රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
වෛද්‍ය හරිත අලුත්ගේ

මාර්තුවේ පළමුවැනි කොරෝනා රැල්ල පැමිණි විට රෝගීන් වාර්තාවීම සිදුවුණේ දවසකට පස් හය දෙනකු වශයෙන් මසකටම සියයක් දෙසීයක් වශයෙන් කිසියම් පරතරයක් සහිතවය. මේ නිසා එම සෑම රෝගියකුම ආවේක්ෂණය කර ඔවුන්ගේ මූලාශ්‍ර සොයා අවදානම තක්සේරු කිරීමට වැඩි කාලයක් ලැබිණි. එහෙත් දිනකට රෝගීන් සියයක් දෙසීයක් වාර්තා වන පසුබිමක එදා පැවැති මට්ටමින් වැඩ කිරීම අද වනවිට අපට අභියෝගයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට එදා කිසියම් මතවාදයක් දියත් කිරීමට අපට හැකි වූ අතර එහි ප්‍රතිඵලය රටට ලැබිණි. උදාහරණයක් හැටියට පසුගිය 17 වැනිදා රෝගීන් 70 දෙනකු වාර්තා වුව ද ඔවුන්ගේ මූලාශ්‍ර පිළිබඳ දත්ත අප සතුව නැත. ඒවා ඇත්තේ වසංගත රෝග විද්‍යා අංශය සතුවය. රට පවතින සංකීර්ණ තත්ත්වයේ හැටියට මෙම දත්ත පිළිබඳ නිසි අවබෝධයක් තිබීම වැදගත්ය. මන්දයත් මේ වනවිට දිස්ත්‍රික්ක විසි එකකටම කොරෝනා වයිරසය පැතිරී ඇති බැවිනි.

අපට ඇති බියනම් තැන් තැන්වලින් රෝගීන් වාර්තා වීම රෝගී පොකුරු බවට පරිවර්තනය වේද කියාය. උදාහරණයකට මතුගමින් එක් රෝගියකු වාර්තා වීමෙන් ආරම්භවූ රෝගීන් විසි ගණනක් දක්වා පරිවර්තනය වීම දැක්විය හැකිය. ඉදිරි සති දෙක තීරණාත්මකය. මන්දයත් මිනුවන්ගොඩින් වාර්තා වූ රෝගීන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන්ට වැළඳී තිබුණහොත් ඔවුන්ගේ බීජෞසන සමය මෙම සති දෙක නිසාය. එහෙයින් මෙම කාලයේදී නිවැරැදි තීරණ ගැනීමට බලධාරීන්ට වගකීමක් ඇති අතර ජනතාව ද හැකිතාක් පරෙස්සම් විය යුතුය. ආරක්ෂක හා සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ අලුතින් වාර්තා වන රෝගීන් මිනුවන්ගොඩ රෝගීන් සමග සම්බන්ධයක් ඇති බවටය. එනිසා කොරෝනා වයිරසය ලංකාවේ සමාජ ව්‍යාප්තියකට ගමන් කර ඇතැයි ප්‍රකාශ කිරීමට තරම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කලබල නැත. එහෙත් දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාත්මකව ඉහළ යෑම සමග තත්ත්වය සංකීර්ණවී ඉදිරියේදී කොරෝනා සමාජ ව්‍යාප්තියක් කරා යාමට ඇති අවදානම වෙන කවරදාටත් වඩා වැඩි බව අපි අවධාරණය කරමු. 

රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රටක් හැටියට ඇති සීමාකාරී සාධක ගැන ද අපේ අවධානය යොමු විය යුතුය. රෝගීන් සඳහා වූ ඇඳන් සංඛ්‍යාව එහිලා වැදගත් සාධකයකි. රෝගීන් සඳහා රෝහල් මෙන්ම ඇඳන් අවශ්‍ය අතර සංකූලතා ඇතිවුවහොත් යොමුකිරීමට දැඩි සත්කාර ඒකක ද අවශ්‍යය. දැඩි සත්කාර ඒකකවල ද සීමාවක් ඇති නමුත් වාසනාවකට එසේ දැඩිසත්කාර සේවා අවශ්‍යවී තිබෙන්නේ අතලොස්සකටය. එසේ වුවද අපට ඇති මානව සම්පත සීමිත බව අමතක කළ යුතු නැත. වෛද්‍ය මෙන්ම හෙද කාර්ය මණ්ඩල ද අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවකි. පරීක්ෂණ කට්ටල වුවද එසේය. පී.සී.ආර් පරීක්ෂණ වුවද හිතුමතයට කළ නොහැකිය. ආරම්භයේදී කොරෝනා සඳහා යම් රෝහල් වෙන්කළ අතර පසුව අලුතින් ද රෝහල් නිර්මාණය කෙරිණි. ඉරණවිල හා වැලිකන්ද යනු ඊට උදාහරණය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල ද පසුව ඊට යොදාගත් අතර ඇඳන් සංඛ්‍යාව වැඩි කරමින් ධාරිතාව ඉහළ දමනු ලැබිණි. ඒ අනුව මේ වනවිට රෝහල්ගත රෝගීන් 2100 ක් පමණ සිටින අතර දැනට වාර්තා වන රෝගීන්ට සත්කාරක සේවා ලබාදීමේ හැකියාව අපට තවම ඇත. එහෙත් අප මේ ගණන් හැදීම් කරන්නේ සමාජ ව්‍යාප්තියකට නොගිය තත්ත්වයක සිට බව කිසිම මොහොතක අමතක කළ යුතු නැත. ලෝකයේ අතිශය දියුණු සෞඛ්‍ය සේවා හා සම්පත් ඇති රටවලට පවා කොරෝනා සමාජ ව්‍යාප්තිය හමුවේ සිය සම්පත්වල ධාරිතාව ප්‍රමාණවත් නොවූ අයුරු අපි දුටුවෙමු. එහිදී මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන අතර රෝහල් පද්ධතිය ද කඩා වැටීමකට ලක්වේ. මෙරටදී කොරෝනා සමාජ ව්‍යාප්තියකට නොයා බේරාගත යුතු බව අප අවධාරණය කරන්නේම එහෙයිනි.

මෙම කොරෝනා රෝගීන් අපට කාණ්ඩ තුනකට වර්ග කළ හැකිය. පළමු කාණ්ඩය නම් රෝග ලක්ෂණ නොපෙන්වන පිරිසය. ඔවුන්ට පැරසිටමෝල් පෙත්තක් හෝ නොමැතිව දින දාහතරක් පමණ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලයෙන් පෙන්වන්නේ සුවවී ඇති බවය. ඔවුන්ගෙන් තවත් කෙනකුට කොරෝනා නොවැළඳෙන අතර මේ පිරිස සුඵ අවදානමක් ඇති කාණ්ඩයයි. දෙවැනි කාණ්ඩය නම් සිරුරේ තෙහෙට්ටුවක් සුළු කැස්සක් උගුරේ දැවිල්ලක් ආඝ්‍රාණය නොදැනීම ආදී රෝග ලක්ෂණ පෙන්වන පිරිසයි. ඔවුන්ට අප දක්වන්නේ වෙනම සැලකිල්ලකි. තද උණ සමග වියළි තද කැස්සක් හා හුස්ම ගැනීමේ අපහසුතා පෙන්වන පිරිස තුන්වැනි කාණ්ඩයයි. සංකූලතාවලට යා හැක්කේ මෙකී පිරිසය. ඉතින් මේ රෝගී කාණ්ඩ තුනට සැලකිල්ල යොමු කළ යුත්තේ තුන් ආකාරයකටය. අපේ රෝහල් පද්ධතිය සකස් කළ යුත්තේ මේ කාණ්ඩ තුන අරමුණු කරගෙනය. සැබැවින්ම ලොව දියුණු රටවලදී නම් පළමු කාණ්ඩයේ රෝගීන් කළමනාකරණය කෙරෙන්නේ සිය නිවෙස්වලමය. රෝග ලක්ෂණ මතුවනවිට රෝහල්ගත කෙරෙති. අප එවැනි තැනකටම යා යුතු නොවුණත් නේවාසිකාගාර, තාවකාලික ශාලා ආදී ස්ථාන රෝහල්වලට විකල්පයක් හැටියට මේ පිරිස් සඳහා භාවිත කළ හැකිය. සී.සී.ටී.වී. කැමරා මගින් මෙම රෝගීන් නිරීක්ෂණය කළ හැකිය. එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් කොරෝනා නිසා සෞඛ්‍ය පද්ධතිය මත පතිත වන බර සැහැල්ලු කිරීමට අපට හැකිය. රෝග ලක්ෂණ මතුවන පිරිස් පමණක් රෝහල්ගත කළ විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇත. තවද අනවශ්‍ය ලෙස රෝගීන්ට නිරාවරණය වීමේ අවදානමෙන් ද සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද මිදේ. එනිසා කොරෝනා සඳහා අලුතින් ප්‍රාදේශීය රෝහල් හඳුනා ගැනීමක් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා මර්දනය සඳහා වූ කාර්යසාධක බළකායටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් යෝජනා කළේ මෙම රෝගී කාණ්ඩ ඉලක්ක කරගෙන ක්‍රියා කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා හැටියටය.

රෝගීන් නිරෝධායනයට යොමුකිරීමේ වැඩපිළිවෙළත් අවදානම සන්නිවේදනයත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් අපට දැකිය හැකිය. බොහෝ අදහස් පළවී තිබුණේ සම්බන්ධීකරණය සම්බන්ධයෙනි. කෙසේ වෙතත් අප තේරුම් ගත යුත්තේ ලෝකය පුරාම මෙම සම්බන්ධීකරණ ගැටලු අද වනවිට මතුවී ඇති බවය. විශේෂයෙන්ම නිරෝධායන ක්‍රියාවලියේදී ආරක්ෂක අංශ දැක් වූ දායකත්වය අපට අඩුතක්සේරු කළ නොහැකිය. යම්කිසි ලෙසකින් නිරෝධායන ක්‍රියාවලියට ආරක්ෂක අංශවල දායකත්වය සෞඛ්‍ය අංශයට නොලැබුණි නම් මෙම තත්ත්වය කුමන ආකාරයේ අන්තයකට යනු ඇතිදැයි අපට සිතාගැනීමටවත් නොහැකිය. කොරෝනා වයිරසය කිසියම් පාලනයකට ආරක්ෂක අංශ සතු අධික වූ මානව සම්පත මෙන්ම කැපවීම ද බලපෑවේය. වර්තමානය වනවිට සම්බන්ධීකරණයේ ගැටලු මතුව තිබෙන්නේ ද පුද්ගල අඩුපාඩු නිසා නොව රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසාය. යම් යම් අඩුපාඩු සිදුවී ඇති බව අප කවුරුත් පිළිගත යුතු නමුත් ඒ කිසිවක් සිතාමතා කළ දේ නොවන බව ද තේරුම් ගත යුතුය. බොහෝ ප්‍රශ්න පැන නැගී තිබුණේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාට දැනුම්දීමකින් තොරව රාත්‍රි කාලයේදී පිරිස් රැගෙන යාමෙනි. මේ සම්බන්ධයෙන් අප යුද හමුදාපතිවරයා සමගත් කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය සමගත් සාකච්ඡා කළ අතර අප යෝජනා කළේ නිරෝධායන පිළිවෙත සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමටය.

විශේෂයෙන්ම නිරෝධායනය ක්‍රම දෙකකට කළ හැකිය. ගෘහාශ්‍රිතව ස්වයං නිරෝධායනය විය හැකි අතර ආයතන ව්‍යුහයක නිරෝධායනය කළ යුතු පිරිස ඊට යොමු කළ හැකිය. උදාහරණයකට විදේශගතව සිට පැමිණෙන්නන් අනිවාර්යෙන්ම ආයතනගත නිරෝධායනයකට යොමු කළ යුතුවේ. මෙසේ ආයතනගත නිරෝධායනයට යොමුකරන්නන් කවුදැයි තීරණය කිරීම සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව පරෙස්සමින් තීරණය කළ යුතුය. නිදසුනකට කොළඹ නගර සීමාවේ ජනඝනත්වය වැඩි සෞඛ්‍යාරක්ෂාව ගැන සහතික විය නොහැකි ස්ථානවලින් රෝගී පොකුරක් නිර්මාණය වනවිට ප්‍රශස්තම මඟ වන්නේ ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමය. මැද කොළඹ, බණ්ඩාරනායකපුර රෝගීන් එම ස්ථානවලින් ඉවත්කිරීම එසේ ගත් නිවැරැදි තීන්දුවකි. ඇඟලුම් කම්හලේ රෝගීන් වාර්තා වීමේදීද එසේය.

එහෙත් අනුරාධපුරයේ මැදවච්චියෙන් රෝගීන් වාර්තා වුවහොත් මේ පිළිවෙතම අනුගමනය කළ යුතු නැත. ජන ඝනත්වය අඩු තැනකදී හොඳම දේ වන්නේ ගම්මානය හුදෙකලා කිරීමය. මහල් නිවාසයක ජීවත්වන පවුලක අයකුට කොරෝනා ආසාදිත වුවහොත් ආසාදිතයාට එම නිවෙසේම එක් මහලක නිරෝධායනය විය හැකිය. වෛද්‍යවරයකු හෝ හෙද නිලධාරිනියකට තම නිවෙසේම ස්වයංනිරෝධායනය විය හැකි නම් ඔවුන්ට එම අවස්ථාව දිය යුතුය. මෙතෙක් නිවැරැදිව කරගෙන ආ නිරෝධායන ක්‍රියාවලියේ දුර්වලතා ද මෙම පියවර අනුගමනය කිරීමෙන් ඉදිරියේදී මගහැර ගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු.

කෙසේ වෙතත් රෝග ව්‍යාප්තිය වැළැක්වීමේදී වැදගත් අවදානම සන්නිවේදනය ගැටලු මතු නොවන ආකාරයෙන් කිරීමට ජනමාධ්‍යට නොහැකියාවක් නැත. අවදානම සන්නිවේදනය සඳහා ජනමාධ්‍ය පාවිච්චි කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරයි. සැබැවින්ම ජනමාධ්‍ය යනු අවදානම සන්නිවේදනයට අපට ඇති හොඳම මාධ්‍යයයි. එහෙත් එම සන්නිවේදනය අවදානම සන්නිවේදනයට පමණක් සීමා කිරීමට ජනමාධ්‍ය ආචාරධාර්මිකව විය යුතුය. මේ බව අපට අවධාරණය කිරීමට සිදුව තිබෙන්නේ ඇතැම් වාර්තා කිරීම් සමග මතුව ඇති සමාජ සංවාදය නිසාය. කිසියම් ග්‍රාම සේවා වසමක ආසාදිතයකු වාර්තාවී ඇති බව කීම ප්‍රමාණවත් වන අතර ඔහුගේ හෝ ඇයගේ මුහුණ ප්‍රදර්ශනය කරමින් ජීවත් වන්නේ මහල් නිවසකද කටු මැටි පැලකද කීම ප්‍රයෝජනවත් නැත. මිනිසුන්ගේ පෞද්ගලික ජීවන තොරතුරු හුවා දක්වමින් පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම වටින දෙයක් නොවේ. අවසානයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශයට ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදුවුණේ මේ නිසාය. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය නොකොට සංවේදී තොරතුරු වාර්තාකරණයේදී නිවැරැදි මූලාශ්‍රය යොදාගැනීමෙන් එම කාරිය විශ්වසනීය ලෙස කිරීමට ජනමාධ්‍යට හැකිය. එනිසා තහංචි පැනවීමකින් තොරව ස්වයං විනයක් ඇතිව කටයුතු කිරීමට ජනමාධ්‍යට ද පැවරෙන්නේ විශාල වගකීමකි. 

කොරෝනා යනු ගෝලීය වසංගත තත්ත්වයක් නිසා මුළු ලෝකයම එය පාලනය කරනතුරු අප ආරක්ෂිත යැයි කියන්නට බැරිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට කොරෝනා සමග තවත් වසර දෙකක්වත් ජීවත් වීමට අපට සිදුවනු ඇත. එන්නත් අත්හදා බැලුවත් ඒ සම්බන්ධයෙන් වුවද ලොකු බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් ද නැත. රෝගීන් වාර්තා නොවන තත්ත්වයකදී වුවද අපට කොරෝනා මර්දන ක්‍රියාවලිය අත්හැර යා නොහැක්කේ එහෙයිනි. කොරෝනා රෝගීන් වාර්තා නොවෙද්දී පවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් අවදානම තක්සේරු කළේ එහෙයිනි. අවදානම තක්සේරුවේ ප්‍රධාන ක්‍රමයක් නම් අහඹු පී.සී.ආර්. පරීක්ෂණයි. මුල් අවස්ථාවේදී මෙය සිදු නොවූ අතර එය ක්‍රියාවට නැගුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහි අවශ්‍යතාව අවධාරණය කිරීම සමගය. එහෙත් එහි නියැඳිය ද ප්‍රමාණවත් වුණේ නැත. වාර්තා නොවී සමාජයේ කොරෝනා වයිරසය පැවතුණේද යන සැකයක් නිර්මාණය වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත් කොරෝනා නිසා ආර්ථිකය හකුලා දමා ජන ජීවිතය එක තැන සිර කරන්නට අපට නොහැකිය. එසේනම් අපට අනිවාර්යෙන්ම කොරෝනා සමග ජීවත්වන්නට සිදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ ද එයයි. සම්පූර්ණයෙන්ම ආර්ථිකය වසා දමනවාට වඩා අඩු ශ්‍රම බලයකින් හෝ කර්මාන්ත දියත් කිරීමට අපට හැකිය. සිය දෙනකු සේවය කරන කම්හලක හෝ කාර්යාලයක සියලුමදෙනා සේවයට කැඳවා සියලු දෙනාම එකවර ආසාදිතයන් කර ගන්නවා වෙනුවට එයින් අර්ධයක් යොදාගැනීම අවදානම අඩු කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන්නේ සේවකයන් විශාල සංඛ්‍යාවක් සේවය කරන ආයතනවල කාණ්ඩ හැටියට සේවය ලබාගන්නා හැටියටය. උදාහරණයකට සේවකයන් දහසක් සේවය කරන තැනක දෙසීයේ කාණ්ඩ පහක් එකිනෙකට මුහු නොවන හැටියට සේවයට කැඳවීම කළ හැකි දෙයකි. එවිට එක සේවකයකුට අසාදානය වුවහොත් එය පැතිරීමේ උපරිම සේවක සීමාව දෙසීයකි. මෙම පිළිවෙත ක්‍රියාවේ නොයෙදුවහොත් එය කෙළවර වනු ඇත්තේ සේවකයන් දහසම ආසාදිතයන් කරවමිනි. එනිසා සිය සේවකයන් ද ආරක්ෂා කර ගනිමින් කර්මාන්තය ද රැකගැනීමට පෞද්ගලික අංශයේ හිමිකරුවන්ට ද ඇත්තේ විසල් වගකීමකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ වනවිට මිනිස් සම මත පැය නවයකට අධික කාලයක් කොරෝනා වයිරසයට රැඳී සිටිය හැකි බවය. ඒ තරම් අවධානයක් දිනා නොගත්තත් සියල්ලට වඩා වැදගත්ම දේ වන්නේ සබන් යොදා අත් සේදීමය. දෙවැන්න නම් පුද්ගල දුරස්ථභාවයයි. මීටරයකට වඩා දුරකින් සිට කටයුතු කිරීමට හැකි සෑම විටම අප කටයුතු කළ යුතුය. තෙවැන්න නම් නිවැරැදි ආකාරයට මුව ආවරණයක් පැළඳීමය. සිව් වැන්න නම් ස්වසනය සම්බන්ධයෙන් වූ සනීපාරක්ෂක පැවතුම්ය. කිවිසුම් යනවිට වැලමිට තබා ආවරණය කිරීමෙන් සෙසු පුද්ගලයන්ට කෙල බිඳිති විසිවීම වළක්වා ගැනීමට පහසුවෙන් හැකිය. ඉතින් මේ සරල පුරුදු ඇතිකර ගැනීමට තරම් අපහසුද? කිසිසේත් නැත. මෙම මූලික පියවර ද සඳහන් කරමින් කොරෝනා වයිරසය මර්දනයට අදාළ නීති ගැසට්ටුවක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ. සරලව කිවහොත් කොරෝනා සමග ජීවත්වීම මේ වනවිට නීතියකි. කෙසේ වෙතත් කොරෝනා වයිරසය නීති පනවා දඬුවමින්ම මර්දනය කළ හැක්කක් නොවේ. කොරෝනා පාලනය යනු ස්වයං විනයක් ඇති සමාජයකට කළ හැක්කකි. එය තනිකරම සමාජ වගකීමක් අප මත පැටවී ඇති බව නිතර සිහියට ගනිමින් වැඩිය යුතු සීලයකි. කොරෝනා මර්දනයේ දීර්ඝකාලීන යහපත් ප්‍රතිපල අපට ලැබෙනු ඇත්තේ එකී සමාජ වගකීමක් සහිත පුරවැසියන් හා ආයතන ප්‍රධානීන් මගිනි.

(*** සටහන - බිඟුන් මේනක ගමගේ)