සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ව්‍යාපෘතිය යටතේ සංස්කරණයෙන් ප්‍රකාශිත බුත්සරණ ග්‍රන්ථය ජනගත කිරීම මෙම මස 30 වැනිදා (අද) ප. ව. 2.00ට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.
 
සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන විද්වත්හු මෙහි දෙසුම් පවත්වති. උළෙල පැවැත්වෙන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව මේ සංස්කරණ කටයුත්ත සිදු කරයි. මහාචාර්ය රෝහිණී පරණවිතාන, මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර, ආචාර්ය ප්‍රේමසිරි නාගසිංහ යන අය බුත්සරණ නව සංස්කරණයට දායක වී සිටිති. මතු දැක්වෙන්නේ එය නිමිත්තක් කොටගෙන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රේමසිරි නාගසිංහ මහතා සමඟ කළ සංවාදයක සටහනකි.
 
මීට පෙර සංස්කරණ කිහිපයක් පළවී තිබියදීත් බුත්සරණ නැවත සංස්කරණය කිරීමේ අරමුණ කුමක්ද?
පොළොන්නරු යුගයේ විද්‍යාචක්‍රවර්තීන් විසින් රචනා කරන ලද බුත්සරණ නැමැති ගද්‍ය සාහිත්‍ය කෘතිය සුවිශේෂී කෘතියක්. මෙහි පූර්ව සංස්කරණ තිබියදී වුවත් යළිත් සංස්කරණය කළේ වඩාත් ශාස්ත්‍රීය හා මුල් කෘතියට හැකිතාක් ආසන්නතම ලෙස පෙළ සකස් කිරීම සඳහායි.  වර්තමාන පාඨකයන්ට මෙම කෘතියේ වැදගත්කම අවධාරණය කරනු පිණිස අදාළ සියලු විස්තර සහිත ප්‍රස්තාවතාවක් හා දුෂ්කර වචන සඳහා ගැටපදයක්ද සහිතව නිර්මාණය කර තිබෙනවා.
 
සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය ශාස්ත්‍රීය ක්‍රමවේද අනුගමනය කරමින්  කළයුතු සියුම් වූ කාර්යයක්. මුල් කෘතිය කවරක් දැයි නිශ්චිත වශයෙන් කිවනොහැකියි. අපට ලබාගත හැක්කේ පසුකාලිනව පිටපත් කරන ලද පුස්කොළ පිටපත්.  වරින් වර ඒවා පිටපත් කර තිබෙනවා.  මුල් කෘතිය බිහි වී බොහෝ කාලයකට පසුවයි ඒ පිටපත් ලිය වී තිබෙන්නේ. ඒ නිසා පසුකාලිනව ප්‍රතිනිෂ්පාදිත පිටපත්වල විවිධ වෙනස්කම් ඇතිවිය හැකියි.  සියලුම පිටපත්වල පාඨාන්තර පරිශීලනය කිරිමද දුෂ්කර ව්‍යායාමයක්.  එහෙයින් පිළිගත් ක්‍රමවේදය වන්නේ පළාත් හා ගුරුකුල නියෝජනය වන ලෙස ප්‍රමාණවත් පුස්කොළ පිටපත් සංඛ්‍යාවක් (අවම වශයෙන් 5ක් වත්) තෝරාගෙන මේ දක්වා පළ වී තිබෙන සියලුම මුද්‍රිත කෘතිද භාවිත කරමින් අධ්‍යයනය කිරීමයි.  
 
ඒවායේ පාඨාන්තර සියල්ල සටහන් කරගැනීමෙන් අනතුරුව මුල් කෘතියට හැකිතාක් ආසන්නතම රූපය (පදය) තෝරාගෙන පෙළ සකස් කළ යුතුයි.  තත් යුගයේ භාෂා සම්ප්‍රදාය, කතුවරයාගේ රචනා ශෛලිය, ප්‍රස්තුත විෂය යනාදි බොහෝ සාධක කෙරෙහි සංස්කාරකයාගේ සියුම් විමර්ශනය යොමු වුවමනායි. ඒ අනුව මුල් කෘතිය ප්‍රක්ෂේපණය කොට සංස්කරණය සම්පාදනය කළ යුතු වෙනවා.  පිටපත් කරන්නන් අතින් සිදුව ඇති සාවද්‍යතා සහ වෙනස්කම් පරික්ෂා කොට මුල් නිර්මාණයෙහි ඇතුළත් විය හැකි යයි නිගමනය කෙරෙන පාඨ ඇතුළත්ව මුල් කෘතියට සර්වසම සංස්කරණයක් සකස් කළයුතුයි.  විකල්ප පාඨ සටහන් කිරීමත් ඒවා අයත් පිටපත් කවරේදැයි දැක්වීමත් අනිවාර්යයි.  පාලි මූලාශ්‍රයන්ද භාවිත කරමින් ස්වකීය සංස්කරණ පාඨ තහවුරු කරගත යුතුයි.  
 
ඒ විධියට බැලුවාම පූර්ව සංස්කරණවල මෙබඳු ශාස්ත්‍රීය පදනමක පිහිටා නොමැති බව පැහැදිලි යි.  මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් නම් එකල ග්‍රන්ථ සංස්කරණ ක්‍රමවේදය ස්ථාපිතව නොතිබූ බවයි.  ඒ නිසා එකල පැවති අවශ්‍යතා සහ ශාස්ත්‍රීය ශික්ෂණය යටතේ ග්‍රන්ථ සංස්කරණය කර තිබෙනවා.  තත්වය එසේ වන  හෙයින් වර්තමාන සංවර්ධිත ග්‍රන්ථ සංස්කරණ ක්‍රමවේදය සමග තුලනය කරමින් පූර්ව සංස්කරණ විනිශ්චය කළ යුතු නැහැ. එහෙත් ශාස්ත්‍රීය වශයෙන් වඩාත් වැදගත් හා මුල් කෘතියට ආසන්නතම සංස්කරණයක්  සකස් කිරීමේ අභිප්‍රාය නිසා මෙම නවතම සංස්කරණය පළ කොට තිබෙනවා.  අත්තනෝමතික ලෙස පාඨ එක් කිරිම, වෙනස් කිරීම හෝ බැහැර කිරීම සංස්කරණ ක්‍රමවේදයට අනුගත නොවීමක්.
 
 ● සම්භාව්‍ය සාහිත්‍යය තුළ බුත්සරණ කැපී පෙනෙන්නේ ඇයි?
සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය කෘති අතර බුත්සරණ කැපී පෙනෙන්නේ භක්ති ගෝචර සම්ප්‍රදායට අනුගතව කරන ලද නිර්මාණයක් ලෙසින්.  කතුවරයා තුළ බුදුන්වහන්සේ කෙරෙහි පැවති අප්‍රමාණ ගෞරවය හා භක්තිය පාඨක සිත්වල රෝපණය කරවීම සඳහා කතාවස්තු සැලසුම්කරණය කළ විද්‍යාචක්‍රවර්තීන් වචන භාවිතයෙන් ඇඳි සිතුවම චමත්කාර ජනකයි.  නාටකීය ගුණ සපිරි වැනුම් අසන, කියවන භක්තිමත් ජනයා ඊට ආකර්ෂණය වූයේ නිරායාසයෙන්.  ග්‍රන්ථකරණය සඳහා උපමා භාවිතය ඉතා ඉහළින්ම භාවිත කළ කතුවරයා  ප්‍රස්තුතය අවධාරණය තීව්‍ර හා විචිත්‍ර කිරිමට සමත් වී තිබෙනවා.
 
සිද්ධි හා අවස්ථා කුළුගන්වා රූපාවලියක චලනයන් ඇසීමට, දැකීමට භාෂාව භාවිත කර තිබීම ද සුවිශේෂීතාවක්.  නාලාගිරි දමනයේදී මිනිසුන්ගේ වෙනස් වෙනස් චිත්ත වීථියත්, සිදුවීම කෙරෙන වීථීයත් මැනවින් රූපණය කොට ඇත්තේ ස්ථානගත භෞතික පරිසරය ද මිනිස් සිත ද විනිවිද දකිමින්.
 
බුත්සරණ භාෂා ශෛලිය මෙරට සාහිත්‍යයේ භාෂා පෝෂණයට කළ තීරණාත්මක මැදිහත්වීම කෙබඳුඳ?
පසුකාලීන ගද්‍ය භාෂාව සකස් වීමටත් නිර්මාණාත්මක ලේඛන සම්ප්‍රදායක අභ්‍යුදයටත් බුත්සරණ කෘතියෙහි උපයුක්ත භාෂා ව්‍යවහාරය හා ප්‍රයෝග බලපා තිබෙනවා.  විශේෂයෙන්ම චරිත සිද්ධි අවස්ථා  තත්වාකාරයෙන්; සජීවීව හා ළගන්නා ලෙස නිර්මාණය කොට තිබෙන බුත්සරණ කතුවරයා සිංහල භාෂාව ඔහු අතපත් සුනම්‍ය වස්තුවක් සේ මෙහෙයවා තිබෙනවා. අද්‍යතන තිර පිටපතක් සිහිපත් කෙරෙන නාලාගිරි දමනය, අංගුලිමාල දමනය බඳු කථාවල මවන වාග් චිත්‍ර පාඨක නෙත් අභියස චලනය වෙමින් ප්‍රස්තුතය කුළු ගන්වනවා. පුද්ගල සන්තාන ගත සිතිවිලි හා හැසිරීම් අනාවරණය කෙරෙන්නේ දසුන් මවමින්. පසුකාලීන ගද්‍ය රචකයෝ බුත්සරණ බස් වහරින් ආභාසය ලබමින් ගද්‍ය භාෂාව වඩ වඩාත් පෝෂණය කළා.  සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය බඳු කෘතිවල භාෂාව හා තුලනාත්මකව අධ්‍යයනය කරමින් ප්‍රස්තුතය තහවුරු කරගත හැකියි.
 
සිංහල සම්භාව්‍ය සාහිත්‍යය අධ්‍යයනය නූතන නිර්මාණ රචකයන්ට කරන බලපෑම කෙබඳුද?
වර්තමාන නිර්මාණ රචකයන්ට සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අධ්‍යයනය කිරීම මඟින්  ලබාගත හැකි පෝෂණය හා සංවර්ධනය ඉතා ඉහළයි. ඒ නිසා එය මඟ හැර යන්න බෑ. නූතන නිර්මාණකරුවාට අත්හළ නොහැකි සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය මඟින් ස්වකීය නිර්මාණාත්මක භාෂා කුසලතා ප්‍රවර්ධනයට සැලසෙන්නේ ඉමහත් පිටුබලයක්.  නිර්මාණකරණයේදී අත්‍යවශ්‍ය භාෂා ව්‍යවහාරය තේරුම් ගැනීම, වාග්කෝෂය පෘථුල කර ගැනීම, සංකල්ප රූප ජනනය සඳහා  භාෂා භාවිතය මනෝභාව අනාවරණය, අපේක්ෂිත ඉලක්කය වෙත පාඨකයා අභිප්‍රේරණය කරවීම තමාට අනන්‍ය භාෂා සම්ප්‍රදායක් ගොඩනඟා ගැනීම යනාදි  වූ බොහෝ ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය කළ යුතුම වෙනවා.  වර්තමාන පරම්පරාවට වඩාත් සංවේදී, ආකර්ෂණීය හා වැටහෙන ලෙස සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ අධ්‍යයනය සඳහා ක්‍රියාකළ යුතුයි.  එහි රස නොසුන් ලෙස කෙරෙන භාවිතයක දී ඊට ආකර්ෂණය වනු නියතයි.