විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන මා මිත්‍ර චරිත හේරත් මන්ත්‍රීතුමාගේ ගිය සිකුරා දා ‘කිවි දා දැක්ම’ කොළමේ ලිපිය වනාහි එකී සංශෝධනය ගැන බල දේශපාලන ප්‍රවේශයකින් මිස ජනරජ ප්‍රවේශයකින් ලියූවක් නොවේ. ඒ ලිපිය කියවනු දුටු මිතුරෙකු මගෙන් ඉතා සැර ප්‍රශ්නයක් ඇසුවේය. ඔයා විස්ස ගැන මුකුත් නොලියන්නේ බයට නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ප්‍රතිසංස්කරණ ගැන වටේ යනවා මිස කෙලින්ම විස්ස ගැන ලියන්නේ නැත්තේ බය ට නේද? යනු ඒ ප්‍රශ්නය. එය සැර සහ නරක ප්‍රශ්නයකි. ඔහු ගැඹුරින් හිතන මතන අයෙක් නිසා මේ ප්‍රශ්නය සැරය. මා ආණ්ඩුවට බයෙන් සිටිනවා යැයි ඔහු සහ එවැනි අය සිතන නිසා ඒක මට නොව ආණ්ඩුවට නරකය. මා මෙවර ලිපිය ලියන්නේ ඒ නරකෙන් ආණ්ඩුව බේරා ගැනීමේ අරමුණ ද සහිතව ය. එසේම සාපේක්ෂව ආණ්ඩුවලින් ස්වාධීන, එහෙත් ජනරජයෙන් ස්වාධීන නැති, ජනරජ කොමිෂන් සභා වඩාත් ගුණාත්මකව, විධිමත්ව සහ මධ්‍යස්ථව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ආණ්ඩු විසින් ගත යුතුය යන මතයේ පිහිටා ය.

මගේ ප්‍රවේශය කිසිදු බල-දේශපාලන කඳවුරක හෝ කණ්ඩායමක අරමුණු සමඟ සමපාත වන්නක් නොවේ. එය ජනරජවාදී ප්‍රවේශයකි. අප ජීවත් විය යුත්තේ රාජ්‍යයක නොව ජනරජයක ය. ජනරජවාදය රාජ්‍යවාදය ට එරෙහිය. රාජ්‍යවාදයට වඩා වෙනස් ය. ප්‍රජාතන්ත්‍රවාදී ය.

රාජ්‍යය රජුන්ගේ ය. ජනරජය ජනතාවගේය. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය දක්වන ආකාරයට රාජ්‍ය යනු රජකම ය, රාජබලය ය, රජුට අයත් දේශය ය. ඒ අනුව අප තවමත් භාවිත කරන රාජ්‍ය ය යන පදය රජුන් සමඟ අනන්‍ය වන නිසා සහ ප්‍රකාශ වන නිසා අප ජීවත්වන සමාජ අවධියේ ජාතික දේශපාලන ආකෘතිය හෝ මොඩලය සඳහා වඩාත් ගැලපෙන්නේ ජනරජය යන්න බව මගේ අදහස ය. ඒ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන බව ඇත්තකි. එහෙත් එය තවම ව්‍යවහාරය ට ඇවිත් නැත. ජනප්‍රිය නැත. ඉන් පෙනී යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බොරුවක් ය යන්න නොව ඒවා මහජනයාගෙන් ඉතාම ඈත කළාපයක පිහිටා තිබෙන බව ය. මහජනයා සමඟ සමීපව ගනුදෙනු නොකරන බව ය. නමුත් න්‍යායිකව සහ වාචිකව නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජනයා විසින් නිර්මාණය කරන ජනයාට අයිති දෙයක් ය. එවැනි ව්‍යවස්ථාවක් මගින් පාලනය වන රටක් යනු රාජ්‍යයයක් නොවි ජනරජයක්’ ය.

ආණ්ඩුවක් හෝ ආණ්ඩු යනු ජනරජයක කොටසකි. එය බොහෝ ජනරජ ආයතන අතර තිබෙන එක ආයතනයකි. එනම් ආණ්ඩුවක් යනු ජනරජයක එක ආයතනයක් මිස අනෙකුත් ජනරජ ආයතන මත මුළුමනින්ම ආධිපත්‍යය ය පැතිරවීමට අයිතිය ඇති, හැකි සහ පැතිරවිය යුතු ආයතනයක් නොවේ. අනෙකුත් ආයතනවලට ආණ්ඩුවෙන් සාපේක්ෂව ස්වායත්තවීමේ අයිතියක් ඇත සහ එය ආණ්ඩුවක් විසින් පිළිගතයුතුය, තහවුරු කළ යුතුය. එහෙත් ආණ්ඩු ද ඇතුළු එම ආයතනවලට, සාපේක්ෂවවත් ජනරජයෙන් ස්වායත්ත විය නොහැකිය. මන්ද ඒවා සියල්ල අනුගමනය කළ යුත්තේ සහ ක්‍රියාකළ යුත්තේ ජනරජ අභිලාෂ නිසාය. එසේම ඒ අභිලාස අනිවාර්යයෙන්ම ජන සුබ සෙත සඳහාම හේතුවිය යුතුය. කොමිෂන් සභා වැනි ජනරජ ආයතනවල ස්වාධීනත්වය යනු අර ඉහතකී ආණ්ඩුවලින් සාපේක්ෂ ස්වාධීනත්වයය. ඒ කොමිෂන් සභාවලට කිසිදු හේතුවක් නිසාවත් ජනරජයෙන් ස්වාධීන විය නොහැකිය.

එහෙත් ආණ්ඩුවකින් සාපේක්ෂ ස්වාධීනත්වයක් ඒවාට තිබිය යුතුය. ඒ ජනරජය වෙනුවෙනි. එහි උත්තරීතරභාවය වෙනුවෙනි. එසේම එකී ජනරජ ආයතන ඒ ස්වාධීනත්වය භාවිත කළ යුත්තේ පක්ෂග්‍රාහිව විරෝධීව, අත්තනෝමතිකව, අලසව සහ උඩඟු‍ව නොවේ. ඒවා ක්‍රියාකළ යුත්තේ බල-දේශපාලනයෙන් මිදී වඩාත් ප්‍රශස්ත ජනරජයක් ගොඩනගාගැනීමේ සහ ශක්තිමත් කිරීමේ අරමුණු සහිතවය. එසේ වනවිට සහ එසේ වීමට ඒවාට ජනසමාජයේ-ජනරජයේ ගෞරවයත් ආණ්ඩුවල රැකවරණයත් ලැබෙනු ඇත. ලැබිය යුතුය. එහෙත් එසේ වීමට හැකි සහ අදාළ ප්‍රජාතාන්ත්‍රික සංස්කෘතිය මෙරට තුළ තවමත් මුල් බැස ගෙන නැත. එසේම එවැනි සංස්කෘතියක් ජනරජය තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය උනන්දුව සහ කැපවීම ආණ්ඩුවලටත් නැත, අනෙකුත් ජනරජ ආයතනවලටත් නැත. ජනරජ කොමිෂන් සභාවලට එරෙහිව නොකඩවා සිදුවන චෝදනා කිරීම්, අහෝසි කරන බවට වූ තර්ජනය කිරීම් සහ නටන්න බැරි වුණේ පොළොව ඇද නිසා ය වැනි කතා වනාහි ඒ සංස්කෘතිය නැතිකමේ ප්‍රකාශ වීම් ය.

එහෙත් ඊට තවත් හේතු තිබේ. මෙරට ආණ්ඩුකාරකම්, තානාපතිකම්, සභාපතිකම් බොහෝ දුරට වැඩකළ නොහැකි අය ලඟින වැඩිහිටි නිවාස බවට, පරාජිතයන්ගේ දුක ශෝකය නිවන තැන් බවට, නිතර කකුල් දෙකේ දැවටෙන බළලු‍න්ගේ ලිප්බොක්කවල් බවට සහ සහචර සම්බන්ධකම් නඩත්තු කරන තිප්පොළවල් බවට පත්වන ආකාරය දශක ගණනාවක් තිස්සේ අපි අත්දැක ඇත්තෙමු. ඒවා එසේ පවතින්නාසේ, ඇතැම් කොමිෂන් සභාවල සභාපතිකම් සහ සාමාජිකකම් ලබා දීම ද ඒ අයුරින් ම සිදුවීම මෙරට ජනරජ කොමිෂන් සභා වැනි ආයතනවලින් අපේෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වන එක හේතුවකි.

අනෙක් හේතුව වන්නේ බොහෝ කොමිෂන් සභාවල සාමාජිකයන් වනාහි ඒ කොමිසම අදාළ ක්ෂේත්‍රයේ වැඩකොට විශ්‍රාම ගිය අය වීමය. සර්ලා කොමිසමේය, ගෝලයෝ පහළ කන්තෝරුවලය. ඉතින් මොන ස්වාධීනත්වයක්වත් අපේක්ෂා කළ නොහැකිය.

ඊළඟ හේතුව වන්නේ මෙරට ජනරජ සේවයේ ඇති කුහකකම සහ අලස කමය. එහෙත් ඒ කුහක කමත් අලස කමත් ජනරජයේ ජනතාවට එරෙහිව මිස ස්වකීය ආදායම් මාර්ග වැඩි කරන සහචරයන්ට එරෙහිව නොවේ. තම දරුවන් විදේශීය විශ්වවිද්‍යාලවලට යවන්න, විශ්‍රාම ගිය පසු අක්කර හතළිහේ පනහේ ගොවිපොළවල් කරන්න, අක්කර දහයේ දොළහේ හෝටල් කරන්න ආදායම් සොයන ජනරජ සේවාවේ බොහොමයක් ඉහළ නිලධාරීන් සේවා කාලය තුළ ජනතාවට සලකන්නේ පාරේ බල්ලන් තරම්වත් නොවටිනා වුන් ලෙස ය. ජනාධිපතිතුමා ම පසුගිය බදාදා නිවාස සංවර්ධන අධිකාරියේ දී අත් දකින්නේ මේ යථාර්ථයයි. ඉතින් එවැනි නිලධාරීන්ගෙන් මොන මධ්‍යස්ථ බවක් ස්වාධීනත්වයක් අපේක්ෂා කළ හැකි ද?  මෙරට කොමිෂන් සභාවල ඇතැම් දුර්වලතාවලට හේතු වී ඇත්තේ ඒවාය.

එහෙත් ඒ නිසා අප කොමිෂන් සභාවල ඇති ජනරජවාදී වටිනාකම් වීසි කළ යුතු නැත. ඒවා සමඟ කොමිෂන් සභා පටිපාටිමය වශයෙන් සහ හරයාත්මක වශයෙන් ශක්තිමත් කළ යුතුමය. ආණ්ඩු නිසා කොමිෂන් සභා හිර වුණා මිස කොමිෂන් සහා නිසා ආණ්ඩු හිර වුණේ නැත. එහෙම හිර වුණා නම් පසු ගිය මැතිවරණ දෙකේ දීම විශාල ජයග්‍රහණයක් පොදුජන පෙරමුණට එන්නේ නැත. ඒ ජයග්‍රහණය ආවේ ස්වාධීන ජනරජ කොමිසමක් ලෙස මැතිවරණ කොමිසම පවතිද්දී ය. ඒ කොමිසමේ සාමාජිකයෙකු වැඩ කළ ආකාරයත් සමහර කොමිෂන්වල ඇතැමුන් හැසිරුණු ආකාරයත් දුර්ගුණ සහිත බව ඇත්තකි. ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කොමිෂන් සභාවල බලය අඩු කිරීමෙන් හෝ අහෝසි කිරීමෙන් නොව, අඩුපාඩු සකස්කර ගැනීමට අවශ්‍ය විධිවිධාන සකසා ඒවා ශක්තිමත් ජනරජ (ආණ්ඩු නොව)  ආයතන බවට පත් කරමින් ය.
ලෝකයේ විධිමත් සහ දියුණු ධනපති, සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල ආණ්ඩු රාජ්‍යය බවට පරිවර්තනය වී නැත. (වලිගය විසින් බල්ලා නටවන්නේ නැත). ඒ වෙනුවට සිදුව ඇත්තේ ජනරජයේ (පැරණි අරුතින් රාජ්‍යයේ) ආණ්ඩුකරන ආයතන ආණ්ඩුවේ දේශපාලන ආයතන විසින් හිතුවක්කාරී ලෙස පාලනය කිරීමට බැරිවන ලෙස ශක්තිමත් විධිවිධාන සකස්කර ගැනීමය. ජනරජයක ජනතාවගේ පරමාධිපත්‍ය බලය සියල්ල ආණ්ඩුවකට පවරන්නේ නැත. ආණ්ඩුවකට හෝ ආණ්ඩුවලට පවරන්නේ ඉන් කොටසකි, එනම් සීමිත බලයකි. ඉතිරි කොටස් අනෙකුත් ජනරජ ආයතනවලට පවරන්නේ ඒ ආයතන සහ ආණ්ඩු  නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ බලය යළි තමන්ලා වෙත ගැනීමේ අයිතිය ජනයා සතුව තබා ගෙන ය. එසේ ම ඒ ආණ්ඩු ඇතුළු ජනරජ ආයතනවල ඇතිවිය හැකි ගැටුම් සහ අසමතුලිතතා විසඳා ගැනීමේ උපක්‍රමයක් ලෙස සංවරණ සහ තුලන මුලධර්ම ක්‍රියාත්මක කරමින් ය. නිසි ලෙස මනා සම්බන්ධීකරණයකින් යුත් ජනරජ ව්‍යවස්ථාවක් අවශ්‍යව වන්නේ ඒ සඳහා ය. එවිට ජනරජ ආයතන අතර නයි මුගටි වෛරය විසඳා ගත හැකිය. හැබැයි ඒ සඳහා අප රාජ්‍යවාදයෙන් සහ ආණ්ඩුවාදයෙන් මිදී ජනරජවාදයකට යා යුතු ය.

ආණ්ඩුවක සාර්ථකත්වය රඳා පවතින්නේ දිදුළන ජනතාවාදී තීරණ සහ කෙටිකාලීන ක්‍රියාමාර්ග මත පමණක් නොවේය. ඒවා කෙටිකාලීනව අවශ්‍යය. වැදගත් ය. එහෙත් එවැනි දෑ කෙටිකලකින් ජනයාට අමතකව යන්නේ එකකට පසුව එන එකකින් පළමු එක වැසීයන සාමාන්‍ය ස්වභාවය නිසා ය. ආණ්ඩුවක නියම සාර්ථකත්වය රඳා පැවතිය යුත්තේ, බරසාර හරයාත්මක ආකාරයෙන් ජනසමාජය ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් මුලධාර්මික සහ ජාතික ප්‍රතිපත්තිමය පදනම් ස්ථාපිත කිරීම, ඒවා තහවුරු කිරීම සහ ආරක්ෂා කිරීම මත ය. එනම් ජනරජයේ පවුරු පදනම් ශක්තිමත් කිරීම මත ය. එය ලේසි නැත. අභියෝගාත්මක ය. එම ක්‍රියාවලිය සිදුවිය යුත්තේ තිරසාර පදනමක පිහිටාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු ඒ මුලධාර්මික සහ ජාතික ප්‍රතිපත්තිමය පදනමේ සාරයය. මහපොළොව ය. අප එය බල-දේශපාලනයේ දඩ බිමක් බවට පත් කර නොගත යුතු ය. එහෙත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කළාප 1978 සිට අද දක්වාම බල-දේශපාලනයේ දඩ බිමකි. මගේ යෝජනාව එය අභය භූමියක් කරගත යුතු ය යන්න ය. ඊට මුල් පියවර තැබිය හැක්කේ අති බහුතර බලයක් තිබෙන ආණ්ඩුවකටය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට හේතු වී ඇති ජයවර්ධන ව්‍යවස්ථාව හරි මඟට ගැනීම හෝ හරි ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍යය බලය, ආණ්ඩුව සතුය. එහෙත් ඒ ආණ්ඩුව 1978 ජයවර්ධන උගුළේ’ හෝ 2015 යහපාලන උගුලේ’ නොවැටිය යුතු ය. ඒ උගුල් වනාහි, ඒවාට වැටුණොත්  ජාතික අපවාදයෙන් කිසි දා ගැලවෙනු නොහැකි ඒවා බව ආණ්ඩුව වටහා ගත යුතුම ය. මේ හරි මඟට ගැනීම හෝ හරි එකක් සම්පාදනය කර ගැනීම ජාතික අභිලාෂ මත ම සිදු කළහොත් කිසිවෙකුත් ඒ උගුල්වල නොවැටෙනු ඇත. ජාතික අපවාදයට ලක් නොවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය බල-දේශපාලනයෙන් දූෂිත වුවහොත් ඒ රටේ ඇත්තේ ජනරජයක් නොව හුදු සීමිත බලහවුලක් ය. 1978 සිට දිගටම සිදු වුණේ ඒ දේ ය. ගත යුතු මඟ නිසි ලෙස තෝරා ගැනීම ජනරජවාදයක් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක සහ ආණ්ඩුවල ජාතික වගකීමක් ය.

(***)

කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ
ධම්ම දිසානායක