොමිසාර් මණ්ඩලයේ රැස්වීම් ශාලාව දෙස එබී බැලුවා. ඉන්පසු නගරය වටේ රියෙන් ගමන් කිරීමට කැමැත්ත පළ කළා. ඔහු කෘෂිකර්මාන්ත ප්‍රදර්ශනය පසුකරගෙන රියෙන් ගමන් කළා. ඔහුගේ සටහන් පොත් තෝරාගත්තා හේගල් ගේ කෘතියක වෙළුම් තුනක් තෝරා ගත්තා. ඒවා රැගෙන ගියා. පසුදින ඔහුට ඉක්මනින් ආපසු යාමට උවමනා වුණා. 

 

 

 


මතු සම්බන්ධයි.

 

 

එම්. තාරික්