ජන සන්නිවේදනය නවකතාව කෙටිකතාව, කවිය, නාට්‍යය ඇතුළු කේෂ්ත්‍ර ගණනාවක් නියෝජනය කරමින් සිංහල ඉංග්‍රිසි දෙබසින්ම කෘති රැසක් සම්පාදනය කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා ජීවිතයට එක්වරක්  පමණක්  පිදෙන දිවමන් ප්‍රණාම සම්මානයෙන් පසුගිය දා පිදුම් ලැබුවේය. ඒ මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ දීය. සිංහල මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද සාහිත්‍යයටම ඔහු කළ මෙහෙවර ඇගැයීම මේ සම්මානයේ අරමුණ වී තිබේ. මහාචාර්යවරයා සමග මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි.

• ජීවිතයට එක්වරක් පමණක් පිදෙන දිවමන් ප්‍රණාම සම්මානයෙන් ඔබ මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේදී පිදුම් ලැබුවා. ඒ ඔබ සිංහල හා ඉංග්‍රීසි යන භාෂාද්වයෙන්ම සාහිත්‍යයට කළ මෙහෙවර වෙනුවෙන්. මේ ඇගැයීම් ගැන මොක ද හිතෙන්නෙ?
මේ සම්මානෙ දුන්නෙ පොත් ප්‍රකාශක සමාගමක් නිසා මම සතුටින් බාරගත්තා. ඇතැම් ලේඛකයන් පොත් ප්‍රකාශයන් ගැන දරන මතයට වඩා මේ වෙනුවෙන් මැදහත් දෘෂ්ටියක් මට තියෙන්නෙ. ඒ නිසා මම හිතුවා මේ සම්මානය ගන්න ඕනෑ කියලා.

• ඔබ ඇතුළු ලේඛකයන් බොහෝ දෙනෙකුගේ සාහිත්‍ය නිර්මාණවලට වරින් වර මෙබදු ඇගැයීම් ලැබෙන බව ඇත්ත. එහෙත් ඔබ ඇතුළු මේ ලේඛකයන් විවිධ නිර්මාණ හරහා මතු කළ සමාජය බිහිවී ඇතැයි සිතනවා ද?  එසේ නොමැතිනම් ඔබ දැරූ ප්‍රයත්නය වතුරේ යනව නේද?
මම හිතන්නෙ ලේඛකයන් ගත්න ප්‍රයත්නය එක්තරා කාලෙක දී සාර්ථක වුණා. මීට දශක තුනකට හතරකට උඩදී ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවනම් නිසැකයෙන්ම ඒකට උත්තරය පැහැදිලියි. ඒත් දැන් මට හිතෙනවා ඒ තත්ත්වය බිඳ වැටිල කියල.
කොටින්ම තුලනාත්මක සාහිත්‍ය සේවනය අපේ රටේ වෙන්නෙ නෑ. නිර්මාණාත්මක සන්නිවේදන කාර්යය හරියට සිද්ධ වෙන්නෙත් නෑ. ඒත් මේ කාරණා සියල්ල මීට දශක හතරකට විතර උඩදී මහාචාර්ය පරණවිතාන ආචාර්ය සරච්චන්ද්‍ර වැනි උගතුන් අතින් සිද්ධ වුණා. ඒත්’ දැන් කෙරෙන විචාරවල දී අර උගතුන් අනුකරණය කළා මිසක් අලුත් චින්තනයක් මතු කෙරුණේ නැහැ කියල මට නිර්භයව කියන්න වෙනවා.

ඒ නිසාම අද සාහිත්‍යයේ බිහිවෙලා ඉන්නෙ අනුකාරකයන් රැලක්.

• ඔබ වගකීමෙන් ද කියන්නෙ?
අපොයි ඔව්. කවිය ගනිමුකො. නිකන් නිසදැස් කියල ඔහෙ කියවනවා. කොටින්ම මේ වචනෙන් වැරැදි යෙදුමක්. නිදහස් පද්‍ය කියන එක වෙනුවට නිසදැස් පද්‍ය කියනවා. අඩුම තරමේ විශ්වවිද්‍යාල සිංහල අංශවත් මහන්සි ගන්නෙ නෑ ඒක වෙනස් කරන්න.
අපට පරණවිතාන මහත්තයා ඉගැන්නුවා  අත්ථ කවි සුත කවි, චින්තා කවි, පටිභාන කවි, කියලා ඔය හතර තමයි කාව්‍ය. ඒවා අධ්‍යයනය කරන්නෙ නැතුව හිතුණු තැනින් වාක්‍ය කඩ කඩා යටින් යටින් යටින් ඔහේ පේළි ලියාගෙන යනවා. මේවා ඊට පස්සේ ඇගැයුමටත් ලක්වෙනවනෙ.

• ඒත් නිසඳැස දැන් අපේ සාහිත්‍යයේ සම්මතයක්. ඒක වෙනස් කරන්න බෑ.
ඕකෙ තේරුමක් තියෙන්න එපායැ. නිසඳැස් කිව්වාම වචනෙ තේරුමක් නෑනෙ. සඳැස් නැතුව කොහොමද අඩු ගානෙ කතා කරන්නෙවත්. මහාචාර්ය සිරි ගුනසිංහ ලිව්වෙ නිදහස් පද්‍ය. මහගම සේකර ලිව්වෙත් එහෙම. පේමතෝ ජායතී  සෝකෝ නාට්‍යයේ තියෙන්නෙ නිදහස් පද්‍යනෙ. නිදහස් කියන්නෙ චින්තාකවි. චින්තනයට නිදහසක් තියනවා.
    
අනික් අර්බුදේ තමයි මේවා නිවැරැදිව කියල දෙන යහපත් පරිවර්තන එන්නෙ නෑ. රුසියාවෙනුයි, චීනෙනුයි ඉන්දියාවෙනුයි.  එංගලන්තෙනුයි ගන්න ඒවා මිසක් වෙන මොනවද ඇවිත් තියෙන්නෙ? ඒත් තව කොච්චර තියනව ද? ස්පාඤ්ඤය, ඉතාලිය. ඕස්ට්‍රේලියාව කැනඩාව, අප්‍රිකානු කලාපය ඇයි ඒවා එන්නෙ නැත්තෙ. ඒවා ගැන හොයා බලන්න සාහිත්‍ය උගන්වන අය උනන්දු වෙන්නෙත් නෑ. ඒ නිසා ඒක කඩා වැටීමක්.
    
අනික් පැත්තෙන් අපේ ස්වාධීන සාහිත්‍ය කෘති ලියන අය පැත්තකට කරල තියනව. ගමේ ගොඩේ නැතිවී යන සංස්කෘතික කාරණා ගැන හොඳ පොත් අදත් ලියැවෙනවා. ඒත් අවධානය යොමු වෙලා තියෙන්නෙ ඕලාරික ප්‍රේමකතාවලට. මේ තත්ත්වය නම් වෙනස් කරන්නම වෙනවා. මම ඒ වෙනස වෙනුවෙන් ඕනෑම වෙලාවක කර දීලා උරදීල ඉන්නවා.

• සාහිත්‍ය සම්මන්ත්‍රණ සාකච්ඡාවල දී ඔබ මොකද ඔය කේන්තියෙන් කලකිරීමෙන් වගේ නිතරම කතා කරන්නෙ?
සත්‍යමි, ශිවමි, සුන්දරම් කියල තියනවනෙ. සාහිත්‍යයේ ඔය කාරණා තුන නැතිනම් ඒ සාහිත්‍යය මළානිකයි කියල කියනවනේ.
කාව්‍යකරණය මම දකිනව අද බහුලීකරණය වෙලා තියනවා. ඒත් ඒ අතර ඇගැයෙන්නෙ සත්‍යම් ශිවම් සුන්දරම් නෙවෙයි. කවිය නිකාං ඕලාරික වෙලා බෑ. ඕකෙ මේ කියන කාරණා තුන තියෙන්න ඕනෑ.
ගීත ත්  එහෙමයි. දැන් තියෙන  බොහෝ ගීත ඕලාරිකයි. ඒ නිසා හරියට හිතට වදින්නෙ නෑ. ඒත් දැන් චිත්‍ර කලාවත් චිත්‍රපට කලාවත් යම් ඉදිරියක් පෙන්වමින් ඉන්නව කියල මඟේ මිතුරන් කියනවා.
මේකෙ ඉම පුළුල් කිරීමේ අයිතිය කතා කරන කොට කෙනෙකුට පේනව ඇති මගේ කලකිරීමක් වාගේ. ඒක ඇත්තටම කලකිරීමක් නෙවෙයි. වෙනස් කළ යුතු නොවේදැයි කියල අහන ආකල්පයක්. මේ අය ගෝලීයකරණයට අහුවෙලා නෑ වගේ.
අද ලියැවෙන කවියේ නවකතාවේ ස්පන්දනය කුමක්ද? මේවා කවුද ප්‍රශ්න කරන්නේ? දැනෙන්නෙ නැද්ද? මේ අයට දැනෙන්නෙ නෑ වාගෙ. ඒක එහෙම තියෙද්දි අපට ඉස්සරහට යන්න බෑ. යා යුතු කට්ටිය තවත් භාෂා දැනගෙන ඉන්න එක වැදගත්.
ඉස්සර පඬිවරු පාලි සංස්කෘත සිංහල භාෂා තුනම දැනගත්තා. ඉංග්‍රීසිත් දැනගෙන හිටිය. අද පාලි සංස්කෘත දන්නෙත් නෑ. සිංහල හරියට දන්නෙත් නෑ. ඉංග්‍රීසි දන්නෙම නෑ. ඒ නිසා අනෙක් පැත්තෙන් නරක පරිවර්තන එනවා. හොඳ පොත් අගයන අයත් නැතුව යනවා.

• මෑත කාලීනව අපේ රටේ සාකච්ඡා වුණ පශ්චාත් නූතනවාදය ඇතුළු ප්‍රවණතාවලට ඔබ බරපතළ විදිහට පහර ගහන්නෙ ඇයි?
මගේ විවේචනය බරපතළ වෙන්නෙ ඔය කියන කෘති නරකට ලියැවුණ නිසයි. සමහරු මගේ මිත්‍රයෝ තමයි. මොකද කරන්නේ? අපේ සමාජ සංසිද්ධියක් නැති සමාජ පෙරළියක් වැටහෙන්නෙ නැති පරිසරයක අපට සමාජ ස්පන්දනයක් ඇති වෙන්නෙ නෑ. ඇතැම් නූතනවාද කනින් කොනින් අහපු පලියට පොත් ලියන මිනිස්සුන්ට අපිට ගරුකරන්න බෑ. ඔවුන් බොක්ෂින් ගහල තියෙන්නෙ ප්‍රතිමල්ලවයෙක් නැතුව, ඉතින් පලක් තියෙයි ද?

• මෙවර පැවැති සාහිත්‍ය සම්මාන උත්සව සහ ඒවායේ  ඇගැයීමට ලක් වූ කෘති ගැන යම් යම් විවේචන එල්ල වුණා. ඔබ මේ ගැන අවධානයෙන්ද ඉන්නෙ?
මට නම් ඕව බලපාන්නෙ නෑ. මට හුඟක් සම්මාන ලැබි තියනවා. ඒත් බලපුවාම ගොඩක් වෙලාවට මට සම්මාන  හම්බවුණේ මඟේ හොඳ පොත්වලට නෙවෙයි. ඕවට කම්පාවෙන්න හොඳ නෑ. ගැටුම් අතිකර ගන්නෙත් මොකටද. ඕවට මට මේ  සාහිත්‍ය  විචාරවගේ  දේවල් දකිනකොට හාස්‍යයක් මතුවෙනවා. මට හිනා යනවා. මේ හෑල්ලු බව දැකලා. දැන් සාහිත්‍යයේ විහිළුකාරයෝ පිරිලා. කවුරුත් අමනාප වෙන්න පුළුවන්. ඒත් මොකද කරන්නෙ. මං ඔය කාටවත් ගරහන්නෙ නෑ. ඒත් මේ ප්‍රමිතීන් වෙනස් වෙන්න ඕනෑ.

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)