“ඇය තරම් චිත්‍රපට ගීත වැඩිම ගණනක් ගැයූ ගායිකාවක් ගැන ඔබ අසා තිබේ දැයි මම නොදනිමි. එය සත්‍යයකි. ඇගේ එක ගීතයක් වත් නොඇසූ කෙනෙකු නැති තරමට ඕ රසිකයන්ට සමීප බව අපි දනිමු” ලංකාවේ “ලතා මංගේෂ්කාර්” නමින් කලකට ඉහත ඇය හැඳින්වුවත් “ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් මෙන්ම මැනවින් චිත්‍රපට ගී ගැයූ බව නම් ඇත්තකි. තව දින පහකින් (නොවැම්බර් 11 වැනිදා) සිය ජීවන ගමනේ 83 වැනි වසර සපුරණ ඇය හාපුරා කියා ගීතයක් ගයා (1947) හරියටම වසර 70ක් සම්පුර්ණ කිරීම ද තවත් විශේෂයකි.

වසර  50කට කිට්ටු කාලයක් ඇය ඇසුරු කිරීමෙන් මා දුටු සුවිශේෂී ලක්ෂණ කිහිපයක් වෙයි. ඇය හදවතට එකඟව කිවයුතු දේ නොවලහා කෙනෙකුගේ මූණටම කියන්නීය. සෑමවිටම සත්‍යයම කතා කළ ඇය ඇතැම්විට අමුවෙන්ම එය කියා දැම්මාය. ඒවායින් පසුව ඇයට වන පාඩුව ගැනද ඇය තඹ සතේකට වත් නොසිතුවාය. ඒ ඇගේ හැටිය. එහෙත් වහා උණුවන හදවතක් හිමි ඇය මනුෂ්‍යත්වය, සාධාරණත්වය ඉහළින් සැලකුවාය.

මාතරගේ රීටා ජෙනෙට් ප්‍රනාන්දු නම් ඇය 1934 නොවැම්බර් 11 වැනිදා බම්බලපිටියේදී උපත ලැබුවාය. පියා ලීනස් ප්‍රනාන්දුය. එලිසබෙත් මියුරියල් මවය. පවුලේ දරු තිදෙනාගෙන් බාලයා රීටාය.

“මම මුලින්ම පාසලකට ගියේ ගල්කිස්සේ ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට. මගේ පියාට හොඳට එකෝඩියන් එක වාදනය කරන්න පුළුවන්. ඇතැම් රාත්‍රියක තාත්තා මිත්‍රයන්, හිතවතුන් හා ගෙදර පිරිස එකතු කර ගෙන සිංදු කියනවා. පුංචි දවස්වල ජනෙල් පොලු අස්සෙන් ආකාසෙ දිහා බලාගෙන තනියම මම සින්දු කිව්වා. සින්දු කිය කියා මම්මට පොල් ගාලා, ලූනු සුද්ද කරලා දුන්නා. සමහරදාට ගෙදර උයන්න පරක්කු වුණාම මම ඉක්මනට නිදියගෙන මම්මා මාව නැගිට්ටවලා බත් කවන කොටත් මම නිදිමතේම “හඳපානේ.... කිරි මූදේ....“ කිය කියා බත් කනවලු. මට වඩා මගේ ගායන හැකියාව ලෝකෙට පෙන්වන්න ඕනෑ වුණේ මම්මට. සුනිල් ශාන්ත, බී.එස්. පෙරේරා, එඞ්වින් සමරදිවාකර කියන ඒ කාලේ හිටපු මහා සංගීතඥයෝ ගාවට යවල මට සංගීතය උගන්වන්න මම්මට ඕනෑ වුණා” රීටා පුංචි කාලේ ගැන කතා කරමින් කීවාය.

දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ උස් හඬින් ගීත ගැයූ දැකුම්කළු කෙල්ල ගැන ප්‍රධාන කන්‍යා සොහොයුරියත් පූජාප්‍රසාදිතුමාත් විමසිලිමත් වූහ. මේ නිසා රීටාට දෙහිවල රත්මලාන ආදී පළාත්වල දේවස්ථානවල ද ගීතිකා කීමට අවස්ථාව ලැබුණේය. ගීතයට, සංගීතයට කැමති වුණත් රීටා සිහින මැව්වේ අනාගතයේ නර්ස් නෝනා කෙනෙකු වීමටය.

රීටාගේ ගායනා මුලින්ම හඳුනාගත්තේ අසල්වැසියකු වූ වින්සන් ද අල්විස්ය. දක්ෂ වයලීන් වාදකයකු වූ ඔහු රීටා කැටුව ගුවන් විදුලියට ගෙන ගියේය. එහිදී එඞ්වඞ් පෙරේරා තැනූ තනුවකට සරත් විමලවීර ලියූ ගීත රචනය රීටා, වින්සන්ට් සමග “ක්‍රිෂ්ණජිනා මා නංගී” ගීතය ගැයූහ. ඒ 1947 වසරේය. රීටා ගැයූ මුලින් තැටියට නැංවූ ගීතය ගැයුවේ අර්වින් ෆොන්සේකා සමගය. මේ ගීතය සංගීතවත් කළේ අර්වින්ගේ පියා වූ දෙහිවල සී.ඒ. ෆොන්සේකාය.

“නමෝ මරියනී, නමෝ මරියනි
නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනි
දේව පුත්‍රයා ස්ප්‍රිතුසාන්ත වරමිනා
පිළිසිඳෙය දේවි බලෙන් ශ්‍රී ඔබේ කුසේ”

වසර 70ක ඉතිහාසයක් ඇති රීටා ගැයූ මේ මරිය මව් බැති ගීතය බෞද්ධ ගුරුවරයකු රචනා කිරිම ද තවත් විශේෂයකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ කාලිදාස කුරුකුලසූරියයි ඔහු. 


මම ගුවන් විදුලියේ ගීත ගැයීම ගැන ප්‍රධාන කන්‍යා සොහොයුරිය උරණ වුණා. ඇය සිතා සිටියේ මා අනාගතේ හොඳ හෙදියක් වී කවදා හෝ තමාටත් උපස්ථාන කරයි කියලා. මගේ ගායන හැකියාවන් තේරුම් ගත් මර්සලින් ජයකොඩි පියතුමාත්, පී.එල්.ඒ. සෝමපාල මාව බිෂොප් මැදුරට ගෙන ගිහින් තෝමස් කුරේ කාදිනල් හිමිපාණන්ට හඳුන්වා දුන්නේ “මේ දරුවා අනාගතේ දක්ෂ ගායිකාවක් වේවි” කියා හඳුන්වා දෙමිනි.

“දරුවා ඔබ බොහොම පරෙස්සමින් මේ ගමන ඉදිරියටම යන්න” කාදිනල්තුමා මට ආශිර්වාද කොට බයිබලයක් තෑගි කළා” රීටා කීවාය.

රීටා ජෙනෙට් ප්‍රනාන්දුගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය එවකට ජනප්‍රිය ගායකයකු හා චිත්‍ර ශිල්පියෙකුව සිටි සුසිල් ප්‍රේමරත්නයන් හමුවීමය. වින්සන්ද අල්විස් විසින් ඇය සුසිල්ට හඳුන්වා දුන්නේ “හොඳට ගීත ගැයීම පුළුවන් කෙල්ලක ලෙසය. ඇය සුසිල් ඉදිරියේ ගීතයක් ගායනා කළාය.

“මොකක්ද මේ ළමයගේ නම?”
“රීටා ජෙනෙට් ප්‍රනාන්දු”

“ඒ නම කලා ලෝකයට ගැලපෙන්නේ නැහැ. අපි “ලතා” කියා කියමු. සුසිල් කීවේය.

එකල සුසිල් ප්‍රේමරත්නයන්ගෙන් චිත්‍ර කලාව ඉගෙනීමට ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් පැමිණ සිටියහ. මේ දෙදෙනාගෙන් එක් සිසුවකු පසු කලක සිනමාවේ සක්විති ලෙස හැඳින්විණ. ඔහු ගාමිණී ෆොන්සේකාය. අනෙක් සිසුවා වූ තිස්ස හේවා විතාරණ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලෙස ද වෙළෙඳ ප්‍රචාරක ක්ෂේත්‍රයේ ඉහළටම නැංගේය. ගාමිණී හා තිස්ස සුසිල් මාස්ටර් හා ගීත පුහුණු වීමට එන ලතාගේ මධුර මනෝහර ගී රාවය අසා සිට ඇත්තේ නොතිත් ආසාවෙනි. සුසිල් ප්‍රේමරත්නයන් සමග ඇය ගැයූ “රන්වන් කරලින් පැසිලා”, “රූ රැසේ අඳිනා ලෙසේ”, “මිහිරි සුවඳ විහිදුවා’, “කළු කැලණි නදී” ආදී ගීත ගුවන් විදුලියෙන් ජනප්‍රිය විය.

ලතා චිත්‍රපට ගීත ගායනයට පිවිසෙන්නේ 1953 වසරේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ “එදා රෑ” චිත්‍රපටයෙන් වුවද ඊට පෙර “සුජාතා” චිත්‍රපටයට ඇය තෝරා ගෙන තිබූ බව ලතා කීවාය.

“මාව මුලින්ම “සුජාතා” චිත්‍රපටයේ ගීත ගයන්න තෝරා ගත්ත බව කිව්වේ සිනමාස් සමාගමේ නිෂ්පාදන කළමනාකාර ජේ. චාල්ස් පෙරේරා. 1952 වසරේ ඔහුට මාව රෙකමදාරු කර ඇත්තේ පී.එල්.ඒ. සෝමපාලය. ඒත් තාත්තා ඒකට අකමැති වුණා. තව දවසක් “අසෝකමාලා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න අපේ ගෙදර ආවා. ඒ ඇවිත් “එදා රෑ” චිත්‍රපටයේ ගීත ගයන්න අවස්ථාවක් දෙන්න. හොඳ වෙලාවට එදා තාත්තා හිටියෙ නෑ. මොහොමඞ් ගවුස් මාස්ටර් ඒ කාලේ ග්‍රාමෆෝන් ගීතවලට සංගීතය සැපයූ ජනප්‍රියම පුද්ගලයා. අනික ගීත ලිව්වේ සී.ටී. ප්‍රනාන්දු. “අසෝකමාලා” චිත්‍රපටයේ ලස්සන ගීත සියල්ලම ලිව්වේ එයා. මම හරිම කැමැත්තෙන් හිටියේ ඔහුගේ ගීතයක් ගයන්න. මේ චිත්‍රපටයේ හර්බි සෙනෙවිරත්නයි මමයි “හරි.... හරි... හා හා හරි හරි තෑගි නං කෝක උනත් පිරියා... හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා”, මයි ප්‍රීති ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍යාරී වෙන්කෝ ආලේ” ගීත තුනක් ගායනා කළා. මේ ගීත ජනප්‍රිය වීම නිසා මට ඊළඟට එස්.ඇම්. නායගම්ගේ ප්‍රේමතරගය  චිත්‍රපටයේ ගීත ගයන්නට සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමි තෝරා ගත්තා. ලතා අතීත සිද්ධි විස්තර කළාය.

“ප්‍රේම තරගය” චිත්‍රපටයේ ලතාගේ සිනමා ගායනා ජීවිතයේ සුවිශේෂී මංසලකුණකි. එහි ඇය ගැයූ “හෝ හඬ දී බැස යන ගංගා”, “උගත්තු වියත්තු” ගීත පටිගත කිරීමෙන් පසු යුග ගීත දෙකක් පටිගත කිරීමට තිබුණි. මේ යුග ගීත ගැයීමට නියමිතව තිබුණේ අරුණ ශාන්තිටය. ඊට කලින් රුක්මණී දේවි සමග “පෙරළන ඉරණම” චිත්‍රපටයේ යුග ගීත ගැයූ ඔහු “ප්‍රේම තරගය” චිත්‍රපටයේ ප්‍රධාන නළුවාද වුණා. එදා ඒ ගීත දෙක ගැයීමට අරුණ ශාන්තිට නොහැකි වීම නිසා සංගීතඥයාට උභතෝකෝටික ප්‍රශ්නයක් මතුවිය. වාදක මණ්ඩලයේ සිටි තබ්ලා වාදක එම්. ආරියදාස ගායන කුසලතා ඇති නවක තරුණයකු කැඳවාගෙන ආවේය. ඒ ධර්මදාස වල්පොලය. ඔහු ලතා සමග “ප්‍රේම තරගය චිත්‍රපටයේ ගැයුවේ තරගකාරී ගීතයකි ලතා කීවාය.

මේ ගිතය මගේ ජීවිතයට නොසිතූ ලෙස බලපාවි යයි හීනෙන්වත් හිතුවේ නැහැ. ගීතයෙන් කියවෙන්නේ ආදරය ගැන කියවෙන තරගකාරී අදහස්. හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් ඒ ගීතය ලිව්වේ. ඒ ගීතයෙන් මගේ ජීවිත ඉරණම වෙනස් වුණා.

“හොඳ හොඳම වේය ලොව
කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිනුවේ
සිත ඊර්ෂ්‍ය මාන ගති නැති නිසාම අපි 
ප්‍රේම තරගෙ දිනුවේ”

මේ ගීත පටිගත කරන අතර ඔවුනොවුන්ගේ ඇස් දෙක නිතර ගැටුණි. ඔවුන් දෙනෙතින් කතා කළා මිස ආදරය ගැන ඉඟි පහළ කළාය. දෙදෙනාගේ ආඩම්බර කමට එය යටපත් කරගෙන සිටියහ. මේ අතර හියුගෝ මාස්ටර් ලතාට, ධර්මදාසගේ නම ඈඳා විහිළු කළේය. තද නීතිකාරයකු හා ප්‍රතිපත්තිගරුක ගති ඇති කිසිවෙකුට බාල්දු නොවූ ධර්මදාස තම සිතැඟි වක්‍ර ආකාරයෙන් හියුගෝ මාස්ටර් හරහා සන්නිවේදනය කර ගත්තේය. ලතා ද ධර්මදාසට නොදෙවෙනිය. තමා වෙත ධර්මදාස පැමිණ මේ ගැන කතා කරන තෙක් ඇය බලා සිටියාය.
“ලතා මම ඔයාව විවාහ කර ගන්න කැමතියි” ධර්මදාස ඉස්සර විය.

“අපි දෙන්නා ටිකක් ආශ්‍රය කරලා බඳිමු” ලතා කීවාය. ලතාගේ සිත ද ඔහු කෙරෙහි ඇදී තිබුණි.
විවාහයට ලොකුම බාධකය වූයේ ආගමය. ධර්මදාස තද බෞද්ධයෙකි. ලතා ද තද කතෝලික බල කණුවක් වූවාය. එහෙත් ආදරයට ඒ සියල්ල ඔට්ටු නැත. 1958 අප්‍රේල් 07 වෙනිදා හෙවත්  උපන් දිනය දා කොල්ලුපිටියේ සිරිකොත ශාලාවේදී කලාකරුවන් රාශියකගේ ආශිර්වාද මැද ධර්මදාස හා ලතා අතිනත ගත්හ. 

ඒ කාලේ අපි දෙන්නට චිත්‍රපටවල ගී ගයන්න ලොකු ඉල්ලුමක් තිබුණා. මේ දවස්වල නායගම් මහත්තයාගේ “පුදුම ලේලි” හා “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටවල මගෙත් ධර්මදාසගෙත් ගීත ජනප්‍රිය වී තිබුණා. දවසක් සිනමාස් අධිපති ගුණරත්නම් මහත්තයා, නායගම් මහත්තයාගෙන් අහල තිබුණලු “ලතාට සින්දුවකට කොච්චර ගෙවනවද?” කියලා. ගත් කටටම මිස්ටර් නායගම් කිව්වලු “අපි රුපියල් 300ක් ගෙවනවා” කියලා. “අපෝ ඒක ලොකු ගාණක් නේ” කියලා කිව්වත් මිස්ටර් ගුණරත්නම් මාවත් ධර්මදාසවත් “රදළ පිළිරුව” චිත්‍රපටයට ගීත ගයන්න තෝරා ගත්තා. ඇත්තටම රු. 300ක් ඒ කාලේ ලොකු මුදලක්. හැබැයි මිස්ටර් නායගම් මට ගෙව්වේ රු. 150ක් බව මිස්ටර් ගුණරත්නම් දැන සිටියේ නැහැ.”

ඒ යුගයේ ජනප්‍රිය චිත්‍රපට ගීත ගැයූ දකුණු ඉන්දියානු ගායිකාවක් වූ කේ. රාණි, ජික්කි, ජමුණා රාණි, සත්‍යවතී, සරොජා ජානකී, බාල සරස්වතී අභිබවා ලතා නැගී සිටියාය. ලතාගේ හඬ සැබැවින්ම සිංහල අපේ හඬය. ධර්මදාස ද ඊට නොදෙවෙනිය. මේ දෙදෙනා තනිව ගැයූ ගීත මෙන්ම යුග ගීත ද එකල අතිශය ජනප්‍රිය වූහ. ඔවුන්ගේ හඬ tod Screen Voice  ලෙස හැඳින්විණ. මේ දෙදෙනා ගැයූ යුග ගීත අතර මට මතකයට එන ගීත කිහිපයකි මේ. “ලංකාරෙන් මලක් පිපී” (අහංකාර ස්ත්‍රී), “මිහිර පෙන්නා දී ආනන්ද සාගරේ” (රදළ පිළිරුව), “පෙම් මාලා ගොතා ගෙලේ” (මාතලන්), “සුදා සුදු රෑ වෙලා” (ශූරයා), “දෑතට දෑත තියලා”, පිපෙන කුසුමන්” (වන මෝහිනී), සැබෑවේ සිහිනය මගේ” (ඩිංගිරි මැණිකා), “ඔබ බැල්ම ඔය කැල්ම” (කුරුළු බැද්ද), මංගල දිනයේ (සීතල වතුර) “නිලට නිලේ විහිදී යයි” (ධීවරයෝ) මේ දෙදෙනා තනිව ගැයූ ගීත ලැයිස්තුව දිග වැඩි නිසා නොලියමි.
ලතා ගැයූ ගීත අතරින් වඩාත් කැමති ගීතය කුමක් දැයි මම වරක් ඇසුවෙමි. ඇය ඒ ගීතය මිමිණුවාය.
“ප්‍රේමයෙ චන්ද්‍රයා යයි බැස, මා හදා සෝකයේ අඳුරෙහිලා හෙළා”

“මේ ගීතය නවලෝක සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාගේ නෝනා (ශ්‍රිනි) අහන්න කැමතියි. මම ඒ නිවසට ගියොත් අනිවාර්යයෙන්ම ඇගේ ඉල්ලීම නිසා තුන්වරක් වත් මට ඒ ගීතය කියන්න සිද්ධ වෙනවා. ඇය අද ජීවතුන් අතර නොසිටීම කනගාටුවක් ලතා කීවාය.

ලතා චිත්‍රපට නිළියක් හා දක්ෂ දෙබස් කැවීමේ ශිල්පිනියක බව බොහෝ දෙනෙක් නොදනිති. පුදුම ලේලි, ප්‍රේම තරගය, රදළ පිළිරුව චිත්‍රපටවල දඟකාර චරිත රඟ පෑ ලතා “අංගුලිමාල” චිත්‍රපටයේ සිංහල පිටපතේ රාජකුමාරිය ලෙස රඟ පෑ නිම්මිට දෙබස් කැව්වාය. අංගුලිමාල ලෙස රඟ පෑ භාරත් භූෂාන්ට හඬ කැව්වේ ඩොමී ජයවර්ධනය.
ලතා මීට වසර 44 එපිට ගායනා ක්ෂේත්‍රයේ මුදුනට නැග සිටියදී “දීපශිඛා” පත්‍රය සඳහා ගාමිණී විජේතුංග හා කළ සංවාදයක කොටසක් මට මතක් විය.

“මොකක්ද දෙයියනේ, මේ කටහඬත් ටික කාලයයි නෙ තියෙන්නේ. හැමදාම පවතින දෙයක් යැ. අලුත් අලුත් අය එන්න ඕන. ධර්මදාස නිතරම කියන්නෙ ඒක තමයි. අපි සිංදු කියල ජීවත් වෙන්න ඉන්නෙ නෑ. සිංදු අපි නිසා ජීවත් වෙන්නෙත් නෑ. ඒක අපේ එක්තරා විනෝදාංශයක් වගේ දෙයක්. එහෙම නැතුව අපට ඕන නෑ කාටවත් කටු ගහල බ්ලේඞ් තල පාවිච්චි කරල ජීවත් වෙන්න. පින්තූරයක් හම්බ වුණොත් සිංදු කියනව. නැත්නම් නිකම් ඉන්නවා.”

එදා මෙදා අතර වසර 70ක් ලතා අපරාජිතව ගී ලොව වැජඹෙන්නේ ‘හෙළ ගී රැජින’ ලෙසය.
ප්‍රේමසිරි කේමදාසගෙන් ගායකයකුට හෝ ගායිකාවකට හොඳක් ඇසීම සිදුවන්නේ කලාතුරකිනි. වරක් ඇය ගැන අපූරු රෙකමදාරුවක් දුන්නේය. 

“සැනසුම කොතැනද” චිත්‍රපටයේ ආදරයේ රන් විමනේ මැණික් සඳක් පායලා” නම් ගීතය ලතා ගායනා කරවීමේදී ඇගේ සහජ ගායන ප්‍රතිභාව ගැන මට පුදුම නොවීමට අපහසු වුණා. එම ගීතය බටහිර සංගීත තාක්ෂණයේ කවුන්ටර් පොයින්ට් ඔබ්ලි ගාටෝ ක්‍දමබඑැරචදසබඑ ධඉකසට්එද ශෛලියට අනුරූප වූවක්. මම ලතාගේ ගායනයේ තවත් සුවිශේෂතාවක් දැක්කා, “වසන්තයේ දවසක්” මම දැක්කා. මේ චිත්‍රපටයේ “මාල ගිරා” නම් ගීතය ටී.ඇම්. ජයරත්න ගයද්දී, එම තනුව අලංකාර කරන්නට ලතා දීර්ඝ හුස්මකින් තම මධුර නාදයට චාලක ශක්තිය දී අහසේ පියා සලා නිදැල්ලේ හැසිරෙන කිරිල්ලියක බවට පත්වෙමින් විවිධ හඬතලයන් ඔස්සේ උඩට යමින් පහළට එමින් ගයන ආකාරය සියුම් තාක්ෂණය මැනවින් හඳුනන කෙනෙකු මනසේ චිත්‍රණය කරන්නේ අති ප්‍රබල සිත්තමකින්ය.

ලතා ධර්මදාස තම සැමියා ගැන ආඩම්බරයෙන් කතා කළාය. 
“ධර්මදාසට ආවේණික ගති ගුණ රාශියක් තිබුණා. හැමදාම පාන්දර 4.30ට නැගිටලා, නාලා පිරිසුදු වෙලා සුදු සරමක් ඇඳගෙන බුදුන් වඳින්න යනවා. එතකොට අමිත්, සුනෙත් පුතාලා දෙන්නා මල් වට්ටියක් හදලා දුම් කබල සූදානම් කරලා තියන්න ඕනෑ. බුදු කාමරයට යන ධර්මදාස සද්ද නගලා ගාථා කියනවා මට ඇහෙනවා. එතකොට ගෙදර නිශ්ශබ්දතාව තියෙන්න ඕනෑ. පැයක් පමණ ගාථා කියලා එළියට එන්නේ.
කිසිම දවසක එයා සින්දු ඉල්ලන් කාගෙවත් පස්සේ ගියේ නැහැ. දේශපාලනඥයෝ පිටිපස්සේ ගියේ නෑ. කිසි කෙනෙකුගෙන් මුකුත් කර ගත්තේ නෑ. නිකං ගත්තෙත් නැහැ. මාළු කඬේ ජෝකින් මුදලාලි ධර්මදාසගේ හොඳම යාළුවෙක් වුණත් එයාගෙන් මාළු ගත්තේ නෑ. මොකද එයා සල්ලි ගන්නේ නැති හින්දා. මාළු කඬේ වෙන තැනකින් මාළු අරගෙන ජෝකින් අයියට සෙලුයුට් එකක් දාලා යනවලු. එයා කියුටිකිරා පවුඩර් දාලා යාඞ්ලිෆෙයා ක්‍රීම් ගාලා කොණ්ඬේ සකස් කර ගන්න ආසයි. සින්දු කියන්න නොලැබුණා කියලා කළකිරුණේ නැහැ. සිල්ලර කඩයක් දාගෙන වෙළෙඳාම් කළා. ජාඇල පොළේ අභිමානවත් ලෙස කරවල විකුණපු සුනිල් සාන්ත වගේ ආත්ම අභිමානයෙන් ධර්මදාස වැඩ කළේ. ආත්ම ගරුත්වය එයා ඉහළින් අගය කළ දුෂ්චරිතවලින් මිදුණු එයා ඇසුරු කළේත් ඒ වගේ අය. ගායන ක්ෂේත්‍රයේ ගරුත්වය රැකගත් ගායකයන් එයා හැමදාම ගරු කළා.” ලතා කීවාය.
ජෝතිපාල සමග මුල් වරට චිත්‍රපටයක ගීතයක් ගැයුවේ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “අනුපමා” චිත්‍රපටයේය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ වික්ටර් රත්නායකට හා සුනිල් ආරියරත්නගේ ඉල්ලීමට ධර්මදාස අවසර දුන් බව දන්නේ ටික දෙනෙකි. ඒ ගීතය රචනය කළේ කුලරත්න ආරියවංශය.

“සිහින විලේ නිලුපුලී
පැතුම් ජලාසේ
ඔබ කා නමින්ද පිපුණේ
මල් මනවිකාවි”

ලතා අද තම පුතුන් දෙදෙනාත්, දියණියත්, ලේලිවරු තිදෙනාත්, බෑණාත්, මුණුපුරු මිනිපිරි සමග සතුටින් ගත කරයි.

“මගේ ලොකු පුතා සුනෙත් හා සුභද්‍රාත්, එරංග මුනුබුරාත්, අමිත් හා ගංගානිත්, ගඟුලි, චමත් මිනිපිරියත්, මුනුපුරාත්, ධම්මිකා හා මහින්දත්, ගීතාත්, තිසර, මයුර මුණුපුරන් ද චමින්ද හා ප්‍රීතිකාත් අද මගේ ලෝකයයි.
මගේ බෑණා මහින්ද බණ්ඩාර (ප්‍රවීණ සංගීතඥ) ගැන විශේෂයෙන්ම කියන්න ඕනෑ. මහින්ද සංගීතඥයකුට වඩා උතුම් මනුෂ්‍යයෙක්. එයා මගෙ දුව ධම්මිකා එක්ක මාව බලා ගන්නවා. මට බෙහෙත් ගන්න පොළොන්නරුවටත් එක්ක යනවා. ඒ විතරක් නෙවි, මහින්ද එයාගේ අතින්ම උයලා මට කන්න දෙනවා. ඒ තරම් රසට කෑම උයන්න ගැහැනියෙකුටවත් බැහැ කියලා මම හිතන්නේ. මම අද සතුටින් ඉන්නේ. මට තියෙන සම්පත මේ දරු
වෝ. දරුවන්ගේ දරුවෝ. තව මට මොනවද ඕනේ. ලතා අවසන් වශයෙන් කීවාය.