සිංහරාජය වනාන්තරය නම ඇසූ පමණින් ලෝක උරුමයක් බව නොදන්නා කෙනෙක් නැත. නිවර්තන වැසි වනාන්තරයක් වන සිංහරාජය යුනෙස්කෝ සංවිධානය විසින් ජෛව ගෝල රක්ෂිතයක් හා ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කරනු ලැබ ඇති සදාහරිත වනාන්තරයකි.

හෙක්ටයාර් 11000 ක්ව තිබු සිංහරාජය ඉකුත් වසරේ නොවැම්බරයේ සිට හෙක්ටයාර් 40400 ක්ව තිබේ. ඒ ඊට ආසන්නව තිබු රක්ෂීත සියල්ල වනාන්තරයේ කොටස් ලෙස නම් කොට ගැසට් කර තිබීම නිසාය. එවකට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ගැසට් පත්‍රයට අස්සන් කර ඇති අතර මේ වනවිට එය මුද්‍රණයට යවා තිබේ. දෙල්ගොඩ, දෙල්ලව දෙල්ලමැල්ල, යටගම්පිටිය, මොරකන්ද, රූණකන්ද, මොරකැටිය, සිල්වර්කන්ද, පරගල ආදී මෙතෙක් රක්ෂිත ලෙස  නම් කර තිබු වනාන්තර සියල්ල මේ ගැසට්පත්‍රය සමග සිංහරාජයේ කොටස්වෙයි.

ඒ අනුව හෙක්ටයාර් 40000 කට වැඩි විශාලත්වයෙන් යුතු සිංහරාජය මේ වනවිට දැව ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වී ඇති අන්දමත් වන නිලධාරින් හා වෙනත් රාජ්‍ය නිලධාරියකු එම ජාවාරම්වලට ආධාර අනුබල දෙන අන්දමත් සිංහරාජ වනාන්තරයේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නෙළුව, ලංකාගම පෙදෙසින් එහි ඇතුල් වී කළ සොයා බැලීමක දී අනාවරණය කර ගත හැකි විය.

නෙළුව නගරයේ සිට කිලෝමීටර් 17 ක් පමණ ගිය විට හමුවන ලංකාගම ආසන්නයේ සිංහරාජ වනාන්තරයට පිවිසුමක් වෙයි. මීටර් 237 උසැති බ්‍රාහ්මණ ඇල්ල ආසන්නයේ ලංකාගම පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුවෙහි නිලධාරියෙක් ද සේවය කරන අතර එතැනින් වනයට ඇතුල් වීමට ප්‍රවේශපත්‍රයක් මිලදී ගැනීම අනිවාර්ය වේ. එම ඇතුල් වන ස්ථානයේ ලංකාගම ප්‍රවේශපත් කවු`ඵව අයිනේ පිහිටා තිබු වසර අටසීයකට වඩා පැරණි යැයි සැලකෙන දැවැන්ත දුන්ගස කපා එතැනදීම ඉරා ඉවත් කර ගෙන තිබු අන්දමත් එහි පිටපලු දිය ඇල්ලේ ඇළ පහරට අතහැර තිබු අන්දමත් අපේ චාරිකාව ආරම්භයේ දීම දැක ගත හැකි විය.

එහි ඇතුල් වූ අපට එකී ගස කැපීම පිළිබඳව ගම්වැසියන් නිලධාරින්ට දෙස් දෙවොල් තබනු දැකිය හැකි වූ අතර නිලධාරින් පවසා සිටියේ එම ගසෙහි අත්තක් ටිකට් කවුන්ටරයට වැටුණු නිසා එය ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළ බවකි. එය දැව සංස්ථාව මගින් කපා ගෙන ගිය බව ද ඔවුහු පැවැසූහ.

වට අඩි 22 ක් තිබුණේ යැයි කියන එකී දුන්ගසෙහි ලී තට්ටු ලොරි දෙකකින් කොළඹ ගෙන ගිය බව ලංකාගම වැසියෙක් කීවේ අප ඒ ගැන සොයන බවක් පවා නොදැනය. වසර අටසීයකට වඩා වයසැති මිලකළ නොහැකි ගසක් කපන්නට පියවර ගත් වන සංරක්ෂණ මහදැනමුත්තන්ගෙන් වනාන්තරයට ලැබෙන ආරක්ෂාව ගැන කවර කතාද?

මාධ්‍යවේදින් කණ්ඩායමක් බව නොහැගෙන පරිදි ශාඛ පිළිබඳ ගවේෂණයක යෙදෙන පිරිසක් ලෙස වනාන්තරයට ඇතුළුවන්නට අප තීරණය කළේ දැව ජාවරම්කරුවන්ට තොරතුරු ලැබුණහොත් එය අපේ ගවේෂණයට බාධාවක් විය හැකි බැවිනි. නවාතැන් සඳහා තෝරාගත් හෝටලයේ හිමිකරුවන්ගේ සිට අපේ ගමනට තෝරාගත් මඟ පෙන්වන්නන් දක්වා සියලු දෙනා රවටන්නට අපට සිදුවූයේ මේ හේතුවෙනි.

මේ දැව ජාවාරම්කරුවෝ පිට පළාත්වලින් පැමිණ දැව කපා පටවන්නෝ නොවෙති. පිට පළාත්වලින් පැමිණ ලංකාගම පදිංචි වූ කිහිපදෙනකු මෙම ජාවාරම මෙහෙයවන බව හෙළිකරගත හැකි විය. ඔවුන් සිංහරාජ මායිම්වල මෙන්ම එහි පරිවාර වනාන්තර තුළ ද දිිගින් දිගටම කපමින් සිටින්නේ වසර සිය ගණන් පැරණි ගස් වීම විශේෂයකි. මිල කළ නොහැකි දුන්, මිල්ල, කොස්, පෙළෙන්ගා, ගිනිකූරු වැනි ශාඛ යාන්ත්‍රික කියත්වලින් පෙරළා එතැනම තබා ඉරා පිටපලු ඒ තැන්වලම අතහැර ගොස් ඇති අන්දම දැකිය හැකි විය.

මේ වනවිට වන විනාශයට වැඩිපුරම ගොදුරු වී ඇත්තේ සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන හෙක්ටයාර් 6000 කට ආසන්න වපසරියකින් යුත් දෙල්ලව කැලයයි. එයින් අදහස් වන්නේ සිංහරාජයේ අනෙක් කොටස්වල වන විනාශ සිදු නොවන බව නොවේ.

වසර සිය ගණන් ඉපැරණි ගස් රාශියක් ඇති දෙල්ලව කැලය මේ වනවිට දැව ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි. මේ ජාවාරම්කරුවන් අතින් විනාශ වන්නේ වනාන්තරයේ අභිමානයයි.  

රාත්‍රියේ වනාන්තරය දෙසින් ලී ඉරන හඬ ඇසෙයි. එය අනිවාර්යයෙන්ම ඇසෙන්නේ සෙනසුරාදා, ඉරිදා, පෝය දිනවල හා  රජයේ නිවාඩු දිනවල බව ගම්වාසිහු කියති. මහ වනයෙන් යාන්ත්‍රික කියත්වලින් ලී ඉරන බව ඇසෙන විට ඒ බව බීට්ටු වන නිලධාරින්ට දන්වා ඇති ගම්වැසියෝ අපේ ගමනේ දී හමුවූහ. ඔවුන් සිය අත් දැකීම් පැවසූයේ මේ අයුරිනි.

“ වන නිලධාරි මහත්වරුන්ට කෝල් කළොත් එක එක දේවල් කියනවා. අද නිවාඩු කියයි. නැත්නම් එන්න විදියක් නැහැ වාහන නැහැ කියයි. ඒත් නැත්නම් පොලිසියට කියන්නම් කියනවා. හැබැයි එහෙම කියලා විනාඩි 15ක් යද්දි ලී ඉරන සද්දෙ නැතිව යනවා. ”

මේ ජාවාරම් ගැන දන්නා පුද්ගලයකු කියා සිටියේ ලී ඉරීම සිදුකරන්නේ කුප්පි ලාම්පු එළියෙන් බවය. කුප්පි ලාම්පු එළි ගමට නොපෙනෙනා බව ඔහු කියා සිටියේය.

රාත්‍රියේ කපා හෙළා රාත්‍රියේම ඉරාගන්නා දැව ගම්මාන ආසන්නයට ගෙනැවිත් දමන අතර ඒවා පිංදෙනිය, මෙදේරිපිටිය, කොළවෙනිගම ඔස්සේ ගෙන යනු ලබන්නේ බොහෝ විට තේ දළු ප්‍රවාහනය කරන ලොරි මගිනි. යටට ලී කඳන් දමා උඩින් තේ දළු ගෝනි පටවා ගෙන යන මෙම වාහන වන නිලධාරින්ගේ හෝ පොලිසියේ පරික්ෂාවට කිසිවිටෙකත් ලක් නොවන්නේ ඔවුන් මේ ගැන දැන දැන පරික්ෂා නොකර සිටින නිසා විය හැකි යැයි විටෙක සිතෙයි.

දෙල්ලව වනාන්තරයේ දැව ජාවාරම ජයටම සිදුවන අන්දම දැක ගන්නට අපි දැත්තෑවේගල දෙසට කන්ද තරණය කළෙමු. මග පෙන්වන්නෙකු ද සමග ලංකාගම සිට ගිංගඟ ඔරුවකින් තරණය කළ අපි ඉන් එගොඩ වී දෙල්ලව වනයට පිවිසුණෙමු. වනාන්තරය හා ගම මායිමෙන් ඉහළට ගිය අපි මුදුනේ දී එළබද්දර දොළ තරණය කළෙමු. එතැන් සිට වනාන්තරය තුළ තැනින් තැන කුඩා තේවතු ද පවතියි. ඒ අනවසර වැවිලි ද යන්න ගැන පැහැදිලි නැත.

එහෙත් මීට වසර කිහිපයකට පෙර දෙල්ලව වනය හා ගම වෙන් කෙරෙන මායිම් සලකුණු කර ඇති අතර අප තරණය කළ මහ දොළ ආසන්නයේ මායිම් කණු නොවැටුණු පෙදෙසක් අපට හමුවිය. ඒ පෙදෙසෙහි මායිම් කණු නොමැති හේතුව ගම්වැසියන් අප හා හෙළි කළේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මායිම් කණු යොදන ලද පුද්ගලයාගේ පවුලේ ඥාතින්ට එහි හද්දින්න ප්‍රදේශයේ ඉඩම් අක්කරයක් තිබේ. එම ප්‍රදේශයේ කණු නොදැමීම හේතුවෙන් එකී ඉඩම මේ වනවිට අක්කර හතරක් දක්වා පුළුල් කරගන්නට ඔවුන්ට අවස්ථාව උදාවී තිබේ. මේ වනාන්තර විනාශ වන එක් ක්‍රමයකි. අපේ චාරිකාවේ දී විශේෂයෙන් දුටු දසුනක් වූයේ වනාන්තර මායිමේ ඇති පෞද්ගලික ඉඩම් වල මායිම් වනාන්තරය තුළට ඇවිදින බවකි.  

එම ප්‍රදේශ තරණය කරමින් මහ වනයට පිවිසි අපට දැවැන්ත ගස් කපා ඉරා ලී ගෙන ගොස් ඇති අන්දමත් පිටපලු එහි දමා ගොස් ඇති අන්දමත් දැකිය හැකි විය. එවැනි ස්ථාන හතක් පමණ වනයේ තැනින් තැන නිරික්ෂණය කළෙමු.

දැත්තෑවේ ගල කන්ද තවත් ඉහළට නැගෙන්නට නැගෙන්නට තව දැව ඉරා ඇති ස්ථාන රාශියක් දැකිය හැකි බව මග පෙන්වන්නන් හා අතරමග හමුවූවන්ගේ කතා බහින් වැටහිණි. දැව ජාවාරම ජයටම යන බවට වෙනත් සාක්ෂි උවමනා නොවූ බැවින් අපි යළි කන්ද පහළට බැසිමු. සමහර ස්ථානවල දැව කපා හෙලා මාස කිහිපයක් ගත වී තිබු බව පෙනී ගියේ ඉතිරි කර ගොස් තිබු පිටපලු වසාගෙන වැවී තිබු වැල් ගාල් හේතුවෙනි.

සමහර බීට්ටු වන නිලධාරින් නිල ඇඳුමින් පැමිණ දැව පැටවූ අවස්ථා දුටු ගම්වැසියන් මේ ගමනේ දී අපට හමුවිය. ඒ පිළිබඳ විමසීමටත් පෙර ඇල්ලූ දැව තොගයක් පටවන බව ජනතාවට පැවසීමට තරම් මේ නිලධාරින් කළබල වන බව ද එහිදී දැන ගන්නට ලැබිණි.

සිංහරාජ වනාන්තරයේ නිල මඟපෙන්වන්නන් පත් කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟිනි. මෑතක දී එවැනි පත්වීම් පහක් ලංකාගම තරුණයන් පසදෙනෙකුට දී තිබේ. එයින් දෙදෙනෙකු පසුගිය සමයේ ගෝනුන් දඩයම් කිරීම්, සුදුවඳුරන්ට වෙඩි තැබීම්, රක්ෂිත මසුන් ඇල්ලීම්, වැනි වනාන්තරය පිළිබඳ චෝදනාවලට වැරදිකරුවන් වී දඬුවම් ලැබූ අය වෙති. එහෙත් ඔවුන් දෙදෙනාට චරිතවත් පුද්ගලයින් බවට පොලිසියෙන් දුන් සහතික මත වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව තනතුරු දී තිබේ.    

ගිංගඟ අයිනේ වනාන්තරවලින් කපන ලී ගෙන යාමේ අපූරු ජාවාරමක් ද මෙහි දී අනාවරණය කරගත හැකි විය. මේ ජාවාරම ගැන වන නිලධාරින් නොදන්නේ ද නොදන්නා ලෙස සිටින්නේ ද යන්න ගැන නම් අපට නිසි වැටහීමක්  ලබා ගන්නට නොහැකි විය. මෙහි දී සිදුවන්නේ උණගස් කපා පාරුවක් බැඳීමයි. උණගස්වලින් බැඳෙන විශාල ප්‍රමාණයේ පාරුවෙහි යට පැත්තේ හොරෙන් කැපූ මිල්ල හෝ වටිනා කඳක් බඳිනු ලැබේ. ගඟට දැමූ විට මිල්ල කඳ නිසා පාරුව හොඳින් බර තබා පාවෙයි. එහෙත් එහි වටිනා දැව කඳක් ඇතැයි කිසිවෙකුටත් පෙනෙන්නේ නැත. පහළට පැද එන පාරුව ගිංතොට දී නවතා උණ ලී වෙනමත් වටිනා දැව කඳන් වෙනමත් විකුණන පාරුකරුවෝ බසයක නැගී යළි ගමට යති.

අප මේ සඳහන් කරන්නේ දැව ජාවාරම් කරුවන් ගෙන යන උපක්‍රම කිහිපයකි. මීට වඩා බොහෝ උපක්‍රම තිබිය හැක. කවර උපක්‍රම යෙදුවත් වන නිලධාරින්ට හොරෙන් මේ ජාවාරම ගෙන යන්නට  බැරි බව එහි කළ ගවේෂණවලින් හෙළිවූ කරුණකි.

මේ පිළිබඳව අදහස් දක්වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ, වනය කැපීම වළක්වන්න අමාරු බවකි.

“ එක් නිලධාරියකුට හෙක්ටයාර් 2000ක් විතර බලන්න දීල තියෙනවා. තවත් රාජකාරි සමග මේ රාජකාරියත් කරන්න ඕන. මීට අවුරුදු හතළිහකට පනහකට කලින් කැපුණ තරම් දැන් කැළෑව කැපෙන්නේ නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගහක් කපනවා දැක්කොත් දැන් මිනිස්සු ෆේස්බුක් දානවා. නැත්නම් ෆොටෝ ගහනවා. ඇත්තටම දැන් කැලේ කපන්නේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට විතරයි.” යැයි ද ඔහු කියා සිටියේය.

වන නිලධාරින්ගේ විශාල හිඟයක් නොමැති බවත් වන නිලධාරින් 541 දෙනකු සිටින අතර එයින් 360 දෙනෙක් කේෂ්ත්‍ර රාජකාරි කරන බවත් හෙතෙම කියා සිටියේය.  

ඔහු කියන  පරිදි වන විනාශයන් දැනුම් දෙන්නට ලංකාගම වැනි ගම්මානවලට තවමත් දුරකතනයක් භාවිත කරන්නට හෝ පරිගණකයක් භාවිත කරන්නට දුරකතන සංඥා නැත. තිබුණත් ගමේ ජාවාරම්කරුවන්ගේ ජාවාරම් දැනුම් දී “ඉල්ලාගෙන කන්නට” ගම්වැසියන් සුදානම් නැතිවා විය හැක. අනෙක් කරුණ වන්නේ නිලධාරින්ගේ ආශිර්වාදය ඇතිව කරන ජාවාරම් නැවැත්විය නොහැකි වීමය.

හෙක්ටයාර් 11000 ක්ව තිබු සිංහරාජ වනාන්තරය දැන් හෙක්ටයාර් 40400 ක් වී තිබේ. දැන් ප්‍රමාණවත් වන නිලධාරින් යෙදවිය නොහැකි නම් තව තවත් වනාන්තර සිංහරාජයට එක්කළත් පලක් නැත. එමෙන්ම නිලධාරින්ට පමණක් වනය රැකිය නොහැකිය. ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය අත්‍යවශ්‍යය.

විනීතා එම්. ගමගේ

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි