විශ්ව සාහිත්‍යයේ ප‍්‍රබල ක්ෂේත‍්‍රයක් නියෝජනය කරන රුසියානු සාහිත්‍යය චම්පු කාව්‍ය නොවන එහෙත් පද්‍යයෙන් ලියූ නවකතා ප‍්‍රවර්ගයක් සකසාගෙන තිබිණි. මෙම ප‍්‍රභේදය වූ කලී ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් සාහිත්‍යයෙහි ලා ප‍්‍රචලිත කරන ලද්දේ රුස්ලාන් සහ ලූද්මිලා, ඉයුජින් ඔනෙජින් ආදී කෘති රචනා කරමිනි. 
 
පුෂ්කින්ගේ කෘති ඔහුගෙන් පසුව ආ ගෝර්කි, තෝල්ස්තෝයි, දොස්තයොස්කි ඈ ලේඛකයන්ගේ අවධානය දිනාගත් බව ඔවුන් ආභාසය ලැබූ කෘති පරිශීලනයේදී පෙනී යන කරුණකි. උදාහරණයක් වශයෙන් පුෂ්කින්ගේ ‘බෙල්කින්හි කතා’වල එන ඇතැම් රචනා උපක‍්‍රමවලින් ඇනා කැරනිනාහි ඇතැම් කොටස් සකසා ගැනීමට හුරුව ලද බව වරක් තෝල්ස්තෝයි සටහනකින් දක්වා ඇත. පුෂ්කින් මතු නොව ප‍්‍රංශ ලේඛකයන් පවා ඔවුන්ගේ අවධානය දිනාගත්තේ එවකට ප‍්‍රංශ රුසියානු දේශාන්තර සබඳතාවන්හි ඵල ලබාගනිමිනි. 
 
පද්‍යයෙන් ලියූ නවකතා රුසියාවේ ප‍්‍රකටවෙමින් ආ අවධියක පුෂ්කින් විසින් ජිප්සීස් (1824) නම් කෘතිය රචනා කරන ලදී. මෙය ඔහු සිය නමින් තොරව මුද්‍රණය කර රුසියාව පුරා ව්‍යාප්තව කර ඇත. රුසියාවේ එවක පාලනය අධිකාරියට විරුද්ධව මත දැරූවකු වශයෙන්ද, සාහිත්‍යයික පුරෝගාමියකු වශයෙන්ද ඇලෙක්සැන්ඩර් පුෂ්කින් සෙසු ලේඛකයන් අතර කැපී පෙනිණි. එසේ වුවත්, පුෂ්කින්ගේ කාව්‍ය සංග‍්‍රහයක් සිංහල බසට පරිවර්තනය වන පළමු අවස්ථාව මෙය බව ඩබ්ලියු. ඒ. අබේසිංහ ශූරීහු ‘අහිකුණ්ඨිකයෝ’ පෙරවදනෙහි සඳහන් කරති. 
 
‘මේ කවි අවුරුදු 180ක් තරම් පැරණි යැයි සිතනවිට මේ ප‍්‍රමාදය සමාව දිය නොහැකි තරම්ය’

පුෂ්කින් රුසියාවේ සුරංගනා කතාන්දර සම්බන්ධයෙන් ලියූ කවියක් රුසියානු ප‍්‍රකාශන ලෙස පළව තිබූ ‘රස කතා’ නම් කෘතියෙහි මුල් පිටුවෙහි යොදා තිබිණි. එහෙත් කෘතියක් වශයෙන් පුෂ්කින්ගේ කවි පරිවර්තනය කර පළවීමක් සිදුව නැත. ඩබ්ලියු. ඒ. අබේසිංහ විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය 2016දී පළමුව මුද්‍රණය කර ඇත. පුෂ්කින් සහ අහිකුණ්ඨිකයෝ නිර්මාණය සම්බන්ධයෙන් පිටු 10කට වැඩි විස්තර දැක්වීමක් කෘතිය ආරම්භයේදී එන බැවින් අප එහි කොටස් උපුටාදැක්වීම අවැසි නොවේ.

සෙම්ෆිරා නම් අහිකුණ්ඨික යුවතිය සමග පේ‍්‍රමයෙන් බැඳෙන අලේකෝ නම් ඉඩම් හිමි රුසියානු තරුණයෙක් සිය නාගරික දිවියෙන් නික්ම එම රැළ සමඟ එක්වෙයි. නිදහස් අහිකුණ්ඨික දිවියත්, සුවපහසු නාගරික දිවියත් සසඳන ඔහු සෙම්ෆිරාට අසීමාන්තිකව ආලය කරයි. නැගෙනහිර යුරෝපයේ වූ ඓතිහාසික රාජ්‍යයක් වන මොල්ඬේවියාවේ, බෙසරාබියා නම් ප‍්‍රදේශයේ ග`ගක් අසළ අහිකුණ්ඨික ස්ත‍්‍රීහු රාත‍්‍රී ආහාරය සකසමින්ද, ළමෝ සෙල්ලම් කරමින්ද සිටිති.  අහිකුණ්ඨික කූඩාරම් ඉදිරියේ වලසුන් බැඳ ඇති අතර, ඔවුන්ගේ ජන ගී පසෙකින් ඇසේ. බූරුවන් සිටින, කූඩාරම් ඉදිවෙන, නැවත ඒවා ගලවා දමා සංචාරක ජීවිතයක තතු මෙම කෘතියේ ආරම්භයේදී දැක්වෙන්නේ මෙලෙසිනි.
 
”ඉහළට නැග යන ගිනිදලූ දැල්වෙන
කූඩාරම තුළ පවුලේ හැමදෙන
සැඳෑ බොඳුන සකසති නිති හැඟුමින
අසුපෙළ පසුවෙති තණකොළ උලමින”

සෙම්ෆිරාගේ සිත වෙනස් වේ. තමා නව පෙම්වතෙකුට ආලය කරන බව අලේකෝට ද පියාටද ඒ බව දන්වයි. ඇගේ පියා ඔහුගේ පැරණි පෙම්කතාවද බෑණාට කියයි. මාරියුලා නම් සෙම්ෆිරාගේ මව සහ ඔහුගේ කතාන්දරයයි. මාරියුලා නව අහිණ්ඨික කඳවුරක පුද්ගලයකුට ආලය කර, ඇගේ දියණිය තමා සමඟ දමා ගිය බව ඔහු පවසයි. ‘මගේ වාහෙ මගේ වාහෙ - නපුරුයි නුඹ මහලූයි නුඹ’  ලෙසින් මාරියූලා ගැයූ ගීය සෙම්ෆිරාද ගයයි. සෙම්ෆිරා සිය නව පෙම්වතා සමඟ සිටින සන්ධ්‍යාවකදී අලේකෝ එම පුද්ගලයාවද ඇයවද මරා දමයි. අවසානයේ සෙම්ෆිරාගේ පියා සිය රැළෙන් ඔහුව නෙරපයි. මෙය වූ කලී ග‍්‍රීක ඊඩිපස් නාට්‍යයේ පරිදි අනාවැකිය එලෙසින්ම සිදුවීමේ ස්වභාව දරන්නකි. එනම් ඉපැරණි අහිකුණ්ඨික ගීයෙන් අවසානයේ අවාසනාවන්ත යමක් සිදුවීමේ ඉරණම් පෙරළියේ සංකේතයත් ලෙස ක‍්‍රියාකිරීමය. රැය පහන්ව අරුණ උදාවන මොහොතේදී අහිකුණ්ඨික ශෝකාන්තයට මවා පෑමට පුෂ්කින් කදිම වර්ණනයක් යොදාගනී. 

”අරුණ නැගෙන සඳ
රැයේ වලාපෙළ
රක්ත වර්ණ රේඛාවෙන් බැබැළුණි...”


”සීත කාලය එළඹෙන්නට මත්තෙන්
මිහිදුමැති උදා කල
බිම්යායෙන් නගියි උඩට
කොක්කු රෑනක් හඬාගෙන...”

රුසියාවේ අහිකුණ්ඨික දිවිය ඩබ්ලිව්. ඒ. අබේසිංහගේ පරිවර්තනයෙන් සුන්දර නිර්මාණයක් බවට පත් වේ.  අනුඅංක 10ක් යටතේ මෙම කාව්‍ය නිර්මාණය සමන්විත අතර එහිදී අහිකුණ්ඨිකයෝ 18-19 සියවස්වලට අයත් වියත් වහර ඇසුරු කරති. මෙම කතාන්දරය සෙම්ෆිරා, ඇගේ පියා සහ අලේකෝ  යන  තිදෙනා අතර වන සංවාද මාලාවක් වශයෙන් අහිකුණ්ඨිකයෝ රචනා වේ. නාට්‍යාකාර සිදුවීම් ද ජවනිකා වශයෙන් නොබෙදතත් එවැනි වාග්චිත‍්‍ර ද මැවීමට සමත්ය. බයිරන්ගේ කාව්‍යයන්ගෙන් ආභාසය ලැබූ බව සැලකෙන ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ සාටෝප විරහිත අව්‍යාජ නිදහස් හැඟීම් ප‍්‍රකාශිතය. එහි හමාරකීම නම් කොටස යටතෙහි රුසියාවත්, එම රැලේ ඉතිහාසයත් සංක්ෂිප්තව විවරණය කරන පැදිපෙළකින් අහිකුණ්ඨිකයෝ පද්‍යය සමාප්ත වේ. එයින් ඝාතන, පේ‍්‍රම වෘත්තාන්ත, මිත්‍යා මත ආදියෙන් සැකසුණු අහිකුණ්ඨික දිවිය සෙම්ෆිරාගේ මරණයෙන් නොපැවතී දිගින් දිගටම සංචාරක ස්වභාවයෙන් ගමන් ගන්නා බව සහෘදයාට පසක් කරවයි. පුෂ්කින්ගේ කෙටි කාව්‍ය නිර්මාණ කිහිපයක්ද මෙහි ඇතුළත් වේ. ඒවායේ අවසානයේ නිර්මාණයේ විස්තරය ද කෙටියෙන් කතුවරයා දක්වා ඇත.

පුෂ්කින්ගේ ජිප්සීස් ඇසුරින් ජෝර්ජ් බිසේ, කාමන් නමින් ඔපෙරාවක් ද නිර්මාණය කර තිබූ බව, මේ ගැන එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද ලිපියක සඳහන් වේ. එනයින් බලන කළ අහිකුණ්ඨිකයෝ පැදිපෙළ ලද ජනප‍්‍රසාදය පැහැදිලිය.

මැක්සිම් ගෝර්කි, මකාර් චුද්‍ර (1892) නමින් ලියූ කෙටිකතාවද රුසියාවේ අහිකුණ්ඨිකයන් ඇසුරින් ලියූ කතාන්දරයකි. කේ. ජී. කරුණාතිලක විසින් පරිවර්තනය කරන ලදිබිම්ගෙයි සිරකරුවා’ පොතේ මෙම කෙටිකතාව පළමුවරට ඇතුළත්ව ඇත. මේ වනවිටත් 25වන මුද්‍රණය දක්වා පළවෙමින් පවතින එම කෘතිය, 19වන සියවසෙහි එදිරිවීර සරච්චන්ද්‍ර, දැදිගම වී රුද්‍රිගු, ජී. එස්.බී. සේනානායක වැනි පිරිසකගේ පරිවර්තන අතරෙහි විදේශීය ලේඛකයන්ගේ කෙටිකතා සංග‍්‍රහයක් වශයෙන් වැදගත් කාර්යභාර්යයක් ඉටුකර තිබිණි. 

මකාර් චුද්‍ර නම් මහලූ අහිකුණ්ඨිකයා එක්තරා පුද්ගලයකුට කියන පැරණි කතාන්දරයක් ඊට විෂය වේ. කෙටිකතාවේ කථකයා ඔහුගේ කතාව අසා සිටින්නාය. මකාර්චුද්‍ර රද්දා නම් අහිකුණ්ඨික සූරූපී කාන්තාව සහ ලොයිකො නම් වංශවත් තරුණයකු වටා ගෙතේ. මෙහි සජීවී සිතුවම් මැවෙන තරමෙහි විශිෂ්ට පුද්ගල රූපණයක් ලොයිකෝ සම්බන්ධයෙන් ගෝර්කි ඉදිරිපත් කරයි. යොවුන් බවින් සවිමත්, පේ‍්‍රමාතුර ලොයිකෝ සෝබර්, කේ.ජී. කරුණාරත්නගේ භාෂාවෙන් යළිදු ජීවය ලබයි.
                     
”ඔහුගේ රැවුළ දිගටම වැඩිලා කෙස් රොදවල් එක්ක පැටලෙමිනුයි තිබුණේ. ඇස් තරු වගේ දිලිසුණා: හරියට ඉරු එළිය වගෙයි, දෙයියනේ, ඔහුගෙ හිනාව! ඔහුයි අස්සයයි දෙන්නාම එකම යකඩ කඳකින් කපලා තිබුණා වගෙයි. කූඩාරමේ ගිනි ගොඩින් නගින එළියේ ලේ කඳක් වගේ රතට රතේ ඔහු හිටගෙන හිටියා. දත් දිලිසුණා හිනාවෙනකොට. මට හෙණ ගහන්න  ඕන ඇත්තටම මම මට වැඩිය එවිට ඔහුට ආදරය නොකළා නම්!”

මෙම කතාන්දරය අවසානයේ පුෂ්කින්ගේ නිර්මාණයේ මෙන් රද්දාව ලොයිකෝ මරන අතර, ලොයිකෝව රද්දාගේ පියා විසින් මරනු ලැබේ. පුෂ්කින්ගේ කෘති කියවා රුසියාවේ බොහෝ ලේඛකයන් ආභාසය ලැබූ හෙයින් අහිකුණ්ඨිකයෝ පද්‍ය නිර්මාණය අනුව මෙය රචනා වූවකැයි සිතේ. පුෂ්කින්ගේ පද්‍යය අවසානයේ ඇති වළා වර්ණනයට සමාන වර්ණනයක් ලොයිකෝ ගයන ගීයේ ඇතුළත් වෙයි. සමූහ ගායනයක් වශයෙන් පාඨක සවනෙහි දෝංකාර නැංවෙන මෙම ගීය බලන්න.

”හෝ! හෝ! හෝ! අරුණු උදයෙහි රත් පෑය
අලසව අප නිදන’තර පැතිරී යාය
විළිබරව අපි රතුවීමට පෙර පලායමු!”

පියාත් දියණියත් අතර වන ඉලෙක්ට‍්‍රා සංකීර්ණය ද සිහිකරවමින් රද්දාගේ පියා සිය බෑණා මරන අතර, සෙම්ෆිරාගේ පියා සිය බෑනාව මරා දමයි. රමණයේ මරණය තේමාත්මකව බැදෙන මෙය ගාර්ෂියා ලෝකාගේ සඳ ළඟ මරණය’ (බ්ලඞ් වෙඩින්) වේදිකා නාට්‍යය, එමිල් සෝලාගේ ‘සරාගී’ නවකතාව සහ යුකියෝ මිෂිමාගේ දේශපේ‍්‍රමය කෙටිකතාව සිහිකැඳවයි. 

මෙම කෙටිකතාව චිත‍්‍රපට අධ්‍යක්ෂක එමිල් ලොටියානු විසින්ද ජිප්සි කෑම්ප් වෑනිෂස් ඉන් ටු ද බ්ලූ’ (1976) නමින් සිනමාපටයකට නගනු ලබයි. කදිම අහිකුණ්ඨික ජන ගී ගයමින් විනෝද වන යුවතියද, ඔවුන් දැන සිටි අසනීප සුවකිරීමේ බලයන්, මිථ්‍යා විශ්වාස ආදිය ද වන රුසියාවේ පාර්ශ්වයක් මෙයින් නිරූපිතය. පසුකලෙක මෙම සිනමාපටය සහ රුසියානු සාහිත්‍යය ඇසුරු කළ චාරුක සුරවීර ‘ඉවාන් පවුලූෂා‘ ගීතය රචනා කළ බව එම ගීය සංගීතවත් කළ පිරිස සමඟ කළ සංවාදයක දැක්වේ.

 "කැම්පස් එකේ සෝවියට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබුණා. ඒකේ ”ජිප්සි කැම්ප් වැනිෂශ් ඉන් ටු ද බ්ලූ” කියන චිත‍්‍රපටය පෙන්නුවා. ඒ චිත‍්‍රපටිය හැදුවේ ගෝර්කිගේ ”මකාර් චුද්‍ර” කෙටි කතාවෙන්. අපි ඒ පොතත් කියවලා තිබුණා. ඊට පස්සේ රුසියන් නව කතා පොත් ගොඩක් කියවලා චාරුක තමා සිංදුව ලිව්වේ”

“දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ

බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා
ඇයි හොරැහින් මදෙස බලන්නේ...”

රුසියානු සාහිත්‍යයේ නිතර ඇසගැටෙන නාමයක් වන ඉවාන් ඇසුරින් ලියන ලද මෙම ගීයට විවිධ අර්ථකතන ඉදිරිපත්ව ඇති අතර, බැලලයිකාව වැනි සංගීත භාණ්ඩ සහ රුසියානු අනන්‍යතාව හගවන වදන් හේතුවෙන් මෙය විශ්ව සාහිත්‍යයට හිතැති ලාංකේය පාඨකයන්ගේ නොතිත් අවධානය ද දිනාගත්තේය.
 
ඩිල්ෂානි චතුරිකා දාබරේ