
(*** නාලක සංජීව දහනායක)
විශාල පරිත්‍යාගයක් කොට ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයට තමන් කිසිදු ඉඩක් ලබානොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19) පැවැසීය.
රණවිරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට තම රජය කැපවන බවද ඔහු කීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස පැවැති විජයග්‍රහණයේ 11 වැනි සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්‍ෂක අංශයේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂි දිනයක්. මීට වසර 11 කට පෙර 2009 මැයි 19 දා, අපි වසර 30 කට ආසන්න කාලයක් මේ රටට සාපයක්ව තිබූ බෙදුම්වාදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළා.
සේනාධිනායක ලෙස ඒ සඳහා නායකත්වය සැපයූවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමටත්, තම මානව අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීමටත් හැකි වාතාවරණයක් ඇති කර දෙනු ලැබුවා.
වසර 30 ක් වැනි කාලයකට පසු නිදහස් ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබුවා. ගමේ රටේ ඕනෑම පුරවැසියකුට බාධාවකින් තොරව රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට හැකි වාතාවරණයක් යළි උදාකර දුන්නා. භීෂණයෙන් වෙලී තිබූ රටට සාමය උදා කිරීම සඳහා අපේ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල් විශාල කැපකිරීමක්, පරිත්‍යාගයක් කළා.
යුද්ධය රෝස මල් යහනාවක් නොවෙයි. විශේෂයෙන්ම නීතිය නොපිළිගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමඟ සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවෙනවා.
ඒ අවුරුදු 30 ඇතුළත, එක් ප්‍රදේශයක නෙමේ. රටේ සෑම තැනකම අසරණ සිවිල් මිනිසුන් මියගියා. මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලිවලට බෝම්බ ගැසීම් ආදිය නිසා, මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුණා. මානුෂිය මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝ කාලීන සාමය උදාකර දීමයි. රණවිරුවන් කළ ඒ සුවිශේෂී කැපකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත්වීම සඳහා අවස්ථාව ලැබී තියෙනවා.
බුදු දහමින් පෝෂණය වූ අපේ රටේ තිබෙන්නේ සියලුම ආගමිකයන්ට, සියලුම ජාතීන්ට ක්ෂේම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. ඉතිහාසය පුරා මේ රට තුළ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදී සෑම ජනකොටසකටම සමානව ජීවත්වීමේ අයිතිය තිබුණා.
අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ අප බෙදා වෙන් කරන්නයි. ඔවුන්ගේ අරමුණ ඉටුවුණා නම් අපේ ඉතිහාසය වෙනස් වෙනවා. ජනතාව එකිනෙකාට වෛර කරන, දේශ සීමා සඳහා නිරන්තරයෙන් සටන් කරන, යුද බිය ජන ජීවිතයේ කොටසක් බවට වූ, තවත් එක් අවාසනාවන්ත, බෙදුණ රටක් බවට ලංකාව පත් වෙනවා. ඒ ව්‍යසනයෙන් රට මුදවාගැනීමේ ගෞරවය, දීර්ඝ කාලයක් මුළුල්ලේ අපේ රටේ සාමය වෙනුවෙන් සටන් කළ සියලුම විරෝදාර රණවිරුවන්ට ලබා දිය යුතුයි. දශක 3 ක කාලයක් පුරා මේ ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජනරාල් කොබ්බෑකඩුව, ජනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවන් අප මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.
යුද හමුදාවේ අවුරුදු 20 ක් සක්‍රීය සේවයේ යෙදුණ නිලධාරියකු ලෙසත්, පසුව දස වසරක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පුරවැසියකු ලෙසත් අපේ රණවිරුවන් කළ කැප කිරීම පිළිබඳව මට ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. ඒ නිසා විශාල පරිත්‍යාගයක් කර සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නෑ. මගේ රජය යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සහතික වෙනවා.
ඔවුන්ගේ අයිතිවාසිකම් හැමවිටම සුරැකීම ජාතික වගකීමක්. ලෝකයේ බලවත් යයි හඳුන්වන රටවල නායකයන් පවා පැහැදිලිවම තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කර තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්න මා කිසිවිටකත් ඉඩ දෙන්නෙ නෑ.
ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම් කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවානම් එම ආයතන හෝ සංවිධානවල සාමජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මා කිසිවිටකත් පසුබට වන්නේ නෑ.
දශක 3 ක් පුරා බෙදුම්වාදයට එරෙහි සටනට දායකත්වය සැපයු සියලුම රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට අපි මේ අවස්ථාවේ ජාතියේ ප්‍රණාමය පුදකරනවා.
රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මේ රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යවත් දේශයක් බවට පත් කිරීම ඔවුන්ට කළ හැකි ඉහළම ගෞරවයයි. ඒ සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදෙන ලෙස සියලුම දේශමාමක පුරවැසියන්ගෙන් මේ රණවිරු ස්මාරකය අබියසදී මම ඉල්ලා සිටිනවා යැයිද ඔහු කීය.
දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ මෙසේ පැවසූහ.
ත්‍රස්තවාදීන් සමග පැවැති තිස් අවුරුදු යුද්ධයේදී තිස් දහසකට ආසන්න රණවිරුවන් පිරිසක් මවුබිමේ නිදහස වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් අබාධිත තත්ත්වයට පත්වුණා. අප මෙම රණවිරුවන් සැමරිය යුතුයි.
කොරෝනා වයිරසය මුළු ලෝකයම වෙළාගෙන ඇති නිසා මේ මොහොතේදී රණවිරු උත්සවය මහ ඉහළින් සමරන්න අපට බැහැ. එහෙත් මවුබිමේ නිදහස වෙනුවෙන් සටන් කර මරණයට පත්වූ හා ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් ජීවත්ව සිටින අප විසින් කෘතගුණ පූර්වකව සැමරිය යුතුයි. අද මේ සිදුවන්නේ එයයි.
ත්‍රස්තවාදය නැමැති මහා වෘක්ෂය මේ භූමියෙන් තුරන් කළත් ඒ ව්‍යසනය නැවැත අවදි කරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ සඳහා ඉඩ නොතබන ලෙසට ජනාධිපතිවරයාගෙන් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා යැයිද උන් වහන්සේ පැවසූහ.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන්හමුදාපති හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ද රණවිරු පවුල්වල සාමාජික සාමාජිකාවන්ද මැති ඇමැතිවරුන් ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
රටට දැන් ඍජු නායකත්වයක් ඇති බවට හොදට ඇගට දැනුනු කතාවක්.
මොන බොරුද? කෝ නියම රණ විරුවා? ෆොන්සේකා මහත්මයා නේද?
රණවිරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට නම් වැරදි කර ඇති රණවිරුවන්ට දඬුවම් පැමිණවිය යුතුවේ. එසේ නොවන්නේ නම් සෑම රණවිරුවකුම දෝෂාරෝපණයට ලක්වනු ඇත. නායකයන් සත්‍ය තේරුම් ගතයුතුවේ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. කිහිප දෙනෙකුගේ වැරදි නිසා ත්‍රිවිධ හමුදාවම අවමානයට ලක්වීම නැවැත්විය යුතුවේ.
දැන්වත් යුද්දේ විකුණගෙන කන බංකොලොත් දේශපාලනය නවත්තනවද? රණවිරුවන්ට සලකපු හැටි දැක්කා ෆොන්සේකා චන්දේ ඉල්ලනවා කියපු ගමන්..... කයිවාරු විතරයි.
LTTE ය වැනි අන්තවාදී කල්ලි ඇතිවන්න දෙමළ රදලයින්ට ඊලමට ජනතාව එකතුකරගන්න හේතුවුණු 1950, 1960, 1970 දෙමළ මිනිස්සුන්ව නිකරුනේ මරලා දාපු කොන්කරපු ආණ්ඩු, නූගත් සිංහල ජාතිවාදීන් ගැන මෙවැනි අවස්ථාවලවත් ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියේ කියන්න, හඳුනාගන්න බැරි ජනාධිපතිවරු ඉන්න රටේ අනාගතයේ මෙවැනි දේවල් කොහොම වලක්වන්නද? රටේ මෙවැනි දේ ගැන දන්නේ නැති ළමුන්ට කවුරු කියාදේවිද?...
රණවිරුවන්ගේ විතරක් නොවේ, රටේ සියළු පුරවැසියන්ගේ ගරුත්වය අාරක්ෂා කළයුතුයි. නියම නායකයෙකුගේ දැක්ම ඒකයි.
ඔය උත්සවයට මොනතරම් මුදලක් වියදම් වෙන්න ඇද්ද? ආර්ථිකය වැටිලා තිබෙන කාලේ ඒ මුදලින් සියලුදෙනාගේම යහපතට කටයුතු කළා නම් හොඳ නැද්ද? ජනාධිපතිතුමා, ඇමෙරිකාවේ ජනාධිපති කරනදේම නේද කරන්නේ...? ජනාධිපතිතුමාත් කොරෝනාව සෑදෙන්න නැතිවෙන්න පෙති කාලද, ට්‍රම්ප් වගේ මුඛ ආවරණයක් නැතිව මේ උත්සවයට සහභාගි වුනේ. ට්‍රම්ප් කිව්වට අපි සිතන්නේ එවැනි බෙහෙත් නොකන වගයි. වසංගතය පටන්ගත්ත කාලේ පෙති කෝටි ගණනක් ආනයනය කළා. ට්‍රම්ප් ක්ලෝරො කුයිනින් අාරක්ෂාවට ගන්නවා කියුවිට ඇමෙරිකාවේ මැද ප්‍රාන්තවල ඉන්න ඔහුගේ පක්ෂයේ අයත් පාවිච්චි කරලා ඒ පෙති තොගය අවසන් වෙනවා. ඒ ක්‍රියාවෙන් ට්‍රම්ප් නම රැකගන්න එකයි සිදුවුනේ...
ශ්රී ලංකාව සියලු ලෝක සංවිධාන වලින් ඉවත් කීරීම වහාම සිදුකළ යුතුය. එසේම පහත සඳහන් කරුණු ඉටුකළ යුතුයි 1. සියලු රාජ්‍ය නොවන සංවිධාන තහනම් කළ යුතුයි 2. සිංහලයාට, බෞද්ධාගමට, බෞද්ධ පූජා වස්තුභූමි විනාශ කරන සහ සිංහල ජාතිකයන්ට අපහාස, අවලාද, කරන සියලු දෙමල, මුස්ලිම් අය ජීවිතාන්තය දක්වා සිරගත කළයුතු " සිංහල ජාතික පනත " ඉදිරිපත් කර බලාත්මක කල යුතුයි 3. ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක් දෙන ඕනෑම තීන්දුවක් ශ්‍රී ලංකාවට, බෞද්ධාගමට, රාජ්‍ය පාලනයට හානිදායක නම් එය අවලංගු කිරීමට ත්‍රෛනිකායික මහා සංඝ සභාවට බලය පැවරිය යුතුයි 4. රටේ ජනාධිපති, අගමැති හෝ වෙනත් ඕනෑම රටවසියෙකුගේ ක්‍රියාකලාපය රටට හානිදායක බව ත්‍රෛනිකායික මහා සංඝයා තීරණය කලහොත් එම රාජ්‍ය ද්‍රෝහීන්ව පන්නා දැමීමේ බලය ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ වෙන පවරා දීය යුතුයි...
උස්සවීම් නැති ත්‍රිවිධ හමුදා නිලධාරින්ට හා සෙබළුන්ට උසස්වීම් දෙන්නේ කවද්ද? එදාට හමුදාවේ ගරුත්වය හරියටම ලැබෙයි..
ජනාධිපතිතුමනි, මේ රටේ ජීවත්වන සෑම රටවැසියකුගේම ගරුත්වය ආරක්ෂා කරන්න කටයුතු කරන්න. මොකද අපි ඔක්කොම මේ රටේ රටවැසියන්. හැමෝගෙම ගරුත්වය ආරක්ෂා වුණේ කියන්නේ රණවිරුවන්ගෙත් ගරුත්වය ආරක්ෂා වුණා කියන එකයි. විය යුත්තේ ඒකයි. ඔබතුමාට සාමාන්‍ය රටවැසියා අමතක වීම කණගාටුයි.
රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරනවා නම් ඔබතුම වහාම කරුණා අම්මාන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි.
කරුණාගේ කතාවෙන් ඒ හමුදාවේ මියගිය සෙබලුන්ට විතරක් නෙමෙයි එයාලගේ දෙමව්පියන්ටත් අගෞරවයක්... ඒ ගැන ජනපතිතුමා පියවරක් ගන්න බවට අපේ විශ්වාසයක් තියෙනවා.