පොලිසියට දේශපාලන බලපෑම් එල්ලවීම, පළාත් සභාවල අනාගතය, මැතිවරණ ක්‍රමයේ වෙනස, දේශපාලන පලිගැනීම් කොමිසම, රුපියලේ කඩාවැටීම, ආහාරවල වසවිස, බලශක්ති සැලැස්මේ අනාගතය හා ශ්‍රීලනිපය ආණ්ඩු බලය ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙවර ‘සඳුදා හමුවෙන්’ අදහස් දක්වන්නේ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතායි.

 

ප්‍රශ්නය - අධිකරණයට බලපෑම් නැති නීතිය නවන්නෙ නැති ක්‍රමයක් හදන එක මේ ආණ්ඩුව දීපු ප්‍රධාන පොරොන්දුවක්. හැබැයි දැන් ඇමැතිවරුන්ගෙ ලියුම්වලට ඒ.එස්.පී ලා මාරු කරනවා. පොරොන්දු දුන්නේ මෙහෙම ක්‍රමයක් ගැනද?


පිළිතුර - එක රටක් තුළ එක නීතියක් කියන්නෙ සංකල්පයක්. නූපන් දරුවන්ගේ අනාගතය සුබවාදී කිරීමට නම් සියලු දෙනාට සාධාරණය ඉටුවීමට නම් එක රටක් තුළ එක නීතියක් අවශ්‍යයි. හැබැයි දැන් පොලිස් කොමිසමක් නෑ. ගම්වාසීන්ට යම්කිසි නිලධාරියකු ගැන දේශපාලන අධිකාරියට හොඳ නරක දෙකම ඉදිරිපත් කරන්න පුළුවන්. 

මම දන්න තොරතුරු අනුව මේ නිලධාරියා ගැන චෝදනා රැසක් තිබුණා කියලයි අරුන්දික ඇමැතිතුමා මතුකළේ. ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අදාළ අංශවලට යොමුකිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක්. හැබැයි පොලිසිය බාර ඇමැතිවරයාත් පොලිස්පතිවරයාත් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. උදාහරණයකට ප්‍රාදේශීය ලේකම්වරයකු ගැන චෝදනා තිබෙනවා නම් එය අපි දිසාපතිවරයාට යොමුකළ යුතුයි. එය අපේ රාජකාරිය. හැබැයි අපට තීන්දු ගන්න බෑ. එනිසා පැමිණිලි පාර්ශ්වයට වගේම නිලධාරියාටත් සාධාරණයක් කිරීමට අදාළ ඉහළ නිලධාරින් කටයුතු කළ යුතුයි. 

ප්‍රශ්නය - පළාත් සභා මැතිවරණය වෙනුවට ඒවා අහෝසි කළ යුතු බවටම ආණ්ඩුවේ ඇතැම් නායකයන් කියනවා. ශ්‍රීලනිප මතය මොකක්ද?


පිළිතුර - ඉතා ඉක්මනින් තියන්න ඕනෑ කියන එක අපේ මතයයි. පළාත් සභාවල බලය බෙදීම ගැන උදාහරණයකින් කතා කළොත් උතුරු මැද පළාතේ මහ ඇමැතිවරයා අනුරාධපුරෙන් පත්වුණොත් පොළොන්නරුවට අසාධාරණයක් වෙනවා. පොළාන්නරුවෙන් පත්වුණොත් අනුරාධපුරයට අසාධාරණයක් වෙනවා. ඒ නිසා පළාත් සභා බලය වැඩිදුරටත් විමධ්‍යගත කර දිස්ත්‍රික් සභා ක්‍රමයක් ඇතිකළ යුතු යැයි  අලුතින් සැකැසෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අපි යෝජනා කළා. එහෙත් මේ සෑම ක්‍ෂේත්‍රයක්ම ආමන්ත්‍රණයට හා නියෝජනයට මහජන නියෝජිතයන් සිටිය යුතුයි. මොකද පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පමාව සමග මහජනයාට ලැබිය යුතු සේවාවල විශාල අඩුවක් අපි දකිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ආසන ක්‍රමයට ගොස් දෙවැනි මන්ත්‍රණ සභාවක් නිර්මාණය කළ යුතු යැයි යෝජනා කළා. අලුත් ව්‍යවස්ථාව කඩිනමින් එනවා නම් අලුත් විදියට මැතිවරණය පැවැත්වීමත් එය පමා වෙනවා නම් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවටත් අපි යෝජනා කළා. 

ප්‍රශ්නය - එක කොට්ඨාසයකට එක පක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු ඉදිරිපත් කෙරෙන ක්‍රමයක් අන්තර්ගත නව මැතිවරණ ක්‍රමයක් ගැන පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. ශ්‍රීලනිප ඊට එකඟ ද?

පිළිතුර - කැබිනට් මණ්ඩලය සමස්ත යෝජනාවට එකඟ වුණත් මේ අපේක්ෂකයන් තිදෙනාගේ යෝජනාවට පක්ෂ කීපයක්ම සිය විරෝධය පළ කළා. අපිත් ඒ කණ්ඩායමේ සිටින්නේ. ඒ නිසා පක්ෂ නායක රැස්වීමක් කැඳවා අපි මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 

ප්‍රශ්නය -දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවූ කොමිසම දේශපාලන පලිගැනීම් කොමිසමක් බවට පත්වෙලා යැයි විපක්ෂය චෝදනා කරමින් උසාවි ගියා. දැන් නීතිපතිවරයාත් කොමිසම සීමාව පැනලා කටයුතු කරලා යැයි කියනවා. පැවැති ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

පිළිතුර - දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමට පත්කරන හැම කොමිසමක්ම පත්කළ යුතු ක්‍රමවේදයක් තිබෙනවා. මාර්ගෝපදේශ තිබෙනවා. මේ කියන කොමිසම තුළ ඒ මාර්ගෝපදේශ අනුගමනය කර නැත්නම් මොන ආණ්ඩුව කළත් ඒක වැරැදියි. දේශපාලන පලිගැනීම් කියන්නේ යම්කිසි ආණ්ඩුවක් බලයේ සිටිද්දී තමන්ගේ පක්ෂයේ නොවන කෙනෙකුට හිමි දෙයක් අහිමිකිරීමයි. ඒ හැර කොච්චර ප්‍රමාණයක් තමන්ගෙ පක්ෂෙට වැඩ කළාද ලැදීද කියන කාරණය මත තනතුරු කීපයකින් ඉහළ යන්න බෑනෙ. අපේ රටේ සියලු ආයතන කඩාවැටිලා තිබෙන්නේ මේ වගේ වැරැදි නිසා. උදාහරණයකට දැන් ලංගමයේ රියැදුරන් අඩුයි. මොකද සැලකිය යුතු පිරිසක් ඉහළ තනතුරුවලට ගිහින්. සැබැවින්ම දේශපාලන පලිගැනීමකට ලක් වී නම් සාධාරණයක් ඉටු විය යුතුයි. හැබැයි දේශපාලන පක්ෂයකට ඇති ලැදිකම නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ පටිපාටිවලින් පැනලා ප්‍රමෝෂන් දීම වැරැදියි. 

ප්‍රශ්නය -ඩොලරය රුපියල් 202කේ සීමාවත් පැනලා උද්ධමනය ඉහළ ගිහින් යුද්ධය නිමාවන් පස්සෙ වැඩිම රැකියා වියුක්තිය වාර්තා වෙන තැනට රට ඇවිල්ලා. අඩුම තරමින් ආණ්ඩුවට ආර්ථික අර්බුදයට විසඳුමක් තිබෙන බවක් පේනවාද? 

පිළිතුර - ලෝකයේ සියලු රටවල් අද ආර්ථික අපහසුතාවයක සිටින්නේ. කොරෝනා වසංගතයත් සමග අපත් විශාල ආර්ථික අපහසුතාවයකට පත්වෙලා යැයි පේනවා. ඒත් මම කියන්නේ මේක අපි රටක් විදියට නැගී සිටින්න ඕනෑ වෙලාවක් මිසක් කාටවත් ඇඟිල්ල දිගුකරන වෙලාවක් නෙවෙයි. උදාහරණයකට ගිය ආණ්ඩුව කාලේ කිව්වේ ඊට අවුරුදු දහයකට කලින් ගත් ණය බරක් වෙලා ඒවා කළමනාකරණයට තව ණය ගන්න වුණා කියලයි. ඊටපස්සෙ මේ ආණ්ඩුව ඇවිත් කියන්නේ අපි කරගහන්නේ ගිය ආණ්ඩුවෙ ණය බර කියලයි. ඉතින් මේ තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුවලට බැන්නට වැඩක් නෑ. අපි බලන්න ඕනේ ආණ්ඩු එහෙම ගත්ත ණය ජනතාවට කොයිතරම් ආර්ථික ලාභයක් ලැබෙන විදියට ආයෝජනය කරලා තිබෙනවද කියලයි. ඒ නිසා අපි සියලු දෙනා එකතු වී විසඳුම් සෙවිය යුතුයි. කෘෂිකර්මාන්තය, අපනයනය හරහා දේශීය ආර්ථිකය දියුණු කරන අතරේම එන්නත් ටික ඉක්මනින් ලබාදීලා සංචාරක කර්මාන්තයට අත තියන්න පුළුවන් නම් ඒක අපට හොඳ අවස්ථාවක්. 

ප්‍රශ්නය - ජනතාවට බඩු මිලදීගන්න තිබෙන හැකියාව අඩුවෙද්දී මිලදී ගන්න තිබෙන බඩුවලත් විස රසායන අන්තර්ගත වෙලා කියල හෙළිදරව් වෙනවා. ජාතික ආරක්ෂාවට මේ කාරණාත් ඇතුළත් නේද?


පිළිතුර - ලෝකය සමග විවෘතව ගනුදෙනු කිරීම එක්ක තමන් කන්නෙ බොන්නෙ පාවිච්චි කරන්නෙ මොනවද කියන දේවල් ගැන ජංගම දුරකතනයෙන් දැනගන්න තැනකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා විමසිලිමත්භාවය වැඩිවෙලා තිබෙනවා. ඒක ඉතාම හොඳයි. එතැනදි ජනතාවගෙ ආරක්ෂාව අවශ්‍ය නීති සම්පාදනය ආදී දේ ආණ්ඩුව කඩිනමින් කළ යුතුයි. ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රතිඅපනයනය නොකර ඒවාට දඩයක් ගහලා රාජසන්තක කළ යුතුයි. මොකද අපි මේ සමාගම් අසාදුලේඛනගත කළත් දේශපාලන අධිකාරියේ හෝ රාජ්‍ය නිලධාරින්ගේ සහායෙන් වෙනත් නමකින් එන්න පුළුවන්. අපි මේ වෙලාවේ ජනතාව තුළ විශ්වාසය ඇතිකරන අතරේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කළ යුතුයි. මේවාට දැඩි දඬුවම් නොදී පාලනය කරන්න බෑ. 

ප්‍රශ්නය - දිගුකාලීන විදුලි ජනන සැලැස්මක් නැතිවීමත් ඉංජිනේරුවන් හා ප්‍රතිපත්ති සකසන්නන් අතර ගැටුමත් විදුලිබල ක්‍ෂේත්‍රයේ දීර්ඝකාලීන අර්බුදයක්. ඔබ විෂය බාරගත්තට පස්සේ මොනවද වුණේ?

පිළිතුර - එහෙම අර්බුදයක් තිබෙන එකනෙ සමාජයේ පොදු මතය වෙලා තිබුණේ. ඒත් ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්ති වෙනම අමාත්‍යාංශයක් පිහිටුවලා අපට ඉලක්ක ලබා දීම සමග 2030 වෙනකොට සීයට 70 ක් පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාවය ලැබෙන ආකාරයට සැලසුම් සකස් කළ හැකි වුණා. මේ ආණ්ඩුව යටතේ පළමු වැනි මෙගාවොට් 150  මාර්තු 2වැනිදා ටෙන්ඩර් කරලා ලබාදුන්නා. 2022 දෙසැම්බර් වෙද්දී එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගමට බලාගාරයක් ව්‍යෘපෘතිය යටතේ මෙගාවොට් 80 කට වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති 840ක් ටෙන්ඩර් කළා. වසර තුනක් තුළ ගෙවල් ලක්ෂයකින් සූර්ය බලාගාර හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 500 ක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගමට බලාගාරයක් තුළින් බලාගාර 7000 කින් මෙගාවොට් 700 ක් අපේක්ෂිතයි. බලශක්ති උද්‍යාන පහක් සැලසුම් කරලා මන්නාරම උද්‍යානය ක්‍රියාත්මක කර මෙගාවොට් 10ක් අරගෙනත් ඉවරයි. ඒ වගේම සුළං හා පාවෙන සූර්ය පැනල බලාගාර සැලසුම් ද ක්‍රියාත්මකයි. පළමු වැනි එල්.එන්.ජී බලාගාරය විදුලිබල මණ්ඩලයේ බලාගාරයක් හැටියට වසර තුනක් ඇතුළත එනවා. රටේ ජනතාව වෙනුවෙන් අවම මිලකට විදුලිය නිෂ්පාදනය කර දීම අපේ බලාපොරොත්තුවයි. විදුලිබල මණ්ඩලයත් සුනිත්‍ය බලශක්ති අධිකාරියත් දැන් එකම කණ්ඩායමක්. 

ප්‍රශ්නය - නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ හා පොදුපෙරමුණ අතර තිබුණේ මතභේදයක්. ආණ්ඩුවේ ගමන ගැන කුඩා පක්ෂ නගන හඬ අධිපති මතවාදයකට එරෙහිව ගෙනියන අපේ එකමුතුභාවයේ ශක්තියක් යැයි ශ්‍රීලනිප මහලේකම්වරයා කිව්වා. ඇත්තටම මොකක්ද මේ හවුල? 

පිළිතුර - ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නේත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වෙන්නේත් රටේ ජනතාව වෙනුවෙන් මහා වෙනසක් කිරීමේ ඕනෑකමකින්. බණ්ඩාරනායක මහතාගේ පටන් ශ්‍රීලනිපය හිටගත්තේ රටේ ජනතාවට ජයග්‍රහණ ලබාදීමටයි. රටේ සම්පත් විකුණනවාට අපි පැහැදිලිවම විරුද්ධයි. ලෝකය වෙනස්වීමත් සමග ඇතැම් ප්‍රතිපත්ති කාලානුරූපීව වෙනස් විය යුතු වුවත් රජයට කරන්න පුළුවන් ව්‍යාපාර රජය විසින් කර රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ආණ්ඩුවට තමන්ගෙ මතය කියන්න පුළුවන්. ඒ වගේම පක්ෂයක් හැටියට ඊට පක්ෂද විපක්ෂද යන්නත් ඒවා සාකච්ඡා කර අපේ මතය කියන්න අපි පැකිලෙන්නේ නෑ. 

ප්‍රශ්නය - අපේ සංවිධායකවරුන් මන්ත්‍රීවරුන් ගෝඨාභය ජනාධිපතිවරයා පත්කරන්න විශාල කැපකිරීමක් කළත් බල්බ් එකක් දාගන්න බැරි තත්ත්වයකට ඔවුන් පත්වෙලා කියලා ශ්‍රීලනිප මහලේකම්වරයා කියනවා. ගිවිසුම්ගත වෙලා සන්ධාන හදලා මෙහෙම වෙන්නේ ඇයි?

පිළිතුර - අර්බුදයක් තිබෙනවා. ප්‍රශ්නයක් නැතුව නෙවෙයි. ඒත් අපි බල්බ් ප්‍රශ්නය උඩ රටේ ජනතාවට දුන් පොරොන්දුවලට පයින් ගහන්නේ නෑ. ඇත්ත කාරණය 94 සිට සන්ධානවල මහා පාර්ශ්වය වුණේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය. ඒ නිසා සන්ධානවලට නායකත්වය දීලා අපිට හොඳ පුරුද්දක් තිබෙනවා. ඒ නිසා මේ ගැටලු දෙස උපේක්ෂාවෙන් බලලා අවසාන ප්‍රතිපලය ලෙස රටේ ජනතාවට සාධාරණයක් කිරීම ශ්‍රීලනිප අපේක්ෂාවයි. 

ප්‍රශ්නය - 2025 දී බලය ලබාගැනීම ගැන කියමින් පක්ෂයෙන් මාතලේ ප්‍රකාශය නිකුත් වුණා. ශ්‍රීලනිපය මේ අර අදින්නේ කොතැනටද?

පිළිතුර - මේ රටේ ඕනෑම දේශපාලන පක්ෂයක අවසාන බලාපොරොත්තුව එක්කෝ ප්‍රාදේශීය සභාවක, පළාත් සභාවක නැත්නම් ආණ්ඩු හෝ ජනාධිපති බලය ලබාගැනීමනෙ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රට අවුරුදු විස්සක් තිහක් පාලනය කළ ජනාධිපතිවරු බිහිකළ පක්ෂයක්. පැහැදිලිවම අපේ බලාපොරොත්තුව අනාගතයේ ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් හදන එක.

ප්‍රශ්නය - හැබැයි අපිට වැදගත් ජනාධිපතිවරණය නෙවෙයි මහමැතිවරණය යැයි 2019 දි කියපු ශ්‍රීලනිපයට පාර්ලිමේන්තුවේ ලැබුණේ මන්ත්‍රීධුර 14යි. රාජ්‍ය බලය වැනි විශාල ඉලක්කයකට මේ මන්ත්‍රීධුර කීපය තියාගෙන යන්න පුළුවන්ද?

පිළිතුර - ඉතාම පැහැදිලිව. ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 17 ලැබුණේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයග්‍රහණය ලැබෙන්නේ නෑ. ඒත් අපි ඒ වෙලාවේ කල්පනා කළේ ගෝඨාභය මහත්තයා පරද්දලා එහෙටත් බෑ මෙහෙටත් බෑ වැඩක් කරන්න නෙවෙයි. අපේ බලාපොරොත්තු හා ප්‍රතිපත්ති එක්ක පෑහෙන ජනාධිපතිවරයකු සමග ගමනක් යන්නයි. පොහොට්ටුවේ ලක්ෂ පනහට අපෙන් ඡන්ද ලක්ෂ දාහතක් සහ තවත් ලක්ෂ දෙකක් හැටියට ලක්ෂ හැට නවයක් ලැබුණේ ඒ අනුවයි. බැරි වෙලා හරි ශ්‍රීලනිපය ඒ වෙලාවෙ ඒ තීරණය ගත්තේ නැත්නම් ගෝඨාභය ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්නේ නෑ. ඒ නිසා මන්ත්‍රීධුර දාහතරද කියන එක නෙවෙයි. ශ්‍රීලනිපය තීරණාත්මකයි කියලා රටම දන්නවා. 

ප්‍රශ්නය -හැබැයි ජනාධිපතිවරයා දිනවන්න ඔබලා සමග එක පෙළට සටන් කළ ජාතික නිදහස් පෙරමුණේ නායකයා ඉලක්ක කරගෙන ආණ්ඩුවේ පසුපෙළින්ම අඛණ්ඩ දේශපාලන ප්‍රහාරයක් එල්ලවෙනවා. ශ්‍රීලනිපය මේ වැඬේට එකඟද?

පිළිතුර - නෑ. කාගෙන් හරි වැඩක් අරගෙන ඔහුට අනවශ්‍ය විදියට තලා පෙලා දමනවා නම් ඒක කවුරු කාට කළත් වැරැදියි. ඒක විමල් වීරවංශ මහත්තයට වෙන්න පුළුවන්. වාසුදේව මහත්තයට වෙන්න පුළුවන්. දිනේෂ් ගුණවර්ධන හෝ අසංග නවරත්න මහත්තයට වෙන්න පුළුවන්. තමන්ට මැතිවරණයකදි දුන් සහාය වටිනාකමින් මාකට් කරලා බලය ගත්තට පස්සෙ පීඩා කරනවා නම් කාට කළත් වැරැදියි. 


සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ