න්දියාව සමග ශ්‍රී ලංකා රජයට පවතින සබඳතා පීඩනයකට ලක්ව තිබෙන වාතාවරණයක, ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටේරි මහතා සහ චීන තානාපති කුවි ෂෙන්හොන්ග් මහතා සිය අමාත්‍යංශයේ දී හමුවූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ජිනීවාහි දී පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කළේ ය.
 

රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපට ඛේදවාචකයක් වූ මෙවර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ගේ අනිසි ඵලවිපාක දින කිහිපයක් ගතවීමට මත්තෙන් ම කරළියට පැමිණීමට ගත්තේ ය. මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා කවුන්සිලයේ දී සම්මත වූ යෝජනාවලිය මෙතෙක් අප රටට එරෙහිව සම්මත වූ අනුකම්පා විරහිතම සහ දැඩිම යෝජනාවලිය වේ.

යෝජනාවලිය ඉදිරිපත් කිරීමට මුල් වූ එක්සත් රාජධානිය, එම ප්‍රධාන කණ්ඩායමේ අනෙක් රටවල් හා එක්ව (මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් නොවන රටවල් ද, ඇතුළත්) යෝජනාවලියේ ප්‍රධාන අංගයක් වන, අනාගතයේ දී මානව හිමිකම් කඩවීම් සිදුනොවන තැනට ගතයුතු පියවර හා ඊට අදාළව පවතින ගැටලු හදුනාගැනීමේ කටයුතුවල දැනටමත් ලහිලහියේම නිරතව සිටී. ඒ සම්බන්ධයෙන්, යෝජනාවලියේ අංක 6 මෙහෙයුම් ඡේදයේ මෙසේ සදහන් වේ.
අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි බරපතල මට්ටමේ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය කඩවීමේ අවස්ථා සඳහාත්, වගවීමේ ක්‍රියාවලියකට යටත් කිරීමට යොදාගත හැකි මූලෝපායන් සකස් කිරීම සඳහාත්, වින්දිතයන් හා අනතුරින් ගැලවී ගැනීමට සමත්වන්නවුන් හට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහාත්, අදාළ අධිකරණමය සහ වෙනත් ක්‍රියාවලීන් සඳහාත්, මේ හා සමාන යාන්ත්‍රණයන් ඇති වෙනත් සාමාජික රටවල් ද ඇතුළත් වන පරිදි ඊට සහාය දැක්වීම සඳහාත්, සාක්කි එක්රැස් කිරීමට, වාර්තාගත කිරීමට, විශ්ලේෂණය කිරීමට සහ සංරක්ෂණය කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබේ. 

 
බැෂලේගේ ඉල්ලීම
 

ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන මානව හිමිකම් කඩවීමේ සිදුවීම් අරභයා යුක්තිය පසිඳලීම යනු විශ්වීය වශයෙන් සිදුවිය යුතු දෙයක්ය හෝ රටකින් පරිබාහිරව නීති කටයුතු සිදුකිරීමට පවතින අවසරය හෝ, යන ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වරිය වන මිෂෙල් බැෂෙලේ මහත්මිය, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලින් ඉල්ලා සිට ඇත. 

බරපතල ලෙස මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා නැගී තිබෙන පුද්ගලයින්ට එරෙහිව සම්බාධක සහ සංචාරක තහනමක් පැනවීමට පවතින අවස්ථා සම්බන්ධයෙන් සොයාබලන ලෙස ද ඇය නිර්දේශ කර තිබේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී, මෙම ගැටලුවට බර තබන ලකුණු දැනටමත් පෙනෙන්නට ඇත. 

කෙසේවුවත්, මේ සම්බන්ධයෙන් ඔවුන් ගන්නා ශ්‍රී ලංකාවට අනිසි තීරණයක් වෙතොත්, චීනය හා රුසියාව, ඊට එරෙහිව ඔවුන්ගේ නිෂේධ බලය භාවිතා කරනු නිසැකය. නමුත්, එවැනි තීරණක් ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වීමම, ශ්‍රී ලංකාවට එයින් හිමිවන සෘණාත්මක ප්‍රතිරූපය මත ගත්කළ, රටට අනිසි ප්‍රතිඵල ගෙනදීමේ සමත්ය.

මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන බැෂෙලේ මහත්මිය, නව ලේකම් කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කරමින් සිටී. මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය දැනටමත් මෙකී නව ලේකම් කාර්යාලයේ තනතුරු සදහා අයදුම්පත් කැදවා තිබේ.

එහි එක් තනතුරක් වන්නේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයෙකි. අපරාධ සම්බන්ධයෙන් වන අධිකරණ කටයුතු හෝ අපරාධ සම්බන්ධ විමර්ශන කටයුතු පිළිබදව අත්දැකීම් තිබීම මෙම තනතුරට සුදුසුකමක් ලෙස දක්වා තිබෙන අතර, ලේකම් කාර්යාලයේ අනෙක් සාමාජිකයන් සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගැනීම ඔහුගෙන් හෝ ඇයගෙන් අපේක්ෂා කෙරේ.

 
තනතුරට භාර රාජකාරි 
 
පෙරකී මූලෝපායන් සකස් කිරීම සදහා වන තොරතුරු සහ සාක්කි එකතු කිරීම.
සංරක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට අවකාශය ඇති මධ්‍යම තොරතුරු සහ සාක්කි ගබඩාවක් නිර්මාණය කිරීම
සංරක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට අවකාශය ඇති මධ්‍යම තොරතුරු සහ සාක්කි සංවර්ධනය කිරීම.
යුක්තිය පසිදලීම විශ්වීය මට්ටමින් සිදුවිය යුතුය යන ප්‍රතිපත්තිය යටතේ සහ රටකින් පරිබාහිරව අධිකරණ කටයුතු සිදුකළ හැකිය යන ප්‍රතිපත්තිය යටතේ, මෙන්ම එක්සත් ජාතීන්ගේ අදාළ මාර්ගෝපදේශනයන්ට අනුව වගවීමේ ක්‍රියාවලිය පිළිබදව වන වෙනත් කාරණා අරබයා, එකී කටයුතු ඉටුකිරීමට ඉදිරිපත් වන රටවල ජාතික අධිකාරීන් සමග එම සාක්කි සහ තොරතුරු හුවමාරු කරගැනීම. 
ඔවුන් සමග එම සාක්කි විවරණය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
විමර්ශකයින්, නීතිඥයින්, විනිසුරුවරුන් සහ නීති ක්ෂේත්‍රයේ වෙනත් සාමාජිකයන් සමග එක්ව වගවීමේ මූලෝපායන් සංවර්ධනය කිරීම.
තොරතුරු හුවමාරු කරගැනීම, වගවීම ප්‍රවර්ධනය කිරීම සහ වගවීමේ මූලෝපායන් සංවර්ධනය කිරීමෙහි ලා උපදෙස් ලබාගැනීම.
මෙම කටයුතුවල නිරතවීම සහ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය, වෙනත් ස්වාධීන යාන්ත්‍රණයන් සහ එක්සත් ජාතීන්ගේ වෙනත් වැඩසටහන් හා අත්වැල් බැඳගැනීම.
මේ සියල්ල සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් යුතුව අදාළ කටයුතු සිදුවන බව සහතික කිරීමේ සම්බන්ධීකරණය. 

අපරාධ නීතිය සම්බන්ධයෙන් වෘත්තිමය පසුබිමක් ඇති විමර්ෂකයින් දෙදෙනෙක්, එසේත් නැතිනම් මානව හිමිකම් නිලධාරීන් දෙදෙනෙක් මෙම කාර්යාලයට පත් කිරීමට නියමිතය. බරපතල මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සහ අන්තර්ජාතික අපරාධ නීතියට යටත් වන කාරණා සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීම සහ වාර්තා ගත කිරීම ඔවුන්ට භාරය. නීති නිලධාරීන් දෙදෙනෙක්, විශ්ලේෂකයින් දෙදෙනෙක්, තොරතුරු සහ සාක්කි පිළිබද නිලධාරියෙක්, භාෂා විශේෂඥයින් දෙදෙනෙක්, වින්දිතයන්ට සහාය දැක්වීම සදහා වන නිලධාරියෙක්, වැඩසටහන් සහායකයෙක්, යනු මෙම කාර්යාලයේ අනෙක් තනතුරුය.
 
 
ඩොලර් ලක්‍ෂ 48 ක ඇස්තමේන්තුවක්
 

2021 වසරේ ඉතිරිව තිබෙන කාලය ඇතුළත ක්‍රියාත්මක වීම සදහා මෙම කණ්ඩායමට අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙන මුදල ඩොලර් ලක්ෂ 28 කට මදක් වැඩිය. එයින් පසුව 2022 වසර සදහා, මෙම කණ්ඩායමට වැය වෙතැයි අපේක්ෂිත මුදල ඩොලර් ලක්ෂ 20 කට වැඩිය. 

මෙම මුල්‍ය අවශ්‍යතාවය ලබන සැප්තැම්බර්යේ නිව්යෝරක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ අවධානයට යොමු කිරීමට අපේක්ෂිත අතර, නව කාර්යාලයට මුදල් වෙන් කිරීමට නම් එක්සත් ජාතීන්ගේ මුල්‍ය පරිපාලන කටයුතු සිදුකරන පස්වැනි කමිටුවේ අනුමැතිය එයට හිමිවිය යුතුය. 

මෙම කරුණු කාරණා සැළකීමේ දී කාර්යාලයට වෙන්කරන මුදල් සඳහා අනුමැතිය ලැබීමටත් ප්‍රථමයෙන්, එහි කාර්යමණ්ඩල සාමාජිකයන් තෝරාපත් කරගැනීමට යන්නේ කෙසේදැ යි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා විමසා සිටිය යුතුව තිබිණ.

චීන සහ පකිස්තානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහාය ඇතිව, මෙසේ අතිරේක අරමුදල් ඉල්ලා එක්සත් ජාතීන්ගේ පස්වැනි කමිටුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව පරාජය කිරීමේ දැඩි උත්සාහයක ශ්‍රී ලංකා රජය නිරතව සිටී. එසේ කෙරෙමින් පවතින්නේ, ඒ සදහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල සහාය දිනාගැනීමට උත්සාහ කිරීම හරහාය.
 
ගෙවුණු මාසයේ, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව ලැබූ පරාජය සැළකිල්ලට ගත්විට, මෙය කොහෙත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත. කෙසේවුවත්, වෙනත් රටවල් සමග පවත්නා සබඳතා භාවිතා කර, මෙසේ අතිරේක අයවැයක් වෙන් කිරීම පිළිගත නොහැක යන මතය ශක්තිමත් කරවීම මෙහිදී ඉතාම වැදගත් වේ. අඩුම වශයෙන්, සියලු වැයවීම් සාමාන්‍ය අයවැයට යටතට ගත යුතු වේ. එසේ වුවත්, මානව හිමිකම් මහකොමසාරිස්වරයා යටතේ නව ලේකම් කාර්යාලයක් ඇති කිරීමට ගෙන තිබෙන තීරණයේ වෙනසක් සිදුනොවනු ඇත. 

මෙම කාර්යාලය පිහිටුවීම සදහා මුදල් ලබාදීමට ඕස්ටේ්‍රලියාව සහ නෝර්වේ රාජ්‍යය කැමැත්ත පළකර තිබෙන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සදහන් කළේ ය. කෙසේවුවත්, එවැනි තත්ත්වයක්, එනම් අතිරේක මුදලක් වෙන්කරන ලෙස ඉදිරිපත්ව තිබෙන යෝජනාව ප්‍රතික්ෂේප වීමක් සිදුනොවනු ඇති බවට දැඩි විශ්වාසයක් තමන්ට පවතින්නේ යැයි ද, එම ආරංචි මාර්ගයන්ම පවසා සිටියේ ය.

යෝජනාවලියට පක්ෂව ඡන්දය භාවිතා කළ සහ එය ඉදිරිපත් කිරීමට මුල් වූ ප්‍රධාන කණ්ඩායමේ රටවල්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එකිනෙකා අතර හුවමාරු කරගෙන ඇති අදහස් සම්බන්ධයෙන් පළව තිබෙන වාර්තා අනුව ගත් කළ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරියේ කටයුතු කිරීමට හැකි ආකාරයන් ගණනාවක් ඔවුන් සාකච්ඡාවට බදුන් කරමින් සිටින බව පැහැදිලි වේ. 

හදිසියේවත්, මෙසේ පිහිටුවීමට යන නව ලේකම් කාර්යාලයේ සාමාජිකයන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසරය ලබා නුදුනහොත් කුමක් සිදුවනු ඇති ද?, එවැනි තත්ත්වයකදී අදාළ පුද්ගලයින්ට සංචාරකයින් මෙන් ශ්‍රී ලංකාවට පැමිණිය හැකියැයි යෝජනා ඉදිරිපත්ව තිබේ. 

යුද සැමරුම් ලෙස යොදාගත් වීඩියෝ දර්ශන මෙන්ම මානවවාදී නීතිය කඩකර ඇති බවට වන සාක්කි සම්බන්ධයෙන් ද අවධානය යොමු කැරෙනු ඇත. ප්‍රධාන කණ්ඩායමේ රටවල් ඉදිරියේ දී මෙම යෝජනාවලිය පදනම් කරගෙන වැදගත් පියවර රැසක් ගනු ඇති බව ද බටහිර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් සදහන් කළේ ය. කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ ඔහු පැවසූයේ නිල නිවේදනයන් නිකුත් කැරෙන තෙක් සිටින්නැයි කියාය.

===========================
ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

===========================