කුඩා දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක්ව තිබේ. කාලයක් තිස්සේ ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ අදාළ වීඩියෝව මේ වනවිට එම මාධ්‍යයෙන් ඉවත් කර ඇතත් විශාල පිරිසකගේ දුරකතනවලත් පරිගණකවලත් තැන්පත්ව තිබෙන්නේ ඒ කුඩා දරුවා යළි යළිත් වින්ධිතයකු බවට පත්කරමිනි. මෙම සිදුවීම පදනම් කරගනිමින් පසුගියදා කොළඹදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය උද්ඝෝෂණයක් ද පැවැත් වූ අතර විරෝධතාකරුවන් සෘජුවම චෝදනා කළේ ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය ළමා අයිතින් සුරැකීමේදී අසමත්ව ඇති බවටය. අදාළ සිදුවීමේ සැකකරු මුදල් හා දේශපාලන බලයෙන් පිරුණු ව්‍යාපාරිකයකු බැවින් රාජ්‍ය බලධාරීන් ද මේ ගැන මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවට ඔවුහු චෝදනා කළහ. 

“අපි ළමා ආරක්ෂක අධිකාරියට මේ ගැන පැමිණිලි කළා. එහෙත් මේ සම්බන්ධයෙන් කලාකරුවන්, සිවිල් ක්‍රියාකාරින්, විවිධ සංවිධාන ජනාධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක්සත් ජාතින්ගේ සංවිධානයට යුනිසෙෆ් ආයතනයට පැමිණිලි කරලා තිබෙනවා. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා අපට පැවැසුවේ රජයේ රස පරීක්ෂකවරයාට මෙම වීඩියෝව මීට සති දෙකකට පෙර යැවූ බවයි. එහෙත් අපට වැටහෙන ආකාරයට නම් මේ ගැන ක්‍රියාමාර්ග ගැනෙන්නේ ඉතාම මන්දගාමී විදියටයි. මේ වගේ සිදුවීමක් මුදල් හා දේශපාලන බලය තිබෙන දරුවකුට සිදුවුණා නම් පාලකයන් හා විවිධ අධිකාරින් මැදිහත්වෙන්නේ කොහොමද කියලත් අපි දන්නවා. මේක දුප්පත් පවුලක දරුවකුට සිදු වූ නිසා තමයි යටගහන්නේ.

රටේ ජනාධිපතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ළමා ආරක්ෂක අධිකාරියට මේවා ගැන පැමිණිලි කළාට වැඩක් නෑ. අපි විශ්වාස කරන්නේ මේ රටේ මහජනතාව. හෙට දවසේදී ඔබේ දරුවාට මේ ප්‍රශ්නය එන්න පුළුවන්. එනිසා ඔබේ ගෙදර දොරකඩින් මේ ප්‍රශ්නය එනතුරු ඉන්නේ නැතිව මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන්ට කළ හැකි සියලු මැදිහත්වීම් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය සිදුවීම ගැන අදහස් දැක්වූයේ එසේය.

මෙම සිදුවීමෙන් විශාල අඬෝවැඩියාවක් සමාජ මාධ්‍යයෙහි හටගත්ත ද ළමයින්ට සිදුවන අපරාධ ගැන සෙවීම හා විමර්ශන යාන්ත්‍රණය මේ රටේ කඩාවැටී තිබෙන්නේ දැන් දිගු කලෙක පටන්ය. 2017 හා 2018 වසරවලදී පරිපාලන අර්බුදයක් හැටියට මෝරා ගිය ළමා ආරක්ෂක අධිකාරියේ ආරාවුල මේ වනවිට තිබෙන්නේ ළමා ආරක්ෂක විමර්ශකයන් හෙම්බත් කළ පරිසරයකය. නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය හා එහි වෘත්තිය සමිති අතර ඇති වූ ගැටුමෙන් පසුව නව සභාපතිවරයකු පත්කෙරුණ ද ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරියට ගියේ පැරැණි බරවා කකුල අද්දවගෙනමය.

එනිසා නව ආණ්ඩුව බලයට පත්වීම සමග එහි සභාපති ධුරයට පත් වූ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතියේ ළමයින්ගේ ආරක්ෂකයා කිරීමට විශාල කැපකිරීමක් කිරීමට සිදුවනු ඇත. විශේෂයෙන්ම ළමයින්ට සිදුවන අපරාධවලදී බිම් මට්ටමේ විමර්ශන ක්‍රියාවලිය බලවත් කිරීමේදී ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් මුහුණ දී සිටින අතෝරයක් වූ ගැටලු විසඳීමෙන් තොරව එය යථාර්ථයක් කිරීම පහසු නොවේ.

මේ වනවිට ප්‍රාදේශීය වශයෙන් තමන් වෙතට වාර්තා වන ළමයින්ගේ ගැටලුවලදී බොහෝ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් මැදිහත්වීම් කරන්නේ තමන්ගේ පොකැට්ටුවේ ඇති රුපියල් සත වියදම් කරමිනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ක්ෂෙත්‍ර නිලධාරින්ට ලැබෙන දීමනා නොලැබෙන මේ පිරිස ඒ නිසාම පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටය. රුපියල් දෙදහස් පන්සීයක් වූ මාසික ප්‍රවාහන දීමනාව නිසි කලට නොලැබීමත් ලිපි ද්‍රව්‍ය සඳහා මුදල් නොලැබීමත් ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබේ. විමර්ශන කටයුතු සඳහා කුලී රථයක සේවාව ලබා ගතහොත් පිරවිය යුතු ආකෘති පත්‍රිකා නිසාම එම මුදල් අතින් ගෙවාගෙන සේවයේ නියැලෙන්නට බොහෝ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරිහු කටයුතු කරති.

එහෙත් මේ ප්‍රශ්න කොළඹට හරි හැටි සන්නිවේදනය වෙනවාදැයි යන්න ප්‍රශ්නයකි. දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රාජකාරි කරන මේ විමර්ශකයන්ට මීට වසර එකහමාරකට පමණ පෙර රැකියාව ලබාගැනීමට සිදුවුණේ ද මාස ගණනක යුද්ධයක් කිරීමෙන් අනතුරුවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරිපාලන වශයෙන් අර්බුදයකට පත්ව ඇති ආකාරයත් එහි මවු ආයතනය වන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට ඇති දේශපාලන අතපෙවීම් ගැනත් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි (ඵ් 03- III ශ්‍රේණිය) තනතුරට පත්වීම් ප්‍රදානයේදී අදිසි හස්තයක් සුදුසුකම්ලාභී උපාධිධාරින් 116 දෙනෙකු සමඟ සිදුකරන දේශපාලන කෙළිසෙල්ලම කරුණු සහිතව පෙන්වා දෙන්නට එකළ ලියුම්කරුවෝ කටයුතු කළහ. වාසනාවකට මෙන් අද එවැනි දේශපාලන අතකොලුවල අතපෙවීම් දකින්නට නැතත් අලුත් සභාපතිවරයාට ද කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ වසර ගණනක් තිස්සේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ජාතික ආරක්ෂක දේහයට සිදු වූ දීර්ඝකාලීන තුවාල ද සුවකරගනිමිනි.

අවසන් වරට කළ ප්‍රාදේශීය ළමා ආරක්ෂක විමර්ශන නිලධාරින් 116ක පුරප්පාඩුව පුරවද්දී පත්වීම් බාරගැනීමට පැමිණියෝ හැත්තෑ ගණනක් වැනි සංඛ්‍යාවකි. එයින් ද අද වනවිට තවත් පිරිසක් සංවර්ධන නිලධාරි තනතුරු සඳහා තනතුරට සමු දී ඇත. ඊට අමතරව ප්‍රාදේශීය ළමා විමර්ශකයන් ලෙස පසුගිය රජයේ අවසාන කාලයේදී කිරීමට උත්සාහ කළ බඳවාගැනීම්වලට ද තවම මුල පුරා නැත. ඒ අනුව ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් දිවයින පුරා විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙන බව පැහැදිලිය. ඉතින් ආණ්ඩු හොඳම දේ දරුවන්ට දෙන්න හදන්නේ මෙවැනි අඩුපාඩු විශාල සංඛ්‍යාවක් අත දරාගෙනය.

“පවතින තත්ත්වය එක්ක අපි සේවය කරන්නේ දුෂ්කරතා රැසක් සමගයි. පාසල් ළමා ආරක්ෂණ කමිටුවලට කියලා රුපියල් විසි පන්දාහක් ගෙවනවා. එක ඉස්කෝලෙකට රුපියල් පන්දාහයි. ප්‍රාදේශීය නිලධාරින්ගේ බල ප්‍රදේශයක පාසල් විස්සක් විතර තිබුණොත් පාසල් වැඩි ගණනක් අත්හරින්න වෙනවා. වසර තුනක පරිවාස කාලය ඉක්මවලා තවත් වසර දෙකකට වඩා සේවයේ නියුතු ළමා ආරක්ෂක නිලධාරින් විශාල සංඛ්‍යාවක් සිටිනවා. තවමත් ඔවුන් සේවයෙහි ස්ථිර කර නෑ. අලුතින් බඳවාගත් ළමා ආරක්ෂක නිලධාරින්ට ලැප්ටොප් පරිගණක, ප්‍රින්ටර්, ෆොටෝකොපි යන්ත්‍ර ලැබී නෑ. පැමිණිලි පොතක් නඩත්තු කිරීම ඇතුලුව ලිපි ද්‍රව්‍ය මගින් කළ සකස් කළ යුතු ලේඛන රැසක් අපට තිබෙනවා. මේ බොහෝ ලේඛන ඒ කියන විදියටම වෙන්නේ නෑ. මොකද අවශ්‍ය ගෙවීම් අපට වෙන්නේ නෑ. අධිකාරියේ ඉහළ නිලධාරින්ට නිසි වගවීමක් නෑ. මේ ලේඛන යැව්වේ නෑ කියලා ප්‍රධාන කාර්යාලයෙන් අහන්නෙත් නෑ. මොකද අවශ්‍ය පහසුකම් අපට නෑ කියලා ඒ අය දන්නවා.

මාසිකව ප්‍රගති සමාලෝචන හමුවක් කියලා ප්‍රාදේශීය ළමා නිලධාරින් ගෙන්නලා දවල්ට කන්න දෙනවා. ඒක තනිකරම බොරුවක්. මොකද සමාලෝචනයක් වෙනවා නම් මේ විදියට ප්‍රශ්න ඉතිරිවෙන්න බෑනේ. ඒවාට වියදම් කරන සල්ලි අසරණ දරුවන්ට වෙන් කරනවා නම් ඊට වඩා හොඳයි. අසරණ දරුවන් සම්බන්ධ සිදුවීම් රැසක් අපට වාර්තා වෙනවා. ළමයින්ට සිදුවන අපරාධ අද රටේ විශාල ප්‍රශ්නයක්. ඒත් රජය අඩුවෙන්ම අවධානය යොමු කරන මුදල් වෙන් කරන ක්ෂෙත්‍රයක් බවට මෙම ක්ෂෙත්‍රය පත්ව තිබෙනවා. බොහෝ සිදුවීම්වලදී අපි අතින් ගෙවාගෙනයි වැඩ කරන්නේ. ඒත් අපට සියලුම දීමනා එකතු වුණාම තිබෙන්නේ තිස් හය දාහයි. මේ පඩියෙන් සමාජ සේවයට වෙන්කළාම ජීවත් වෙන්න බැහැ. ඉතින් බොහෝ නිලධාරින් අවස්ථාවක් ලැබුණු ගමන් රැකියාවෙන් අස්වෙනවා.”

නම හෙළිදරව් නොකිරීමේ පොරොන්දුව පිට ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරිනියක දැක් වූ අදහස් එසේය. කෙටියෙන් හෝ ඒ කතාවත් මෙහි සඳහන් කළේ ළමා ආරක්ෂණ යාන්ත්‍රණයේ වත්මන් අබග්ගය ගැන කිසියම් අදහසක් ඇතිකරගැනීමට නව සභාපතිවරයාට පහසු වනු ඇති බැවිනි. 

2020 වසරේ පළමු දින 15 ඇතුළත පමණක් ළමා ලිංගික අපයෝජන 54 ක් සිදු වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාය. ඇත්ත කතාව නම් ඇමැතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා දත්තවලට වඩා සැබෑ ගණන් හිලව් විශාල වශයෙන් වැඩි බවය. මන්දයත් වාර්තා නොවන සිදුවීම් කාණ්ඩයට වැඩි සිදුවීම් ගණනක් ඇතුලත් වන බව ළමා ආරක්ෂකයන්ම හඳුනාගෙන ඇති බැවිනි.  

“1990 දි සම්ම්ත කරගත් එක්සත් ජාතින්ගේ ළමා ප්‍රඥප්තියට රටක් හැටියට 1990දිම අපි අස්සන් කළා. ඊට අනුව ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට අපි බැඳී සිටිනවා. මෙහිදී 1995 දී දණ්ඩ නීති සංග්‍රහයේ 22 වැනි සංශෝධනය ඉතා වැදගත්. මොකද මුල් කාලයේදී ළමයා සම්බන්ධයෙන් නීතියෙහි වැඩි අවධානයක් යොමුකර තිබුණේ නෑ. මෙම  සංශෝධනයෙන් එම අඩුපාඩුව මගහැරුණා. අදාළ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී මෙම සිදුවීම සැලකිය හැක්කේ බරපතල ලිංගික අපයෝජනයක් හැටියටයි. මේක ළමා අපයෝජනයක්. රටේ ප්‍රධානතම ව්‍යවස්ථාපිත ආයතතනය වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. ඊට අමතරව ජනාධිපතිවරයාට හා සී.අයි.ඩී එකටත් පැමිණිලි කළා.

එහෙත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් මේ වනතුරු සතුටුදායක මැදිහත්වීමක් අපට දකින්නට බෑ. අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරක් ඇති විට ඊට අදාළ දත්ත විශ්ලේෂණය කර අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන කිරීම රාජ්‍ය අධිකාරියේ වගකීමක්. අපට වගඋත්තරකරුවන් අල්ලලා දෙන්න හැකියාවක් නෑනේ. මෙම පරීක්ෂණ යටගැසීමට රජයට සම්බන්ධ පාර්ශ්වයක් උත්සාහ දරන බවට චෝදනාවක් තිබෙනවා. ඉතින් මේ විමර්ශන මන්දගාමී වන විට ඒ සැකය තවත් ඔප්පු වෙනවා. පිදුරංගල සිදුවීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වූ තාක්ෂණ විශේෂඥයන් මේ සිදුවීමේදී නැත්තේ ඇයි? මේ දූපතේ දරුවන් අපරාධයකට මුහුණ පෑ විට තවමත් අනුගමනය කරන්නේ යල් පැන ගිය විමර්ශන ක්‍රමවේදයි. මේ බොහෝ දෙනෙකුට යුක්තිය ඉටුනොවන්නේ ඒ නිසයි. කෝච්චියේ කඩල විකුණන දරුවා සර්කස් තරගවලට යන දරුවා අල්ලාගෙන යන ළමා ආරක්ෂක අධිකාරිය රූපවාහිනී නාලිකාවල රියැලිටි තරගවලදී සිදුවන ළමා අපයෝජන ගැන නිහඬයි. ඇත්තටම ළමා ආරක්ෂක අධිකාරිය දැන් ජනප්‍රිය වැඩ කරලා හරියන්නේ නෑ. ළමා ආරක්ෂක අධිකාරිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු තැනට ඇවිල්ලයි තිබෙන්නේ. ”

ජාතික ළමා ආරක්ෂක අධිකාරි යාන්ත්‍රණයත් මෙම සිදුවීමත් ගැන එසේ අදහස් දැක්වූයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ සේනක පෙරේරා මහතාය. නීතිඥ පෙරේරා මෙම සිදුවීම ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ද (යුනිසෙෆ් ආයතනය) පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව වගකිව යුතු රජයක් හැටියට අදාළ සිදුවීමේ වින්ධිත දැරියට යුක්තිය නොපමාව ඉටු කිරීමට නව ආණ්ඩුව මැදිහත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වෙතත් මේ ගැන කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා දැරූ අදහස් හා ආකල්පය ඉතා වටී. විශේෂයෙන්ම අධිකාරියට චෝදනා කරමින් කරන මැදිහත්වීම් පවා ආශිර්වාදයක් හැටියට සලකන්නේ යැයි ඔහු කළ ප්‍රකාශයම හොඳ ප්‍රවේශයකි.

ක්ෂෙත්‍රයේ පළපුරුද්දත් ප්‍රාමාණික දැනුමත් නිසා නව සභාපතිවරයා ගැන අධිකාරියේ ඉහළ මෙන්ම පහළ මට්ටමේ නිලධාරින් රැසක් විශාල බලාපොරොත්තුවක් තබාගෙන තිබේ. ඉතින් දැන් කළයුත්තේ ඒ අපේක්ෂා යථාර්ථයක් කිරීමට අදිටනින් කැපවීමය. ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනයෙන් ප්‍රාදේශීය විමර්ශකයන් බලගැන්වීම ඇතුලුව විශාල වැඩ කොටසක් එහිදී නව පරිපාලනයට පැවැරී තිබේ. ජාතියේ ජීවනාලිය බඳු දරු පරපුර වෙනුවෙන් එකී අතිශය ගෞරවාන්විත හා වගකීම්සහගත භූමිකාවට නව පරිපාලනය අත ගසනු ඇතැයි රටම බලා සිටී.

“සිවිල් සමාජයත් සමග එක්ව ගමනකට සූදානම්”

ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ

ප්‍රශ්නය - මෙම වීඩීයෝව සම්බන්ධයෙන් ඔබ අධිකාරිය ගත් පියවර මොනවද?

පිළිතුර - සමාජ ජාලවල ප්‍රචාරණය වුණාම ඒ ගැන සමාජ ක්‍රියාකාරීන් විශාල වශයෙන් ප්‍රචාරය කළා. අපි එය ප්‍රධාන වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන්නා. ඊට අමතරව අපේ අධිකාරිය යටතේ ඇති පොලිස් ඒකකය මගිනුත් විමර්ශනයක් කෙරෙනවා. ඕකට අදාළ යැයි කියන නිළියකුත් පහුගිය සතියේ පැමිණ සාක්ෂි දීලා ගියා. තවත් තොරතුරු අනාවරණයක් කිරීමට තිබෙන බව ඇය අපට දන්වා තිබෙනවා. ලබන සතියේ ඇය තවත් සාක්ෂි දේවි. ඊට අමතරව අපේ සයිබර් යුනිට් එකට හිටපු දෙදෙනාට අමතරව තවත් උපදේශකවරයෙකු බඳවාගත්තා. ඒ වගේම අන්තර්ජාල ආවේක්ෂණ ඒකක්යෙන් වැඩිදුර පරීක්ෂණ කළා. හත් දෙනා අත්අඩංගුවට ගත්තේත් එම ආවේක්ෂණ ඒකකය මගිනුයි. සැකකරු අත්අඩංගුවට ගන්න මට්ටමකට නොගියත් සැකකරු සිටින වීඩියෝව ෆේස්බුක් වෙබ් අඩවියට පැමිණි මූලාශ්‍රය හඳුනාගන්නා මට්ටමට අප ඇවිල්ලා තිබෙනවා. ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයාටත් වීඩියෝව බාර දී තිබෙනවා.

ප්‍රශ්නය - පරීක්ෂණ මන්දගාමී බවට නැගෙන චෝදනාව පිළිගන්නවද?

පිළිතුර - අතුරුදහන් වූ දරුවකු නම් අපට ඒ දරුවාගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඇතුළු මාධ්‍යවල පළ කර ඉක්මනින් හොයන්න පුළුවන්. ඒත් අපයෝජනයට ලක් වූ දරුවකුගේ එහෙම කරන්න බෑ. නැත්නම් මේවා ඉතාම පහසු වැඩ. මොකද ඡායාරූපයක් පළ කළ ගමන් මිනිස්සු විස්තර දන්නවා. ඒ ගැටලුව තමයි මේ තිබෙන්නේ. ඒ නිසා මේක විද්‍යාත්මකවම තමයි හොයන්න වෙන්නේ. 

ප්‍රශ්නය - ළමා ආරක්ෂක විමර්ශකයන් භෞතික පහසුකම් හා සිය මූල්‍ය ගෙවීම් සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටිනවා. මේ ගැන ඔබේ අවධානයට ලක්ව තිබෙනවාද?

පිළිතුර - මුල්ම වතාවට ඒකක ප්‍රධානින්ගේ රැස්වීමෙන් පසුව ළමා ආරක්ෂක අධිකාරියේ වෘත්තිය සමිතියේ සභාපතිට හා ලේකම්ට මම ආරාධනා කළා. ඔවුන්ගේ ප්‍රශ්න මාසිකව අපට ඉදිරිපත් කර සාකච්ඡාවට ලක්කර ලේඛනගත කර ඊළඟ මාසය ඇතුළත ඒවා විසඳන්න අපි කටයුතු කරනවා. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න කතාකිරීමට වේදිකාවක් තිබුණේ නෑ. මෙතෙක් වුණේ ප්‍රධානින් විසින් ඔවුන්ට නියෝග නිකුත් කිරීමයි. මේක අධිකාරියක්. ඔවුන්ගේ රැකියාවල උසස්වීම් ගැටලුවක් තිබෙනවා. එහෙම වෙනස්කිරීම් කළ අධිකාරි තිබෙනවා. ළමා හා කාන්තා අමාත්‍යාංශයේ ලේකම්තුමිය සමග පසුගිය සතියේදී මේ ගැන මා කතා කළා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට දන්වලා අපි අලුත් ක්‍රමවේදයක් හදමු යැයි එතුමියත් යෝජනා කළා.   

ප්‍රශ්නය - ළමා ආරක්ෂක අධිකාරි පනත තවත් ශක්තිමත් කර අධිකාරිය සෘජුවම ජනාධිපතිවරයා යටතට පත්කරන්නැයිත් ඉල්ලීමක් තිබෙනවා නේද?

පිළිතුර - 2017 නිකුත් කළ චක්‍රලේඛයක් මගින් තමයි මේ අධිකාරිය කාන්තා හා ළමා අමාත්‍යාංශයට පැවැරී තිබෙන්නේ. අධිකාරියට පොලිස් කණ්ඩායමක් හිටියත් ඔවුන් පරීක්ෂණ කළත් අධීක්ෂණය වෙන්නේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමෙන්. අපි කියන්නෙත් උපදෙස් දීම මෙහෙයවීම හා අධීක්ෂණය යන අංශ තුනම අපරාධ සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතටවත් පත්කිරීම හොඳයි කියලයි. එහෙම නැත්තන් මුල්ම කාලයේ වගේ ජනාධිපතිවරයා යටතට පත්කිරීම හොඳයි. එම කාරණාවලට යන්න කලින් මේ කියන දැවෙන ප්‍රශ්න ටික විසඳාගන්න අපි මූලික අවධානය යොමු කරතිබෙනවා. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වගේම  සිවිල් සමාජයේ කැපවීම අප සලකන්නේ ආශිර්වාදයක් හැටියටයි. ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා.

 

(බිඟුන් මේනක ගමගේ)

bingungamage88@gmail.com