(කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  - ආචාර්ය නිෂාර ප‍්‍රනාන්දු)

අරණායක, මීරියබැද්ද ආදී පැරණි මතකයන් සමඟ අවදානම අවම කිරීම සඳහා නැවත පදිංචි කිරීම විකල්පයක් සේ සලකමින් මේ දිනවල කතාබහක් සිදුවේ. එනිසා මේ ගැන වඩා ගැඹුරින් පෙන්වාදීම කාලීන යැයි හැගේ.

මෙහිදී මාගේ අවධානය යොමුවන්නේ සංවර්ධන ව්‍යාපෘති හා ස්වාභාවික ව්‍යසන නිසා අවතැන් වන ජනතාව ගැනය. ආපදාපන්න කාලයේදී රටම කතා කළ ද ඉතාම ඉක්මනින් අපි එය අමතක කර සිටිමු. ඒ, ඊළඟ ව්‍යසනය එනතුරු නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ලංකාවේ පසුගිය වසර විස්සක පමණ කාලයේදී සංවර්ධන ව්‍යාපෘති හා ස්වාභාවික ව්‍යසන නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම් සිදුවිය.

උදාහරණයකට 1990 මුල් කාලයේ ඇති වූ කොළඹ ගං වතුර ගැන කමිටුවක් පත් කැරිණි. එහි එක් නිරීක්ෂණයක් වූයේ වැල්ලවත්ත හා බම්බලපිටිය ප‍්‍රදේශයේ ඇළවේලි අසල පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් හේතුවෙන් ඒවා හරිහැටි නඩත්තු කරගැනීමට නොහැකි වීමෙන් එම තත්ත්වය උද්ගත වූ බවයි.

ඇළවේලි මාර්ග සංවර්ධනය මගින් පරිසරය සුරකිමු යැයි ව්‍යාපෘතියක් ආරම්භ වූයේ ඉන්පසුවය. ඇළවේලි මාර්ග සංවර්ධනය කිරීමට නම් සියල්ලට ප‍්‍රථමයෙන් ඇළවේලි දෙපස වෙසෙන අනවසර පදිංචිකරුවන් වෙනත් තැනක පදිංචි කළ යුතු බව ඔවුහු කීහ. එහි මුඛ්‍ය අරමුණු දෙකක් විය. පළමු වැන්න නම් ඇළවේලි පවිත‍්‍ර කර කොළඹ නගරය අලංකාර කිරීමයි. දෙවැන්න නම් පදිංචිකරුවන්ගේ ජීවිත සුඛිතමුදිත කිරීමයි.

මෙසේ නැවත පදිංචි කෙරෙන්නේ ජීවිතවලට අවදානමක් ඇති පිරිසකි. වසරකට දෙවරක් හෝ තෙවරක් එම අවදානම පැමිණෙනවිට ඔවුහු තාවකාලිකව අවතැන් වෙති. මේ නිසා තාවකාලිකව හෝ කඳවුරුවල සිටින්නට සිදුවන්නේ ඔවුන් අවතැන් හෙයිනි. එහෙත් කඳවුරුගත ජීවිතය දුෂ්කර වෙද්දී ඔවුහු නැවතත් පරණ ජනාවාසයටම පැමිණෙති.

අවදානම අවම කිරීමේ උපායමාර්ගයක් හැටියට නැවත පදිංචි කිරීම ගැන කතා වුණේ කාලයක් තිස්සේය. සුනාමිය අවස්ථාවේදී මීටර සියයේ අවදානම් කලාපය ගැන කතා කෙරිණ.

එහෙත් ආසන්න කාලයේ සිදු වූ ගංවතුර හා නාය යෑම්වලින් පසුව පදිංචියට නුසුදුසු යැයි නිශ්චය කෙරෙන විශාල ප‍්‍රදේශයක් මේ වනවිට බලධාරීහු හඳුනාගෙන සිටිති. මෙහිදී අප පවසන්නේ එම මිනිසුන් නැවත පදිංචි කරන්නේ නම් ඔවුන් නැවත වටයකින් දුෂ්කරතාවකට පත් නොවන ආකාරයෙන් එය ක‍්‍රියාවට නැඟිය යුතු බවයි.

නැතහොත් එය ද්විතීයික ආපදාවක් හෙවත් කබලෙන් ළිපට වැටීමක් නොවිය යුතුය. ඇතැම්විට එය ස්වාභාවික විපතක් විය හැකිය. එසේ නොවන්නට ද පුළුවන. සුනාමියෙන් බැට කෑ පිරිසක් නැවත පදිංචි කළ පෙදෙසේ ගං වතුර ආපදා තත්ත්වයක් ඇතිවිය හැකිය.

ගාල්ලේදී මේ තත්ත්වය අපට හොඳින්ම නිරීක්ෂණය විය. සුනාමි රළ පහරට ලක්වූයේ ගාල්ල නගරයේ වෙරළබඩ කලාපයේ ජනතාවය. ඔවුන් නැවත පදිංචි කරනු ලැබුවේ නගරයෙන් තරමක් ඈතය. අධ්‍යාපන කටයුතු, ජීවිකාව ඇතුළුව මේ පිරිසේ දෛනික ජීවිතය රඳාපැවැතියේ නගරයේය. ඉඩම් අයිතිය ලැබුණ ද නගර වැසියන් ගම්වැසියන් බවට පත්වීම විසින් සමාජයීය වශයෙන් ප‍්‍රශ්න රැසක් නිර්මාණය කරනු ලැබිණි.

ඔවුන්ගේ මූලික දෝස්මුරය වුණේ දුරය. ගාල්ල නගරය යනු බහුජාතික බහුආගමික සංස්කෘතික පරිසරයක් සහිත ආර්ථික කලාපයක් වුව ද ඔවුන් නැවත පදිංචි කරන ලද අක්මීමන ඊට වෙනස් ලෙස තරමක පැතැලි සමාජ ස්ථරයක් සහිත පෙදෙසක් විය. නැවත පදිංචි කිරීමේදී ඉඩම ගැන මූලික අවධානයක් යොමු කළ ද මේ ජන මිශ‍්‍රණය සමඟ හටගන්නේ වෙනස්ම ආකාරයේ නොපෑහීම්ය.

මේවා කොතැනත් තිබෙන ප‍්‍රශ්න යැයි කෙනකුට කිවහැකිය. එහෙත් මෙවැනි ප‍්‍රශ්න සැලකිය හැක්කේ අළු යට ගිනි පුපුරු හැටියටය. මෙම ප‍්‍රතිවිරෝධතා උත්සන්නවීම් සමඟ ඊළඟට හටගන්නේ ගැටුම්ය. මේ ප‍්‍රශ්නවලට තමන්ටවත් රජයටවත් පිළිතුරක් නැති බව පෙනෙන්නට ගත්විට ඔවුන් ඊළඟට කරන්නේ එම නිවාස කුලියට හෝ අතැර දමා පැරැණි පුරුදු තැනටම යෑමය. මේ සමඟ ඇතිවන්නේ ඉඩම් ප‍්‍රශ්නයි.

නීතියට අනුව පැරැණි නිවාස අන්සතු කළ නොහැකි බව රජය කීව ද නිවාස හිමිකරුවෝ එක්කෝ ඒවා කුලියට දෙති. මේ නිසා ඒවායේ සැබෑ අයිතිකරුවන් කවුද යන්න රජයට පවා ප‍්‍රශ්නයකි. ජනතාව මෙසේ පැරැණි තැනටම පැමිණීම යනු අවදානම් කලාපයට සම්මුඛවීමය. ඒ සමඟම පළමු අරමුණ බිඳවැටේ. මෙහිදී අප ප‍්‍රශ්න කරන්නේ නැවත පදිංචි කිරීම නොවේ. සැලැසුම්සහගත ලෙස එය සිදුකළාද යන්නයි.

තවද මේ ජනතාව ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණපෑවේදැයි නිරීක්ෂණය නොකිරීම ද අඩුපාඩුවකි. විශේෂයෙන්ම මෙම පිරිස් සම්බන්ධයෙන් කාලීනව ඇගැයීමක් කළ යුතුය. ලංකාවේ නැවත පදිංචි කිරීම යැයි සිතන්නේ වින්දිතයන්ට ගෙයක්, වැටුපක් හෝ මුදල් තෑගි ප‍්‍රදානය කිරීමටය.

නැවත පදිංචි කිරීම ක‍්‍රියාවලියක් බව අවබෝධ කරගෙන නැති තරම්ය. නැවත පදිංචි කළ පිරිස් වසරකට පසු, වසර දෙකකට පසු ආදී වශයෙන් අඛණ්ඩ අධීක්ෂණයකට ලක් විය යුතුය. එහෙත් ලංකාවේ බොහෝවිට විමසිලිමත් වන්නේ පෙර හා පසු තත්ත්ව ගැන පමණය.

සංවර්ධන ව්‍යාපෘති නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට ජාතික ස්වෙච්ඡා නොවන නැවත පදිංචි කිරීමේ ප‍්‍රතිපත්තිය ආදී ප‍්‍රතිපත්ති මාලාවක් තිබුණ ද ස්වාභාවික ආපදා නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට ප‍්‍රතිපත්ති මාලාවක් නැත.

ඊට අමතරව සංවර්ධන ව්‍යාපෘති නිසා අවතැන් වන ජනතාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමට ඒවාට ආධාර කරන ජාත්‍යන්තර සංවිධාන විසින් සකසන ලද සුරක්ෂා ප‍්‍රතිපත්ති වේ. දක්ෂිණ සංවර්ධන අධිවේගී මාර්ගයේදී මේ තත්ත්වය දැකිය විය. මේ නිසා සංවර්ධන ව්‍යාපෘතිවලින් අවතැන් වන ජනතාවට කිසියම් හෝ රැකවරණයක් තිබේ.

ස්වාභාවික ආපදා නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට ප‍්‍රතිපත්ති මාලාවක් නොවීමෙන් රජයට දැරීමට සිදුවන වැය බර ද සුළුපටු නැත. අවතැන් ජනතාව දිගින් දිගටම නඩත්තු කිරීම ද ලෙහෙසි පහසු නැත. මේ නිසා අපගේ යෝජනාව වන්නේ ප‍්‍රජාමූලික නැවත පදිංචි කිරීමේ ප‍්‍රතිපත්ති මාලාවක් සැකැසිය යුතු බවයි. බලහත්කාරයෙන් පදිංචි කරනවාය යන චෝදනාවෙන් ගැලවියහැක්කේ එමගිනි.

නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාවලිය ප‍්‍රජාමූලිකවීම වනාහි එම ක‍්‍රියාවලියට මුල සිටම ජනතාව සම්බන්ධ කරගැනීම මිස අනෙකක් නොවේ. අලූතින් ලැබෙන නවාතැන නිර්මාණය කිරීමට වින්දිත ජනයා ද සම්බන්ධ කරගැනීමෙන් හිමිකාරිත්වය පිළිබඳ අභිමානය ඔවුන්ට ලැබේ. විකල්ප නොමැති එකම යෝජනාවක් පමණක් ලබාදෙන තත්ත්වයක් යනු ආපදාපන්න ජනතාවට කම්පනයකි.

සිය ආර්ථික මට්ටම පහළ වැටීම, නව නිවෙස සෑදීමට මුදල් ප‍්‍රමාණවත්ව නොලැබීම, සකසා දුන් නිවෙස තත්ත්වයෙන් බාලවීම, යටිතල පහසුකම් නිසි ලෙස නොවීම, නව පරිසරයේ වෙසෙන අසල්වැසියන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම ආදී ප‍්‍රශ්න රැසක් ඔවුන් වෙතින් පැමිණේ.

නැවත පදිංචි කළ පිරිස් ගැන දැඩි සේ විමසිලිමත්වීම පිළිබඳව ඇති එක් විවේචනයක් නම් යැපුම් මානසිකත්වයක් නිර්මාණය කිරීමය. ආපදාවට ලක්වූවන්ට සහන සැලැසීමේදී ක‍්‍රමවේදය වන්නේ ඔවුන් හමුවට විකල්ප ඉදිරිපත් කිරීමය. මුදලක් ප‍්‍රදානය කිරීම, ඉඩමක් ප‍්‍රදානය කිරීම, නිවෙසක් ඉදිකරදීම විය හැකිය.

එහෙත් ලංකාවේ බොහෝවිට සිදුවන්නේ තෝරාගැනීමට විකල්ප නොමැතිව එක යෝජනාවක් පමණක් ඉදිරිපත් කිරීමය. මෙන්න බලහත්කාරයෙන් පදිංචි කරනවෝ යන හඬ නැගෙන්නේ මෙවිටය. එහෙත් ලංකාවේ ක‍්‍රියාවලිය සමස්තයක් වශයෙන් අසාර්ථක යැයි කීම පූර්ණ සත්‍යක් නොවේ.

ලූනාව පාරිසරික හා ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ඊට කදිම නිදසුනකි. 90 කොළඹ ගං වතුරේදී සිදුකෙරුණු නැවත පදිංචි කිරීම්වලදී වින්දිතයන් මුහුණ පෑ විවිධ ගැටලූ ගැන යම් සාකච්ඡාවක් විණි. කොළඹින් බැහැර පර්චස් දෙකක් හා රුපියල් විසි දාහක් ඒ යටතේ වින්ධිත ජනතාවට ලැබුණි. මේ ගැටලූ නිරීක්ෂණය කළ රජය ලූනාව පාරිසරික හා ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඒ සීමාසහිතකම් අවම කරගනිමින් විකල්ප කීපයක් ඉදිරිපත් කරන්නට කටයුතු කළේය.

එහිදී සිදුවුණේ රුපියල් හාර ලක්ෂ විසි හතර දහසක මුදලක් හා ඉඩමක් ලබා දී නිවස ඉදිකරගැනීමට යෝජනා කිරීමය. ඉඩමට අකැමැති අයට කළේ රුපියල් හය ලක්ෂ දහනවදහසක් ලබාදී ඉඩමක් ද තෝරාගැනීමට ඉඩදීමය.

තවද ඔවුන් පදිංචි වනවිටම ඔවුන්ට ඉඩම් ඔප්පු ද ප‍්‍රදානය කෙරුණු අතර මෙම ක‍්‍රියාවලියට ගම්වැසියෝ ද හවුල් කරගන්නා ලදහ. රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය නොමඳව ලබාගත්තෙන් පදිංචිකරුවන්ගේ ජීවිකාව සංවර්ධනයට එය මනා පිටිවහලක් වූයේය.

එහෙත් වර්තමානය වනවිට ලූනාව වැනි ව්‍යාපෘති දියත් කිරීම පහසු නැත. ඊට හේතුව නම් ඉඩම් ප‍්‍රශ්නයයි. මේ නිසා බොහෝවිට තීන්දු කෙරෙන්නේ මහල් ව්‍යාපෘතිවේ. මම බොරැල්ල සහස්පුර මහල් නිවාස හෙවත් සිරිසර උයන ගැන පර්යේෂණයක් කළෙමි. මහල් 13 කින් හා නිවාස 671 කින් යුතු වූ එහි වැසියන් පළමුවෙන්ම ඉදිරිපත් කළ දුක්ගැනවිල්ල වූයේ ඉඩකඩ ප‍්‍රශ්නයයි.

එහි තිබුණේ වර්ග අඩි පන්සීයේ, පන්සිය පනහේ හා හයසීයේ නිවාසය. සැබැවින්ම ඒවා ඉඩකඩ අතින් ගත් කල සුවිසල් නැත. අනෙක් අතට මහල් නිවාස සංකීර්ණයක ජීවන සංස්කෘතිය ගැන අත්දැකීමක් ද නැත. මේ නිසා ඔවුන්ට සිදුවුණේ එහි පැමිණ පදිංචිවීමෙන්ම හුරුව ලබාගන්නටය.

මෙවැනි තත්ත්ව ද සැලකිල්ලට ගෙන සංඛ්‍යාත්මකව අඩු මහල් නිවාස සැලැසුම් කරන හැටියට අපි යෝජනා කළෙමු. එහෙත් එය සැලකිල්ලට ලක් නොකෙරුණු බව පෙනුණේ ඉන්පසුව වර්ග අඩි 400 නිවාස පවා සැලැසුම් වූ බැවිනි. මෙතැන තනිකරම ඇත්තේ නැවත පදිංචි කිරීමේ දේශපාලනයයි.

එනම් ප‍්‍රතිපත්ති සම්පාදනයට කෙතරම් ප‍්‍රාමාණික බුද්ධිමතුන් හෝ ශාස්ත‍්‍රීය විද්වතුන් සම්බන්ධ වුවද ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදවීමේදී දේශපාලන තීන්දු ඉස්මතුවීමයි. මෙයින් සිදුවන්නේ ආපදාවට පත් ජනතාව වට දෙකකින් බැටකෑමයි.

විපතට පත් පිරිස් අතර ද අවදානම් මට්ටම අඩු වැඩි වශයෙන් වෙනස්ය. උදාහරණයකට යම් නිවෙසක යැපෙන්නන් සංඛ්‍යාව විශාල වුවද ආදායම් උපද්දන මාර්ග ඇත්තේ එකක් පමණක් නම් හා ඉතිරි කිරීම් ද නොමැති නම් එය හඳුනාගතහැක්කේ අවදානම් ජීවන රටාවක් හැටියටය.

එසේම ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට දරිද්‍රතාවෙන් පෙලෙන පිරිසක් නම් තත්ත්වය තවත් නරකය. එවැනි පිරිසකගෙන් නව නිවාස ගැන ඇසුවහොත් ඔවුන් ඊට එකපයින් කැමැති වනු ඇත. එහෙත් එවැනි තීන්දු පෙන්වා යම් ජීවන මට්ටමක් අත්පත් කරගත් පිරිස් ද ඒ ගොඩටම තල්ලූ කරදැමීම සාධාරණ නැත.

වෙරළ සංරක්ෂණයට, ඉඩම්වලට ආදී වශයෙන් තිබෙන අදාළ අණ පනත් මගින් නීත්‍යනුකූලව විධායක තීන්දු ගෙන මිනිසුන් එසේ ඉවත් කිරීමට ආණ්ඩුවකට බලාධි කාරයක් ද තිබේ. එහෙත් නැවත පදිංචිකිරීම්වල අරමුණ සාර්ථක වනු ඇත්තේ වින්දිතයන්ට සාධාරණයක් වන අයුරින් උපරිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයුරින් කටයුතු කිරීමෙනි.

මීරියබැද්ද ජනතාව වසර දෙකක් අවතැන් කඳවුරුවල සිටියහ. ඔවුන් නව නිවාසවල පදිංචි කෙරුණේ වසර දෙකකට පසුය. මෙම ජනාවාසය ආපදා ප‍්‍රත්‍යස්ථති ලක්ෂණවලින්( නැවත නාය යෑම්වලට ලක්නොවන) යුක්ත බවයි. එසේම ඔවුහු නව නිවාසවලට ද කැමැතිය. ඊට වැඩිපුරම බලපෑවේ ඔවුන් ලැයින්කාමරවාසීන් හැටියට ඊට පෙර ගතකළ අවරප‍්‍රසාදලාභී ජීවන විලාසයයි. නව නිවාස සමඟ ඔවුන් දැන් සිතන්නේ පරිපූර්ණත්වයට පත් පුරවැසියන් හැටියටය. එනිසා යළි පදිංචි කරවීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම අසාර්ථක යැයි කීම ද පූර්ණ සත්‍යක් නොවේ.

වතු ප‍්‍රදේශවල නැවත පදිංචිකිරීම්වලදී මුහුණ දෙන ප‍්‍රශ්නයක් වන්නේ වින්දිතයන්ට සුදුසු ඉඩම් ලබාගැනීමයි. විශේෂයෙන්ම සත්ව ගොවිපළ ආදී කටයුතුවලට ඉඩකඩ ලබාගැනීම ආදියයි. දුර බැහැරට යාම වෙනුවට අවදානම සමඟම ජීවත්වීමට මිනිසුන් තීරණය කරන්නේ නම් ඊළඟට සොයාබැලිය යුතුවන්නේ පූර්ව අනතුරු ඇඟවීම් ක‍්‍රියාවලියක් සම්පාදනයයි.

ආපදා ප‍්‍රත්‍යස්ථිය සහිත නිවාස ගොඩනැඟීම කළයුතු වුවත් එය කළයුත්තේ කවුද යන්න ගැන එකඟතාවක් තවම නැත. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉදිකිරීම් ගැන යම් ප‍්‍රතිපත්ති මාලාවක් සකසා ඇතත් එය ආපදා ප‍්‍රත්‍යස්ථිය සහිත නිවාස ඉදිකිරීමේ ප‍්‍රතිපත්තියක් නොවේ.

තවද ආපදාවට පත් ජනතාව අදාළ අවදානම් කලාපයෙන් ඉවත් කළ පසු එම ඉඩම් අයත්වන්නේ කාටද හා ඒවාට කරන්නේ කුමක්ද යන්න ද තවම පැහැදිලි නැත. මේවා රජයට ලැබෙනවාද වෘක්ෂ ලතා ආඥා පනත යටතේ නීති ක‍්‍රියාත්මක වෙනවාද ආදිය ගැන නිශ්චිතව තීරණය විය යුතුය. ලංකාවේ නිවාසවලට ද ඇමැතිවරු පහක් සිටිති.

වතු නිවාස, ග‍්‍රාමීය නිවාස, බස්නාහිර නාගරික නිවාස, ධීවර නිවාස හා ආපදාපන්න නිවාස වශයෙනි. උදාහරණයකට මීරියබැද්ද නිවාස වතු යටිතල පහසුකම් විෂයට පැවැරෙද්දී තවත් නිවාස අමාත්‍යාංශ ඊට සහාය දිය යුතු විය.

මේ නිසා ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ඒකමිතියක් පවත්වාගැනීම දුෂ්කර වන අතරම බිත්තියට හේත්තුවන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පළාත් පාලන ආයතනයයි. මෙසේ බලද්දී සැබැවින්ම සංවර්ධන ව්‍යාපෘති හා ස්වාභාවික ව්‍යසන නිසා අවතැන් වන ජනතාව පිළිබඳ කතාව සැකෙවින් විස්තර කළ හැකි කරුණක් නොවේ.

එය ඉතා ගැඹුරින් අධ්‍යයනය කරමින් ප‍්‍රතිපත්ති සම්පාදනයේදී ප‍්‍රාමාණිකයන්ට අවංකව වගකීම් දිය යුතු තත්ත්වයකි. නිසි ප‍්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරගැනීම මෙන්ම අවදානම් කණ්ඩායම් හඳුනාගැනීමත් ආපදා ප‍්‍රත්‍යස්ථිය සහිත නිවාස ගොඩනගමින් මිනිසුන් දැනුම්වත් කිරීමත් එහිදී අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වන්නේ දේශපාලන වශයෙන් නිවැරැදි තීන්දු ගැනීමය.

(සටහන - බිඟුන් මේනක ගමගේ)