20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලන සාකච්ඡාව දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. ආණ්ඩු පක්ෂයෙන්ම මෙන්ම විපක්ෂයෙන් ද පළ වන අදහස් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී රටට අවශ්‍ය දේ කුමක්ද යන්න ගැන අප විමසා බැලිය යුතුවේ. ඒ සමගම එල්ල වන විවේචන ගැන විමසීම ද අවශ්‍ය වේ. විශේෂයෙන්ම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාගේ තත්ත්වය පියන් කෙනෙකුගේ තත්ත්වයට බාල වන බවට නැගී ඇති චෝදනාව එහි ප්‍රමුඛ කරුණකි.

වාගාලංකාරමය වශයෙන් ප්‍රකාශ වුවද චෝදනාවේ ඇති බර අනුව ඒ ගැන වැඩි විමසීමකින් මෙම සාකච්ඡාව අපට ආරම්භ කළ හැකිය.

අගමැතිවරයාගේ බලය ගැන කතා කරද්දී පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදූ තත්ත්වය මෙහිදී වැදගත්ය. 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලුවහොත් එවිට සිටියේ ද බලරහිත අගමැතිවරයෙකි. 1977 දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලැබුණේය. එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුණේ ජේ.ආර්. ජයවර්ධනයි. විධායක ජනාධිපතිවරයා වූ බැවින් පක්ෂ ව්‍යවස්ථාවෙන්ම නායකත්වය හිමි විය. මේ නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාට දේශපාලනික වශයෙන් ද විශාල බලයක් හිමි විය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. විසි වැනි සංශෝධනය සම්මත වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. මේ නිසා විසි වැනි සංශෝධනයෙන් 1978 මුල් ව්‍යවස්ථාවේ තිබූ විධායක බලතල අතිබහුතරයක් නැවතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වුවද දේශපාලන වශයෙන් පාලනයකට ලක්වේය යන්න මගේ මතයයි. මේ නිසා බලය කිසියම් ආකාරයකට තුලිත කළ හැකිය. අගමැතිවරයාගේ බලය අඩු වුවත් එම ධුරය පියන් කෙනෙකුගේ තත්ත්වයට වැටෙනු ඇතැයි කිව නොහැකිය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වුවහොත් ඔහු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සම කළ හැකිය. එහෙත් එවැනි තත්ත්වයක් වර්තමාන දේශපාලනයේ නැත. ඒ නිසා විසි වැනි සංශෝධනයෙන් එවැනි තත්ත්වයක් අගමැතිවරයාට අත්වන්නේ නැත.

ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ අයිතිය තිබිය යුතුය යන්න ඇතැමුන්ගේ මතයයි. 19 වැනි සංශෝධනයෙන් පුරවැසියන්ට එම අවස්ථාව දී තිබිණ. මෙය අප විමසා බැලිය යුත්තේ වර්තමාන රජයට පැවැරී ඇති වැඩ කොටසත් සමගය. බොහෝ දෙනෙකු තැකුවේ නැතත් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් අතරින් ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට හිමි වේ. නොපෙනෙන සතුරකු සමග පවා කාර්යක්ෂම ලෙස මේ ආණ්ඩුව සටන් කළ බව කවුරුත් පිළිගන්නා කාරණයකි. සංවිධානාත්මක අපරාධ කල්ලි නොහොත් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීම තවත් කරුණකි. සංවිධානාත්මක අපරාධ කල්ලිවල ප්‍රධාන මූලස්ථානය බවට අද පත්ව තිබෙන්නේ බන්ධනාගාරයයි.

ඔවුන්ගේ ධන බලයට සියලු දෙනා යට වූ තත්ත්වයක් පසුගිය කාලයේ දැකිය හැකි විය. ජනතාව තුනෙන් දෙකක බලයක් ආණ්ඩුවට දී ප්‍රබල විධායක ජනාධිපතිවරයකු අපේක්ෂා කළේ මේ කියන වුවදුරු මුලිනුපුටා දැමීමටය. එහෙත් උද්ගත වන පරිසරය හමුවේ ජනාධිපතිවරයාට සෘජු තීරණ ගැනීම් අපහසු කරවීමට අවශ්‍ය නම් මේ අධිකරණයේ නඩු පැවරීම යොදාගත හැකි යැයි මම සිතමි.

බොහෝ දෙනකු අමතක කරන ඊළඟ කාරණය වන්නේ අපට හුරු පුරුදු ඡන්ද ක්‍රමය නැවත ඇති කිරීමය. පැවැති ආණ්ඩුව 19 වැනි සංශෝධනය ගෙනආවේ එම පොරොන්දුව දෙමිනි. එහෙත් සිය පාලනයේ වසර පහ අවසන් වනතුරුම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. දැන් ඒ වෙනස කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රබල ආණ්ඩුවකි. එකම දේශපාලන භාෂාව කතා කරන්නන් කැබිනට් මණ්ඩලයේ සිටීමත් ව්‍යවස්ථාදායකය හා විධායකය එකම කණ්ඩායමක් නියෝජනය කිරීමත් එහිදී වැදගත්ය. ග්‍රීක යුගයේ දාර්ශනිකයන් පැවසූ දේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය  හා වෙනත් සම්භාව්‍ය දේශපාලන කාරණා ජනතාවට අදාළ නැත. අවශ්‍ය ද නැත. ව්‍යවස්ථා විශාරදයන්ගේ විවාද ද වැඩක් නැත. ජනතාවට අවශ්‍ය රටේ දැවෙන ප්‍රශ්න විසඳාගැනීමටය. උදාහරණයකට ගතහොත් කොවිඩ් 19 වසංගතය හමුවේ ලෝක ආර්ථිකයම අර්බුදයකට ගොස් ඇත. මෙහි සෘජු බලපෑම ශ්‍රී ලංකාවට ද එල්ලවීම නොවැලැක්විය හැකිය. දේශීය හා විදේශීය ණය බර වැඩිවීමත් විදේශ ආයෝජන හිඟකමත් විදේශ ඉපැයුම් කඩාවැටීමත් ඇතුළුව ආර්ථික අංශයේ ප්‍රශ්න රැසකි. මෙම ප්‍රශ්නවලට සංයුක්ත විසඳුම් සෙවිය යුතුය. එමෙන්ම ලංකාවේ අපනයන වෙළෙඳපොලේ ප්‍රධාන අංශ වන තේ වැනි භෝගවලට සීනි කවලම් කිරීම වැනි මාෆියා ද පාලනය කළ යුතුය. එවැනි මාෆියා රජයට බාහිරව මෙන්ම අභ්‍යන්තරයේ ද තිබේ. මත්ද්‍රව්‍ය මර්දනය පැවැරී ඇති නාකොටික් නිලධාරීන්ම මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සම්බන්ධවීම ඊට හොඳ නිදසුනකි.

නාකොටික් හා බන්ධනාගාර සිදුවීම්වලට සම්බන්ධ වී ඇත්තේ අතලොස්සක් වුවද දෙපාර්තමේන්තු වශයෙන් එයින් රජයට ඇති කළ අපකීර්තිය සුළුපටු නැත. රාජ්‍ය සේවය යනු මේ රටේ පාලනයේ මධ්‍යස්ථානයයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සේවා රැසක්ම ජනතාවට භුක්ති විඳින්නට ලැබෙන්නේ රාජ්‍ය සේවය ගුණාත්මක වුවහොත් පමණි. කෙසේ වෙතත් අයථා වැඩ නතර කර රාජ්‍ය සේවය පිරිසිදු කිරීමට නව ආණ්ඩුව අත ගසා තිබේ. එය හොඳ ප්‍රවේශයකි. එමෙන්ම ලංකාවේ පිහිටීම හා ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්නා ආණ්ඩුකරණයක අවශ්‍යතාව ද එවැනි කරුණකි. උදාහරණයකට ගතහොත් ශ්‍රී ලංකාව යනු හොඳින් හිරු එළිය වැටෙන හිරු මුදුන් වන රටකි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම ගැන මෙතෙක් වැඩි අවධානයක් යොමු කළේ නැත.

මේ වනවිට එම අඩුපාඩු මගහැර පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීම ගැන ආණ්ඩුව අවධානය යොමු කර ඇත. ඒ සඳහා ද ජනාධිපතිවරයා බලවත් කිරීම අවශ්‍යය. ජනතාවට අවශ්‍ය වන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්න වන මෙකී කාරණා විසඳීමටය. එහෙත් මෙම බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම දුෂ්කර වී තිබෙන්නේ ඒ ඒ ක්‍ෂේත්‍රවල සිටින බලවතුන්ය. මෙම බලවතුන් එම ක්‍ෂේත්‍රවල ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමය. ජාතික ධනයෙන් විශාල පංගුවක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට වෙන්කර ගන්නා මෙවැන්නන්ගෙන් රටට සිදුවන හානිය අතිමහත්ය. මෙවැනි පිරිස් පාලනයට ඉතා ශක්තිමත් ආණ්ඩුවක් රටකට අත්‍යවශ්‍යය. ශක්තිමත් ආණ්ඩුවක් යනු විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද එකම දේශපාලන භාෂාව කතා කරන කණ්ඩායමකි.

2015 සිට 2019 දක්වා පැවැති යහපාලන ආණ්ඩුව දුර්වලවීමට බලපෑවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර නොගැලපීමයි. ජනාධිපතිවරයා එක් දේශපාලන පක්ෂයක් නියෝජනය කරද්දී අගමැතිවරයා නියෝජනය කළේ තවත් පක්ෂයකි. මේ නිසා දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිමය නොගැලපීම් මෙන්ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ද පෙරළා බලපෑවේ රටේ අගතියටය. අර්බුදකාරී දේශපාලන වටපිටාවක පවා ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නොවීය. පාර්ලිමේන්තුව අස්ථාවර වෙද්දී පවා ජනාධිපතිවරයාට සිදුවුණේ බලාගෙන සිටීමටය. ඊට හේතු වූයේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට තිබූ බලය 19 වැනි සංශෝධනය මගින් සීමා කිරීමය. මේ නිසා පාර්ලිමේන්තුවට වසර හතරහමාරක් වනතුරු බලා සිටින්නට ජනාධිපතිවරයාට සිදු විය. එසේ නොවී කල්තියා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබුණි නම් කොවිඩ් 19 ගෝලීය වසංගතයක් වෙද්දී කල්තියා ආණ්ඩුවට සූදානම්වීමට ද අවස්ථාව තිබිණ. කෙසේ වෙතත් දැන් වූ දේ වී අවසානය. කළ යුත්තේ සිදු වූ වැරැදි නොපමාව නිවැරැදි කරගැනීමය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද අපට වූ ඓතිහාසික වැරැදි ගොන්නෙන් තවත් එකකි. එය ඉන්දියාව විසින් අප මත බලහත්කාරයෙන් පටවන ලද සංශෝධනයකි. රටක බහුතර ජනතාවකට අවාසිසහගත නීති ප්‍රතිපාදනයක් අසල්වැසි ප්‍රබල රටක අනියම් බලපෑමෙන් ක්‍රියාවේ යෙදීමකි. ඊට කිසිදා ජනතා අනුමැතියක් ලැබුණේ නැත. යම් හෙයකින් ජනමත විචාරණයක් පැවැත්වූයේ නම් ඊට ජනතාව අනුමැතිය නොදෙන බව ඒකාන්තය. දැන් අභාවයට ගිය ද එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ පැවැති ප්‍රධාන තම දේශපාලන පක්ෂයකි. එහි පූර්වගාමී නායකයන් වූ ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන මහත්වරුන් ඉඳුරාම කීවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බවය. බුද්ධ ශාසනය රැකගෙන පෝෂණය කිරීම රජයේ යුතුකම බවය. එය සැබෑවකි. අද වනවිට සියලුම දේශපාලන පක්ෂ ප්‍රමුඛ ලෝකයාම මෙම මතය පිළිගෙන තිබේ. එනිසා භූතානය අනුදත් මග යන්නට ශ්‍රී ලංකාවට නොහැකියාවක් නැත. එය අපේ අනන්‍යතාවයයි. මුස්ලිම් රටවල ඉස්ලාම් ආගමට මුල් තැන දෙන්නාක් මෙන් බෞද්ධ දර්ශනයට මුල් තැන දීමට අපට හැකිය. මෙවර ව්‍යවස්ථා සංශෝධනයේදී අප සැලකිලිමත් විය යුත්තේ මෙවැනි කාරණා ගැන යැයි මම සිතමි.

 විධායක ජනාධිපතිධුරය දුර්වල කිරීමට මෑතකාලීන උදාහරණය යහපාලන ආණ්ඩුව නම් 1978 සිට 2015 දක්වා රටේ ප්‍රශ්න මෝරා ගියේ විධායක ජනාධිපති ධුරය යටතේම නොවේදැයි ඇතැම්මු ප්‍රශ්න කරති. බැලූ බැල්මටම එහි තර්කයක් තිබේ. එය හොඳ ප්‍රශ්නයකි. සැබැවින්ම එවක විධායක ජනාධිපතිධුරය භාවිත වුණේ රටට කුමක් වුවද තමන්ගේ බලය රඳවා ගැනීම ගැන සිතාය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතාටත් පසුව මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් අවස්ථා දෙකකදී ජනවරම් ලැබුණේ මෙම වැරැදි වෙනස් කිරීමටය. රට යළි නිවැරැදි මාවතට ගැනීමටය. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ අපේක්ෂා නොකළ තරමේ ජයක් මහමැතිවරණයෙන් හිමිවුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි කරදුන්නේ ඒ අරමුණු පෙරදැරිවය.

 ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් තිබේ. එය සිංහල බෞද්ධ සංස්කෘතිය බැව් කාදිනල්තුමන් එළිපිටම ප්‍රකාශ කර තිබේ. එනිසා අප අපේ නීති සම්පාදනයේදී ඒ ගැන ද සිතිය යුතුවේ. ඊට හොඳ උදාහරණයක් නම් අපේ කලාපයේම පිහිටි භූතානයයි. බෞද්ධයන් සියයට හැත්තෑ පහක් පමණ සිටින භූතානයේ පැවැතියේ රාජාණ්ඩුය. භූතානය කිසිදු ආක්‍රමණිකයකුට යටත් වූයේ ද නැත. එහෙත් කාලයාගේ ඇවෑමෙන් රාජාණ්ඩුව වෙනස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව රාජ්‍ය පාලනයේ අවශ්‍යතාව පාලකයන්ට දැනිණි. වසර හතක් තිස්සේ වෑයම් කර 2008 දී තමන්ටම කියා භූතානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත්තේ ඒ අනුවය. භූතාන රාජ්‍ය පාලනය විය යුත්තේ බෞද්ධ දර්ශනය අනුව බව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. මෙය කතෝලික ආගමිකයන් සිටින රටවලදී ද වෙනසක් නැත.

උදාහරණයකට බටහිර සම්ප්‍රදාය අනුදත් පිරිස් උපදේශයට ගන්නා ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැක්විය හැකිය. එහි ප්‍රස්ථාවනාවේ සඳහන් වන්නේ සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බවය. එම රටේ ජනතාවගෙන් සියයට 90 ක් පමණ ක්‍රිස්තියානි ආගමිකයෝය. ඒ නිසා එම සඳහනෙහි වරදක් නැත. භූතානය කළේ ද එයයි. ඉතින් පෙර අපර දෙදිග අනුව බැලුව ද අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි ගැනීමට ප්‍රවේශයක් තිබේ. ඒ සඳහා වූ බලය ජනතාව විසින් ආණ්ඩුවට දෙනු ලැබ ඇති බැවින් අවැසි වන්නේ වගකීමෙන් කටයුතු කිරීමය.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)