‘‘ජනතාවට සවිය - දුප්පතුන්ට රැකවරණය’’ යන තේමාවෙන් 2019 අය-වැය ඉදිරිපත් කරන්නට මංගල සමරවීර මුදල් ඇමැතිවරයා කටයුතු කළේය. අය-වැයේ අන්තර්ගත යෝජනා සම්බන්ධයෙන් නැඟෙන දේශපාලන විවේචන හා අගය කිරීම් දැකිය හැකි වුවද එහි දේශපාලන ආර්ථිකය ගැන සැලකිය යුතු කතාබහක් සුලබව දක්නට නොවීය. එනිසා ආණ්ඩුවේ අය-වැය පිළිබඳ පසුවිපරමක් කිරීම කාලෝචිතය. ආණ්ඩුවට අය-වැය ඉදිරිපත් කිරීමට සිදුවූයේ මැතිවරණ වසරකය. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි හුරුව අනුව එවැනි අවස්ථාවක ආණ්ඩුවක් කරන්නේ අය-වැය ද මැතිවරණ අය-වැයක් බවට පත්කිරීමය. එනිසා ආර්ථික විද්‍යා ක්‍ෂේත්‍රයෙහි බොහෝ උපකල්පන කෙරුණේ එ.ජා.පෙ. අය-වැය ද එවැන්නක් බවට රූපාන්තරණය වනු ඇත කියාය. 

එහෙත් ඉදිරිපත් කළ අය-වැය ගැන අධ්‍යයනය කරද්දී අපට පෙනී යන්නේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා සහන ප්‍රදානය කරන අය-වැයකින් වැළකී මධ්‍යස්ථව කටයුතු කිරීමට උත්සාහ කර ඇති බවකි. සැබැවින්ම එය යහපත් වැඩකි. පවතින දේශපාලන යථාර්ථයෙහි එවැනි වැඩක් කිරීමට කිසියම් දේශපාලන අධිෂ්ඨානයක් ද අවැසිය. ඒ අනුව මුදල් ඇමැතිවරයා ආර්ථික විද්‍යාත්මක තලයෙහි සාධනීය ස්ථාවරයක පිහිටා සිටීම මුලින්ම අගය කළ යුතුය.

විශේෂයෙන්ම ආණ්ඩුව ව්‍යවසාය ශ්‍රී ලංකා හෙවත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට මුදල් වෙන්කර තිබේ. එය යහපත් ලක්ෂණයකි. ආර්ථිකයෙහි දියුණුව උදෙසා මෙරට ව්‍යාපාරික පන්තියක් ඇතිකිරීම අත්‍යවශ්‍යය. දැන් කළයුත්තේ එය නිවැරැදිව අධීක්ෂණයයි. විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන් යටතේ ණය ගන්නා විට ව්‍යවසායකයන්ට විවිධ ප්‍රායෝගික ප්‍රශ්න පැන නගී. ආණ්ඩුව එවැනි ගැටලු ගැන ද හොඳ නිරීක්ෂණයකින් සිටිය යුතුය. අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අදාළ දිරිදීම් ද වටී. ජාතියක ජීවනාලිය තරුණ පරපුරයි. තරුණ පරපුරේ අධ්‍යාපනය හා කුසලතා දියුණු නොකරන රටකට අනාගතයක් නැත. විශ්වවිද්‍යාල හෝ විශ්වවිද්‍යාල නොවන ආයතන හරහා ඔවුන් උසස් අධ්‍යාපනයට යොමුකිරීම අගය කළ යුතු කරුණකි. මේ මගින් දේශීය වෙළෙඳපොළට නොහැකි වුවහොත් ලෝක වෙළෙඳපොළට හෝ එකතුවීමට ඔවුන්ට අවස්ථාව උදාවේ. කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රවලට තාක්ෂණය හඳුන්වාදීමට අදාළ යෝජනා ද වටී. කෘෂිකර්මාන්ත අංශයේ ඵලදායිතාව වර්ධනය කිරීමට එවැනි පියවර අත්‍යවශ්‍යය. අය-වැය හිඟය 2021 වනවිට 3.5% දක්වා පහත හෙළීමට අදාළව ද ආණ්ඩුව විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ. ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුවට එසේ අය-වැය හිඟය පහත හෙළා ණයගැනීම අවම කරගත හැකි නම් එය තවත් යහ ලක්ෂණයක් හැටියට හැඳින්විය හැකිය.

ආණ්ඩුව පුරෝකථනය කරන්නේ 2020-2021 කාල සීමාව වනවිට ජාතික ආදායම 4-4.3% වනු ඇතැයි කියාය. දකුණු ආසියානු කලාපය මේ වනවිට තිබෙන්නේ වේගයෙන් සංවර්ධනය වන තත්ත්වයකය. බංගලාදේශය, නේපාලය, ඉන්දියාව, මාලදිවයින ආදී රටවල ආර්ථික වර්ධන වේගය මේ වනවිට 6% ද ඉක්මවා ඇත. 2.7% ක සීමාවක සිටිමින් තරමක පහළ අගයක් ගන්නේ ඇෆ්ගනිස්ථානය පමණි. එනිසා දකුණු ආසියාව නියෝජනය කරමින් මෙවැනි පහළ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන්නට සිදුවීම එක් අතෙකින් ප්‍රශ්නකාරීය. ආර්ථිකය 4-4.4% කින් වර්ධනය වන තත්ත්වයකදී ආණ්ඩුව බදු ආදායම 15% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. මෙහිදී ප්‍රශ්නය වන්නේ පෙර කී පරිදි ආණ්ඩුව අපේක්ෂා කරන 3.5% දක්වා අගයකට අය-වැය හිඟය ගෙනඒම පහසු වනු ඇතිද යන්නය. පැහැදිලිවම එය ගැටලුවකි. 1990 සිටම අප දන්නා සත්‍යය වන්නේ අ-යවැය හිඟය 5% පහළට ගෙන නැති බවය. එහි අන්‍යාර්ථය නම් ආණ්ඩුව කරන පුරෝකථන කොතෙක් දුරට යථාර්ථවාදීද යන්නයි. 

සමෘද්ධිලාභීන් ලක්ෂ හයකින් ඉහළ දැමීම ද මේ අය-වැයෙහි තවත් යෝජනාවකි. මෙහිදී අපට නැඟෙන මූලික ප්‍රශ්නය නම් එසේ සමෘද්ධිලාභීන් සංඛ්‍යාත්මකව ඉහළ දැමීම කොතෙක් දුරට විද්‍යාත්මක ද යන්නයි. ඉහළ දැමෙන සමෘද්ධිලාභීන්ට වෙන් කෙරෙන සහනාධාර මුදලට අමතරව ඔවුන්ට රජය ලබාදෙන බොහෝ සේවා සඳහා අයකෙරෙන්නේ සහනදායක මුදලකි. ඒ අනුව වැඩි වන සමෘද්ධි සහනාධාරයට අමතරව තවත් සහන සේවා රැසකට තවත් අතිරේක මුදලක් වෙන්කිරීමට ද ආණ්ඩුවට සිදුවනු ඇත. එවිට සමෘද්ධිලාභීන් සඳහා වෙන්කෙරෙන සැබෑ මුදල් මෙවර අය-වැයෙන් වෙන්කළ මුදලට වඩා වැඩිය. තවද මේ සහන ප්‍රදානයට තවත් අමතරව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ආදින් බඳවා ගැනීමට සිදුවුවහොත් එය බොහෝවිට සිදුවීමට ඉඩතිබෙන්නේ දේශපාලනික බඳවාගැනීම් ස්වභාවයෙනි. එසේ බලද්දී සමෘද්ධි සහනලාභීන් වැඩි කිරීම සැබෑ ලෙසම දුප්පත්කම තුරන්කිරීමකට වඩා දේශපාලන ව්‍යාපෘතියක කොටසක් වේද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ. 

මෝටර් රථ, මත්පැන්, දුම්වැටි සඳහා නව බදු පැනවීමෙන් ආදායම ඉහළ දමාගැනීමට ආණ්ඩුව උත්සාහ කර ඇත. එහිදී අලුතින් මෝටර් රථයක් මිලදී ගන්නට උත්සාහ කරන්නකුට ගෙවන්නට සිදුවන බද්ධ සාධාරණ යැයි අපට කිව නොහැකිය. මෝටර් රථයක් මිලදී ගන්නේ ධනවතුන් යැයි ආණ්ඩුව උපකල්පනය කරන්නේ නම් එය සාවද්‍යය. සැබැවින්ම ලංකාවේ බොහෝ දෙනකු මෝටර් රථයක් මිලට ගැනීමට පෙළඹීමේ එක් මුඛ්‍ය හේතුවක් වන්නේ ප්‍රවාහන ප්‍රශ්නය. මිනිසුන් බොහෝ දෙනා එතැනට තල්ලු කරනු ලබන්නේ ජාතික ප්‍රවාහන පද්ධතියේ ඇති අර්බුද විසිනි. මෙයින් අදහස් වන්නේ රථ වාහන ආනයනයේදී ආණ්ඩුව බදු අය නොකළ යුතු බවක් නොවේ. වාහන ආනයනය සීමා කිරීම උදෙසා 300% පමණ අධික බදු පැනවීමක් අවශ්‍යද යන්නය. එනිසා එය සාධාරණ සීමාවකට ගෙන ආ යුතු බව අවධාරණය කරමි. මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් සමාජයීය වශයෙන් යම් මතයක් තිබේ. එනිසා ඒවාට බදු පැනවීමේදී සමාජයේ එක ධාරාවකින් අනුමැතියක් හිමිවේ. ආණ්ඩු මේ අනුමැතිය බදු පැනවීම් සුජාතකරණයට පාවිච්චි කරයි. අනෙක් අතට මෙවැනි බදු පැනවීම්වලින් ආණ්ඩුව උත්සාහ කරන්නේ මත්පැන් දුම්වැටි භාවිතය අධෛර්ය කිරීමට යැයි තර්කයක් ද නැඟිය හැකිය. ඒ සියල්ල ඇත්ත යයි උපකල්පනය කළ ද එපමණකින් මත්පැන් හා දුම්වැටි භාවිතය සීමා කළ හැකිද? මා මෙම ප්‍රශ්නය නඟන ප්‍රධාන හේතුව නම් ආණ්ඩුවේ පිළිවෙත හා එහි සාමාජිකයන්ගේ භාවිතාව අතර ඇති නොපෑහීමය.

 ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සැලකිය යුතු සංඛ්‍යාවකට මත්පැන් බලපත් තිබේ. සරලව කිවහොත් මේ රටේ අරක්කු කර්මාන්තයේ සැලකිය යුතු පංගුවක් නියෝජනය කරන්නෝ මේ ගරුකටයුතු මහජන නියෝජිතයෝමය. මහජන ඡන්දයෙන් බලයට පත්වීමේ වරමින් ඔවුන් කර්මාන්තයෙහි නිරත වන අතරේ ආණ්ඩු මත්පැන් සම්බන්ධයෙන් මෙවැනි දේශපාලන තීන්දු ගැනීම විහිළුවකි. සැබැවින්ම එහි ඇත්තේ ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්නයකට එහා ගිය ආචාර විද්‍යාත්මක ප්‍රශ්නයකි. ප්‍රතිපත්ති සම්පාදනය කරන සදාචාරය ගැන ප්‍රශ්නයකි. එනිසා මතින් තොර රටක් ගැන කතා කිරීමට පාලකයන්ට අවශ්‍ය නම් පළමුව ඔවුන් ඔවුන්ගේ ද ඔවුන්ගේ දුවා දරුවන්ගේ ද නමින් පාලනය වන හරිහම්බ කරන අරක්කු කර්මාන්තයෙන් ඈත්වන බවට ජනතා දිවුරුමක් දිය යුතුය. කෙටියෙන් කිවහොත් මැති ඇමැතිවරුන් සතුව පවතින මත්පැන් බලපත් අහෝසි කළ යුතුය. ආණ්ඩුවේ ප්‍රබලයන් දැනටමත් අලුතින් මත්පැන් කම්හල් ආරම්භ කිරීමට යන්නේ යැයි පසුගිය කාලයේදී දේශපාලන වේදිකාවල ප්‍රබල ලෙස විවේචනයට ලක්විය. එනිසා දේශපාලකයන් පළමුව ‘ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට’ පිළිවෙතට පැමිණිය යුතුය. ඊට පක්ෂ විපක්ෂ භේදයක් ද අවශ්‍ය නැත. පහළ පාන්තිකයෝ මත්පැන් හා දුම්වැටි සඳහා වැඩි මුදලක් වැය කරති. එය ඍජුවම ගෙදර ආර්ථිකයට බලපායි. අනෙක් අතට මත්පැන් දුම්වැටි මිල ඉහළ දැමුවේ යැයි කියා එයින් වැළකෙන පිරිස අඩුවන්නේ ද නැත. එහි ප්‍රතිඵලය වන්නේ ගෙදර දොර සඳහා වෙන්කෙරෙන කොටසින් වැඩි මුදලක් කප්පාදු වීමය. මිල වැඩි කළ පමණින් මිනිසුන් මත්පැන් දුම්වැටිවලින් ඈත්වන්නේ යැයි ප්‍රතිපත්ති සම්පාදකයන් සිතන්නේ නම් එය අඳ බාල කල්පනාවකි. ඇත්තෙන්ම සිදුවන්නේ ඔවුන් කසිප්පු හා මත් පෙති ආදී නීතිවිරෝධී විකල්ප කරා ද තල්ලුවීමය. මේවා මත්පැන් දුම්වැටිවලටත් වඩා භයානක ආදේශකය. එනිසා ආණ්ඩුව මත්පැන් හා දුම්වැටි සම්බන්ධ ආර්ථික ප්‍රතිපත්තියේදී ආපසුහැරී බැලීමක් කිරීම අත්‍යවශ්‍යයය. 

රන් අස්වැන්න, ගොවි නවෝදා, සිටි රයිඩ්, රිය ශක්ති, රිවි බල සවි, ජය ඉසුර, හරිත ණය, සිහින මාළිගා ආදී වශයෙන් ගොවීන්ට, තරුණයන්ට, සිසු සිසුවියන්ට වශයෙන් ණය යෝජනා ක්‍රම රැසක් ද අයවැයෙහි දක්නට ලැබේ. මේ ගැන සමාජයෙහි කිසියම් උනන්දුවෙන් කතාබහක් ද හටගෙන තිබේ. එහෙත් ආණ්ඩුව පවසන පරිදිම මේ ණය ගැනීම පහසු ද? අඩු පොලියට ප්‍රදානය කරන බව කීවද ණයට අදාළ කොන්දේසි කී දෙනෙකුට සපුරාලිය හැකිද? ආණ්ඩුව ණය සඳහා වෙන්කරන බව කියන මුදලින් මේ යටතේ වැය විය හැක්කේ සොච්චමක් වීමට වැඩි ඉඩක් තිබේ. ණය ගැනීමට උත්සාහ කිරීමේදී බැංකුවලින් පනවන විවිධ කොන්දේසි හා ප්‍රශ්න කිරීම් හමුවේ අයැදුම්කරුවා ධෛර්යමත්වීමට වඩා අධෛර්යමත්වීමට ඇති ඉඩ වැඩිය. ඇතැම් ණය ගැන සමාජය දන්නේවත් නැත. උදාහරණයකට විවාපත් තරුණ පිරිස්වලට හෝම් ස්වීට් හෝම් ණය ක්‍රමය යටතේ රුපියල් කෝටියක් දක්වා ණය ගැනීමට හැකි යැයි සඳහන් වේ. එහෙත් රුපියල් කෝටියක් දක්වා ණය ගැනීමට නම් යම් පුද්ගලයකුට කොතරම් ආදායමක් තිබිය යුතුද? සැබැවින්ම මේ රටේ නිවාස සම්බන්ධයෙන් අර්බුදයක සිටින්නේ මේ කියන ආදායම් තීරුව නියෝජනය කරන පිරිස ද? නිවාස ප්‍රශ්නයෙන් සැබෑ ලෙස බැට කන තරුණ ප්‍රජාවට සහනයක් ලබාදෙන පිළිවෙතක් අනුගමනය කළේ නම් මීට වඩා අගනේය. අනෙක් අතට බැංකු සංගම් චෝදනා කරන්නේ මෙවැනි ණය ප්‍රදාන දෙන බව කීව ද ඒවාට අවශ්‍ය මුදල් බැංකුවලට නිකුත් නොකෙරෙන බවය. ඒ අනුව එම මුදල් ප්‍රදානය කිරීමට සිදුවන්නේ ලංකාවේ බැංකු පද්ධතියටය. 

ත්‍රී රෝද රථ වෙනුවට විද්‍යුත් මෝටර් රථ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 20 ක් දක්වා ණය ප්‍රදානය කරන බව ආණ්ඩුව කියයි. ත්‍රී රෝද රථ සම්බන්ධයෙන් මතුව ඇති සමාජ ප්‍රශ්නය හමුවේ මේ අයවැය යෝජනාවේ යථාර්ථවාදී බව ප්‍රශ්නයකි. සැබැවින්ම අපට අවශ්‍ය ත්‍රී රෝද රථ ධාවනයට යොමුව ඇති තරුණ ජනයා විද්‍යුත් මෝටර් රථ වෙතට යොමු කිරීම නොවේ. ඔවුන්ගේ රැකියා ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමය. ජාතික ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර මගීන්ට පහසුවක් සැලැසීමය. එහෙත් මේ සිදුව ඇත්තේ අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස වෙනුවට පෙර ක්‍රියාවලියටම වෙනස් මුහුණුවරක් දීමය. දුම්රිය මාර්ග පවතින්නේ ඌණ උපයෝජිත තත්ත්වයේ යැයි පිළිගත් මුදල් ඇමැතිවරයා පැවැසුවේ අලුතින් බස් රථ 2500ක් ධාවනයට යොදන බවය. එහෙත් ඒ අතරේ සිදුවූයේ දුම්රියේ වෙනම කාන්තා පෙට්ටියක් නම් කිරීමය. සැබැවින්ම අද වනවිට දුම්රිය තිබෙන්නේ මඟීන්ට යන්නට ඉඩ පහසුකම් නැති තත්ත්වයකය. එකිනෙකා තෙරපෙමින් උදේ හවස වැඩට එන්නටත් නිවෙසට යන්නටත් ජනතාවට සිදුව තිබෙන්නේ අතිශය පීඩාකාරී ලෙස බව පාලකයෝ නොදනිත් ද? එවැනි තත්ත්වයක දුම්රියේ ඇති අවම ඉඩත් මෙවැනි වෙන්කිරීම්වලට භාවිත කිරීම විහිළුවකි. සෑම වසරකම අපොස උසස් පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රතිඵල ලබා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබීම සඳහා ප්‍රතිපාදන සැපයීම තවත් එවැනි අය-වැය යෝජනාවකි. මෙය බැලූ බැල්මටම ආකර්ෂණීයය. යුරෝපාකරයට මෙවැනි යෝජනාවක් ගැලපුණ ද රටේ පවතින ආර්ථික අර්බුදය අනුව ප්‍රායෝගිකව එවැනි වැඩපිළිවෙළක් පවත්වාගෙන යා හැකිද යන්න ප්‍රශ්නයකි. 

මේ ආදී ලෙස විමසද්දී නම් පෙනෙන්නේ ආණ්ඩුව කුඩා කුඩා සහන ලබාදීමෙන් සෑම ක්‍ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි අය-වැය සකසන්නට යත්න දරා ඇති බවය. නොඑසේව රටේ ජනතාව මුහුණ දෙන දැවෙන ආර්ථික ප්‍රශ්න හඳුනාගෙන ඒවා ආමන්ත්‍රණය කිරීමට වුවමනාවක් තිබූ බවක් නොවේ. 2018 දී ආර්ථික වර්ධනය පැවැතියේ 3% ක මට්ටමේය. එහි පණිවුඩය නම් ආර්ථිකය මහා කඩාවැටීමකට ලක්ව ඇතැයි යන්නය. එසේ නම් ආණ්ඩුවක අය-වැය සංයුක්ත විය යුත්තේ කඩා වැටුණු ආර්ථිකයක් නංවන වැඩපිළිවෙළකිනි. විශේෂයෙන්ම ආණ්ඩුව ව්‍යාපාරික පන්තියක් නිර්මාණය කිරීම උදෙසා ණය ප්‍රදානය හොඳය. එහෙත් මෙරට ව්‍යාපාර සාර්ථක නොවීමෙහි බලපාන ප්‍රධාන හේතුව ණය පිළිබඳ ප්‍රශ්නයම පමණක් නොවන වග ප්‍රතිපත්ති සම්පාදකයන් තේරුම් ගත යුතුය. දේශීය වශයෙන් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කළ ද ඉතා අඩු මිලට රටට ගලාගෙන එන ආනයන හමුවේ නිෂ්පාදකයන් වැටෙන්නේ ලොකු අමාරුවකය. මෙවැනි පරිසරයක අය-වැයක් සම්පාදනයේදී රටේ වෙළෙඳ ප්‍රතිපත්ති, කම්කරු ප්‍රතිපත්ති ආදිය තුලනාත්මකව බැලෙන ප්‍රවේශයක් අවැසිය. නොඑසේව ණය ප්‍රදානය කළ පලියටම රටේ ව්‍යාපාරික පන්තියක් බිහි වේ යැයි ආණ්ඩුවක් සිතන්නේ නම් එය විශාල මිථ්‍යාවකි. එනිසා ආර්ථික අර්බුදයට පිළියම් සොයන ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් ආණ්ඩු කළයුත්තේ මේ මිථ්‍යා ප්‍රාකාර නොපමාව බිඳ දැමීමය.

සටහන - බිඟුන් මේනක ගමගේ