මේ වසර සඳහා සැලසුම් කරන ලද අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක වුවත් එය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියෙන් බැහැර වීම ආර්ථික සංවර්ධනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. 

මේ දක්වා කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සෑම අයවැය ලේඛනයක් හා සැසඳීමේදී ඒවායේ අවසන් මූල්‍ය ප්‍රතිඵලය මුලින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ සංඛ්‍යාවලට වඩා හාත්පසින්ම වෙනස් විය. මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ තත්ත්වය ද එසේ නොවනු ඇතැයි සිතිය නොහැක. 

එබැවින් මෙවර ඉදිරිපත් කරන අයැවයේ වඩාත් වැදගත් වනුයේ මුල් අයවැය ලේඛනයේ සංඛ්‍යා හෝ පසුව කරන සංශෝධන හෝ තීන්දු හෝ පාර්ලිමේන්තුවේදී කරන විවාද හෝ නොව මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේ අවසන් මූල්‍ය ප්‍රතිඵලයයි. එම අවසන් මූල්‍ය ප්‍රතිඵලය රටේ ආර්ථිකයේ අනාගතය තීරණය කරනු ඇත. 

මේ වසරේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තිබෙන ඉතා ආසන්නම අනතුර වනුයේ සැලසුම් කළ ප්‍රමාණයට වඩා අයවැය හිඟය වැඩි වීමයි. කලින් සඳහන් කළ පරිදි රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියෙන් බැහැර වීම ආර්ථික සංවර්ධනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. අයවැය ඉලක්ක ගිලිහී යෑම ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් එල්ල කරනු ඇත. 


2020-2021 ණය වැඩ සටහන යටතේ තැබූ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක ඉලක්ක තරමක් පස්සට දමන්නැයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇතැයි මෑතකදී පළවු රොයිටර් පුවත් වාර්තාවක දැක්විණි. ඒ අනුව ප්‍රධාන මැතිවරණ සඳහා වියදම් කිරීමට ආණ්ඩුවට අවස්ථාවක් උදාවනු ඇත. 

රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා මාර්ගයෙන් පිටස්තරව කටයුතු නොකරන බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළ ද මේ වසර මැතිවරණ වසරක් බැවින් තදින් වියදම් සීමා කළ නොහැක. මේ තත්ත්වය හේතුවෙන් වියදම් වැඩි කිරීමට විශාල දේශපාලන පීඩනයක් එල්ල වනු ඇතැයි පෙනෙන්ට තිබේ.  

අන්තර්ජාතික මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අයවැය හිඟයට අදාළ ඉලක්ක ලිහිල් කරනු ඇත්දැයි යන්න බලා සිටිය යුතුය. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව මේ වසරේදී ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදල ගෙවිය නොහැකි බව දැනට අප දන්නා කරුණයි. 

එම ණය මුදල වියදම් වැඩි විශාල එකකි. දැනට ලබා දී තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ අවසන් වාරිකය වසරකින් දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාව පළ කර ඇත. එයින් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මෙරටට ලැබී තිබෙන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ලැබීමට නියමිතය. නව එකඟතාව අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ලැබීමට නියමිතව තිබූ අවසන් වාරිකය වනු ඩොලර් මිලියන 500ක මුදල මේ වසර පුරා සමාන වාරිකවලින් ලැබෙන ඇත. 
ඉදිරියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂිත අතර ආණ්ඩුවව ඩොලර් බිලියන 3ක බැඳුම් කිරීමට ද සැලසුම් කරමින් සිටී. ණය ගැනීමේ කොන්දේසි තවදුරටත් ආකර්ෂණය කරගැනීම සඳහා සහ එය සුරක්ෂිත කරගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය වැඩසහන අවශ්‍ය වේ.

වඩාත් වැදගත් වනුයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබෙන අරමුදල්වල ප්‍රමාණය නොව එම අරමුදල වැඩසටහන නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර විශ්වාසයයි. ජාත්‍යන්තර විශ්වාසය මෙරට ආර්ථිකය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එම නිසා ආණ්ඩුව කලින් එකඟවූ අයවැය ඉලක්ක සපුරාගැනීමට ක්‍රම සහ විධි සොයාගත යුතුය. විශේෂයෙන්ම නාස්තිකාර වියදම් කපා හරිමින් සමස්ත ඉල්ලුම සීමා කරන අයැවය සහ රාජ්‍ය මූල්‍ය පියවර ගනිමින් සහ වෙළෙඳ හිඟය වර්ධනය කරමින් එම ඉලක්ක සපුරා ගත යුතුය. එම අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමේදී බල කිරීම් කිසිසේත් හිතකර නොවේ. 

මේ වසර ගෙවී යද්දි වියදම් අධික වුවහොත් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක අගයක් දක්වා හෝ අඩු කරගැනීම සඳහා වසර මැදදි පියවර ගත යුතුය. 

මේ වසර සඳහා ඉදිරිපත් කරන අයවැය ජනප්‍රියතාව ලබාගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයක් වනු ඇත. එබැවින් එහි තිබෙන වියදම් අධික වනු ඇත. එම නිසා මෙවර අයවැය ජනප්‍රියතා අයවැයක් යනුවෙන් හැඳින්වීමේ වරදක් නැත. 

සමෘද්ධිය, ගම්පෙරළිය සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන්වලට කෙරෙන වියදම් වැඩි කර තිබෙන අතර ඒවා සංවර්ධන වැඩසටහන් යනුවෙන් නම් කර ඇත. එනමුත් එම වැඩසටහන් ජනප්‍රියාතව ඉහළ නැංවීම සඳහා කෙරෙන වියදම්ය. එම වැඩසටහන්වලින් ඒවා ලබාගන්නන්ගේ ආදායම් වැඩිවනු ඇති නමුත් එමඟින් ආර්ථික සංවර්ධනයට හිතකර බලපෑමක් ඇතිවේද යන්න සැක සහිතය. එම වැඩසටහන්වලින් උද්ධමන බලපෑමක් ද විය හැකිය. 

අයවැය ලේඛන ගත නොවූ අයැවය 

ඊට අමතරව අයවැය ලේඛනයට ඇතුළත් නොවූ බොහෝ වියදම් ද තිබිය හැකිය. වැටුප් වැඩි කරන්නැයි කරන ඉල්ලීම් දරා සිටිය හැකි ඒවා නොවේ. දැනටමත් අර්බුදකාරී තත්ත්වයක පවතින රාජ්‍ය සේවයට අධ්‍යාපනය ලැබූ උගත් රැකියා විරහිත පිරිස බඳවාගන්නා නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබෙනවාද යන්න සැක සහිතය. 

විවිධ සේවා සඳහා කෙරෙන ඉල්ලීම්වලට පරිපූරක ඇස්තමේන්තු මගින් අරමුදල් සැපයීමට සිදුවනු ඇත. එම නිසා වියදම් අපේක්ෂිත සීමා ඉක්මවා යෑම බොහෝ විට සිදුවන ඇත. 

ආදායම්  

පසුගිය වසර දෙකක කාලයේදී සැලකිය යුතු ලෙස ආදායම් ඉහළ ගියේය. දළ නිෂ්පාදිතයෙන් 11% ක් දක්වා පහත වැටී තිබූ ආදායම් 2018 වසරේදී 14% ක් දක්වා ඉහළ ගිය අතර මේ වසරේදී 17% ක් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ. එසේ වුවත් මැතිවරණ වසරකදී ආණ්ඩුවල ප්‍රමුඛතම ඉලක්කය වනුයේ මැතිවරණ ජයග්‍රහණය කිරීමය. එම නිසා මේ වසරේදී ආදායම අපේක්‍ෂිත මට්ටම වන 17්‍% දක්වා වැඩිකරගත හැකිවේද යන්න ගැටළුවකි. 

ආදායම් ඉහළ නැංවීමට බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව සහ පලදායීතාව ඉතා වැදගත් අතරම බදු නිදහස් කිරීම් සහ බදු අඩු කිරීම් හැකිතාක් අඩු  කිරීම ද ඉතා වැදගත් වේ. බදු ක්‍රියාමාර්ග ගැනීමේදී රජය ශක්තිමත් පියවර ගත යුතු අතර බදු නිදහස් කිරීමටවලට කිසිසේත් ඉඩ නොදිය යුතුය. 

වඩාත් වැදගත්ම කරුණ වනුයේ මේ වසරේදී අයවැය හිඟය සීමා කිරීම සඳහා රජයේ වියදම් සීමා කළ හැකි ද යන්නයි. දේශපාලන බලපෑම් නිසා සිතන තරම් අයවැය ඉලක්ක ගිලිහී නොයනු ඇතැයි යමෙකුට බලාපොරොත්තු තැබිය හැකිය. එමෙන්ම ආණ්ඩුව ආර්ථික ස්ථාවරත්වය සහ දීර්ඝකාලීන ආර්ථික වර්ධනය කෙරෙහි සැලකිලිමත් වනු ඇතැයි යනුවෙන් ද බලාපොරොත්තු තැබිය හැකිය. එබැවින් මේ වසරේදී අයවැය හිඟය සම්බන්ධයෙන් තැබූ ඉලක්ක සපුරාගැනීම සඳහා ආණ්ඩුවට වියදම් සීමා කළ හැකි ද ?
අප ඉදිරියේ ඇති බරපතළම පැනය එයයි. 

ආචාර්ය නිමල් සඳරත්න විසින් ද සන්ඬේ ටයිම්ස් වෙත සැපයූ ආර්ථික විග්‍රහය ඇසුරිනි
සැකසුම : හර්ෂණ තුෂාර සිල්වා