
භාෂාව සංස්කෘතියේ කැටපතක් යැයි කියැවේ. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත්, අද සිංහල භාෂාව බහුතර සමාජයේ ‘යෙදෙන’ ආකාරය දෙස විමසිල්ලෙන් බලන කෙනෙකුට එය ඇත්තක්ම බව පෙනී යයි.
අද, පරිහානියට ‘රට හරහා දුවන’ සමාජයට ඊට වඩා වෙනස් ගමනාන්තයක් තිබිය නොහැක. යා හැකි හැම පැතිකඩකින්ම අගාධයට යන ජන සමාජයක අඳුරු අනාගතය ගැන අනාවැකි කියන ලකුණක් නම් භාෂාවය. මෙහිදී අප බලාපොරොත්තුවන්නේ සිංහල භාෂාව අද බහුතර සමාජයේ භාවිත වන ආකාරයත් ඒ මගින් අනාගතය ගැන අපට ලබාගත හැකි ඉඟියනුත් පිළිබඳව සලකා බැලීමටය.
අද සුප්‍රසිද්ධ මාධ්‍ය බොහෝමයක පාහේ සිංහල භාෂාව අමු අමුවේ විරූප කරන සැටි දැකිය හැකිය. සිංහල පර-භාෂාකරණය හෙවත් ‘සිංග්‍රීසි’යක් ගොඩනැගීමට බොහෝ මාධ්‍යකාරයෝ වැර දරති. එයට ඔවුන්ට දොස් නැගිය නොහැකිය. මන්ද, ඔවුන් සරු සංස්කෘතික පදනමකින් බිහි නොවුණු නිසාය.
එමෙන්ම සිංහලට පරිබාහිර වචන සිංහලකරණය කිරීමට කිසිවකුටත් වුවමනාවක් නැත. ‘රියැලිටි’ වැඩසටහන් ‘කප්’ ගහන රටක මේ සරල, වචනවලටත් සිංහල වචන යොදා නොගන්නේ මන්ද? නිවැරැදි සිංහලෙන් කතා කිරීම ඔවුනට මදිකමක් ද?
නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට ලංකාවේ බොහෝ උගත්තු ඇත. එහෙත් ‘බුද්ධිමතුන්’ ඇත්තේ අතළොස්සකි. නැතිම නැති තරම් ය! බොහෝ රූපවාහිනී වැඩසටහන් බලනවිට පෙනෙන්නේ විලිලැජ්ජා නැතිව සිංහල-ඉංග්‍රීසි මිශ්‍ර කරමින් සිංහල භාෂාව දූෂණය කරන ආකාරයයි. හතු පිපෙන්නාක් මෙන් බිහිවුණ ගුවන් විදුලි නාලිකා ද එසේය. අපේ භාෂාව පමණක් නොව දැන් සංගීතය, නැටුම් පවා ‘බොලිවුඩ්’ වී ඇත.
පාර්ලිමේන්තුවට රිංගන්නට ඕනැම අයකුට හැකි වුවත් ආචාර්ය, මහාචාර්ය පදවිවලට අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යමය. එහෙත් අද එම පදවි දරන උත්තමයන් තමන්ගෙන් රටට සිදුවිය යුතු සේවය ඉටුකරනවා ද යන පැනය ඇසිය යුතුය. මා මේ කියන්නේ විශේෂයෙන්ම ‘සිංහල භාෂාව’ පිළිබඳවය. අනෙක් විෂයයන් සඳහා ද මෙය බලපාන හැටිත් සිතා බලන්න. ඉස්සර නම්, විශේෂයෙන්ම නිදහස ලැබීමෙන් පසු ඇතිවුණ ජාතික පිබිදීම් සමයේ බොහෝ ඉංග්‍රීසි වචන සීලාචාර සිංහල වචනවලට හැරවුණි.
එක උදාහරණයක් ගෙන බලමු. ඉංග්‍රීසියෙන් 'organic' යන වචනයට සිංහල විකල්පයක් නොතිබුණි. ඒ නිසා බොහෝ කලකට පෙර එය ‘කාබනික ලෙස’ සිංහලට හැරවුණි. ‘කාබන් මූල ද්‍රව්‍ය සහිත’ යන අර්ථය මැනැවින් කියැවෙන ‘කාබනික’ යන වචනය ඉතා උචිතය.
පසුකාලීනව, ඉංග්‍රීසි භාෂාවේ 'Organic' යන වචනයට අතීතයේ සිටම කා වැදී තිබුණ වෙනත් අරුතක් ද ඉදිරියට පැමිනුණේය. මේ දෙවැනි අරුත නම් ‘කෘත්‍රිම කාරක භාවිතයෙන් තොරව’ නිපැදවූ යන්නය. මෙහිදී ස්වාභාවික ක්‍රමයටම පමණක් වගා කළ එළවලු, පලතුරු ආදිය ද ඇති දැඩි කළ සතුන් ද 'Organic' එසේ නැතිනම් ‘ස්වභාවික’ ලෙස හැඳින්වීම ප්‍රචලිත විය. මේ දෙවැනි අරුත ‘කාබන්’ යන මූල ද්‍රව්‍යයට කිසිම සම්බන්ධයක් නැත.මෙවැනි පසුබිමක අද අපේ රටේ මේ වචන භාවිත කරන ආකාරය බලන්න. 'Organic Chamistry' යන්න ‘කාබනික රසායන විද්‍යාව’ ය. එය හරියටම හරිය.අපි වලිගය පාගා ගන්නේ දෙවැනි අර්ථයට යන විටයි. ‘කාබනික ආහාර’ ‘කාබනිකව වගා කළ’ ‘කාබනික සහතිකය අඩංගු’ යනාදී වශයෙන් යෙදීම ඉතා වැරැදිය. ඇත්තටම වැරැදිම නොවේ.
බොහෝ ආහාරවල කාබන් ඇත. එහෙත් කියන්නට බලාපොරොත්තු වන දෙය එය නොවේ. අපට වෙනත් වචනයක් අවශ්‍ය වන්නේ ‘කෘත්‍රිම කාරකයන් භාවිතයෙන් තොරව’ යන අදහස පිළිබිඹු කිරීමටයි.
මා මේ තර්කය නැගූ විට මගේ උගත් මිතුරන් මගෙන් අසන්නේ ‘එහෙනම් මොකක්ද? කියන්නේ’ කියාය. එය මගෙන් ඇසිය යුතු පැනයක් නොවේ. මා සිංහල භාෂා විශේෂඥයකු නොවන නිසාය. කරණවෑමියෙකු දත් උගුල්ලන්නට යෑම නුවණට හුරු නැත.
ගහක පිට පොත්තේ සිට ලෙඩ වෙනවා නම් එය හඳුනාගෙන බෙහෙතක් කළ හැකිය. එහෙත් අරටුවෙන් කුණුවීම සිදුවන විට රෝගය හඳුනාගත හැක්කේ ගහ කඩා වැටුණු පසුය.
(***)
ආචාර්ය නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව
COMMENTS
ඔබත් වරද්දලා, පරිහානිය නොවේ.
"මාක්ස් දාගන්න...... මාක්ස් දාගන්න" වසර අවසානයේ ලැබුණු නිවාඩුවේදී පසුගිය වසර පිළිබඳ පසු විපරමක් කිරීම මගේ සිරිතකි. මෙහිදී මවිසින් කළ, නොකළ හා අතපසු වූ දේ පිළිබඳව ලේඛනයක් සකස් කරන අතර එම ලැයිස්තුවේ අතපසු වූ දේ අතර පහත සඳහන් වැදගත් කරුණ මා විසින් කළ වරදක් බව මගේ යටි සිත කියයි. එය නම්, රූපවාහිනී නාලිකා විසින් සිදුකරන වැරදි දැකදැක ඒ පිළිබඳව කිසිවෙකු දැනුවත් නොකිරීමයි. "ලොකුම වරද කරන්නේ වරදක් දැක එය නිවැරදි නොකරන්නයි" යන්න ප්‍රකට කියමනකි. මේ සඳහා කොතෙකුත් කරුණු ඇතත් දෙරණ නාලිකාව මගින් 2020 දෙසැම්බර් 13 දින විකාශනය කරන ලද 6:55 ප්‍රවෘත්ති ප්‍රකාශය උදාහරණයක් ලෙස ගනිමු "මාක්ස් දාගන්න.. මාක්ස් දාගන්න... මෙය 2020 වසරේ මාධ්‍ය මගින් වැඩිපුරම ඇසූ හා දුටු ප්‍රකාශයකි. එය ඉංග්‍රීසි වචනයක් (Marks) සහ සිංහල වචනයක් (දාගන්න) එක් කර සාදාගත් ප්‍රකාශයකි. MARKS යන්නෙහි සිංහල තේරුම ලකුණු බැවින් එම ප්‍රකාශයෙහි නිසි තේරුම "ලකුණු දමාගන්න" ය. මෙම ප්‍රකාශනය සමග පෙන්වන රූප රාමු වලින් ගම්‍ය වන්නේ මෙය covid 19 වසංගතයට එරෙහි කරන සටනය. එහෙත් "ලකුණු දමා ගන්න"
මෙසේ ඉංග්‍රීසි වචන බොහෝ දෙනෙක් භාවිතා කළද ඒවා නිවැරැදිව උච්චාරණය නොකරන බව නිතිපතා අපට අසන්නට ලැබේ.
සිංහල භාෂාව කියන්නේ 1956 ගෙනාපු අණ්ඩර දෙමළටයි. සිංහල කියමනක් තියෙනවා "වහර නුසරෙන් සපයා". මම ඉගෙනගත් කුමාරෝදයේ තිබුනෙ අකුරු තිහක් වගෙ විතරයි.
නැගීඑන මුඩුක්කු සංස්කෘතියත් සමග සැමදෙයක්ම.. ජාතිය, ජන්මය, සංස්කෘතිය, භාෂාව, ආගම ධර්මය.. විනාශයට පත්වෙලා තියෙනවා.
මේ ලිපිය ඉතා වැදගත්. කාලෝචිතයි. භාෂාව මාධ්‍ය මගින් මේ තරම් කෙලෙසෙන්නේ හිතා මතා දැයි සිතෙන තරම්.