ජාත්‍යන්තර මවු භාෂා දිනය පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබුණි. කුමාරතුංග මුනිදාස සමරුව සහ සිංහල භාෂා දිනය යෙදෙන්නේ අද දිනටය. භාෂාව කිසියම් ජාතියක සමාජයක කැටපත ලෙස සැලකෙන බැවින් ඒ පිළිබඳව යළි යළිත් වත්මන් පරම්පරාවේ අවධානය යොමුවීම වැදගත් බව පෙනේ. සිංහල භාෂාවට අනුපමේය මෙහෙවරක් ඉටු කළ කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ කාර්ය භාරය සැකෙවින් විමසෙන මෙම සංවාදයේ අරමුණ වන්නේ සිංහල භාෂා භාවිතයේ වත්මන් අර්බුද හා ඊට යෝජනා කෙරෙන පිළියම් සාකච්ඡා කිරීමයි. මතු දැක්වෙන්නේ හෙළ හවුලේ වත්මන් නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතා සමඟ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.

• ජාත්‍යන්තර මවු භාෂා දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. කිසියම් ජාතියක අනන්‍යතාව තහවුරු කිරීමේ ප්‍රධාන සාධකය ලෙස මවු බස සැලකෙනවා. මේ ගැන ඔබේ කරුණු දැක්වීම කෙබඳු ද?
මේ පැනය බෙහෙවින් ම වැදගත් කියා මා හිතනවා. යම් ජන සමූහයක් ජාතියක් බවට පත්වන්නේ ඒ සියල්ලනට පොදු සංස්කෘතියක් පවතින විට යි. ඒ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් තමයි භාෂාව. සංස්කෘතියක් ඉදිරියට ගෙන යන ගාමක බලයත් භාෂාව ම යි. අප සිංහලයන් වන්නේ අන් කිසිවක් නිසා නො වෙයි, සිංහල සංස්කෘතිය නිසා යි. ඒ සිංහල සංස්කෘතියේ ප්‍රධාන ම අංගය සිංහල භාෂාවයි. ඒ සිංහලය මවු බස කොටගත් පිරිස සිංහල ජාතිය යි. ඒ නිසා අපේ අනන්‍යතාව ඇත්තේ අපේ මවු බස වන සිංහලයේ යි. අනෙක් ජාතීන් පිළිබඳවත් තත්ත්වය එසේ ම තමයි. අප කොතරම් භාෂා දැන ගත්තත් සිතන්නේ මවු බසින්. අපට හැඟීම් දනවන්නේ මවු බස යි. ඒ කියන්නේ අපේ අනන්‍යතාව පවතින්නේ මවු බසේ කියන එක යි.
• සිංහල භාෂාභිමානය සිංහල ජාතියේ ප්‍රවර්ධනයට කරන බලපෑම කෙබඳුද?
ජාතියක දියුණුව ඇතිවන්නේ නැඟීම ඇතිවන්නේ ඒ ජාතියේ චින්තනය මුල් කොටගෙනයි. ඒ ජාතික චින්තනය බිහිවන්නේ භාෂාව මාධ්‍යය කොට ගෙනයි. ඒ නිසා ජාතියක් නැඟෙන්නට නම් ඒ ජාතිය වහරවන බස නොවහල්ව, ඉතා දියුණුව තිබෙන්නට ඕනෑ. බස ඒ වගේ තත්ත්වයක තිබෙන විටයි එය භාවිත කරන ජනතාවට භාෂාභිමානයක් ඇතිවන්නේ. පරභාෂාවලින් ලෑටි ගාගත් කඩමාලු වචන කිසිම ව්‍යාකරණ රීතියකට එකඟ නොවී හිතු හිතූ විදිහට යොදන විට භාෂාභිමානයක් ඇතිවන්නේ කොහොමද?
සිංහලයේ ඉතිහාසය විමසා බලන විට අපට පෙනෙන්නේ භාෂාව නිදහස්ව, නොවහල්ව, දියුණු වී පැවැති කාල වකවානුවල ජාතියත් ඒ වගේම ස්වාධීනව, බලවත්ව සිටි බව. ඒත් කෝට්ටේ යුගයෙන් පසු භාෂාව පිරිහීමත් සමඟ ජාතියත් පිරිහී පරාධීන වුණා. අද වුණත් අප කොඳු කැඩුණු නිවට නියාලුවන් ලෙස විදෙස් ඉදිරියේ බැගෑපත් වන්නේ භාෂාව මගින් නිර්මාණය වන ජාතික චින්තනයක් නැති නිසායි.
මේ තත්ත්වය මනා ව අවබෝධ කොටගත් නිසයි කුමාරතුංග මුනිදාසයන් බස නැංවීම මඟින් රැස හෙවත් ජාතියත් රැස මඟින් දෙසත් නැංවිය හැකි බව පැවැසුවේ.
• සිංහල භාෂා දිනය මාර්තු 2 වැනි දාට යෙදෙන්නේ කුමාරතුංග මුනිදාස අනුස්මරණ දිනය සලකාගෙනයි. සිංහල භාෂා දිනය වඩාත් අර්ථවත් කරගත හැක්කේ කවර අන්දමින්ද?
සිංහල භාෂා දිනය ගැන කියන විට පසුගියදා අපගෙන් සමුගත් වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිතුමන් ගැන සිහිපත් කළ යුතුයි. එතුමා තමයි මාර්තු දෙවැනි දා සිංහල භාෂා දිනය ලෙස නම් කළේ. කුමාරතුංගයන් කටයුතු කළේ භාෂාවත් ජාතියත් අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව පිළිබඳ තියුණු අවබෝධයකින් යුතු ව යි. එතුමනට පෙරත් ජේමිස් ද අල්විස් වැනි පඬිවරුන් ස්වභාෂාවේ අගය පෙන්වා දුන්නා. ඒත් ජාතිකත්වයෙහි ලා බසේ අගය මුලින් ම මතු කළේ කුමාරතුංගයන්. එතුමන් එදා කීවා
උගන්නැ සිය බස-මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙහි මහඟු බව-කියා දෙන්න අනුනටත්
කා කුමක් කීවත්-සියබස කෙළෙසා අපට
නිදහසෙක් නො මැ ලැබේ-පටන් ගන්නැ සිය බසින්
අනුන් පර බසෙකැ-අගය වනන පුන පුනා
සිය අගය පානු බැරි-හෙළයා මහ නිවටයෙකි

ආදී වශයෙන්. එයින් එතුමන් මතු කළේ බස නොඔසවා, බස නොවඩා, බසින් වෙන් ව කෙදිනකවත් ජාතිය නැංවිය නොහැකි බව යි.
කුමාරතුංගයන් හැම විට ම තැත් කළේ බසෙහි නිවැරැදි බව රැක ගැනීමටයි. නිවැරැදි බසක් නැතිව නිවැරැදි චින්තනයක් ඇති නොවන බවත් නිවැරැදි චින්තනයකින් තොර ව ජාතියක් කිසි විටෙක දියුණු නොවන බවත් එ තුමන් පෙන්වා දුන්නා. අප ගේ අභාග්‍යයට බලය ඇත්තන් එ තුමන්ට සවන් දුන්නේ නෑ.  

බසක් පවතින්නේ ඒ බස අයත් ජාතිය පවතින්නේ බස හැකි තරම් භාවිත කරන විට යි.
එ තුමන් කීවේ සිංහලයෙන් කතා නොකරන, සිංහලය භාවිත නොකරන කළු සුද්දන් වැනි පාලකයන්ගෙන් රටට කිසි ම සෙතක් නොවන බව යි. අදටත් රටේ වැදගත් තීරණ ගන්නා තැන්වල අය වැඩ කරන්නේ ඉංගිරිසියෙන්. ගන්නා තීරණ පවසන්නේ ඉංගිරිසියෙන්. ඉතින් කොහොම ද සිංහලය දියුණුවන්නේ. මේ තරමින්වත් සිංහලය පැවැතීම ලොකු සතුටක්.
කුමාරතුංගයන් නුමුසු හෙළ බස පිළිබඳ අදහස පවා ඉදිරිපත් කළේ එමඟින් ජාතියේ අභිමානය ඇති කිරීමට යි. අප ගේ ස්වායත්ත භාවය ස්වාධීනත්වය පෙන්වීමටයි. අප රටේ ජනයාට එය වටහා ගන්නට බැරි වුණා. එහි විපාක අප අදත් විඳිනවා.

• භාෂාව චින්තනයේ මෙවලමක් ලෙස සැලකෙනවා. අද ඇති බරපතළ ගැටලුවක් වන්නේ දරුවන්ට මවු භාෂාව මඟින් තම අදහස් නිරවුල් ව ප්‍රකාශ කර ගැනීමට නොහැකිවීම බව ඔබ ඇතුළු විද්වතුන් නිතර පෙන්වා දෙන කරුණක්. මේ තත්ත්වය අනාගතයට කෙසේ බලපායිද?
මේ තත්ත්වය අනාගතයට ඉතා ම අහිතකර ලෙස බලපානවා. අනාගතයට නොවෙයි වර්තමානයේ පවා මෙහි ඇති බලපෑම අද අපට ඇස් පනාපිට පෙනෙනවා. බොහෝ පාසල් සිසුනට තම සිතේ ඇති අදහස් විභාගයකදී තම මවුබසින් නිවැරැදි ව පවසන්නට බැහැ. විභාග අසමත්වීමට ප්‍රධාන ම හේතුවත් එය. මට මතකයි, මෙයට ටිකකලකට පෙර විභාග කොමසාරිස්වරයාගේ වාර්තාවක ම ඒ බව පැහැදිලි ව ප්‍රකාශ කොට තිබුණා. මා කලිනුත් කීවා භාෂාව තමයි උසස් චින්තනයේ මාධ්‍යය බව. ඉතින් භාෂාව පිළිබඳ දැනුමක් නැති අය කෙසේ ද නිවැරැදි චින්තනයකට යොමුවන්නේ. මෙය විශාල සමාජ ගැටලුවක්. බලධරයන් මේ ගැන වහාම අවධානය යොමු කළ යුතුයි.  
සාහිත්‍යයෙන් ළමා පරපුර ඈත් වීමත් මෙයට බෙහෙවින් බල පා තිබෙනවා. අද සමාජයේ සිටින්නේ භාෂා ශක්‍යතාවෙනුත් භාෂා සංවේදීතාවෙනුත් තොර රොඩු මනස් ඇති දරු පරපුරක්. හෙට දිනයේ තත්ත්වය ගැන සිතන්නටවත් බැහැ. අනාගතයේ මෙ රට සිටිනු ඇත්තේ චින්තනයෙන් තොර ජාතියක් බව නම් කිව හැකි යි. එවැනි පරපුරක් කුමද?
අනෙක් අතට ළමයින්ට බස හොඳින් උගන්වන්නට නම් හොඳින් බස දන්නා ගුරු පරපුරක් සිටිය යුතුයි. අද ගුරුවරුන් ගේ භාෂා ඥානය බොහෝ සෙයින් පහළ මට්ටමක යි තිබෙන්නේ. එයට හේතුව බොහෝ ගුරුවරුන්ට තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ උපාධිය පමණක් වීමයි. ඒ නිසා පළමු ව ගුරුවරුනට භාෂාව පිළිබඳ දැනුමත් අභිමානයත් ඇති කළ යුතුයි.
• 1956 බලයට පත් වූ රජය සිංහලය රාජ්‍ය භාෂාව කළ බව අපි දන්නවා. බොහෝ දෙනා අදටත් මෙහි හොඳ නරක ප්‍රතිඵල කතා වෙනවා. අද වනවිට සිංහලයේ තත්ත්වය කුමක් ද? ඔබ එය දකින්නේ කෙසේ ද?
1956 බලයට පත් වූ බණ්ඩාරනායක මහතා ගේ රජය සිංහලය රාජ්‍ය භාෂාව කළ බව ඇත්ත. ඒත් ඒ දේශපාලන අවශ්‍යතාවක් බවයි අපට පසු ව පෙනුණේ. ඉන් පසු ව වත් මෙරට කිසි ම රජයක් සිංහල භාෂාවට නිසි අනුග්‍රහයක් දැක්වූ බව කියන්නට බැහැ. සිංහල භාෂාව පමණක් නොවෙයි සිංහලත්වයත් කොල්ල කා ගෙන බලය ලබා ගැනීමට යි දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ. 1987 දී ජයවර්ධන රජය සිංහලයත් දෙමළයත් දෙක ම රාජ්‍ය භාෂා බවට පත් කළා. ඉංගිරිසිය සම්බන්ධීකර (linking) භාෂාව බවට පත් කළා. මනුෂ්‍ය ඝාතන මැද රාජ්‍ය භාෂාව බවට පත් සිංහලයට අවසානයේ අත්වුණු ඉරණම එය යි. අද ලංකාවේ ඇත්ත ම රාජ්‍ය භාෂාව ඉංගිරිසිය දැයි සැක හිතෙනවා. ධනවතුන් ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ අන්තර්ජාතික පාසල්වල ඉංගිරිසියෙනුයි. ඔවුනට රට ජාතිය භාෂාව ගැන ඇල්මක් ඇති වෙයි කියා සිතිය හැකිද?
අද එයටත් වඩා ඉතා සූක්ෂ්ම ලෙස සිංහලය මරා දැමීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ගැසට් පත්‍රයක් මඟින් නීති විද්‍යාලයේ සියලු විභාග ඉංගිරිසියෙන් පමණක් පවත්වන්නට යන බවට තොරතුරු තිබෙනවා.

මහජනතාව මෙවැනි දේ දන්නේ නෑ. ඉංගිරිසියෙන් විභාග පවත්වන විට සිංහලයෙන් නීතිය ඉගෙන ගෙන වැඩක් තිබේ ද? කොළඹ සරසවියේ නීති පීඨයේ සිංහල පාඨමාලා නවත්වන්නට වේවි. නීතිය පමණක් නොවෙයි උසස් අධ්‍යාපනය මුළුමනින් ම ඉංගිරිසියෙන් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රාජ්‍ය භාෂාව වන සිංහලයේ ඉරණම මෙය ද? සිංහලය ලංකාවෙන් නැති වී ගියහොත් එය මුළු ලොවෙන් ම තුරන් වී යන බව අප වටහා ගත යුතු යි. සියලු බස් ළැදියන්, භාෂා ප්‍රේමීන් වහා එකතු වී මේ තත්ත්වය වෙනස් කිරීමට සටන් කළ යුතුයි.

අප ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රටේ බලය ඇත්තනට කියන්නේ සිංහලයට මේ රටේ ප්‍රමුඛස්ථානය ලබාදෙන ලෙස යි. රාජ්‍ය භාෂාවන් සතු නියම බලය සිංහලයට ලබාදිය යුතු ම යි.
අප දැඩි ලෙස තිරසර ව කියන්නේ රජය නව ව්‍යවස්ථාවක් සකස් කරනවා නම් එය මුලින් ම සිංහලයෙන් සකස් කළ යුතු යි. ඉංගිරිසි ආදී භාෂාවලට පරිවර්තනය කළ යුතු ඉන් පසු ව යි. ඉංගිරිසියෙන් සකස් කොට පසුව සිංහලයට පෙරැළු ව්‍යවස්ථාවෙකින් රටට වැඩක් වේ ද? මා දන්නා හැටියට 1972 ව්‍යළුස්ථාව මුලින් සකස් කළේ සිංහලයෙනුයි.

රටේ පාලකයන් සිංහලයෙන් සිතා සිංහලත්වය අනුව තීරණ ගෙන රට පාලනය නොකරන තාක් සිංහල භාෂාවට නියම පැවැත්මක් නැතිබව ස්ථිරයි.


(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)